SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec


මෑත දිනවල මෙරට පැවැත්වුණු දැවැන්තම මෝටර් රථ ප්‍රදර්ශනයක් වෙනුවෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා

(BMICH) පරිශ්‍රයේ රුපියල් මිලියන 50ක පමණ අතිවිශාල පිරිවැයක් දරා ඉදිකළ වෙළෙඳ කුටිය කාගේත් අවධානයට ලක්විය.

 

 

එහෙත්, සංවිධායකයන් බලාපොරොත්තු වූ අන්දමේ ජනකායක් හෝ පාරිභෝගික ආකර්ෂණයක් ඊට හිමි නොවීම තුළින් බරපතළ ප්‍රශ්නාර්ථයක් මතු කරයි. ලාංකික පාරිභෝගිකයා වාහන මිලට ගැනීම අත්හැර දමා තිබේද යන පැනය මේ සමඟම සමාජය තුළ කතාබහට ලක්ව තිබේ.

 

 

 

මෙම තත්ත්වය පිටුපස ඇත්තේ හුදු පාරිභෝගික උදාසීනත්වයක් නොවේ. වාහන ආනයනකරුවන් මෙන්ම පාරිභෝගිකයන් ද දැඩි අර්බුදයකට ඇද දමා ඇති වර්තමාන වාහන ලියාපදිංචි කිරීමේ නීති, බදු ප්‍රතිපත්තීන් සහ මූල්‍ය පද්ධතිය කෙරෙහි බිඳවැටුණු විශ්වාසය මීට සෘජුවම බලපා ඇත.

 

 

වාහන ලියාපදිංචියේ නීතිමය ගැටලු සහ දින 90ක අර්බුදය


පසුගිය කාලයේ වාහන ආනයනයට අවසර ලැබීමත් සමඟ වෙළෙඳපොළට වාහන විශාල ප්‍රමාණයක් ගලා ආවද, ඒවා අලෙවි කරගැනීමේදී ආනයනකරුවන් දැඩි අසීරුතාවකට මුහුණ දී සිටිති. විශේෂයෙන්ම ආනයනය කර දින 90ක් ඇතුළත වාහනයක් ලියාපදිංචි කළ යුතු බවට පනවා ඇති නීතිය මේ වන විට සමස්ත වෙළෙඳපොළම අඩපණ කර ඇත.

 

දින 90 කාල සීමාව ඉක්මවා ගිය පසු වාහනයක් මිලදී ගැනීමට ඉදිරිපත් වන පාරිභෝගිකයෙකුට අද නොසිතූ ගැටලු රැසකට මුහුණ දීමට සිදුව තිබේ. එහිදී වාහනයේ CIF (පිරිවැය, රක්ෂණ සහ නැව් ගාස්තු) වටිනාකමෙන් මාසිකව 3% ක දැවැන්ත ප්‍රමාද දඩයක් එකතු වීම ප්‍රධාන ගැටලුවකි. ආනයනකරුවන් මෙම අමතර දඩ මුදල ද වාහනයේ අවසාන මිලටම එකතු කරන බැවින් පාරිභෝගිකයාට දැරිය නොහැකි අධික මිලක් ගෙවීමට සිදුවේ.

 

 maxresdefault.jpeg

 

 

තවද, ආනයනකරු විසින් අදාළ 3% ප්‍රමාද දඩ මුදල් ගෙවා අවසන් කරන තෙක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව (DMT) අදාළ වාහනයේ පළමු ලියාපදිංචිය සිදු නොකරයි. මේ හේතුවෙන් පාරිභෝගිකයාගේ වාහන සිහිනය තවදුරටත් අවිනිශ්චිත තත්ත්වයකට පත්වේ.

 

එපමණක් නොව, ලියාපදිංචිය ප්‍රමාද වන කාලය තුළ ගරාජ් අංක තහඩු (CC Plates) යොදාගෙන වාහනය පොදු මාර්ගවල ධාවනය කිරීම නීතිවිරෝධී ක්‍රියාවකි. යම් හෙයකින් එසේ ධාවනය කළහොත් පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමේ දැඩි අවදානමක් පවතී.

 

මීට අමතරව, ලියාපදිංචියේදී පාරිභෝගිකයා සහ ආනයනකරු යන දෙපාර්ශ්වයේම බදු අංක (TIN) සහ ලේඛනවල පවතින නොගැලපීම් ද විශාල අර්බුදයකි. මේ හේතුවෙන් පාරිභෝගිකයා නිරපරාදේ බදු විගණන ගැටලුවලට මැදි වීමේ ඉහළ සම්භාවිතාවක් පවතී.

 

අදාළ ආනයනකරු තමන් ගෙන්වූ වාහනවලින් 25%ක් මාස 6ක් තුළ ලියාපදිංචි නොකිරීම නිසා රජයෙන් අසාදු ලේඛනගත (Blacklist) වුවහොත් තත්ත්වය තවත් දරුණු වෙයි. එවැනි අවස්ථාවකදී වාහනය ලියාපදිංචියට අවශ්‍ය රේගු සහ බැංකු ලේඛන පාරිභෝගිකයාට කිසිසේත්ම ලබාගත නොහැකි තත්ත්වයක් නිර්මාණය වේ.

 

 vehi_BMICH_2.jpeg

 

 

දැරිය නොහැකි බදු බර සහ බැංකු ණය උගුල


නීතිමය ගැටලුවලට අමතරව මිනිසුන් වාහන සිහිනය අත්හැර දැමීමට ප්‍රධාන වශයෙන්ම බලපා ඇත්තේ අසාධාරණ බදු ව්‍යූහයයි. රජය විසින් වාහනයේ නියමිත මිලට වඩා තුන් හතර ගුණයක බද්දක් අය කරන අතර, ඊට වාහන ආනයනය කරන්නාගේ ලාභය ද එක්කළ පසු පාරිභෝගිකයාට අසන්නට ලැබෙන්නේ සිතා ගැනීමටවත් බැරි තරමේ දැවැන්ත මිලකි.

 

මෙතරම් විශාල මුදලක් ගෙවීමට සාමාන්‍ය ජනතාවට බැංකු ණය වෙත යෑමට සිදුවුවත්, ජනතාව මූල්‍ය ආයතන කෙරෙහි තබා ඇති විශ්වාසය බිඳවැටී ඇත. වැඩිවන පොලී අනුපාත සහ ආර්ථික අස්ථාවරත්වය හේතුවෙන් බැංකු ණය ලබාගැනීමට ඔවුන් දැඩි අකමැත්තක් දක්වති.

 

මෑතකදී "ව්‍යවසායක සභාව" විසින්  පැවැත්වූ වැඩසටහනකදී මෙම ඛේදවාචකය මනාව පැහැදිලි වූයේ, "බැංකුවකින් ණයක් ගත්තොත් ණයකරු සම්පූර්ණයෙන්ම විනාශ වී යන බවත්, ක්‍රෙඩිට් කාඩ්පතක් (Credit Card) භාවිත කිරීම සියදිවි නසාගැනීමක් වැනි බවත්ය." මෙවැනි පසුබිමක වාහනයක් වෙනුවෙන් විශාල ණය බරක් හිස මත පටවා ගැනීමට පාරිභෝගිකයන් භීතියක් දැක්වීම සාධාරණය.

 

 

 

සංඛ්‍යාලේඛනවලින් හෙළිවන සත්‍යය 


මෙම අර්බුදය හුදු කල්පිතයක් නොව, වෙළෙඳපොළ සංඛ්‍යාලේඛන මඟින් මනාව තහවුරු වන්නකි. 2025 වසරේ ඔක්තෝබර් 14 දක්වා ආනයනය කළ සමස්ත වාහන සංඛ්‍යාව 222,016ක් වූ අතර, එම වසර තුළ ලියාපදිංචි කළ සමස්ත වාහන සංඛ්‍යාව 360,117 ත් 362,100 ත් අතර විය.

 

නමුත් 2026 වසරේ පළමු මාස හතර (ජනවාරි - අප්‍රේල්) තුළ වාහන 215,000 කට වැඩි ප්‍රමාණයක් ආනයනය කර තිබුණද, 2026 ජනවාරි සහ පෙබරවාරි යන මාස දෙක සඳහා ලියාපදිංචි වී ඇත්තේ වාහන 107,047ක් පමණි. ඒ ජනවාරි මාසයේ 55,365ක් සහ පෙබරවාරි මාසයේ 51,682ක් වශයෙනි.

 

මෙම දත්ත මඟින් පැහැදිලිවම පෙන්වා දෙන්නේ ආනයනය කෙරෙන වාහන සංඛ්‍යාවට සාපේක්ෂව ලියාපදිංචි වීමේ වේගය අතිශයින්ම මන්දගාමී වී ඇති බවයි.

 

 

අවසාන නිගමනය සහ අවධාරණය!


රුපියල් මිලියන 50ක ප්‍රදර්ශන කුටි අද හිස්ව පවතින්නේ මේ සාධක සියල්ලේම ප්‍රතිඵලයක් වශයෙනි. වාහනයක් යනු තවදුරටත් මධ්‍යම පාන්තිකයාගේ අනාගත ආයෝජනයක් නොව, බදු දැල්වල සහ නීතිමය ප්‍රමාදයන්ගේ සිරගෙයක් බවට පත්ව ඇත.

 

 

නිසි ක්‍රමවේදයක් නොමැතිව නීති ලිහිල් කිරීමෙන් පමණක් වෙළෙඳපොළ ප්‍රසාරණය කළ නොහැකි බවත්, පාරිභෝගිකයා ආරක්ෂා කෙරෙන විධිමත් යාන්ත්‍රණයක් නොමැති තාක් මෙවැනි දැවැන්ත වෙළෙඳ කුටි හුදු ප්‍රදර්ශන භාණ්ඩ පමණක්ම වනු ඇති බවත් පැහැදිලිය. ව්‍යාපාරික පන්ති සහ නිලධාරිවාදයේ ඝට්ටනය අස්සේ අසරණ වී ඇත්තේ වෙන කවුරුවත් නොව සාමාන්‍ය පාරිභෝගිකයාය.

 

 

# නිරෝමි සුබ්‍රමනියම්

 

විශේෂ අවධාරණය:

පවතින මෙම අවිනිශ්චිත නීතිමය, බදු සහ මූල්‍යමය අර්බුදකාරී තත්ත්වයන් හේතුවෙන්, මේ මොහොතේ වාහනයක් මිලට ගැනීමට සූදානම් වන ඕනෑම අයෙකු ඒ පිළිබඳව අතිශයින්ම පරෙස්සම් සහගත විය යුතු බව තරයේ සිහි තබාගත යුතුය. කඩිමුඩියේ ගන්නා තීරණයක් ඔබව කිසිදිනෙක ගැලවිය නොහැකි නීතිමය සහ ණය උගුලකට හසුකරනු ඇත.

නවතම ලිපි