හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ අද (03) අත්අඩංගුවට ගැනීමට අදාළව
නිර්මාණය වී ඇති නෛතික සහ දේශපාලන වාතාවරණය මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි කතාබහකට ලක්ව තිබේ. රාජපක්ෂ පාලන සමයේදී සිදුවූවා යැයි කියන විවිධ අනීතික ක්‍රියාවන්ට සහාය දැක්වූවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීම සහ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය සක්‍රීය වීම එක් අතකින් අතිශය සුබවාදී තත්ත්වයකි. නීතියට ඉහළින් කිසිවෙකුට ක්‍රියා කළ නොහැකි බව තහවුරු වීම අත්‍යවශ්‍ය කාරණයකි.
එහෙත්, ආණ්ඩුව මෙම ක්‍රියාවලියේදී දේශපාලනිකව අතිශය දුරදක්නා නුවණකින් කටයුතු කළ යුතුව ඇත. දශක තුනකට ආසන්න කාලයක් පැවති කුරිරු යුද්ධය නිමා කිරීම සඳහා නායකත්වය දුන් ත්‍රිවිධ හමුදාවේ ඉහළ පෙළේ නිලධාරීන් සහ හමුදාපතිවරුන් මෙලෙස අත්අඩංගුවට පත්වීම, බහුතර ශ්‍රී ලාංකික ජනතාවගේ අතිශය සංවේදී ස්ථානයකට පහර දීමක් බව ප්‍රතික්ෂේප කළ නොහැක.
මෙය දේශපාලනිකව කියවන්නේ නම්, ආණ්ඩුව නොදැනුවත්වම සිදුකරමින් සිටින්නේ රාජපක්ෂවරුන්ට යළිත් වරක් බලයට පැමිණීම සඳහා කදිම ජනප්‍රිය වේදිකාවක් සකස් කර දීමයි. 'රණවිරු දඩයම' නැමැති හැඟීම්බර සටන් පාඨයට සමාජය තුළ යළිත් පණ ලැබීම හරහා එහි දේශපාලන වාසිය සෘජුවම ගලා යන්නේ නැවතත් රාජපක්ෂ කඳවුරට බව ආණ්ඩුව බුද්ධිමත්ව සිහියට ගත යුතුය. මේ වන විටත් සලේගේ අත්අඩංගුවට ගැනීමත් සමග මෙම කතිකාව ආරම්භ වී ඇති අතර ආරංචිමාර්ග පවසන ආකාරයට විවිධ සාකච්ඡා සිදු වන බවට ඉඟි පහළ වෙමින් පවති.
අනෙක් අතට, මෙම සිදුවීම් මාලාව සහ පරීක්ෂණ ක්‍රියාවලිය තුළ යෝෂිත රාජපක්ෂ වැනි අයට සිදුවන අවැඩකට වඩා වැඩි හානියක් සහ හිරවීමක් සිදුව ඇත්තේ හිටපු නාවික හමුදාපතිවරයා ප්‍රමුඛ හමුදා නිලධාරීන්ටය. මෙය ඉදිරි දේශපාලන බල අරගලයට ඍජුවම බලපාන සාධකයකි.
අනාගතයේදී 'පොදු අපේක්ෂකයෙකු' වීමට සිහින දකින යම් නිළධාරී චරිතයකට නම්, වත්මන් ආණ්ඩුවට ජනතා අප්‍රසාදය එල්ල කරවන සහ ආණ්ඩුව අභ්‍යන්තරයේම මත ගැටුම් ඇති කරවන මෙවැනි කාරණා ඉතා වැදගත් දේශපාලන තුරුම්පු වනු නිසැකය.
එබැවින්, නීතිය පසිඳලීම අත්‍යවශ්‍ය වුවද, යුද ජයග්‍රහණයේ නියමුවන් දේශපාලන පළිගැනීම්වල ඉත්තන් බවට පත්වන බවට සමාජය තුළ මතයක් ගොඩනැගීමට ඉඩ නොතැබීම පවතින ආණ්ඩුවේ වගකීමකි. නීතිය ක්‍රියාත්මක කිරීම සහ දේශපාලන උපායමාර්ගික බව අතර ඇති සියුම් රේඛාව නිසි ලෙස හඳුනා නොගතහොත්, මෙම මෙහෙයුම අවසන් වනු ඇත්තේ අරමුණු කළ යුක්තිය පසිඳලීමෙන් නොව, පාලකයන් විසින් තමන්ගේම දේශපාලන මිනීවළ කපාගැනීමෙනි.
# සමාරා පරණවිතාන

