හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු දොළොස් දෙනෙකුට එරෙහිව ගොනුකර ඇති
බාල ඉමියුනෝග්ලොබියුලීන් (Immunoglobulin) ඖෂධ නඩුවේ තවත් තීරණාත්මක දිනයක් ඊයේ (08) කොළඹ මහාධිකරණයේදී සනිටුහන් විය. වෛද්‍ය සැපයීම් ඒකකයේ (MSD) ප්‍රධාන තොග පාලක එච්.එම්.එන්.ඩී. බණ්ඩාර එකොළොස් වන දිනටත් සාක්ෂි කූඩුවට නැගුණු අතර, පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිනී ගිරිහාගම ගේ තියුණු හරස් ප්‍රශ්න හමුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඖෂධ මිලදී ගැනීමේ ක්‍රියාවලියේ පැවති බරපතල අක්‍රමිකතා සහ තාර්කික පරස්පරතා රැසක් අධිකරණය හමුවේ නිරාවරණය විය.
මෙම නඩු විභාගය හුදෙක් මුදල් වංචාවක් පිළිබඳ සීමාවෙන් ඔබ්බට ගොස්, රෝගීන්ගේ ජීවිත අනතුරේ හෙළමින් රාජ්‍ය නිලධාරීන් කටයුතු කළ ආකාරය පිළිබඳ ඛේදනීය චිත්‍රයක් මවා පෙන්වයි.

ලේඛන අතර අතුරුදන් වූ ඖෂධ සහ ප්‍රමුඛතා ලැයිස්තුවේ අභිරහස
වෛද්‍ය සැපයුම් ඒකකය විසින් හදිසි ඖෂධ මිලදී ගැනීම් සඳහා සකස් කරන ලද ප්‍රමුඛතා ලැයිස්තු (Priority Lists) පදනම් විරහිතව සහ නිසි අධ්‍යයනයකින් තොරව සකස් කර ඇති බව පැමිණිල්ලේ හරස් ප්‍රශ්න කිරීම් හරහා මනාව තහවුරු විය. දින දෙකක් වැනි කෙටි කාලයක් තුළ සකස් කළ ලේඛන දෙකක් අතර ඇති දැවැන්ත පරස්පරතාව මෙහිදී ප්‍රබල නෛතික තර්කයක් ලෙස මතු විය.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: ඔබ හඳුනා ගත් පැ 295 ප්‍රමුඛතා ලැයිස්තුව පැ 229 කියන ලැයිස්තුවට අනුව ප්‍රමුඛතා ලැයිස්තුව හදද්දි පෙන්ඩින් ඕඩර් සලකා බැලුවද?
සාක්ෂිකරු: නැහැ
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: ඖෂධ 225 ක් ඇති මේ ඖෂධ ලැයිස්තුව දින ගැන සලකා බලන්නේ නැද්ද?
සාක්ෂිකරු: නැහැ ස්වාමීනි.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය: මේ ඊමේල් එකක හෝ ලැබීමට තියන හෝ පවතින තොග සලකා බලන්න කියලා කියා තිබෙනවාද?
සාක්ෂිකරු: නැහැ. එහෙම උපදෙස් ලැබුණේ නැහැ.
ඖෂධ 182ක් අඩංගු මූලික ලැයිස්තුවේ (පැ 229) තිබූ අතිශය වැදගත් ඖෂධ රැසක්, ඊට දින දෙකකට පසු සකස් කළ පැ 260 ලේඛනයෙන් අතුරුදහන් වී ඇති බව විත්තිය හා පැමිණිල්ල යන දෙපාර්ශ්වයම අධිකරණය හමුවේ පිළිගැනීම මෙම නඩුවේ හැරවුම් ලක්ෂ්‍යයකි.

රජයට පාඩු කළ "විශේෂ උපදෙස්"
නිසි ක්‍රමවේදයන් උල්ලංඝනය කරමින්, පවතින තොග පිළිබඳව කිසිදු තැකීමක් නොකර ඖෂධ ඇණවුම් කිරීමට ඉහළ නිලධාරීන්ගෙන් ලැබුණු නීතිවිරෝධී උපදෙස් සාක්ෂිකරු විසින් මෙහිදී හෙළිදරව් කරන ලදී.
නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල්වරිය: v අක්ෂරය යටතේ ඇනවුම් නිකුත් කිරීමට 7 වන චූදිත දුන් විශේෂ උපදේශය කුමක්ද?
සාක්ෂිකරු: අත ඇති තොග හා ලැබීමට නියමිත තොග නොසලකා කටයුතු කරන්න කියා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය: එසේ කිරීමෙන් අතිරික්තයක් ඇතිවිය හැකියි.
සාක්ෂිකරු: ඔව්
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: අයිතම අතිරික්ත වූ කල පාඩුව කාටද?
සාක්ෂිකරු: රජයට පාඩු සිද්ධ වෙනවා.
පවතින තොග සහ ලැබීමට නියමිත තොග නොසලකා කටයුතු කිරීම පිටුපස ඇති සැබෑ අරමුණ කඩිනමින් බාල ඖෂධ තොග වෙත ගෙවීම් සිදු කිරීමද යන සැකය මෙම සාක්ෂිය හරහා තවදුරටත් තීව්‍ර වේ.

මරණීය ප්‍රමාදය: විනිසුරුවරයාගේ දැඩි ප්‍රශ්න කිරීම්
විනිසුරු විරාජ් වීරසූරිය විසින් සාක්ෂිකරුගෙන් නැගූ ප්‍රශ්න කිරීම්වලදී, බාල ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධය භාවිතයෙන් ඉවත් කිරීමේදී (Withdraw) සෞඛ්‍ය බලධාරීන් දැක්වූ සාපරාධී ප්‍රමාදය පිළිබඳව දැඩිව අවධානය යොමු විය.
විනිසුරු: 129 ලේඛනයෙන් ඖෂධය Withdraw කරන්න කියන්නේ කවර අන්දමින්ද?
සාක්ෂිකරු: ඖෂධය ඉතාම භයානක නිසා වහාම නවත්වන්න කියා තිබෙනවා.
විනිසුරු: 128 ලේඛනය බැලුවම 9/20 දින තීරණයක් ලබාදී තිබෙනවා. එය NMRA එක දැනුම් දුන්නට රට පුරා චක්‍ර ලේඛයක් ලෙස බෙදාහැර තිබෙන්නේ ඔක්තෝම්බර් 10 වැනිදා. රට පුරා රෝහල්වල මෙම ඖෂධ භාවිතා කරද්දී තහනම දැනුම් දෙන්න දින 12 ක් ගත කරලා. මේ ප්‍රමාදයට වගකිවයුතු කවුද?
සාක්ෂිකරු: MSD තමයි දැනුම් දිය යුතු - පරිගණක පද්ධතියෙන් තොගය අත්හිට වනවා. චක්‍රලේඛය දින වකවානු අනුව නිකුත් කරනවා.
අතිශය භයානක තත්ත්වයේ පවතින ඖෂධයක් රෝගීන්ට ලබාදීම වළක්වාලීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය දින 12ක් පුරාවට නිහඬව සිටීම, හුදෙක් පරිපාලනමය ප්‍රමාදයක් පමණක් නොව, අපරාධමය නොසැලකිල්ලක් බව නෛතික විචාරකයින්ගේ අදහසයි.

සාමාන්‍ය දැනුමෙන් දිවෙන සෞඛ්‍ය පද්ධතියක්?
තොග පාලකවරයා ඖෂධ සුරක්ෂා කමිටු සහ තත්ත්ව පාලන වාර්තා (Quality Logs) සම්බන්ධයෙන් රාජකාරිමය අවබෝධයකින් තොරව, හුදෙක් "සාමාන්‍ය දැනුමෙන්" පිළිතුරු දීම පැමිණිල්ලේ දැඩි දෝෂදර්ශනයට ලක් විය. එපමණක් නොව, 2022 වසරේ දත්ත පද්ධතිය (Pronto) මේ වන විට පරිශීලනය කළ නොහැකි බවට සාක්ෂිකරු කළ ප්‍රකාශය, සාක්ෂි වසන් කිරීමේ හෝ තාක්ෂණික දුර්වලතාවයන් මුවාවෙන් වගකීමෙන් මගහැරීමේ උත්සාහයක්දැයි සැක මතු කරයි.
177 වන සාක්ෂිකරුගේ සාක්ෂිය අවසන් වීමෙන් පසු, 155 වන සාක්ෂිකරු වන සෞඛ්‍ය කළමනාකාර නිහාල් රංජිත් සාක්ෂි දීම ආරම්භ කළ අතර, ඔහු විසින් දෙවන චූදිත වෛද්‍ය කපිල වික්‍රමනායක සහ 7 වන චූදිත ධර්මසිරි හේරත් අධිකරණය හමුවේ හඳුනා ගන්නා ලදී.
රටේ සමස්ත සෞඛ්‍ය පද්ධතියේම පරිපාලනමය නිරුවත හෙළිකරන මෙම ඓතිහාසික නඩුව අද (9) දින යළි විභාගයට ගැනෙනු ඇත. වගකිවයුත්තන් නීතියේ රැහැනට කොටු කිරීමේ ක්‍රියාවලිය දෙස සමස්ත ජාතියම අවධානයෙන් පසුවෙයි.

2026/07/08
නඩු වාර්තාව
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු දොළොස් දෙනෙකුට එරෙහිව චෝදනා නැගී ඇති බාල ඖෂධ වෛද්‍ය සැපයුම් ඒකකයට ලබාදීම සම්බන්ධ නඩුව ඊයේ (8) යළි විභාගයට ගත් අවස්ථාවේ සාක්ෂි දීම සඳහා 11 වන දිනටත් කැඳවා තිබූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයීම ඒකකයේ ප්‍රධාන තොග පාලක එච් එම් එන් ඩී බණ්ඩාරගෙන් නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිනී ගිරිහාගම හරස් ප්‍රශ්න විමසුවාය.
ඇගේ හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් සාක්ෂිකරු මෙසේ කීවේය.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; 10 v 37 - 10 v 62 දක්වා මේල් පණිවිඩ ඇසුරෙන් අදාල දිනයට මාස 3 කට වඩා අඩු තොග විස්තර ඇතැම් ඊමේල් වල තිබුණා. ඔබ පැහැදිලි කළා එදිනට පැවැති තොග තමයි යැව්වෙ කියලා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; පැ 294 සඳහන් තොග සංඛ්‍යාව හා හිදාස් මහතාගේ වාර්තාව ගැන ඔබ සාක්ෂි දුන්නා. එය 22/9/1 සිට 23/5/31 දක්වා තොග සම්බන්ධවයි. 2022/10/15 දින වන විට රිටක්සිමැබ් ඒකක 3595 ක තොගයක් වෛද්‍ය සැපයුම් ඒකකයට ලැබීම ගැන සාක්ෂි දුන්නා මතකද?
සාක්ෂිකරු ; ඔව්
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; එම අවස්ථාවේ වෛද්‍ය සැපයුම් ඒකකයේ තොග 0 යි. මාසයකුත් සති දෙකකට පෙර ලැබුණු තොගය කොපමණද?
සාක්ෂිකරු ; මාස හතරකට ප්‍රමාණවත්.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; 10 v 60 ඊමේල් පණිවිඩය කෙරෙහි අවධානය යොමු කරන්න. එහි 73 අංකය යටතේ ඖෂධ ලැබීම ගැන සඳහන්. එහි ඔබේ වාර්තා අනුව රිටක්සිමැබ් MDS හි 0 ක් ද ආයතන වල 237 ක් ද තිබී තිබෙනවා. මෙවැනි අවස්ථාවකදී ආයතනිකව 237ක් තිබියදී සලකා බලන කරුණු මොනවාද?
සාක්ෂිකරු ; ඖෂධ සංස්ථාවෙන් ලැබෙන තොග ලැබිය යුතු දවස සලකා බලනවා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; මේ අයිතමය සඳහා ගැප් එකක් තිබිලද?
සාක්ෂිකරු ; අපට ඔක්තෝම්බර් 15 ඖෂධය ලැබුණා. සැප්තැම්බර් 26 සිට ඔක්තෝම්බර් 15 දක්වා ගැප් එකක් තිබිලා තියෙනවා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ගැප් එක පියවා ගන්න ගත් පියවර විස්තර කරන්න.
සාක්ෂිකරු ; දිගටම ඖෂධ සංස්ථාව එක්ක සාකච්ඡා කළා ස්වාමීනි.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඔබ හඳුනා ගත් පැ 295 ප්‍රමුඛතා ලැයිස්තුව පැ 229 කියන ලැයිස්තුවට අනුව ප්‍රමුඛතා ලැයිස්තුව හදද්දි පෙන්ඩින් ඕඩර් සලකා බැලුවද?
සාක්ෂිකරු ; නැහැ
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඖෂධ 225 ක් ඇති මේ ඖෂධ ලැයිස්තුව දින ගැන සලකා බලන්නේ නැද්ද?
සාක්ෂිකරු ; නැහැ ස්වාමීනි
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; 02/09/2022 සවස එය යොමු කළා?
සාක්ෂිකරු ; ඔව්
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; මේ ඊමේල් එකක හෝ ලැබීමට තියන හෝ පවතින තොග සලකා බලන්න කියලා කියා තිබෙනවාද?
සාක්ෂිකරු ; නැහැ. එහෙම උපදෙස් ලැබුණේ නැහැ.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; 58 ගොනුවේ ඇති. අමාත්‍ය මණ්ඩල සංදේශයක් ගැන අවධානය යොමුකළා. එම ගොනුවේම පැ 304 ලැයිස්තු සාරාංශයක් පවතිනවා.
සාක්ෂිකරු ; පැ 304 ට ඇතුලත් කර ඇත්තේ මසකට අඩු තොග සම්බන්ධවයි.
නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල් වරිය.; එය 2.2 කැබිනට් පත්‍රිකාවේ සඳහන්ද?
සාක්ෂිකරු ; ඔව්
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ; පැ 304 ඇමුණු මේ ආයතනික ඖෂධ 14ක් ශුන්‍යබව, 260 සකසද්දී ආයතනය තුළත් ඒවා ශූන්‍ය බව සඳහන්ව තිබුණද?
සාක්ෂිකරු ; නැහැ
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; පැ 302 ඒ හි තිබෙන ප්‍රමුඛතා ලැයිස්තුවේ ඇති අයිතම 182 ට පැ 260 ලේඛනයේ තිබෙනවද ඇසූ විට ඔබ ඔව් කිව්වා.
සාක්ෂිකරු ; එසේය ස්වාමීනී
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය; ඇයි එහෙම කිව්වේ?
සාක්ෂිකරු ; මාසයකට අඩු එකක් හදන නිසා. පළමු ලැයිස්තුව 2022/09/22 හැදුවේ දෙවැන්න 2022/09/24 හෝ 25 හැදුවේ.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; SR 00 203 001 අයිතමය පැ 260 හි 58 අංකය තුළ ඇතුළත් වේද?
සාක්ෂිකරු ; ඔව්
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ප්‍රධාන ලැයිස්තුවේ අංක දෙක බලන්න. ඔබට ඇති අයිතම 45 හි 60 400 303 අංකය ඇතුළත් දැයි බලන්න.
සාක්ෂිකරු ; තිබෙනවා
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; මෙය ඔබගේ ඖෂධ 182 ලැයිස්තුවේ තිබේදැයි බලන්න.
සාක්ෂිකරු ; නැහැ ස්වාමීනි
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය 00 206 105 තිබේද
සාක්ෂිකරු ; නැත ස්වාමීනි.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; 00 706 201 ප්‍රමුඛතා ලැයිස්තුවේ 2 හි 7 යටතේ ඇතුලත්ද?
සාක්ෂිකරු ; ඔව්
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; එය 260 ලැයිස්තුවේ තිබේදැයි බලන්න.
සාක්ෂිකරු ; නැහැ.
මෙසේ ඖෂධ 182ක් සහිත ප්‍රමුඛතා ලැයිස්තුවේ ඖෂධ අතරින් 260 ලේඛණයට රාශියක් අඩංගු වී නොමැති වීම හේතුවෙන් එම ලැයිස්තු දෙක සංසන්දනය කොට ඇතුල් කොට නොමැති ඖෂධ පිළිගැනීමට විත්තිය හා පැමිණිල්ල දෙපාර්ශ්වය එකඟවීම මත නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය එම ප්‍රශ්නවලින් ඉවත් විය.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; එසේ නම් මේ සම්බන්ධව පරීක්ෂා කළ යුතු කුමක්ද?
සාක්ෂිකරු ; අයිතම නම, තොග යොමු අංකය ආදී කරුණුයි විස්වාමීනි.
නියෝජ්‍ය සොලිසිටර් ; පැ 260 හා පැ 229 E දෙකම හැදුවේ ඔබ. පැ 229 හැදුවේ 22/9/22 බවත් එය වෛද්‍ය සැපයුම් ඒකකයේ උපදෙස් මත හැදූ බවක් කීවා. එසේ නම් දින කිහිපයක් තුළ තොග ලැබීම් ඉවත්වීම් ආදිය 260 හා 229 E හි වෙනස් වුණේ කෙසේද?
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි තොග ලැබීම්, තොග අවසන් වීම ආදිය මෙන්ම සහකාර තොග පාලකවරුන්ගේ තොරතුරු ලැබීම් ආදිය මත වෙනස් වුණා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය; ඔබ පෙර දුන් සාක්ෂි අනුව පැ 260 හි තිබෙන අයිතම හා 229 E හි තිබෙන අයිතම වලින් 229 E හි ඇතුළත් ඖෂධ 220 කියා කිව්වොත් නිවැරදිද?
සාක්ෂිකරු ; සම්පූර්ණව තිබිය නොහැකි ස්වාමීනි. වෙනස් විය හැකියි. එය තොග මට්ටම් වෙනස් වීම සමග වෙනස් වෙනවා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; වෛද්‍ය සැපයීම ඒකකයේ තොග මට්ටම් වෙනස්වීම් ගැන දිගින් දිගටම ඔබෙන් ප්‍රශ්න කළා. ඔබ පිළිගත්තා එය රජයේ රස පරීක්ෂක හැදූ බව. අධිකරණයේදී දැනගත් බව. එම ලේඛනය හදන්න ඔබ සම්බන්ධ උනෙත් නැහැ කිව්වා. 2025 වසරේ හදන 2022 වසරට අදාල MSD දත්ත පද්ධතියෙන් වාර්තාවක් හැදීමට ඔබට හැකියාව තිබේද?
සාක්ෂිකරු ; නැහැ පරිගණක දත්ත සම්බන්ධයෙන් කටයුතු කළ නොහැකියි. දැන් අප ප්‍රොන්ටෝ භාවිතා කරන්නෙත් නැහැ.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ප්‍රධාන තොග පාලක වශයෙන් එම දත්ත පද්ධතියේ. අදාළ දිනයට පෙර ඒවා පරීක්ෂා කළ නොහැකිද?
සාක්ෂිකරු ;බැහැ
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; එම දත්ත උකහා ගැනීමට දායකත්වය දීමට හැකියාවක් තිබෙනවාද?
සාක්ෂිකරු ; නැහැ ස්වාමීනි. මට එවැනි දත්ත ලබා ගැනීමට හැකියාවක් නැහැ
නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල් වරිය ; චූදිත වෙනුවෙන් 10 V 61 - 1 හි 73 වන ඖෂධය ගැන ඔබෙන් ප්‍රශ්න කර සිටියා. 2022/10/03 වන විට මාස තුනකට අඩු තොග ගැන විස්තර හදද්දී රිටක්සිමැබ් ගැන ඔබ කියා තිබෙනවා. ප්‍රධාන තොග පාලක වශයෙන් ඔබට ඖෂධ සංස්ථාවෙන් තොග සම්බන්ධ විමසිය හැකිද?
සාක්ෂිකරු ; තොග පරීක්ෂාවට ඉල්ලුම් කළ හැකියි. ඊට රාජකාරිමය ශක්‍යතාවයක් තිබෙනවා. එම ශක්‍යතාව තොග පාලන නිලධාරීන්ට හා සහකාර අධ්‍යක්ෂවරුන්ටත් තිබෙනවා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය , ඒ අනුව 2022/10/08 දින රිටක්සිමැබ් ඖෂධය ලැබිය හැකි ප්‍රමාණය තොග පාලන නිලධාරීන්ට ප්‍රධාන තොග පාලක නිලධාරීන්ට හෝ සහකාර අධ්‍යක්ෂකවරුන්ගෙන් කෙනෙකුට සොයා බලන්න තිබුණා නේද?
සාක්ෂිකරු ; උපදෙස් ලැබුනනම් සොයා බලන්න තිබුණා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; පැ 299 ලේඛනයේ අමුණා ඇති ලේඛණයට ඔබේ අවධානය යොමු කළා. එහි යතුරු ලියනය කළ අංකයටත් අතින් ලියූ ලේඛණයටත් 2023/01/04 දිනයේ NSD URP 00 38 අංකය ඇතුළත් කළ හැකිද?
සාක්ෂිකරු ; මේ අංකය ලැබෙන්නේ ඕඩරය ප්ලේස් කළාමයි.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; මේ අයිතමයට අදාළ ඕඩර් ලිස්ට් එක හඳුනාගත්තා මතකද?
සාක්ෂිකරු ; ඔව්
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; 3338 අංකය උත්පාදනය වී ඇත්තේ කවදාද?
සාක්ෂිකරු ; 2023 ජනවාරි 12 දින.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ඒ අනුව හතර වැනිදා එය ලියන්න බැහැ නේද?
සාක්ෂිකරු ; එය ලිවිය හැක්කේ ජනවාරි දොළහෙන් පසුවයි
නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල්වරිය ;71 ගොනුවේ ඇති පැ 305 සිට 307 දක්වා ලේඛන පිළිබඳ අවධානය යොමු කරන්න. මේ සම්බන්ධව v අක්ෂරය යටතේ ඇනවුම් නිකුත් කිරීමට 7 වන චූදිත දුන් විශේෂ උපදේශය කුමක්ද?
සාක්ෂිකරු ; අත ඇති තොග හා ලැබීමට නියමිත තොග නොසලකා කටයුතු කරන්න කියා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; එසේ කිරීමෙන් අතිරික්තයක් ඇතිවිය හැකියි.
සාක්ෂිකරු ; ඔව්
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; අයිතම අතිරික්ත වූ කල පාඩුව කාටද?
සාක්ෂිකරු ; රජයට පාඩු සිද්ධ වෙනවා.
විනිසුරු විරාජ් වීරසූරිය සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න කිහිපයක් විචාළේය.
විනිසුරු ; 128 හා 129 ලේඛනවල හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් withhold හා withdraw ක්‍රියාවලිය විස්තර කරන්න.
සාක්ෂිකරු ; එහි මූලික තීරණය ගන්නේ NMRA. ඉන්පසු වෛද්‍ය සැපයීම ඒකකයේ තත්ත්ව පාලන අංශය ඒ ගැන පියවර ගන්නවා.
පිනිසුරු ; NMRA එක ඖෂධයක ගැටලුවක් දැනගත්විට මූලික වෙනවද? මේ ඖෂධ වලට අදාල තීරණ අරන් තීරණ ඉදිරිපත් කළ දවසක් තියෙනවද? මෙහි නිශ්චිත දිනයක් හෝ තොරතුරක් නැහැ.
සාක්ෂිකරු ; NMRA එකට දිනයක් සඳහන් කර නැහැ ස්වාමීනි.
විනිසුරු ; රෝහල්වල ඖෂධ භාවිතා කරද්දී ඖෂධයක අහිතකර ප්‍රතිඵල මාධ්‍ය වාර්තා කළොත් ඒ ගැන පියවර ගන්න NMRA එක කොයිතරම් කල් ගන්නවද?
සාක්ෂිකරු ; ඒක NMRA එකෙන් දැනගත යුතුයි ස්වාමීනි. අපට ඒක ගැන කියන්න බැහැ.
විනිසුරු ; 129 ලේඛනයෙන් ඖෂධය Withdraw කරන්න කියන්නේ කවර අන්දමින්ද?
සාක්ෂිකරු ; ඖෂධය ඉතාම භයානක නිසා වහාම නවත්වන්න කියා තිබෙනවා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; එය චක්‍රලේඛයකින් නිකුත් කර ඇත්තේ කවදද? කවුද?
සාක්ෂිකරු ; එම තොරතුරු ඇත්තේ NMRA එකේ ස්වාමීනී.
විනිසුරු ; ඔබට මෙම ලේඛනය බලා දිනයක් කිව නොහැකිද?
සාක්ෂිකරු ; NMRA එකේ රෙෆරන්ස් එකක් තියෙනවා. 2023/10/05 කියලා. මේ දිනය ඊට සමගාමී දිනයක් විය හැකියි.
විනිසුරු ;මේ අවවාදය ඇවිත් තියෙන්නේ කවදාදැයි යන්න මෙම ලේඛනය බලා කිව හැකිද?
සාක්ෂිකරු ; එහි 2023/09/20 ලෙස සටහන් වෙනවා ස්වාමීනි.
විනිසුරු ; 128 ලේඛනය බැලුවම 9/20 දින තීරණයක් ලබාදී තිබෙනවා. එය NMRA එක දැනුම් දුන්නට රට පුරා චක්‍ර ලේඛයක් ලෙස බෙදාහැර තිබෙන්නේ ඔක්තෝම්බර් 10;වැනිදා.
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි
විනිසුරු ; රට පුරා රෝහල්වල මෙම ඖෂධ භාවිතා කරද්දී තහනම දැනුම් දෙන්න දින 12 ක් ගත කරලා.
සාක්ෂිකරු ; අපට නිර්දේශ ආවම අපි චක්‍රලේඛය නිකුත් කරනවා ස්වාමීනි.
විනිසුරු ; මේ ප්‍රමාදයට වගකිවයුතු කවුද?
සාක්ෂිකරු ; එය කාල වකවානුව අනුව බලපානවා.
විනිසුරු ; කාටද මේ ඖෂධය දෙන්නේ?
සාක්ෂිකරු ; ගිලන්ව වැනි රෝග වැළඳුණු රෝගීන්ට.
විනිසුරු ; මේ දින 12 ප්‍රමාදයට වගකිවයුතු කවුද කියා කියන්න.
සාක්ෂිකරු ; MSD තමයි දැනුම් දිය යුතු - පරිගණක පද්ධතියෙන් තොගය අත්හිට වනවා . චක්‍රලේඛය දින වකවානු අනුව නිකුත් කරනවා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ඔබ ආහාර සුරක්ෂිතතා කමිටුවේ වැඩ කර තිබෙනවාද?
සාක්ෂිකරු ; නැත ස්වාමීනී
නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල්වරිය ; MSD අධ්‍යක්ෂවරයා එය නියෝජනය කළ බව ඔබ පෙර සාක්ෂියකදී කිව්වා.
සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි ඔහු නිලබලයෙන් එතන නියෝජනය කරනවා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ඖෂධ සුරක්ෂා කමිටුව ගන්න තීරණ ගැන ඔබට දැනුමක් තිබේද?
සාක්ෂිකරු ; නැත ස්වාමීනි
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; එහෙනම් පිළිතුරු දෙන්නෙ කොහොමද?
සාක්ෂිකරු ; සාමාන්‍ය දැනුම මගින් පිළිතුරු දෙනවා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ඔබ quality log ගැන කීවා. දන්නවද ඒ ගැන?
සාක්ෂිකරු ; සාමාන්‍ය දැනීමක් තියෙනවා
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඔබ දැනුවත්ව සිටින්නේ රාජකාරිමය වශයෙන්ද සාමාන්‍ය දැනීමක්ද?
සාක්ෂිකරු ; සාමාන්‍ය දැනීමක්
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඔබ කියන්නේ තේරුම් ගත් දෙයක්ද?
සාක්ෂිකරු ; රාජකාරි කරලා නැහැ නැහැ.තේරුම් ගත් දේ කිව්වේ.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ඖෂධ සම්බන්ධ තීරණයක් ගැනීමට හැකි නිලධාරියා කවුද?
සාක්ෂිකරු ; ආයතන ප්‍රධානියා. උදාහරණ ලෙස රෝහලක් නම් අධ්‍යක්ෂවරයා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය. ; ඖෂධයක අහිතකර ප්‍රතිඵල කාටද දැනුම් දෙන්නේ?
සාක්ෂිකරු ; NMRA එකට. එවිට එතැනින් MSD එකට දැනුම් දෙනවා
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඔබ සාක්ෂියකදී කීවා නම් එය NMRA එකට දැනුම් දෙනවා කියලා. ඒක නිවැරදිද?
සාක්ෂිකරු ; මුල් පිටපත NMRA එකට. පිටපත අපට ලැබිය යුතුයි.
නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල් වරිය ; ඔබ කවදා හෝ ඒ රිපෝර්ට් කරලා තියෙනවද?
සාක්ෂිකරු ; නැහැ රාජකාරිමය වශයෙන් කරලා නැහැ. ඒත් දන්නවා
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ආයතනය වශයෙන් ඖෂධය නැවැත්වීම හෝ ඉවත් කිරීමට චක්‍රලේඛ නිකුත් කළ හැකි කාටද?
සාක්ෂිකරු ; අධ්‍යක්ෂ තුමාට
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ඔබේ රාජකාරී වපසරිය තුළ ඖෂධ නැවැත්වීම් සිදුකරන හෝ ඉවත් කරන චක්‍රලේඛ ඔබ වෙත ආවේ කාගෙන්ද?
සාක්ෂිකරු ; අධ්‍යක්ෂතුමා වෙතින්
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; 00 203 001 , 00 501 502 , 00 404 001 යන අංක ඇති අයිතම ඔබ ප්‍රමුඛතා ලැයිස්තුවට ඇතුල් නොකළ ඒවා බව කිව්වා නේද?
සාක්ෂිකරු ; ඔව්
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; 00 100 901, 01 102 001 , 00 500 109 ඇතුළු ඖෂධ 13 ක් පැ 260 ලැයිස්තුවේ තියෙනවද නැද්ද?
සාක්ෂිකරු ; නැහැ
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; පැ 229 ප්‍රමුඛතා ලැයිස්තුවේ අයිතම 37 ක් පැ 260 ලැයිස්තුවට ඇතුලත්ද ?
සාක්‍ෂිකරු ; මෙම අයිතම 260 ලේඛනයේ නැහැ.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ඖෂධ සමාලෝචන කමිටු දෙකක් ගැන ඔබගෙන් ප්‍රශ්න කළා. ඔබට කිව හැකිද ඒ කරුණු ගැන?
සාක්ෂිකරු ; ඒවා සාකච්ඡා කළාට නිශ්චිතව මතක නැහැ.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ප්‍රොන්ටෝ හා ස්ව්‍යස්ථා පද්ධති රෝහලක හෝ ආයතනයක පවතී නම් ඖෂධ නිකුත් කිරීමේදී withhold කිරීම්, පරිගණක පද්ධතියේ දිස්වෙනවා නේද?
සාක්ෂිකරු ; අදාළ ක්‍රියාමාර්ග අරන් තිබුණොත් පෙන්වනවා
177 සාක්ෂිකරු වන එම් එච් ඩී එන් බණ්ඩාරගේ සාක්ෂිය එතැනින් නිමවූ අතර 155වන සාක්‍ෂිකරු සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකයේ සෞඛ්‍ය කළමනාකාර නිහාල් රංජිත් සාක්‍ෂි සඳහා කැඳවනු ලැබීය.
මූලික හඳුන්වා දීම් වලින් පසු නියෝජ්‍ය සොලිසිටර් ලක්මිණි ගිරිහාගමගේ මෙහෙයවීම යටතේ සාක්ෂි දුන් සාක්ෂිකරු මෙසේද කීවේය.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ; වෛද්‍ය සැපයීම් අංශයේ ඔබේ අංශ ප්‍රධානියා කවුද?
සාක්ෂිකරු ; ප්‍රධාන ඝණකාධිකාරී
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ඔහුට ඉහළින් ඉන්නේ කවුද?
සාක්ෂිකරු ; නියෝජ්‍ය අධ්‍යක්ෂ, අධ්‍යක්ෂ, අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සැපයීම්)
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; මිල කමිටුව මිල ගණන් තීරණය කළ පසු ඔබට පැවරෙන රාජකාරිය කුමක්ද ?
සාක්ෂිකරු ; සැපයුම්කරුවන්ගේ සාකච්ඡාව සූදානම් කිරීම
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; සැපයුම්කරුවන් කිහිප දෙනෙකුට ටෙන්ඩරය පිරිනමනවද?
සාක්ෂිකරු ; අඩුම මිල ඉදිරිපත් කළ ටෙන්ඩර් කරුගේ මිලට අනෙක් අයත් එකඟ නම් ඒ අයටත් අවස්ථාව දෙනවා
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ; ඇණවුම් නිකුතුවට ගැණුම් ඇනවුම කිව්වම හරිද?
සාක්ෂිකරු ; ඔව්
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; වසර දහයක ගිවිසුමට ඒ ඒ සැපයුම්කරුවන් වෙනුවෙන් ගොනු තියෙනවද?
සාක්ෂිකරු ; ඔව්
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ගැනුම් ඇනවුමට තොරතුරු ඇතුළත් කරන්නේ කවුද?
සාක්ෂිකරු ; මම තොරතුරු ඇතුළත් කරනවා.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; පැ 313 හි 1 සිට 63 දක්වා ලේඛනවල සෑම ලේඛනයකටම සත්‍ය පිටපතක් බවට සාමාන්‍ය අත්සනක් හා මුද්‍රාවක් පවතිනවා නේද?
සාක්ෂිකරු ; ඔව් ඒත් ඒවා පැහැදිලි මදි.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; කොටු මුද්‍රාවට යටින් ඇති සටහන බලන්න
සාක්ෂිකරු ; සහකාර ලේකම්ගේ සටහන්
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; ඒවා මුල් ලේඛනද?
සාක්ෂිකරු ; නැහැ පිටපත්
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; මේ ලේඛන ලැබිලා තියෙන්නේ කුමන අංශයෙන්ද?
සාක්ෂිකරු ; මුද්‍රාවෙන් පෙනෙන්නේ රාජ්‍ය අමාත්‍යාංශයක බවයි.
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; එම ගොනුව ඔබට දෙද්දීත් තිබුණද?
සාක්ෂිකරු ; ඔව්
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ; EOI වැඩසටහනකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණ කිව්වා.
සාක්ෂිකරු ; 2022/10/31 මේ සම්බන්ධව සාකච්ඡාවක් පැවැත්වුණා.
නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල් වරිය ; තීරණයක් එහි ඇතුළත්ව නැද්ද?
සාක්ෂිකරු ; තිබෙනවා
මෙහිදී සාක්‍ෂිකරු විසින් දෙවන චූදිත වෛද්‍ය කපිල වික්‍රමනායක, 7 වන චූදිත ධර්මසිරි හේරත් හඳුනාගනු ලැබීය.
නඩුව අදත් (9) විභාග කෙරේ. එහිදී මෙම සාක්ෂිකරු තවදුරටත් සාක්ෂි දීමට නියමිතය.

