මෑත කාලීනව ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් නිකුත් වන දත්ත දෙස බැලීමේදී පැහැදිලි වන
ප්‍රධානතම කරුණක් වන්නේ, සාමාන්‍ය ජනතාව මත පැටවෙන ආර්ථික පීඩනය දිනෙන් දින ඉහළ යමින් පවතින බවයි. විශේෂයෙන්ම ජුනි මාසයේ කොළඹ පාරිභෝගික මිල දර්ශකය (CCPI) මත පදනම් වූ වාර්ෂික උද්ධමන අනුපාතය 6.8% දක්වා ඉහළ යාම, හුදෙක් සංඛ්‍යාත්මක වර්ධනයක් පමණක් නොව, ඉදිරියේදී පැමිණිය හැකි දැවැන්ත ආර්ථික අර්බුදයක පෙරනිමිත්තක් බව අවිවාදිතය.
අඛණ්ඩව ඉහළ යන උද්ධමන ප්‍රවණතාවය
මෙම තත්ත්වයේ ඇති බරපතලම කරුණ වන්නේ උද්ධමනය අඛණ්ඩව, සෑම මසකම පෙර මාසය අභිබවා යමින් ඉහළ යාමයි. අප්‍රේල් මාසයේදී 5.4% ක් ලෙසත්, මැයි මාසයේදී 5.5% ක් ලෙසත් පැවති උද්ධමනය, ජුනි මාසය වන විට 6.8% දක්වා වේගවත් වී ඇත. ශ්‍රී ලංකා මහ බැංකුවේ උද්ධමන ඉලක්කය 5% ක් වුවද, මේ වන විට එය පැහැදිලිවම එම සීමාව බිඳ දමා තිබේ. මාසයෙන් මාසයට සලකා බැලීමේදීද මැයි මාසයේ 0.9% ක් වූ පාරිභෝගික මිල වර්ධනය ජුනි මාසයේදී 2.1% දක්වා දෙගුණයකටත් වඩා වැඩි වී ඇත.
බලශක්ති සහ ආහාර පිරිවැයේ දැඩි බලපෑම
මෙම ආර්ථික පීඩනයට ප්‍රධාන වශයෙන්ම බලපා ඇත්තේ මැදපෙරදිග ගැටුම් හේතුවෙන් ගෝලීයව ඉහළ යන බලශක්ති පිරිවැය සහ ඒ හරහා අඛණ්ඩව සිදුවන දේශීය බලශක්ති මිල ඉහළ දැමීම්ය. ජුනි මාසය තුළ ප්‍රවාහන ක්ෂේත්‍රයේ වාර්ෂික උද්ධමනය 18.7% ක් වැනි අතිශය ඉහළ අගයක් ගැනීමෙන් එය මනාව තහවුරු වේ. අනෙක් අතට, සාමාන්‍ය ජනතාවගේ දෛනික ජීවිතයට දැඩිවම බලපාන ආහාර උද්ධමනය මැයි මාසයේ පැවති 0.9% සිට 3.6% දක්වා තියුණු ලෙස ඉහළ ගොස් ඇත්තේ මත්ස්‍ය සහ එළවළු මිල ගණන්වල අධික වර්ධනය හේතුවෙනි.
අතලඟ ඇති සමාජ-ආර්ථික අර්බුදය
මේ ආකාරයට උද්ධමන වේගය අඛණ්ඩව ඉහළ ගියහොත්, එය ශ්‍රී ලංකාව තුළ තවත් බරපතල සමාජ-ආර්ථික අර්බුදයක් නිර්මාණය කිරීම නොවැළැක්විය හැකිය. ආදායම් මට්ටම් එකතැන පල්වෙද්දී හෝ කඩාවැටෙද්දී, ප්‍රවාහනය, ආහාර (3.6%) සහ නිවාස/විදුලිය/ගෑස් (6.9%) වැනි අත්‍යවශ්‍ය වියදම් අඛණ්ඩව ඉහළ යාමෙන් ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව බිංදුවටම ඇද වැටෙනු ඇත. මෙය මධ්‍යම පාන්තිකයන් දිළිඳුභාවයට පත් කිරීමටත්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික කටයුතු අඩාල වීමටත් සෘජුවම බලපානු ඇත.
මහ බැංකුව පවසන පරිදි මෙම තත්ත්වය මධ්‍ය කාලීනව යථා තත්ත්වයට පත්වනු ඇතැයි අපේක්ෂා කළද, මැදපෙරදිග ආතතීන්ගේ අවිනිශ්චිතතාවය මත ඉදිරි දැක්ම තවදුරටත් දැඩි අවදානම් සහගතය. එබැවින්, දේශපාලනික ලාභ ප්‍රයෝජන වෙනුවෙන් හෝ වෙනත් අරමුණු වෙනුවෙන් මාතෘකා වෙනස් කරමින් මේ මොහොතේ ජනතාව මුහුණ දෙන මූලික ආර්ථික අර්බුදය යටපත් කිරීමෙන් කිසිදු පලක් නැත. සංඛ්‍යාලේඛන පැහැදිලිව පෙන්වා දෙන්නේ ආර්ථික ගිනිදැල් යළිත් ඇවිලෙමින් පවතින බවයි. අතලඟ ඇති අර්බුදයෙන් ගැලවීමට නම්, සැබෑ ප්‍රශ්නයට මුහුණ දී කඩිනම් සහ ස්ථාවර විසඳුම් ක්‍රියාත්මක කිරීම මේ මොහොතේ අත්‍යවශ්‍ය වේ.

