වෛද්‍ය උපාධි පාඨමාලා සඳහා සිසුන් ඇතුළත් කරගැනීමේ ජාතික මට්ටමේ ප්‍රවේශ විභාගයේ
ප්‍රශ්න පත්‍ර පිටවීම කිසිසේත් සුළුවෙන් තැකිය නොහැකි බවත්, ඒ සම්බන්ධයෙන් කඩිනම් විමර්ශන සිදුකර වරදකරුවන්ට දඬුවම් ලබා දෙන බවත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසයි.
අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ වීඩියෝ පණිවුඩයක් නිකුත් කරමිනි. පසුගිය මැයි 3 වනදා පැවැත්වුණු මෙම ප්‍රවේශ විභාගයේ ප්‍රශ්න පත්‍ර ඊට පැය කිහිපයකට පෙර පිටවීම හේතුවෙන් ඉන්දියාව පුරා විශාල කැළඹීමක් සහ විරෝධතා රැල්ලක් නිර්මාණය විය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය මෝදි සඳහන් කළේ, ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධිය රටේ තරුණ තරුණියන්ට මෙන්ම සමස්ත රටටම බලපාන කරුණක් බවත්, එය විභාගයට මුහුණ දුන් ලක්ෂ සංඛ්‍යාත සිසුන්ට සහ මාපියන්ට දැඩි වේදනාවක් ගෙන දුන් බවත්ය. තරග විභාග සහ ප්‍රශ්න පත්‍ර පිටවීම් පිළිබඳ සියලු චෝදනා සම්බන්ධයෙන් රජය විමර්ශන සිදු කරන බවත් වරදකරුවන්ට දඬුවම් දෙන බවත් ඔහු අවධාරණය කළේය.
එමෙන්ම, මෙවැනි සිදුවීම් වැළැක්වීම සහ නීතිමය පියවර කඩිනම් කිරීම සඳහා නව පනත් කෙටුම්පතක් සම්මත කර ගැනීමට බලාපොරොත්තු වන අතර, ඒ හරහා පාලන තන්ත්‍රයේ සහ සංවර්ධන කටයුතුවල ප්‍රතිසංස්කරණ කිහිපයක් හඳුන්වා දීමට ද අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

