SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව මේ වන විට මුහුණ දී ඇති දැවැන්තම අර්බුදයක් වන්නේ

මාර්ගගත ඔට්ටු (Online Betting) සමාගම්වලින් එල්ල වී ඇති දැඩි බලපෑමයි.

 

 

හිටපු ක්‍රිකට් පාලක මණ්ඩලවලට මෙන්ම වත්මන් ක්‍රිකට් පරිවර්තන කමිටුවටද මේ වන විට බරපතළ චෝදනාවක් එල්ල වී තිබේ.

 

 සූදු.jpeg

 

 

ඒ, මෙම නීති විරෝධී හෝ අළු කලාපයේ පවතින ඔට්ටු සමාගම් සඳහා ඔවුන් විසින් වක්‍රව ලබාදෙන සහයෝගය නිසාවෙනි.

 

මෙම තත්ත්වය වඩාත් ප්‍රසිද්ධියේ ඉස්මතු වූයේ මෙවර ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලිය හරහාය.

 

 

එහිදී ඉන්දියාවේ ප්‍රකට මාර්ගගත ඔට්ටු සමාගමක් වන 1XBAT, තරගාවලියේ ප්‍රධාන හවුල්කරුවකු ලෙස එක්කර ගැනීමට බලධාරීන් කටයුතු කර තිබුණි.

 

 

LPL ක්‍රීඩක වෙන්දේසිය ආරම්භ කළ අවස්ථාව මීට කදිම නිදසුනකි.

 

එම වේදිකාවේ ක්‍රීඩා අමාත්‍යවරයා, තරගාවලියේ සම හිමිකරු අනිල් මොහාන් මෙන්ම පරිවර්තන කමිටුවේ නිලධාරීන්ද එකට අසුන්ගෙන සිටියහ.

 

මෙය ඔට්ටු සමාගම් සඳහා මෙරට බලධාරීන් විසින් ලබා දුන් 'නිල පිළිගැනීමක්' ලෙස බොහෝ දෙනා දැඩිව විවේචනය කරති.

 

තත්ත්වය තවත් බරපතළ වන්නේ LPL තරග පැවැත්වෙන අතරතුරදීය.

 

එම තරග වල එක් එක් අවස්ථාවන් ඉලක්ක කරගනිමින් 1XBAT ඇතුළු මාර්ගගත ඔට්ටු සමාගම් ක්ෂණික ඔට්ටු භාරගන්නා බවද වාර්තා වේ.

 

මේ අතර, ශ්‍රී ලංකාව සහභාගි වන ජාත්‍යන්තර ක්‍රිකට් තරගවල රූපවාහිනී සජීවී විකාශනයන්ද මේ වන විට මෙම සමාගම් විසින් ආක්‍රමණය කර ඇත.

 

මෙහිදී පැන නගින ප්‍රධානතම ගැටලුව වන්නේ, ශ්‍රී ලංකාවේ පවතින නීති පද්ධතිය උල්ලංඝනය කරමින් මෙම සමාගම් මාධ්‍ය හරහා ප්‍රචාරණය වන්නේ කෙසේද යන්නයි.

 

ශ්‍රී ලංකාවේ 1889 අංක 17 දරන සූදු ආඥාපනත (Gaming Ordinance) යටතේ නීතිවිරෝධී සූදු ක්‍රීඩාවල නිරත වීම, ඒවා ප්‍රවර්ධනය කිරීම සහ ඒ සඳහා පහසුකම් සැලසීම දඬුවම් ලැබිය හැකි වරදකි.

 

එමෙන්ම, 1988 අංක 40 දරන ඔට්ටු ඇල්ලීමේ සහ සූදු බදු පනත (Betting and Gaming Levy Act) සහ 2010 අංක 17 දරන කැසිනෝ ව්‍යාපාර (නියාමන) පනත මගින්ද මෙවැනි ව්‍යාපාර දැඩි නියාමනයකට ලක් කර තිබේ.

 

මෙවැනි නීති පද්ධතියක් රට තුළ පවතිද්දී, 1XBAT වැනි ආයතන සූදුව ප්‍රවර්ධනය වන ආකාරයෙන් මාධ්‍ය වැඩසටහන් සහ දැන්වීම් පළ කරන්නේ කෙසේද යන්න බරපතළ අර්බුදයකි.

 

 

ඔවුන් මෙහිදී භාවිත කරන්නේ නීතියේ ඇති හිඩැස් හරහා රිංගා යන 'වක්‍ර ප්‍රචාරණයන්ය' (Surrogate Advertising). එනම්, ඔට්ටු සමාගමක් ලෙස නොව ක්‍රීඩා පුවත් සේවාවක් ලෙස පෙනී සිටීමයි.

 

 1xBet Cricket Betting - Bonuses and Tips for Indian Punters

 

 

ඉන්දීය ප්‍රිමියර් ලීගය (IPL) වැනි තරගාවලි තුළ මෙන්ම ඉන්දියාවේ ද මෙවැනි වක්‍ර ප්‍රචාරණයන් දැඩිව නියාමනය කෙරේ.

 

එබැවින්, එම සමාගම් දැන් සිය ගොදුරු බිම බවට පත්කරගෙන ඇත්තේ නීති ලිහිල්ව ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාව වැනි රටවල්ය.

 

මේ පිළිබඳව මේ වන විට පාර්ලිමේන්තුවේ ද අවධානය යොමුවී තිබේ.

 

රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ (CoPF) සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මෑතකදී පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ මාර්ගගත ඔට්ටු සහ කැසිනෝ වෙබ් අඩවි කිසිදු නියාමනයකින් තොරව ක්‍රියාත්මක වන බවයි.

 

මෙම අවදානම්සහගත තත්ත්වය පාලනය කිරීම සඳහා ස්වාධීන නියාමන අධිකාරියක් වහාම පත් කළ යුතු බවද ඔහු අවධාරණය කර ඇත.

 

ක්‍රීඩා බලධාරීන් සහ මාධ්‍ය ආයතන මූල්‍යමය වාසි තකා මෙලෙස ඔට්ටු සමාගම්වලට නීතියෙන් රිංගා යාමට ඉඩ සැලසීම, ශ්‍රී ලංකා ක්‍රිකට්හි අනාගතය අඳුරු අගාධයකට ඇද දැමීමකි.

 

පවතින සූදු සහ ඔට්ටු නිවාරණ නීති දැඩිව ක්‍රියාත්මක නොකළහොත්, අපේ ක්‍රිකට් පිටිය අනාගතයේදී හුදෙක් ජාත්‍යන්තර සූදුකරුවන්ගේ පාරාදීසයක් බවට පත්වීම කිසිවෙකුටත් වැළැක්විය නොහැක.

 

(පුවත් මූලාශ්‍රය srilankamirror.com)

 

 

නවතම ලිපි