SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස තවත් අවුරුදු දෙකකින් දීර්ඝ කිරීම සඳහා යෝජිත

පනත් කෙටුම්පතට නීතිපතිවරයා විසින් නීතිමය අනුමැතිය (Legal clearance) ලබා දී තිබේ. ඒ අනුව, අදාළ නීති සම්පාදන ක්‍රියාවලියේ ඊළඟ පියවර වෙත කඩිනමින් පිවිසීමට මේ හරහා මාවත විවර වී ඇත.

 

 

 

නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කරන පරිදි, මෙම පනත් කෙටුම්පතට අදාළ නීතිමය සමාලෝචන කටයුතු මේ වන විට සම්පූර්ණයෙන්ම අවසන් කර ඇති අතර, ඊට අදාළ අනුමැතිය නිල වශයෙන් අධිකරණ අමාත්‍යාංශය වෙත දැනුම් දී තිබේ.

 

 

නීතිපතිවරයාගේ මෙම අනුමැතිය හිමිවීමත් සමඟ, අදාළ නීති කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමට පෙර අවශ්‍ය අවසන් නිවැරදි කිරීම් සහ සකස් කිරීම් අධිකරණ අමාත්‍යාංශය විසින් සිදු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඉන් අනතුරුව මෙම කෙටුම්පත නීතියක් බවට පත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීමට නියමිතය.

 

 

මීට පෙර අධිකරණ අමාත්‍යාංශය විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද, විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් ඉහළ නැංවීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වූ අතර, නීතිපතිවරයා වෙත යොමු කෙරුණු නීති කෙටුම්පත් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ වූයේ ඉන් අනතුරුවය.

 

 

මෙම තීරණය හරහා මෙරට අධිකරණ පද්ධතියේ පළපුරුදු විනිසුරුවරුන්ගේ සේවය තවදුරටත් ලබාගැනීමට රජය අපේක්ෂා කරයි.

 

 

කෙසේ වෙතත්, මෙම විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් නීති ක්ෂේත්‍රය තුළ, විශේෂයෙන් නීතිඥ සංගම් සහ විවිධ පාර්ශ්ව අතර පසුගිය දිනවල දැඩි කතිකාවතක් නිර්මාණය වී තිබිණි. විශ්‍රාම වයස දීර්ඝ කිරීම හරහා අධිකරණයේ ස්වාධීනත්වයට සහ විනිසුරුවරුන්ගේ අපක්ෂපාතීත්වයට එල්ල විය හැකි බලපෑම් පිළිබඳව ද එහිදී සමාජය තුළ පුළුල් සංවාදයක් මතු විය. නීතිපති අනුමැතිය හිමිවීමත් සමග මෙම යෝජනාව නීතිගත වීමේ තීරණාත්මක අදියරකට දැන් එළැඹ තිබේ.

 

 

නවතම ලිපි