SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec


සාර්ව ආර්ථික අර්බුදයක් යනු හුදෙක් රාජ්‍ය භාණ්ඩාගාරයේ කඩාවැටීමක් පමණක් නොවේ.

එය සමාජයක තාර්කිකත්වය අභියෝගයට ලක් කරමින්, විකල්ප ධනෝත්පාදන මිරිඟුවන් පසුපස හඹා යාමට ජනතාව පොළඹවන සංකීර්ණ නිමේෂයකි.

 

 

 

matha_building.jpeg AgroVentures

 

 

දශකයකට පෙර මෙරට දේශපාලන සහ මාධ්‍ය අවකාශයේ දැඩි ආන්දෝලනයකට තුඩු දුන් 'කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක්' (CSN) නාලිකාව, අද 'මාතා TV' නමින් යළිත් රූපවාහිනී තිරයට පිවිසීමට සූදානම් වන බව වාර්තා වේ. එහෙත්, මෙම නව විකාශනය හුදු මාධ්‍ය මෙහෙයුමක් ද, නැතහොත් නවීන කෘෂිකාර්මික ආයෝජන ආකෘතීන් සහ දේශපාලන ආර්ථිකය අතර ගැටගැසුණු සංකීර්ණ ප්‍රාග්ධන ව්‍යාපෘතියක් ද යන්න පිළිබඳව විචාරකයෝ ප්‍රබල ප්‍රශ්නාර්ථ මතු කරති.

 

 

senesh_1.jpeg

සෙනේෂ් බණ්ඩාර දිසානායක - නාලිකා ප්‍රධානී

 

 

පවතින මාධ්‍ය වාර්තාවලට අනුව, දිගුකාලීනව අක්‍රීයව පැවති මෙම නාලිකාව වසර 20 ක බදු පදනමක් යටතේ මෙහෙයවීමේ අයිතිය 'Agroventures' ජාලයට අනුබද්ධ 'Business Media International' සමාගම විසින් අත්පත් කරගෙන තිබේ. මෙහිදී ආර්ථික විශ්ලේෂකයින්ගේ දැඩි අවධානයට ලක්ව ඇති ප්‍රධානතම සාධකය වන්නේ, අදාළ නාලිකාව වෙනුවෙන් එහි මුල් හිමිකරුවන්ට ගෙවීමට එකඟ වී ඇතැයි පැවසෙන මාසිකව රුපියල් මිලියන 23.8 ක දැවැන්ත බදු කුලියයි.

 

 

ඩිජිටල් මාධ්‍ය ආක්‍රමණය හමුවේ සාම්ප්‍රදායික රූපවාහිනී නාලිකා දැඩි මෙහෙයුම් අභියෝගවලට මුහුණ දී ඇති පසුබිමක, අලුතින් වෙළඳපොළට පිවිසෙන නාලිකාවක් හුදෙක් වාණිජමය වෙළඳ දැන්වීම් ආදායමෙන් පමණක් මෙතරම් දැවැන්ත පිරිවැයක් පියවා ගන්නේ කෙසේද යන්න තාර්කික ගැටලුවකි. ආර්ථික විද්‍යාත්මක දෘෂ්ටිකෝණයකින් බලන කල, මෙය සාම්ප්‍රදායික මාධ්‍ය ව්‍යාපාර ආකෘතියෙන් ඔබ්බට ගොස්, අවිධිමත් ආර්ථික කලාපයන්හි සංසරණය වන ප්‍රාග්ධනය, නීත්‍යානුකූල මූල්‍ය පද්ධතියක් හරහා විධිමත් කිරීමේ (Money Laundering) උපායමාර්ගික ප්‍රවේශයක් දැයි විමර්ශනය කිරීම බලධාරීන්ගේ වගකීමකි.

 

 

 

nilanga.jpeg

නිලංග කරුණාරත්න - වත්මන් හිමිකරු

 

 

මෙම අතිවිශාල ප්‍රාග්ධන සංසරණයේ මූලාශ්‍රය ලෙස අදාළ සමාගම් ජාලය විසින් ප්‍රසිද්ධියේ පෙන්වා දෙන්නේ ඔවුන්ගේ "වැනිලා කෘෂි-ආයෝජන" ව්‍යාපෘතීන්ය. 2030 වන විට ඩොලර් බිලියනයක වැනිලා අපනයන ආදායමක් අපේක්ෂා කරන බවත්, ආයෝජකයින්ට වසර 5 කින් 120% ක පමණ ඉහළ ප්‍රතිලාභ ලබාදිය හැකි බවත් ඔවුන්ගේ ප්‍රචාරණ යාන්ත්‍රණ හරහා ප්‍රකාශ වේ. එහෙත්, 2024 වසරේදී සමස්ත ශ්‍රී ලංකාවම වැනිලා අපනයනයෙන් උපයා ඇති නිල ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1.07 ක් වැනි සුළු අගයක් ගන්නා විට, එක් ආයතනයක් පමණක් බිලියන ගණනක ප්‍රතිලාභ සහතික කරන්නේ කෙසේද?

 

 

වාණිජ වෙළඳාමේ සැබෑ ලාභාංශ මත පමණක් පදනම්ව මෙය කළ නොහැකි නම්, මෙම ආකෘතිය නඩත්තු වන්නේ අඛණ්ඩව ගලා එන නව ආයෝජකයින්ගේ ප්‍රාග්ධනය මත යැපෙන සම්භාව්‍ය "පොන්සි න්‍යාය" (Ponzi Scheme) මත ද යන්න විමර්ශනය කළ යුතුම කරුණකි.

 

 

 

මෙහිදී වඩාත්ම තීරණාත්මක වන්නේ පවතින නෛතික රාමුවයි. 1988 අංක 30 දරන බැංකු පනතේ (සංශෝධිත) 83 (ඇ) වගන්තිය යටතේ පිරමීඩ ස්වරූපයේ ව්‍යාපාර ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දැඩිව තහනම් කර ඇත. එසේම, මුදල් ව්‍යාපාර පනතේ (Finance Business Act) 2 වන වගන්තියට අනුව, නිසි බලපත්‍රයක් නොමැතිව 'ආයෝජනය කර මාසික ප්‍රතිලාභ ලබාගන්න' යැයි පවසමින් මහජන මුදල් එක්රැස් කිරීම නීතිවිරෝධී අනවසර තැන්පතු භාරගැනීමක් බව මහ බැංකු බලධාරීන් මෑතකදී අවධාරණය කළේය.

 

 

බොහෝ කෘෂි-ආයෝජන ව්‍යාපෘති, 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ සමාගම් රෙජිස්ට්‍රාර්වරයා ලියාපදිංචි වී තිබීම පමණක් පලිහක් කරගනිමින් තමන් නීත්‍යානුකූල යැයි පෙන්වීමට උත්සාහ කළද, එය කිසිසේත්ම මහ බැංකුවේ මූල්‍ය නියාමනයට යටත් වීමක් නොවන බව බලධාරීන් නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ. සාම්ප්‍රදායික ඩිජිටල් වත්කම් වෙනුවට, රක්ෂණ ක්ෂේත්‍රයේ අලෙවි ශිල්පක්‍රම හරහා 'ඉඩම් ඔප්පු' නමැති භෞතික වත්කම පෙන්වමින් ජනතාව ආකර්ෂණය කරගැනීම, ඉහත කී නෛතික ප්‍රතිපාදන මගහැර යාමට භාවිතා කරන සූක්ෂ්ම මනෝවිද්‍යාත්මක උපායක් ද යන්න නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල අවධානයට ලක්විය යුතුය.

 

 

මීට පෙර මෙවැනිම කෘෂි-ආයෝජන පසුබිමක් සහිත ව්‍යාපාරිකයෙකු විසින් "අක්ෂරය TV" (Asia TV) රූපවාහිනී නාලිකාවක් අත්පත් කරගැනීමට ගත් උත්සාහය, රාජ්‍ය බුද්ධි අංශවල ආරක්ෂක නිෂ්කාශන (Security Clearance) මත අත්හිටුවීමට බලධාරීන් පියවර ගත් බව වාර්තා විය. එසේ තිබියදී, මූල්‍යමය ප්‍රායෝගිකත්වය පිළිබඳ මෙතරම් ගැටලු සහගත ආකෘතියක් නියෝජනය කරන පාර්ශ්වයකට, දේශපාලනිකව අතිශය සංවේදී 'CSN' නාලිකා මෙහෙයුමක් සඳහා අනුමැතිය හිමිවන්නේ කෙසේද යන්න පිළිබඳව දේශපාලන විචාරකයෝ ප්‍රශ්න කරති.

 

 

 maatha_tv_nalinda.jpeg

 

 

 

2024/2025 ජාතික අවදානම් තක්සේරුව (National Risk Assessment on Money Laundering) මගින් ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය (FIU) පෙන්වා දී ඇති පරිදි, සංවිධානාත්මක මූල්‍ය ක්‍රියාකාරකම් ජාතික ආර්ථිකයට දැවැන්ත අවදානමක් එක් කරයි.

 

රූපවාහිනී තිරයකට ජාතියක් ආලෝකමත් කළ හැකිය. එසේත් නැතිනම් යථාර්ථය වසන් කර මනෝරාජික ෆැන්ටසියක ජනතාව අන්ධ කළ හැකිය.

 

 

 

ප්‍රජාතන්ත්‍රවාදී මාධ්‍ය නිදහසේ වෙස්මුහුණ පැළඳගෙන, සැකකටයුතු ප්‍රාග්ධන ජාලයන් රාජ්‍යයේ මූල්‍ය ස්ථාවරත්වය අනතුරේ හෙළමින් සිටින්නේ දැයි සෙවීම බලධාරීන්ගේ වගකීමකි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සහ මූල්‍ය බුද්ධි ඒකකය ඵලදායී පූර්ව නිවාරණ ක්‍රියාමාර්ග නොගතහොත්, අනාගතයේදී සිදුවිය හැක්කේ දහස් ගණනක් අහිංසක ජනතාවගේ ජීවිතවල ඛේදනීය කඩාවැටීමයි. සැබෑ ඛේදවාචකය වන්නේ, නීතිය නිදාගන්නා සමාජයක, මිථ්‍යාවට අන්ඳවන ඇඳුම යථාර්ථයට වඩා විචිත්‍රවත් වීමය.

 

 

 

# නිරෝමි සුබ්‍රමනියම්

 

නවතම ලිපි