SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

හිටපු මහකොමසාරිස්වරිය සරෝජා සිරිසේන නෛතික අර්බුදයකට යයිද?

 

 

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක ට එරෙහිව

ගොනු කර ඇති රුපියල් කෝටි එකහමාරකට අධික (ලක්ෂ 166ක) රාජ්‍ය මුදල් අවභාවිත නඩුව මේ වන විට තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයකට පැමිණ තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සිය විමර්ශන අවසන් කර උධෘත නීතිපතිවරයා වෙත යොමු කර ඇති පසුබිමක, රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න ජූලි 8 වන දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සිදුකළ අනාවරණය මෙම නඩුකරයේ සමස්ත දිශානතිය වෙනස් කිරීමට සමත් වී ඇත.

 

 


අදාළ සංචාරයේ ප්‍රශ්නගත මුදලින් අඩකට වඩා වැය වී ඇත්තේ වාහන පහසුකම් සඳහා බවත්, එම වාහන බ්‍රිතාන්‍ය රජය විසින් සපයා ඇති බවට සාක්ෂි සහිත ලේඛනයක් ඉදිරිපත් කිරීමත් සමඟ, මෙහි නෛතික වගකීම සෘජුවම එවකට බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරිය ලෙස කටයුතු කළ සරෝජා සිරිසේන වෙත යොමු වීමේ දැඩි අවදානමක් නිර්මාණය වී තිබේ.

 

ඒ අද (08) මෙම නඩුව කැඳවූ අවස්ථාවේ නීතිපති වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි රජයේ නීතිඥ සමධරි පියසේන විසින් මෙම සිද්ධියට අදාළ සියලු විමර්ශන අවසන් බව දැනුම් දීමත් සමගය.

 

"ස්වාමීනි මෙම සිද්ධියට අදාළව සියලු විමර්ශන අවසන් බව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 123/ 3 වගන්ති ප්‍රකාරව අධිකරණයට දන්වා සිටිනවා. මෙම සිද්ධියට අදාළව මේ වනවිට නීතිපතිතුමා වෙත උදෘත ගොනු කර තිබෙනවා. ඒ අනුව නීතිපති උපදෙස් සඳහා නඩුව කැඳවිමට දිනයක් අධිකරණයෙන් ඉල්ලා සිටිනවා".

 

එම ප්‍රකාශයත් සමග පළමු සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න අධිකරණයට දන්වා සිටියේ මෙම සිද්ධියට අදාළව වියදම් වූ බව කියන මුදලින් භාගයකට වඩා ප්‍රමාණයක් වාහන වලට ගොස් ඇති බවත් එහෙත්,


" මගේ සේවාදායකයාට බ්‍රිතාන්‍ය රජයෙන් වාහන සඳහා ගිය වියදම් දරා ඇති බවත් ඒ සම්බන්ධයෙන් ලේඛනයක්ද පැමිණිලිකාර පාර්ශවයට මම ලබා දෙනවා"

යනුවෙන් පැවසීමත් සමග ය.

 

 

මෙම තත්ත්වය ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථානුකූල මූල්‍ය පාලනය, ආයතන සංග්‍රහය සහ මුදල් රෙගුලාසි (FR) පදනම් කරගනිමින් විශ්ලේෂණය කළ යුතු නෛතික ගැටලුවකි.

 

 

නඩු නිමිත්තේ හැරවුම් ලක්ෂ්‍යය සහ මූල්‍ය රෙගුලාසි (FR) උල්ලංඝනය වීම

රජයේ මුදල් රෙගුලාසි (FR) සහ ආයතන සංග්‍රහයට අනුව, විදේශයක පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක හෝ මහකොමසාරිස් කාර්යාලයක සිදුවන සියලුම මූල්‍ය ගනුදෙනු සඳහා ප්‍රධාන ගණකාධිකාරී නිලධාරියා (Chief Accounting Officer) හෝ බලයලත් නිලධාරියා ලෙස ක්‍රියා කරන්නේ අදාළ තානාපතිවරයා හෝ මහකොමසාරිස්වරයාය. ජනාධිපති නීතිඥවරයාගේ තර්කයට අනුව, බ්‍රිතාන්‍ය රජය විසින් අදාළ සංචාරය සඳහා වාහන නොමිලේ සපයා තිබේ නම්, ශ්‍රී ලංකා රජයේ මුදල්වලින් "වාහන වියදම්" ලෙස රුපියල් ලක්ෂ 80කට අධික මුදලක් (සමස්ත මුදලින් අඩක්) වෙන් කෙරුණේ කෙසේද සහ එම මුදල් කාගේ අනුමැතියෙන් කුමන ගිණුමකට බැර වූයේද යන්න බරපතල නෛතික ගැටලුවකි.

 

 

යම් සේවාවක් නොමිලේ ලැබී තිබියදී ඒ සඳහා රජයේ මුදල් වැය කළ බවට ව්‍යාජ බිල්පත් හෝ ලේඛන සකස් කර ඇත්නම්, එය හුදු පරිපාලන අතපසුවීමක් නොව, ලංකා දණ්ඩ නීති සංග්‍රහය සහ පොදු දේපළ පනත යටතේ දඬුවම් ලැබිය හැකි සාවද්‍ය පරිහරණයක් සහ සාපරාධී විශ්වාසය කඩ කිරීමක් වේ.

 

 

 

හිටපු මහකොමසාරිස් සරෝජා සිරිසේන වෙත එල්ල වන අවදානම

මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මීළඟට මුහුණ දීමට සිදුවන ප්‍රධානතම අභියෝගය වන්නේ මුදල් ගෙවීමේ දාමය ඔස්සේ විමර්ශනය කිරීමයි. රනිල් වික්‍රමසිංහ පාර්ශ්වය විසින් බ්‍රිතාන්‍ය රජයේ නිල ලේඛන මගින් තමන් වාහන සඳහා මුදල් නොගෙවූ බව ඔප්පු කළහොත්, එම මුදල් නිදහස් කළේ කවුරුන්ද යන්න සෙවීමට විමර්ශකයන්ට සිදුවේ.

 

අනුමත කිරීමේ වගකීම

ලන්ඩන් මහකොමසාරිස් කාර්යාලය හරහා මෙම මුදල් ගෙවීම් සිදු කර ඇත්නම්, ඊට අදාළ වවුචර (Vouchers) අනුමත කිරීමේ අවසන් වගකීම ඇත්තේ එවකට මහකොමසාරිස්වරිය වූ සරෝජා සිරිසේන ට සහ එහි මූල්‍ය නිලධාරීන්ටය.

 

විමර්ශනයේ දිශානතිය වෙනස් වීම

ජනාධිපතිවරයාගේ සංචාරයක් වුවද, විදේශයකදී සිදුකරන ගෙවීම්වල නිරවද්‍යතාවය තහවුරු කරගැනීම දූත මණ්ඩල ප්‍රධානියාගේ වගකීමකි. වාහන නොමිලේ ලැබී තිබියදී ඒ සඳහා මුදල් ගෙවූ බවට වාර්තා කිරීම හරහා, සරෝජා සිරිසේන මහත්මිය ප්‍රමුඛ නිලධාරී මණ්ඩලයට එරෙහිව මූල්‍ය වංචා චෝදනා ගොනු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (විශේෂයෙන් වත්මන් විමර්ශන ප්‍රධානීන්ට) නෛතිකව බලකෙරෙන තත්ත්වයක් නිර්මාණය වී ඇත.

 

 

රනිල් වික්‍රමසිංහ චෝදනාවෙන් මුදා හැරෙයිද?

මෙම උපායමාර්ගික නීතිමය පියවර හරහා රනිල් වික්‍රමසිංහ සෘජු මූල්‍ය අවභාවිත චෝදනාවෙන් යම් දුරකට ආරක්ෂා වීමේ සම්භාවිතාවක් පවතී. "රජයේ මුදල් තමා පෞද්ගලිකව ලබාගෙන නැති බවත්, අදාළ වියදම් සිදුකර ඇත්තේ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් තානාපති කාර්යාලය හරහා බවත්" පෙන්වා දීමෙන්, වගකීම නිලධාරීන් වෙත පැවරීමට (Shifting the Blame) ආරක්ෂක පාර්ශ්වය උත්සාහ කරන බව පැහැදිලිය.

 

එහෙත්, ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරයා යනු සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයේම ප්‍රධානියා වන අතර, පෞද්ගලික සංචාරයක් සඳහා රාජ්‍ය මුදල් යෙදවීමට මූලික උපදෙස් ලබා දුන්නේ කවුරුන්ද යන "විධාන වගකීම" මත හිටපු ජනාධිපතිවරයාගේ සහ ලේකම්වරයාගේ වගකීම සම්පූර්ණයෙන්ම නිෂ්ප්‍රභ වන්නේ ද නැත.

 

 

සැප්තැම්බර් 30 වනදා නීතිපතිවරයා විසින් ලබාදීමට නියමිත උපදෙස් මත මෙම නඩුවේ අනාගතය තීරණය වනු ඇත. රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාගේ නීතිඥයින් විසින් ඉදිරිපත් කළ "බ්‍රිතාන්‍ය රජයේ අනුග්‍රහය" පිළිබඳ ලේඛනය නීතිපතිවරයා විසින් පිළිගතහොත්, එම ප්‍රශ්නගත මුදල්වලට සැබැවින්ම සිදු වූයේ කුමක්දැයි සෙවීම සඳහා ලන්ඩන් මහකොමසාරිස් කාර්යාලයේ එවකට බලධාරීන් (සරෝජා සිරිසේන ඇතුළු) වෙත විමර්ශන දැල් එළීමට CID යට අනිවාර්යයෙන්ම සිදුවනු ඇත. එය ශ්‍රී ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික ඉතිහාසයේ විදේශ දූත මණ්ඩලයක මූල්‍ය පාලනය සම්බන්ධයෙන් එල්ල වන බරපතලම නෛතික අභියෝගයක් බවට පත්වීමට ඉඩ ඇත. 

 

 

#සමාරා පරණවිතාන

නවතම ලිපි