SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

නාමල් රාජපක්ෂ ක්‍රිෂ් ගනුදෙනුව -

 

 

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ට එරෙහිව ගොනු කර ඇති ක්‍රිෂ් (Krrish) ගනුදෙනුවට අදාළ නඩුව

මේ වන විට අපරාධ යුක්ති ක්‍රියාවලියේ ආයතනික වගවීම සහ විනිවිදභාවය පිළිබඳ බරපතළ ප්‍රශ්නාර්ථයක් මතු කර තිබේ. ජූනි 25 වන දා කොළඹ මහාධිකරණයේදී මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) ක්‍රියාකලාපය විනිසුරුවරියගේ දැඩි දෝෂදර්ශනයට ලක්වීම මීට ප්‍රධාන හේතුවයි.

 

 

 

CIDයේ පරස්පර විරෝධී ස්ථාවරය

පසුගිය මැයි මස 29 වන දා මෙම නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා කැඳවූ අවස්ථාවේදී, නඩුවට අදාළ ප්‍රධාන ඉන්දීය ජාතික සාක්ෂිකරුවන් දෙදෙනා තමන් සමග සම්බන්ධ වී සිටින බව CIDය අධිකරණයට දැඩි වගකීමකින් යුතුව ප්‍රකාශ කර තිබුණි. ඒ අනුව, විදේශීය සාක්ෂිකරුවන්ට සිතාසි නිකුත් කිරීමේ විශේෂිත ක්‍රමවේදය ඔවුන්ට අනවශ්‍ය බව දැක්වූ බැවින්, ජූලි 07 වන දා සාක්ෂි විභාගය ආරම්භ කිරීමට අධිකරණය දින නියම කළේය.

 

 

එහෙත්, නඩු විභාගය ආරම්භ වීමට සති දෙකක් වැනි කෙටි කාලයක් ඉතිරිව තිබියදී නීතිපතිවරයාගේ මෝසමක් මත නඩුව යළි කැඳවනු ලැබීය. එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා අධිකරණයට දැනුම් දුන්නේ මීට පෙර සම්බන්ධ කරගත හැකි යැයි පැවසූ සාක්ෂිකරුවන් දෙදෙනා මේ වන විට සම්බන්ධ කර ගැනීමට CIDයට නොහැකි වී ඇති බවයි.

 

 

අධිකරණයේ දැඩි නිරීක්ෂණය සහ විවේචනය

රාජ්‍ය පරීක්ෂණ ආයතනයක මෙම පරස්පර හැසිරීම කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවඳුරුගොඩ ගේ දැඩි විවේචනයට ලක් විය. ඇය විවෘත අධිකරණයේදීම නිරීක්ෂණය කළේ, පැමිණිල්ල මෙන්ම අධිකරණය ද දැඩි අපහසුතාවට පත් කළ මෙම ක්‍රියාව, හුදෙක් අතපසුවීමක් නොව "නඩු විභාගය ප්‍රමාද කිරීමේ අරමුණින්" CIDය විසින් සිතාමතා කරනු ලැබුවක් බවයි.

 

 

විත්ති පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මෙහිදී මතු කළ කරුණක් මගින් මෙම තත්ත්වයේ බරපතළකම තවත් තීව්‍ර වේ. එනම්, අදාළ සාක්ෂිකරුවන්ගෙන් එක් අයෙකුට ශ්‍රී ලංකාව තුළ වෙනත් නඩු පවතින බැවින් ඔහුව ගෙන්වා ගැනීමේ හැකියාව පැවති බවයි. ඉහළ දේශපාලනික වටිනාකමක් සහිත මෙවැනි නඩුකරයන්හිදී පරීක්ෂණ ආයතනවල මෙවැනි පසුගාමී හැසිරීම්, සමස්ත නීති ක්ෂේත්‍රයේ සහ රාජ්‍ය යාන්ත්‍රණයේ ප්‍රතිසංස්කරණවල අවශ්‍යතාවය යළි යළිත් අවධාරණය කරයි.

 

 

නඩු විභාගයට එල්ල වූ බලපෑම සහ ඉදිරි පියවර

CIDයේ මෙම ක්‍රියාකලාපයේ සෘජු ප්‍රතිඵලයක් ලෙස, ජූලි 07 වන දා ආරම්භ කිරීමට නියමිතව තිබූ සාක්ෂි විභාගය මුළුමනින්ම අවලංගු කිරීමට අධිකරණයට සිදු විය. නඩුවේ ඉදිරි පියවර ලෙස, අධිකරණ සේවා කොමිෂන් සභා චක්‍රලේඛ 358 ප්‍රකාරව විදේශ කටයුතු සහ අධිකරණ අමාත්‍යාංශ හරහා අදාළ ඉන්දීය ජාතිකයන්ට සිතාසි නිකුත් කිරීමට දැන් නියෝග කර ඇත.

 

 

මෙම සමස්ත සිදුවීම් මාලාව මගින් පෙනී යන්නේ, යුක්තිය පසිඳලීමේ යාන්ත්‍රණය තුළ ආයතනික ක්‍රියාපටිපාටි නිසි ලෙස ක්‍රියාත්මක නොවීම හේතුවෙන් නීතියේ ප්‍රමාදය තවදුරටත් උග්‍ර වන ආකාරයයි. මෙම නව ක්‍රියාවලියේ ප්‍රගතිය විමසා බැලීම සඳහා නඩුව යළිත් ජූලි 07 වන දා කැඳවීමට නියමිත ය.

 

 

නවතම ලිපි