SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

බාල ඖෂධ ලබාදී රජයට රුපියල් කෝටි ගණනක වංචාවක් සිදුකළ බවට චෝදනා ලබමින්

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පුද්ගලයින් දොළොස් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති ඉමියුනෝග්ලොබියුලීන් නඩුවේ ඊයේ (14) විභාගය, මෙරට සෞඛ්‍ය පරිපාලන යාන්ත්‍රණයේ පවතින බිහිසුණු ඛේදවාචකය අධිකරණය හමුවේ නිරාවරණය කළ අතිශය තීරණාත්මක දිනයක් විය. අද (15) දිනට නියමිත නඩු විභාගය සඳහා ප්‍රබල පූර්ව සටහනක් සපයන මෙම කරුණු දැවැන්ත රාජ්‍ය මූල්‍ය වංචාවක යටගිය සත්‍යය මනාව පැහැදිලි කරයි.

 

 

 

පැමිණිල්ලේ 155 වන සාක්ෂිකරු වන වෛද්‍ය සැපයීම් ඒකකයේ සෞඛ්‍ය කළමනාකාර සහකාර කෝරාධිපති නිහාල් රංජිත්ගෙන් හරස් ප්‍රශ්න ඇසීම ආරම්භ කළ පළමු වන උත්තරකාර සුදත් ජානක ප්‍රනාන්දු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හරේන්ද්‍ර භාණගල, රාජ්‍ය නිලධාරීන් මිලියන ගණනක ගනුදෙනු අනුමත කිරීමේදී කටයුතු කර ඇති යාන්ත්‍රික සහ වගකීම් විරහිත ස්වභාවය මැනවින් ඉස්මතු කළේය.

 

 

imu_14_1.jpeg

 

 

සැපයුම්කාර සමාගමේ නාමය අදාළ ලේඛනවල 'අයිසොලෙස් බයෝටෙක් ෆාමා ඒජී' සහ 'අයිසොලෙස් බයෝටෙක් ෆාමා ඒජී ලිමිටඩ්' ලෙස වෙනස් වෙමින් සටහන්ව තිබීම සම්බන්ධයෙන් විත්තිය දැඩිව ප්‍රශ්න කළද, සාක්ෂිකරු ලබාදුන් පිළිතුර හරහා පහළ පරිපාලනයේ අත්තනෝමතිකභාවය පැහැදිලි විය.

 

නීතිඥ ;

ඔබ කියන්නේ නම ඔබට අදාල කාරණයක් නොවන බවද?

සාක්ෂිකරු ;

මම සලකා බැලිය යුතු PO අංකයයි


නීතිඥ ;

price conform ගැන සලකා බැලිය යුතු නැද්ද?


සාක්ෂිකරු ;

ලිපි ශීර්ෂයේ නම තියෙනවා. මම PO අංකය ඇතුල් කළාට පෙන්වන කරුණු අනුව මගේ දත්ත ඇතුල් කරනවා

 

 

මෙහිදී මැදිහත් වූ සභාපති විනිසුරුවරයා, "කවර නමකින් තිබුණත් මුදල් ගෙවනු ලබන්නේ වව්චර් අංකයට වන බැවින් නමේ වෙනස්කම් බලපානු නොලබයි" යනුවෙන් කළ දැනුම්දීම හරහා, ආයතනික පද්ධතිය තුළ සැපයුම්කරුවන්ගේ අනන්‍යතාවයට වඩා හුදෙක් වව්චර් අංක හරහා පමණක් මුදල් ගෙවීමට නිර්මාණය වී ඇති ත්‍රාසජනක වටපිටාව මනාව තහවුරු විය.

 

 

විත්තියේ නීතිඥවරයා සිය හරස් ප්‍රශ්න මගින් වෛද්‍ය සැපයීම් අංශයේ අතීත කළු පැල්ලම් ද අධිකරණය හමුවට ගෙන ආවේය. මීට පෙර වෙනත් සැපයුම්කරුවෙකු (ABC Pharma) හරහා ඖෂධ ලබාදීමේදී රෝගීන් 64 දෙනෙකුට ඒඩ්ස් වැළඳුණු බව කියන ඛේදවාචකය පිළිබඳව දන්නවාදැයි විමසූ විට සාක්ෂිකරු ඊට පිළිතුරු දුන්නේ "මම දන්නෙ නැහැ" යනුවෙනි. මෙය සමස්ත පරිපාලන යාන්ත්‍රණයම අතීත අත්දැකීම්වලින් පාඩම් ඉගෙන නොගන්නා බවට කදිම නිදසුනකි.

 

 

තවද, දෙවන චූදිත වෛද්‍ය කපිල වික්‍රමනායක වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ලක්ෂණ බණ්ඩාර සිදුකළ හරස් ප්‍රශ්න ඇසීමේදී අදාළ රාජ්‍ය ගනුදෙනුවල නීත්‍යානුකූලභාවය මුළුමනින්ම කඩා වැටී ඇති බව ඔප්පු කෙරිණි.

නීතිඥ ;

මෙි පැ 324 ලේඛනයේ කාගේ හෝ අත්සනක් තිබෙනවද?


සාක්ෂිකරු ;

නැහැ ස්වාමීනි.


නීතිඥ ;

දිනයක් සටහන් කලාද?


සාක්ෂිකරු ;

නැහැ


නීතිඥ;

ඔබ විසින් NMRA යොමු කළාද?


සාක්ෂිකරු ;

නැහැ ස්වාමීනි

 

Close up of a Doctor making a vaccination in the shoulder of patient, Flu Vaccination Injection on Arm, coronavirus, covid-19 vaccine disease preparing for human clinical trials vaccination shot.

 

අත්සනක් හෝ දිනයක් නොමැතිව, මෙන්ම අනිවාර්යයෙන් ලබාගත යුතු ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) අනුමැතියට පවා යොමු නොකර රුපියල් කෝටි ගණනක ලේඛන සකස් වීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ පරිපාලන දුර්වලතාවයේ උච්චතම අවස්ථාව සනිටුහන් කළේය. ඊටත් වඩා විමතිය දනවන කරුණ වූයේ, රුපියල් මිලියන 3.5කට අධික ප්‍රමාද ගාස්තුවක් පවා නැවත වංචනික සැපයුම්කරුට ලබාදීම සඳහා වව්චර සකස් කර ඇති බවට විත්තිය විසින් සාක්ෂිකරුට යෝජනා කිරීමයි.

 

 

මෙම නඩු විභාගයේ දිශානතිය මුළුමනින්ම වෙනස් කළ සුවිශේෂීම හෙළිදරව්ව සිදු කරනු ලැබුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම විසිනි. ප්‍රධාන සැපයුම්කරු සමග සම්බන්ධීකරණය කළ බව කියන සාක්ෂිකරුගේ රාජකාරි පැටිකිරිය ඇය අධිකරණය හමුවේ දිගහැරියාය.

 

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ;

ඔබට ලේඛන වෙනස් කිරීමේ සිද්ධියකට දඬුවම් ලැබුණද?


සාක්ෂිකරු ;

ඔව් වැටුප් අත්හිටුවීමක් ලැබුණා.


නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ;

ඔබ පළමු චූදිත සමග පැවැත්වූ දුරකථන සබඳතා ගැන විමසුවා.


සාක්ෂිකරු ;

ඔව් ස්වාමීනි. මම තමයි ඉහළ කළමනාකරුවන් සමග පවා පවා සම්බන්ධීකරණය කළේ. ඒ නිසයි ඇමතුම් ගත්තේ.

 

 

ලේඛන වෙනස් කිරීම සම්බන්ධයෙන් විනය දඬුවම් ලැබූ නිලධාරියෙකු අතින් මෙවැනි දැවැන්ත ව්‍යාපෘතියක ලේඛන කටයුතු සිදුවීමත්, ඔහු ප්‍රධාන චූදිතයා සමග ඍජු දුරකථන සබඳතා පවත්වා තිබීමත් හරහා මෙම වංචාව හුදු අත්වැරදීමක් නොව සැලසුම් සහගත එකක් බව පැමිණිල්ල මැනවින් තහවුරු කළේය.

 

අනතුරුව 175 වන සාක්ෂිකරු වන වෛද්‍ය සැපයීම් අංශයේ ප්‍රධාන ගණකාධිකාරී සවින්ද කුරේ ගෙන් පැමිණිල්ල සාක්ෂි කැඳවූ අතර, එහිදී ඉහළම පරිපාලන තන්ත්‍රයේ සෘජු බලපෑම ලිඛිතවම අනාවරණය විය. ඉන්දියානු ණය යෝජනා ක්‍රමය (ICL) යටතේ හදිසි මිලදී ගැනීම් සඳහා පමණක් අනුමැතිය තිබියදී, එය උල්ලංඝනය කරමින් සිදුකළ අත්තනෝමතික ගෙවීම් නියෝගයක් එහිදී ප්‍රශ්න කෙරිණි.

 

 

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ;

යටින්ම ඇති සටහන් දෙකෙන් දකුණු පස ඇති අත්සන කාගෙද?


සාක්ෂිකරු ;

සෞඛ්‍ය ලේකම්


නියෝජ්‍ය සොළිසිටර් ජනරාල් වරිය ;

එම සටහනේ කියලා තියෙන්නේ කුමක්ද.?


සාක්ෂිකරු ;

මිලියන 50ක් ගෙවන්න කියලා තියෙනවා.


නියෝජ්‍ය සොළිසිටර් ජනරාල්වරිය ;

කවදද කාටද?


සාක්ෂිකරු ;

ජූනි 14 වැනිදා, අයිසොලෙස් බයෝටෙක් ෆාමා සමාගමට.

 

 

කිසිදු ප්‍රමිතියකින් තොර ඖෂධ වෙනුවෙන්, අමාත්‍යාංශයේ විගණන සහ ප්‍රසම්පාදන නීති සියල්ල බිඳදමමින් රුපියල් මිලියන 50ක් ගෙවීමට එවකට සෞඛ්‍ය ලේකම්වරයා ලබාදී ඇති මෙම සෘජු ලිඛිත නියෝගය අද (15) දින පැවැත්වෙන නඩු විභාගයේදී විත්තියට මුහුණදීමට සිදුවන ප්‍රබලතම සාක්ෂියක් වනු නිසැකය. පහළ නිලධාරීන්ගේ කූට ලේඛන පරිහරණයත්, ඉහළ නිලධාරීන්ගේ සෘජු මුදල් ගෙවීමේ නියෝගත් යන සියල්ල එක්ව නිර්මාණය කළ මේ මහා පරිපාලන ඛේදවාචකයේ තවත් අඳුරු පැතිකඩ රැසක් ඉදිරි නඩු වාරයේදී නිරාවරණය වීමට නියමිතය.

 

 

imu_14_2.jpeg

 

 

නඩු වාර්තාව
2026/07/14

 

බාල ඖෂධ ලබාදී රජයට වංචා සිදු කළයි හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පුද්ගලයින් දොළොස් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුව ඊයේ (14) විභාගයට ගැනුණු අවස්ථාවේ පළමු වන උත්තරකාර සුදත් ජානක ප්‍රනාන්දු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ හරේන්ද්‍ර භාණගල පැමිණිල්ලේ 155 වන සාක්ෂිකරු වන වෛද්‍ය සැපයීම් ඒකකයේ සෞඛ්‍ය කළමනාකාර සහකාර කෝරාධිපති නිහාල් රංජිත්ගෙන් හරස් ප්‍රශ්න ඇසීම ආරම්භ කළේය.

 

නීතිඥ ; ඔබ රාජකාරි කරන සැපයුම් අංශයෙන් සැපයුම්කරුවන් අසාදු ලේඛනගත කරනවද?

සාක්ෂිකරු ; නැහැ මෙය අප අංශය භාරයේ තිබූ ලියුමක්

නීතිඥ ; අයිතම දෙකට අදාළ ගොනුවක තමයි තිබුනේ එය පැහැදිලි කරන්න

සාක්ෂිකරු ; මේ පිටපත් ගොනු අප සකස් කර ගත්තේ මුල් පිටපත්වල ඡායා පිටපත් හැටියටයි. මුල් පිටපත් සීඅයිඩී එකෙන් අරන් ගියා. අප සකස් කරගත් පිටපත් ගොනුව වෛද්‍ය සැපයීම ඒකකයේ තියෙනවා.

නීතිඥ ; ඔබ සාක්ෂි දෙද්දි අයිතම දෙකක් ගැන කිව්වා ඒ මොනවද?

සාක්ෂිකරු ; හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් සහ රිටක්සිමැබ්

නීතිඥ ; සාක්ෂි දීපු විදියට ප්‍රශ්න මතුවුණාම තමයි අසාදු ලේඛන ලිපි දෙක ගත්තේ. දින වකවාණු දන්නවද

සාක්ෂිකරු ; නැහැ ස්වාමීනි

නීතිඥ ; කොයි කාලෙද ?

සාක්ෂිකරු ; 2022 කාලයේ ආපු ලේඛනයක්

නීතිඥ ; ඔබ දැක්කද?

සාක්ෂිකරු ; ස්ථීරව කියන්න බැහැ. ලියුම දකින්න ඕන

නීතිඥ ; පැ 341, පැ 338 වව්චර් දෙකක් ලකුණු කර තිබෙනවා. ඒ ලේඛන දෙකේම ඉන්වොයිස් මත මුද්‍රා තබලද?

සාක්ෂිකරු ; එසේය ස්වාමීනී

නීතිඥ ; 338 ලේඛනය මත ඔබ විසින් price conform මුද්‍රාව තබා තිබෙනවා. එය තබද්දි සැලකිලිමත් වන කාරණ ගැන අවබෝධයෙන්ද මුද්‍රාව තැබුවේ?

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී

නීතිඥ ; අයිසොලෙස් බයෝටෙක් ෆාමා ලිපි ශීර්ෂය කුමක්ද?

සාක්ෂිකරු ; එහි අයිසොලෙස් බයෝටෙක් ෆාමා ඒජී කියලා තියෙනවා

නීතිඥ ; price conform මුද්‍රාවට දකුණු පසින් වක්‍ර මුද්‍රාව මත කුමක්ද තියෙන්නේ??

සාක්ෂිකරු ; එහි තියෙන්නෙත් අයිසොලෙස් බයෝටෙක් ෆාමා ඒජී කියලයි.

නීතිඥ ; 335 ලේඛනය බලන්න. එහි ශීර්ෂය කුමක්ද?

සාක්ෂිකරු ; අයිසොලෙස් බයෝටෙක් ෆාමා ඒ ජී තමයි

නීතිඥ ; 341 ලේඛනයෙත් එහි කුමක්ද තියෙන්නේ?

සාක්ෂිකරු ; ඒකේ මැකිලා පේන්නේ නැහැ ෆොටෝ කොපියක් නිසා.

(93 ගොනුවෙන් මුල් පිටපත පෙන්වයි)

සාක්ෂිකරු ; එහි තියෙන්නේත් අයිසොලෙස් බයෝටෙක් ෆාමා ඒ ජී කියලයි.

නීතිඥ ; එහි ඔබේ මුද්‍රාවක් තිබෙනවා

සාක්ෂිකරු ; එසේය ස්වාමීනී

නීතිඥ ; එහි වක්‍ර මුද්‍රාවේ තිබෙන්නේ කුමක්ද?

සාක්ෂිකරු ; අයිසොලෙස් බයෝටෙක් ෆාමා, ඒ ජී කියලා.

නීතිඥ ; 320 පිටුව පෙරලන්න. 344 A ලේඛනය බලන්න. එහි අග ඇති මුද්‍රාවේ කුමක්ද තියෙන්නේ?

සාක්ෂිකරු ; අයිසොලෙස් බයෝටෙක් ෆාමා ඒජී ලිමිටඩ් කියලයි .

නීතිඥ ; ඔබ බැලුවද ඒජී හා ඒජී ලිමිටඩ් වශයෙන් තියෙන බව?

සාක්‍ෂිකරු ; මම වැදගත් ඒකක වල හා ගැනුම් මැනුම් වල තොරතුරුයි. මම PO අංකය පරිගණකයට ඇතුල් කළාම එහි සැපයුම් කරුගේ විස්තර ලැබෙනවා. මා අදාල කරුණු ඇතුළත් කරනවා. මට වැදගත් ඒ ටිකයි.

සභාපති විනිසුරු ; කවර නමකින් තිබුණත් මුදල් ගෙවනු ලබන්නේ වව්චර් අංකයට වන බැවින් නමේ වෙනස්කම් බලපානු නොලබයි.

නීතිඥ ; ඔබ කියන්නේ නම ඔබට අදාල කාරණයක් නොවන බවද?

සාක්ෂිකරු ; මම සලකා බැලිය යුතු PO අංකයයි

නීතිඥ ; price conform ගැන සලකා බැලිය යුතු නැද්ද?

සාක්ෂිකරු ; ලිපි ශීර්ෂයේ නම තියෙනවා. මම PO අංකය ඇතුල් කළාට පෙන්වන කරුණු අනුව මගේ දත්ත ඇතුල් කරනවා

නීතිඥ ; නම කියන කොටස?

සාක්ෂිකරු ; ඒ කොටස පද්ධතියට ඇතුල් කරලා තියෙන්නේ තොග පාලන අංශයේ ඕඩර් ලිස්ට් එකෙන් හා ඇනවුම නිකුත් කරද්දී

නීතිඥ ; මේ ඔබ කියන්නේ price conform මුද්‍රාව තබද්දී රාජකාරියට අදාළ කරුණු ඇත්නම් සෑහීමට පත්වන බවද? GRN ලේඛන බලන්නෙ නැද්ද?

සාක්ෂිකරු ; GRN ලේඛනයේ මිල සඳහන් වෙන්නේ නැහැ. මගේ රාජකාරිය අවසන් වන තුරු GRN දෙන්න බැහැ

නීතිඥ ; GRN එකෙන් පසුවද ඉන්වොයිස් නිකුත් කරන්නේ?

සාක්ෂිකරු ; ඔව්

නීතිඥ ; GRN පිළියෙල කළ පසුවද වව්චර් සකස් කෙරෙන්නේ? ඒ අනුව වව්චර් පත දක්වා නිලධාරීන් තුන් දෙනෙක්

සාක්ෂිකරු ; එසේය ස්වාමීනී. වව්චර පත අපෙන්, GRN ගබඩාවෙන් ප්‍රයිස්, price conform අපෙන්

නීතිඥ ; මේ නිලධාරීන් තිදෙනා සෑහීමකට පත් වූ පසුවයි. මේ ලේඛන නිකුත් කරන්නේ. රාජකාරි පරිචය ගැන සෑහීමකට පත්වෙලා ද කටයුතු කරන්නේ?

සාක්ෂිකරු ; මම මගේ රාජකාරී පරිචය ගැන සෑහීමකට පත්වෙලා කටයුතු කරනවා

නීතිඥ ; මේ පියවර තුනෙන් කුමන හෝ ස්ථානයක ගැටලුවක් තිබුණොත් ගෙවීම් කරනවද?

සාක්ෂිකරු ; අපි කරන්නේ අනුමැතියට ඉදිරිපත් කරන එක

නීතිඥ ; සෑහීමකට පත්නොවී ආපසු එවපු ඒවා තියෙනවද?

සාක්ෂිකරු ; NMRA සහතිකය කල්ඉකුත් වීම නිසා හරවලා යවපුවා තියෙනවා

නීතිඥ ; ඔබේ සේවා කාලයේ මෙම හිඟ විතරද හරවලා යැව්වේ

සාක්ෂිකරු ; check by මුද්‍රා නොමැතිව ආදී අවස්ථාවලත් හරවා යවලා තියෙනවා

නීතිඥ ; ප්‍රමාද ගාස්තු අයවීමකදී ඒ මුදල අඩු කරලද දෙන්නේ?

සාක්ෂිකරු; ඔව් ස්වාමීනි

නීතිඥ ; ඒ ගාස්තු ඔවුන්ගේ ඉල්ලීම මත නැවත දෙන අවස්ථා තියෙනවද?

සාක්ෂිකරු ; සමහර අවස්ථාවල ප්‍රමාද ගාස්තු අය කරන්න අවශ්‍ය නැහැ කියලා දැනුම් දෙන අවස්ථා තියෙනවා. එතකොට අය කරන්නේ නැහැ.

නීතිඥ ; 388 ලේඛනය බලන්න. ඒ අනුව ඖෂධ වලට ගෙවිය යුතු කොපමණද?

සාක්ෂිකරු ; 63468697.28යි

නීතිඥ ; ප්‍රමාද ගාස්තු කොපමණද?

සාක්ෂිකරු ; 3540288යි

නීතිඥ ; මෙහි දහ අට පිටුව බලන්න. මේ වෛද්‍ය සැපයීම ඒකකයට ඉදිරිපත් කළ ලේඛනයක් බව හඳුනාගත හැකිද?

සාක්ෂිකරු ; පුළුවන් ස්වාමීනි

නීතිඥ ; එහි ABC Phama කියලා තියෙනවද ?

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී

නීතිඥ ; ඔබ ඒ අය ගැන දන්නවද?

සාක්ෂිකරු ; ඔව්

නීතිඥ ; ඔවුන් සැපයුම් කටයුතු කරලා තියෙනවද?

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී

නීතිඥ ; මේ මත පැනල්ටි චාජස් කියා සඳහන් වෙනවා නේද? මොකක්ද මේ වවුචරය?

සාක්ෂිකරු ; පොදු 35, මැනුවල් එක යන එකක්

නීතිඥ ; මේවා සකස් කරන්නේ මොකටද?

සාක්ෂිකරු ; සැපයුම්කරුවන්ට දීමේදී භාවිතා කරනවා. මේ නසීර් මහතා අත්සන් කළළ එකක්.

නීතිඥ ; මේවා සකසන බව දන්නවද?

සාක්ෂිකරු ; නැත ස්වාමීනී

(පනස් හතර ගොනුවේ 19 වවුචර් පත්‍රය 1B 32 ලකුණු කෙරේ)

නීතිඥ ; 1B 32 මත වැය විස්තර ලෙස කීයක් සඳහන්ද?

සාක්ෂිකරු ; 35400289ක්

නීතිඥ ; ගෙවීමට අදාළ විස්තරය කියන්න පුළුවන්ද?

සාක්ෂිකරු ; බැහැ ස්වාමීනි, කුමන කාරණයකටද යන්න පැහැදිලි නැහැ

නීතිඥ ; මම යෝජනා කරනවා 1B 32 මත සඳහන් මුදල ඔබ හඳුනාගත් 388 ලේඛනයේ සඳහන් ප්‍රමාද ගාස්තුව නැවත ගෙවීමක් සඳහා සකස් කරන ලද ලේඛනයක් කියා.

සාක්ෂිකරු ; මෙහි ඡායා පිටපත බලලා එය කියන්න පුළුවන් ස්වාමීනී. වව්චර් අංකය සඳහන් නම් කිව හැකියි.

නීතිඥ ; දැන් ඔය පැ 388 කියන වවුචරය මත වෛද්‍ය සැපයීම් අංශයට සපයා ඇති භාණ්ඩ මොනවද කියලා කියන්න පුළුවන්ද? එය පසු පිටේ තියෙනව නේද?

සාක්ෂිකරු ; ඔව් තියනවා. හියුමන් ඉමියුනෝග්ලොබියුලීන්

නීතිඥ ; ඔබ කලින් කීවා ABC Phama ගැන දන්නවා කියලා

සාක්ෂිකරු ; ඔව් දන්නවා ස්වාමීනී

නීතිඥ ; මීට පෙර abc ෆාමා මගින් ඖෂධ සැපයුම් කියලා දන්නවද?

සාක්ෂිකරු ; මගේ රාජකාරී කාලයේ නෙවෙයි.

නීතිඥ ; හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ABC Phama මගින් ලබා දුන් අවස්ථාවේ. එයින් රෝගීන්ට ඒඩ්ස් වැළඳුනා. ඒවායින් රෝගීන් 64 දෙනෙකුට ඒඩ්ස් වැළඳුන බව දන්නේ නැහැ කියන්නේ අසත්‍යයක් කියල මම යෝජනා කරනවා.

සාක්ෂිකරු : මම දන්නෙ නැහැ.

නීතිඥ ; බලන්න පොදු 35. එහි මිනිට් සටහන පසුපස තියෙනවා. කවුද එය ඉදිරිපත් කරන්නේ?

සාක්ෂිකරු ; එහි නසීර්ගේ අත්සන හඳුනාගත හැකියි. ඡායා පිටපතේ අත්සනක ඡායාවක් පේනවා. විෂය ලිපිකරු අනුමැතිය ඉල්ලලා තිබුනත් මුද්‍රාව නැති නිසා ලැබිලද කියන්න බැහැ

නීතිඥ ; ABC Phama සඳහා ඔබ රාජකාරි කරන කාලයේ ලැබුණේ නැත කියා ඔබ කීවා. මේ ප්‍රශ්නගත යයි කියන එකෙන් වෛද්‍ය සැපයීම් අංශයට දුන්නේ කුමන එකදැයි ඔබ දන්නවද?

සාක්ෂිකරු ; නැත ස්වාමීනී

නීතිඥ ; ඒකට අදාල ටෙන්ඩරය ලබා දුන්නේ කවුද?

සාක්ෂිකරු ; දන්නේ නැහැ ස්වාමීනී

නීතිඥ ; අයිසොලෙස් ආයතනයට ලබා දුන් ඇනවුම නැවැත්තුවාම තමයි ABC ආයතනයට එය ලබා දුන්නේ කියලත්, ABC ඇණවුම අයින් කර යළි අයිසොලස් ආයතනයට දුන් බවත් ඔබ දන්නවද?

සාක්ෂිකරු ; දන්නේ නැහැ

නීතිඥ ; ඔබ විසින් ඖෂධ සම්බන්ධව ලිපි ලේඛන සැකසීම් කර තිබෙනවාද?

සාක්ෂිකරු ; එසේය ස්වාමීනී

නීතිඥ ; සංකූලතා ඇතිවූ බව දන්නවාද?

සාක්ෂිකරු ; නැහැ

නීතිඥ ; ඒ ගැන ප්‍රකාශ ලබා දී තිබේද? අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් ගනිද්දි කිව්වද?

සාක්ෂිකරු ; වෛද්‍ය සැපයීම් අංශයෙන් සිදුව ඇතැයි කීවා

නීතිඥ ; මිලදී ගත් ඖෂධයක ප්‍රමිතිය ගැන කියලා ඔබට කිව්වද?

සාක්ෂිකරු ; දැනුවත් කිරීමක් කලා දැන් මතක නැහැ.

නීතිඥ ; ඖෂධ ගැටලුවකදී සීඅයිඩී යට විමර්ශන කළ නොහැකි බව ඔබ දන්නවද?

සාක්ෂිකරු ; නැහැ ස්වාමීනි

නීතිඥ ; හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ප්‍රශ්නකාරී කියා ඔබ දන්නවද?

සාක්ෂිකරු ; මගේ රාජකාරී වටපිටාවට අදාළ නැති නිසා බැලුවේ නැහැ.

නීතිඥ ; ඔබට යන්තම් හෝ දැනුමක් ඒ පිළිබඳව තිබුණෙ නෑ කියලද ඔබ කියන්නේ?

සාක්ෂිකරු ; ඖෂධයක් මිලදී ගැනීමේදී ආක්‍රමිකතාවයක් සිදුව ඇති බව දැන ගත්තා

දෙවන චූදිත වෛද්‍ය කපිල වික්‍රමනායක වෙනුවෙන් නීතිඥ චමින්ද අතු කෝරළ සමග පෙනී සිටින ලක්ෂණ බණ්ඩාර සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න ඇසීම ආරම්භ කළේය

නීතිඥ ; මෙි පැ 324 ලේඛනයේ කාගේ හෝ අත්සනක් තිබෙනවද?

සාක්ෂිකරු ; නැහැ ස්වාමීනි.

නීතිඥ ; දිනයක් සටහන් කලාද?

සාක්ෂිකරු ; නැහැ

නීතිඥ; ඔබ විසින් NMRA යොමු කළාද?

සාක්ෂිකරු ; නැහැ ස්වාමීනි

නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල් ලක්මිණී ගිරිහාගම පැමිණිල්ලේ හරස් ප්‍රශ්න විමසීම ආරම්භ කරයි.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ; පොදු 35 කියන IV 32 ලේඛනයේ අගය මිලියන 35කට ආසන්නයි නේද?

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඔබගෙන් ඇහුවා නඩුවට අදාලව සකස් කළ වව්චර පත්‍රය ගැන. ICL ව්‍යාපෘතියට අදාළව ඔබත් ගොනු පවත්වාගෙන ගිය බව කීවා. දේශීය සැපයුම්කරුවන් විෂයෙහි සලකා බලන විට ලේඛන කීයක් තියෙනවද?

සාක්ෂිකරු ; කමිටු මිල, ඉන්වොයිසිය, වව්චර්, මිල කමිටුව ආදිය

නීතිඥ ; පවත්වාගෙන ගිය ගොනු අතරින් 93 හා 97 හඳුනා ගත්තා. එය ඉන්වොයිසීය සමග BRN ඇතුළත තිබුණා.

සාක්ෂිකරු ; එසේ ස්වාමීනී

නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල් වරිය ; ඔබෙන් ප්‍රශ්න කළා 97 ගොනුවේ සහ 106 ගොනුවේ ඇති වව්චර පත්‍රය ගැන. වව්චර් පත්‍රවලට අදාළ නිර්දේශය හා අවසරය ලබා ගැනීමේදී ගොනුව සමග ඉදිරිපත් කරන අවස්ථාවේ ඒවා හදන නිලධාරීන්ට අණ කරන්න වෙනවද?

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ඔබට ලේඛන වෙනස් කිරීමේ සිද්ධියකට දඬුවම් ලැබුණද?

සාක්ෂිකරු ; ඔව් වැටුප් අත්හිටුවීමක් ලැබුණා.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ඒ හැර වෙනත් ආකාරයක නඩු පැවරීමක් වුණාද?

සාක්ෂිකරු ; නැහැ ස්වාමීනි

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඔබෙන් ඇහුවා වව්චර්ස් අංශය ගැන සහ සහතික කිරීම ගැන. ඔබ දන්නේ නැහැ කිව්වේ ඇයි?

සාක්ෂිකරු ; මම එම රාජකාරි ගැන දන්නේ නැහැ

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඔබ දිවුරුම් දී අසත්‍ය ප්‍රකාශ කරනවද?

සාක්ෂිකරු ; නැහැ

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ඔබ පළමු චූදිත සමග පැවැත්වූ දුරකථන සබඳතා ගැන විමසුවා.

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි. මම තමයි ඉහළ කළමනාකරුවන් සමග පවා පවා සම්බන්ධීකරණය කළේ. ඒ නිසයි ඇමතුම් ගත්තේ.

මෙම නඩුවේ 175 වන සාක්ෂිකරු වෛද්‍ය සැපයීමංශයේ ප්‍රධාන ඝණකාධිකාරී සහ රාජ්‍ය ඖෂධ සංස්ථාවේ වැඩ බලන සාමාන්‍යාධිකාරීන් සවින්ද කුරේ සාක්ෂි සඳහා කැඳවනු ලැබීය.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගමගේ මෙහෙයවීම යටතේ සාක්ෂිකරු සාක්ෂි දෙමින් මෙසේ කීය.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය; වෛද්‍ය සැපයී අංශයේ, ඖෂධ මිලදී ගැනීමට වැය ශීර්ෂ තිබේද?

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ප්‍රතිපාදන සීමාවන්ට අනුකූලව කටයුතු කරද්දී ප්‍රතිපාදන තුළ කටයුතු කළ යුතුද?

සාක්ෂිකරු ; ඔව්

(93 ගොනුවට අවධානය යොමු කරවයි.)

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරිය ; මේ ගොනුව ඔබලා පවත්වාගෙන යන එකක්ද?

සාක්ෂිකරු ; මේ වව්චර් එකතුවක්

නියෝජ්‍ය සොළිසිටර් ජනාල්වරිය ; 93 හි 12 පිටුව බලන්න. එම ලේඛන ඔබේ අංශයද හදන්නේ.?

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී. මේ වවුචර් ගැන උපලේඛනයක්

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඔබ වැය විෂය කියන්නේ කුමක්ද? මේ ලේඛන මත ඇති අංකය කුමක්ද?

සාක්ෂිකරු ; ලැබෙන ප්‍රතිපාදන වැය කරන වැය ශීර්ෂය 1204. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂය 111. එය මුදල් අමාත්‍යාංශය හඳුන්වා දී ඇති එකක්. 2 කියන්නේ වැඩ සටහන් අංශය. 25 යන්න ව්‍යාපෘතියක් හඟවනවා. 003 උප ව්‍යාපෘතිය.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; වරහන් ඇතුලේ II යොදා තිබුනේ ඇයි?

සාක්ෂිකරු ; මුදල් වර්ගය. දේශීය මුදල්.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; වෛද්‍ය සැපයීම් අංශය විදේශීය මුදලිනුත් ගෙවීම් කරනවද?

සාක්ෂිකරු ; නැත ස්වාමීනි

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; එසේ නම් ABC , WB වැනි ආයතන සමග ගනුදෙනු කරද්දී කෙසේද කරන්නේ?

සාක්ෂිකරු ; ඒවා අපට එන්නේ නැහැ. ආවත් අපට වැය දරන්න වෙන්නේ නැහැ

නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල් වරිය ; පැ 313 ලේඛනය බලන්න. CAMSD කියන්නේ කවුද?

සාක්ෂිකරු ; ප්‍රධාන ඝණකාධිකාරී වෛද්‍ය සැපයීම්

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; එහි රෝම ඉලක්කම් III කියන සටහන කාගේ එකක්ද?

සාක්ෂිකරු ; මගේ එකක්. සෞඛ්‍ය ලේකම්ගේ. අනුමැතිය ඉල්ලු එකක්. මෙය සැපයීම් අංශයෙන් මාවත ආවේ.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; අමාත්‍ය මණ්ඩලයෙන් කුමක් සඳහාද අනුමැතිය ලබාදී තිබුණේ?

සාක්ෂිකරු ; හදිසි මිලදී ගැනීම් සඳහා ICL එකෙන්.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ICL භාවිතා කරන්න කියලා කියන්නේ කොතනද?

සාක්ෂිකරු ; දෙවැනි ඡේදයේ

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; පැ 313 මිනිට් සටහන ඔබේ අනුමැතිය සඳහා ඉදිරිපත් වුනාද?

සාක්ෂිකරු ; ඔව් එවකට ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා. 2022 නොවැම්බර් වෙන විට මා වසරක් පමණ ඔහු සමග වැඩ කර තිබෙනවා තිබෙනවා ගොනු සටහන් මගින්ද දන්නවා.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ඔබ අනුමැතිය ඉල්ලූ කාරණය කුමක්ද?

සාක්ෂිකරු ; මාස තුනක ඖෂධ අතිරික්තයක් තැබීමට EOI ප්‍රසංපාදනයෙන්

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; දෙවන ඡේදයේ කුමක්ද සඳහන්?

සාක්ෂිකරු ; එහි රැස්වීමක් ගැන. එය 2022/10/11 දින පැවැත්වුණා.

නියෝජ්‍ය සොළිසිටර් ජනරාල්වරිය ; ආනයනික තොග මිලදී ගැනීමේදී buy back ක්‍රමය යටතේ මිලදී ගැනීමට අවසර තිබේද.

සාක්ෂිකරු ; නැත ස්වාමීනි

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; අවසර දීලා තියෙන්නේ කොහොම ගන්නද?

සාක්ෂිකරු ; ආනයනය කරන්න

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන තීරණ ගැන එතැන සඳහන් වෙනවද?

සාක්ෂිකරු ; නැත ස්වාමීනි

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; 93 ගොනුවට අවධානය යොමු කරන්න. මෙය ඔබ අංශයේ පවත්වාගෙන ගිය ගොනුවක්ද?

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි. මේ මාසිකව සියලු වව්චර එක්කර හදන ගොනුවක්

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඔබ එය විමර්ශන කටයුත්තට ලබා දුන්නා

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; එහි අංක එක යටතේ ඇති ලේඛනය කුමක්ද? ඔබද එහි සටහන යෙදුවේ?

සාක්ෂිකරු ; ඔව්

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; මෙහි මුල් ලේඛනය කොහෙද තියෙන්නේ?

සාක්ෂිකරු ; මෙහිම තිබිය යුතුයි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; මේ ඔබට ලැබුන ලිපියක්ද?

සාක්ෂිකරු ; ඔව්. නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සැපයුම්ගෙන්

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; නිල මුද්‍රාවක් සහිත ද?

සාක්ෂිකරු ; ඔව් එහි වෛද්‍ය හේරත්ගේ අත්සන තිබෙනවා.

නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල් වරිය ; එය මත ඇති දිනය කවදද?

සාක්ෂිකරු ; 2023 ජූනි 14

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; යටින්ම ඇති සටහන් දෙකෙන් දකුණු පස ඇති අත්සන කාගෙද?

සාක්ෂිකරු ; සෞඛ්‍ය ලේකම්

නියෝජ්‍ය සොළිසිටර් ජනරාල් වරිය ; එම සටහනේ කියලා තියෙන්නේ කුමක්ද.?

සාක්ෂිකරු ; මිලියන 50ක් ගෙවන්න කියලා තියෙනවා.

නියෝජ්‍ය සොළිසිටර් ජනරාල්වරිය ; කවදද කාටද?

සාක්ෂිකරු ; ජූනි 14 වැනිදා, අයිසොලෙස් බයෝටෙක් ෆාමා සමාගමට.

නියෝජ්‍ය සොළිසිටර් ජනරාල්වරිය ; කවුරු හරහා කියලද කිව්වේ?

සාක්ෂිකරු ; ඝණකාධිකාරී, සුවසිරි පාය

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; කුමක් සඳහාද?

සාක්ෂිකරු ; ඉන්වොයිස් 4 ක් සඳහා

නඩුව විභාගය අද (15) පැවැත්වේ.

නවතම ලිපි