රජයේ යෝජිත NGO නියාමන පනත පිළිබඳ සුභවාදී දැක්මක්!
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන (NGO) අද වන විට සමාජ
සත්කාරක මුහුණුවරින් ඔබ්බට ගොස්, රටේ නීතිය, ආරක්ෂාව හා ආර්ථිකය අභියෝගයට ලක් කරන ප්‍රබල ජාලයක් බවට පත්ව ඇත. මේ හේතුවෙන්, රජය විසින් යෝජනා කර ඇති නව රාජ්‍ය නොවන සංවිධාන නියාමන පනත හුදු දේශපාලන අවශ්‍යතාවයක් නොව, ජාතික ආරක්ෂාව සහ ආර්ථික විනිවිදභාවය වෙනුවෙන් ගත යුතුම තීරණාත්මක පියවරක් බවට පත්ව තිබේ.
රුපියල් බිලියන 67ක අතුරුදහන් වූ ධනය සහ මුදල් විශුද්ධිකරණය (Money Laundering)
රාජ්‍ය නොවන සංවිධාන ජාතික ලේකම් කාර්යාලයේ දත්තවලට අනුව, වසරකට විදේශයන්ගෙන් මෙරටට ගලා එන සමස්ත අරමුදල් ප්‍රමාණය රුපියල් බිලියන 100කට ආසන්නය. එහෙත් නීත්‍යානුකූලව ලියාපදිංචි වී, විනිවිදභාවයකින් යුතුව වාර්තා වන්නේ ඉන් රුපියල් බිලියන 33ක් පමණි. කිසිදු රාජ්‍ය අධීක්ෂණයකින් තොරව සංසරණය වන ඉතිරි රුපියල් බිලියන 67ක දැවැන්ත මූල්‍ය කන්දරාව ගමන් කරන්නේ කොහේද? මෙය පැහැදිලිවම නීත්‍යානුකූල ආයතන ලේබලයට මුවා වී කළු සල්ලි සුදු කිරීමේ (Money Laundering) විවෘත දොරටුවකි. මෙම මූල්‍ය අරාජිකත්වය වහාම නතර කිරීමට දැඩි රාජ්‍ය මැදිහත්වීමක් අත්‍යවශ්‍ය වේ.
අසීමිත වැටුප්, බදු වංචා සහ දුප්පත්කම විකිණීම
විදේශයන්ගෙන් ලැබෙන මෙම ඩොලර් ආධාරවලින් 50%කටත් වඩා වැඩි ප්‍රමාණයක් වැය වන්නේ ග්‍රාමීය ජනතාවගේ දරිද්‍රතාවය තුරන් කිරීමට නොව, අදාළ සංවිධානවල අධ්‍යක්ෂවරුන්ගේ සුඛෝපභෝගී ජීවිත නඩත්තු කිරීමට සහ කොළඹ කේන්ද්‍රීය තරු හෝටල්වල සම්මන්ත්‍රණ පැවැත්වීමටය.
ග්‍රාමීය ජනතාවගේ දුක විකුණා ඩොලර් ගෙන්වා ගන්නා මෙම ආයතන, තමන්ගේ නිලධාරීන්ට අසීමිත වැටුප් පරිමාණයන් ලබා දෙති. විස්මයට කරුණ නම්, මෙම දැවැන්ත වැටුප් සහ වරප්‍රසාද සඳහා ඔවුන් බොහෝවිට නිසි පරිදි රජයට බදු (Taxes) නොගෙවීමයි. සමාජ සේවයේ නාමයෙන් බදු සහන ලබමින් පෞද්ගලික ධනය ගොඩගසා ගන්නා මෙම ව්‍යාපාරික ආකෘතිය තවදුරටත් ඉවසිය යුතු නැත.
ඊනියා මානව හිමිකම් සහ ජාතික ආරක්ෂාවට ඇති තර්ජනය
මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය යනු අතිශය උතුම් සංකල්පයන් වුවද, අද වන විට ඇතැම් NGO සංවිධාන එම වචන භාවිතා කරන්නේ රට විකුණාගෙන කෑමේ ඊනියා ආවරණයක් ලෙසිනි. රටේ ජාත්‍යන්තර ප්‍රතිරූපය විනාශ වන ආකාරයේ අතිශයෝක්තියෙන් යුත් වාර්තා සකස් කරමින්, ඒ හරහා ඩොලර් උපයා ගැනීම ඔවුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය වී ඇත.
ඕනෑම ස්වෛරී රාජ්‍යයක ජාතික ආරක්ෂාව ප්‍රමුඛ වේ. එබැවින්, මෙම සංවිධාන ගම් මට්ටමින් සහ ජාතික මට්ටමින් සිදුකරන වැඩසටහන්වල සැබෑ අරමුණ කුමක්ද යන්න පිළිබඳව ආරක්ෂක සහ විදේශ කටයුතු අමාත්‍යාංශවල පැහැදිලි විවරණයක් සහ නිරීක්ෂණයක් තිබීම අනිවාර්යයකි.
නව පනතක් හරහා දැඩි පාලනයක්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ ජාත්‍යන්තර ප්‍රමිතීන් (FATF) මගින් පවා නීති විරෝධී මූල්‍ය සංසරණය පාලනය කිරීම ශ්‍රී ලංකාවට අනිවාර්ය කර ඇත. ඒ සඳහා යෝජිත නව පනත හරහා 'වගකිවයුතු නිලධාරියෙකු' පත් කිරීම, ඩිජිටල් ද්වාර හරහා මූල්‍ය වාර්තා අනිවාර්ය කිරීම සහ මහ බැංකු අධීක්ෂණය යටතට ඔවුන්ව පත් කිරීම කාලෝචිතය.
ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් පෙනී සිටිමින් රටේ ස්වෛරීත්වයට හානි කරන, කළු සල්ලි ගෙන එන සහ තමන්ගේ පෞද්ගලික ධනය තර කරගන්නා රාජ්‍ය නොවන සංවිධාන නියාමනය කිරීම පමණක් නොව, එවැනි කඩාකප්පල්කාරී ආයතන වහාම තහනම් කිරීමට තරම් රාජ්‍ය යාන්ත්‍රණය ශක්තිමත් විය යුතුය. සැබෑ ලෙසම සමාජයට සේවය කරන පාරදෘශ්‍ය සංවිධානවලට නව නීතියෙන් කිසිදු බාධාවක් නොවන අතර, වංචනිකයින්ට මේ හරහා තම කඳවුරු අකුලාගැනීමට සිදුවනු ඇත. ශ්‍රී ලංකාවට දැන් අවශ්‍ය වන්නේ රට විකුණන ඊනියා නිදහස නොව, රටේ සම්පත් සහ අභිමානය සුරකින යකඩ මෙන් ශක්තිමත් නියාමන රාමුවකි.
# නිරෝමි සුබ්‍රමනියම්

