SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

හිටපු ජනාධිපතිවරයාගේ පෙත්සම හමුවේ සැප්තැම්බර් 22  නීතියේ සහ දේශපාලනයේ තීරණාත්මක සංධිස්ථානයක්!

 

 

2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු දැඩි කම්පනයට පත් වූ මෙරට මහජනතාව, සිවිල් සමාජය මෙන්ම

ආගමික සංස්ථා ද ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් එවකට බලයට පත් ගෝඨාභය රාජපක්ෂ මහතා කෙරෙහි දැඩි විශ්වාසයක් තැබූහ. විශේෂයෙන්ම ජාතික ආරක්ෂාව තහවුරු කරමින් පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉටුකරන බවට වූ ප්‍රබල පොරොන්දුව මත ඔහුට රටේ ඉහළම විධායක බලය පිරිනැමීමට බහුතර ජනතාවක් පෙළගැසුණි.

 

 

 

එහෙත් දෛවෝපගත අන්දමින්, අද වන විට එම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලදී තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කිරීමට හිටපු ජනාධිපතිවරයාට සිදුව තිබේ.

 

 

ජාතික ආරක්ෂාවේ මුරදේවතාවා ලෙස සමාජය විශ්වාස කළ නායකයෙකු, සිය ආරක්ෂාව පතා නීතියේ රැකවරණ සෙවීම දේශපාලනික මෙන්ම සමාජයීය වශයෙන් ද දැඩි කතාබහට ලක්වන කරුණක් බවට පත්ව ඇත.

 

 

මෙම තීරණාත්මක රිට් පෙත්සමට අදාළ නියෝගය ලබන සැප්තැම්බර් 22 වැනිදා ප්‍රකාශයට පත්කිරීමට අභියාචනාධිකරණය මේ වන විට තීරණය කර තිබේ. එදිනට අධිකරණය විසින් ප්‍රකාශ කිරීමට නියමිතව ඇත්තේ, හිටපු ජනාධිපතිවරයාගේ මෙම පෙත්සම විභාගයට ගනිමින් ඉදිරියට පවත්වාගෙන යනවාද, නැතහොත් මූලික අවස්ථාවේදීම එය නිෂ්ප්‍රභ කරන්නේද යන්න පිළිබඳ නීතිමය තීන්දුවයි.

 

 

අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන් අබේසූරිය සහ විනිසුරු සරත් දිසානායකගෙන් සමන්විත ද්විපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ මීට පෙර ජූලි 09 වැනිදා ද ඇතුළුව දින කිහිපයක් පුරා මෙම පෙත්සම දීර්ඝ ලෙස සලකා බැලුණු අතර, පෙත්සම්කාර සහ වගඋත්තරකාර දෙපාර්ශ්වයේම වාචික දේශන මේ වන විට අවසන් කර තිබේ. විශේෂත්වය වන්නේ පසුගියදා (23) මෙම නඩු විභාගය නැරඹීම සඳහා ගෝඨාභය රාජපක්ෂ පෞද්ගලිකවම අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටීමයි.

 

 

මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) අධ්‍යක්ෂ ශානි අබේසේකර, එහි විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති සහ නීතිපතිවරයා නම් කරනු ලැබ සිටිති. මෙයින් පෙනී යන්නේ ආයතනික මට්ටමින් සිදුකෙරෙන විමර්ශනවල ස්වාධීනත්වය සහ විධායක බලතල දැරූ පුද්ගලයන්ගේ නීතිමය වගවීම අතර පවතින ගැටුමයි.

 

 

 

පාස්කු ප්‍රහාරයේ සැබෑ සත්‍යය හෙළිදරව් කරගැනීම සඳහා වින්දිතයන් සහ කතෝලික සභාව තවමත් දැඩි අරගලයක නිරත වන පසුබිමක, සැප්තැම්බර් 22 වැනිදා අභියාචනාධිකරණය ලබාදෙන තීන්දුව අතිශය තීරණාත්මක වනු ඇත. එය හිටපු ජනාධිපතිවරයාගේ ඉදිරි නීතිමය පැවැත්ම පමණක් නොව, මෙරට නීතියේ ආධිපත්‍යය, විමර්ශනවල ස්වාධීනත්වය සහ යුක්තිය පසඳලීමේ ක්‍රියාවලිය පිළිබඳ මහජන විශ්වාසය උරගා බලන ප්‍රබල සංධිස්ථානයක් වනු නොඅනුමානය.

 

 

නවතම ලිපි