ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීම සඳහා
රජය ගෙන ඇති හදිසි (ad hoc) පියවරට එරෙහිව ආසියානු සහ පැසිෆික් කලාපීය නීති සංගමය (LAWASIA) සිය දැඩි විරෝධය පළ කර තිබේ. අධිකරණ පත්කිරීම්වල ප්‍රමාදය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී මෑතකදී කළ ප්‍රකාශයෙන් අනතුරුව මෙම තත්ත්වය මතු වූ අතර, ඊට එරෙහිව ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) ගෙන යන විරෝධයට සිය පූර්ණ සහයෝගය ලබා දෙන බව LAWASIA හි සභාපති ටී. එල්. යැප් මහතා ජුනි 26 දින නිකුත් කළ නිවේදනයක දැක්වේ.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් පසුගිය මැයි 25 වන දින ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපියේ අන්තර්ගතය LAWASIA විසින් සම්පූර්ණයෙන්ම අනුමත කර ඇත. එහිදී පැහැදිලිව පෙන්වා දී ඇත්තේ, දැනට සේවය කරන විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස මේ මොහොතේ දීර්ඝ කිරීමට කටයුතු කිරීම, අධිකරණයට ඇඟිලි ගැසීම සඳහා රජය දරන නිරුවත් ප්‍රයත්නයක් ලෙස මහජනතාව විසින් වටහා ගැනීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි.
නීතියේ ආධිපත්‍යය සහ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ අධිකරණයේ ස්වාධීනත්වය මෙන්ම ඒ කෙරෙහි ඇති මහජන විශ්වාසය අත්‍යවශ්‍ය කුළුණු දෙකකි. එබැවින් අධිකරණය ස්වාධීනව පැවතීම පමණක් ප්‍රමාණවත් නොවන අතර, කිසිදු බලපෑමකින්, පක්ෂපාතීත්වයකින් හෝ අනුග්‍රහයකින් තොරව එය ක්‍රියාත්මක වන බව මහජනතාවට පෙනී යාම ද අතිශයින් වැදගත් වේ.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107(5) ව්‍යවස්ථාව මගින් ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දැනටමත් නිශ්චිතව නියම කර ඇත. ඕනෑම අධිකරණ බලප්‍රදේශයක ව්‍යවස්ථා සංශෝධනයක් යනු සැහැල්ලුවෙන් නොගත යුතු අතිශය බැරෑරුම් දේශපාලනික සහ නෛතික ක්‍රියාවලියකි. ප්‍රමාණවත් මහජන අදහස් විමසීමකින් හෝ විනිවිදභාවයකින් තොරව ගෙන එන මෙවැනි හදිසි ව්‍යවස්ථා සංශෝධන හරහා අධිකරණය කෙරෙහි ඇති මහජන විශ්වාසය ඛාදනය වීමේ බරපතල අවදානමක් පවතින බව LAWASIA අවධාරණය කරයි.
ස්වාධීන, නිපුණ සහ ගෞරවනීය අධිකරණයක් යනු ප්‍රජාතන්ත්‍රවාදයේ මුල්ගලයි. 1997 වසරේදී ආසියා-පැසිෆික් කලාපයේ අගවිනිසුරුවරුන් 32 දෙනෙකුගේ අත්සනින් සම්මත කරගත් 'බීජිං ප්‍රකාශනයේ' මූලධර්ම සිහිපත් කරමින් සහ පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය මතු කළ කනස්සල්ල ද බෙදාගනිමින්, LAWASIA ශ්‍රී ලංකා රජයට ප්‍රධාන බලකිරීම් කිහිපයක් සිදු කර ඇත.
ඒ අනුව, විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ යෝජිත ව්‍යවස්ථා සංශෝධනයෙන් වහාම වැළකී සිටින ලෙසත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අත්තනෝමතික ලෙස කෑලි එකතු කිරීමේ ක්‍රියාවලිය නතර කරන ලෙසත් ඔවුහු ඉල්ලා සිටිති. තවද, ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණවලදී මහජන සහ පාර්ශ්වකරුවන්ගේ අදහස් විමසීමේ නිසි ක්‍රියාවලිය අනුගමනය කිරීම සහ නීතියේ ආධිපත්‍යය තහවුරු කරමින් අධිකරණයේ ස්වාධීනත්වය අගෞරවයට පත්වන කිසිදු පියවරක් නොගැනීම රජයේ වගකීම බව මෙමගින් ජාත්‍යන්තර ප්‍රජාව ශ්‍රී ලංකාවට දැඩිව සිහිපත් කර දෙයි.

