SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

චීන සමූහාණ්ඩුවේ (තායිවානයේ) නවතම වීසා ප්‍රතිපත්තියට අනුව, ශ්‍රී ලාංකිකයින් සඳහා

සංචාරක වීසා (Tourist Visa) නිකුත් කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට තායිවාන විදේශ කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

 

 

කෙසේ වෙතත්, තායිවාන රජයේ ආයතනයක නිල ආරාධනා, ව්‍යාපාරික කටයුතු, හුවමාරු වැඩසටහන්, ඥාතීන් බැලීමට යාම සහ වෛද්‍ය ප්‍රතිකාර වැනි විශේෂිත අවශ්‍යතා සඳහා තවදුරටත් වීසා ලබාගැනීමේ හැකියාව පවතී. මෙම අයදුම්පත් ඉන්දියාවේ චෙන්නායි හි හෝ සිංගප්පූරුවේ පිහිටි තායිපේ ආර්ථික හා සංස්කෘතික මධ්‍යස්ථාන හරහා පමණක් යොමු කළ යුතු අතර, ඒ සඳහා තායිවානයේ පදිංචි ඇපකරුවෙකුගේ සහතික කළ ලිපියක් ඇතුළු දැඩි මූල්‍ය සහ නීතිමය ලියකියවිලි ගණනාවක් ඉදිරිපත් කිරීම අනිවාර්ය කර තිබේ.

 

 

මෙම වීසා අත්හිටුවීම හුදෙක් ආගමන විගමන නීති වෙනස් කිරීමකට වඩා කලාපීය භූ දේශපාලනික සහ සංකීර්ණ ආරක්ෂක කරුණු මත පදනම් වූ රාජ්‍ය තාන්ත්‍රික පියවරක් බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

 

 

ශ්‍රී ලංකාව තායිවානය ස්වාධීන රාජ්‍යයක් ලෙස පිළිනොගන්නා අතර, අනුගමනය කරන්නේ චීනය විසින් ප්‍රවර්ධනය කරන 'එකම චීනයක්' (One China) ප්‍රතිපත්තියයි. මෑත කාලීනව ශ්‍රී ලංකාව සහ චීනය අතර වර්ධනය වී ඇති සමීප දේශපාලන සහ ආර්ථික සබඳතා මෙන්ම කලාපීය බල තුලනය තුළ ශ්‍රී ලංකාව චීනයට දක්වන දැඩි නැඹුරුව මීට ප්‍රධාන පදනමක් වී ඇත.

 

 

ඊට අමතරව, මෑත කාලීනව ගිනිකොනදිග හා දකුණු ආසියානු කලාපය පුරා ව්‍යාප්ත වූ සයිබර් අපරාධ, සංචාරක වීසා අවභාවිත කරමින් සිදුවන නීතිවිරෝධී රැකියා ජාවාරම් (Scam Centers) සහ අක්‍රමවත් සංක්‍රමණ පාලනය කිරීමේ දැඩි ආරක්ෂණ පියවරක් ලෙසද තායිවාන බලධාරීන් මෙලෙස දේශසීමා නීති දැඩි කිරීමට පෙළඹී තිබේ.

 

 

 

මීට පෙර, 'එකම චීනයක්' ප්‍රතිපත්තිය දැඩිව අනුගමනය කිරීම හේතුවෙන් කාම්බෝජ ජාතිකයින්ට ලබා දී තිබූ වීසා පහසුකම් ද තායිවානය විසින් මෙලෙසම අත්හිටුවන ලදී. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ද තායිවානය අනුගමනය කර ඇත්තේ මෙවැනිම රාජ්‍ය තාන්ත්‍රික අනතුරු ඇඟවීමක් බව පෙනී යන අතර, නව වීසා සීමාවන් ව්‍යාපාරික කටයුතු සඳහා ඍජුවම බලනොපෑවත්, සමස්තයක් ලෙස දෙරට අතර අනාගතයේ සිදුවන ආයෝජන, වෙළඳ ගනුදෙනු සහ සිවිල් සබඳතා කෙරෙහි මෙම තීරණය අහිතකර ලෙස බලපෑ හැකි බවට තායිපේ සහ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.

 

නවතම ලිපි