ශ්‍රී ලාංකේය දරුවන් සමාජ මාධ්‍ය වෙත පිවිසීම පාලනය කිරීම සහ හානිකර අන්තර්ජාල අන්තර්ගතයන්ගෙන්
ඔවුන් ආරක්ෂා කිරීම අරමුණු කරගත් "සමාජ මාධ්‍ය අවම වයස් පනත් කෙටුම්පත" (Social Media Minimum Age Bill) අද (24) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි. එය ඉදිරිපත් කරනු ලැබුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා විසිනි.
නෛතික ප්‍රතිපාදන සහ සීමා කිරීම්
මෙම පනතට අනුව වයස අවුරුදු 16 සම්පූර්ණ නොකළ ශ්‍රී ලාංකික දරුවන් "වයස් සීමාවට යටත් පරිශීලකයෙකු" (Age-restricted user) ලෙස අර්ථ දක්වා ඇත. ඒ අනුව, වයස අවුරුදු 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය සේවා සඳහා ප්‍රවේශ වීම වැළැක්වීමට අදාළ නියෝග පැනවීමේ බලය විෂය භාර ළමා කටයුතු අමාත්‍යවරයාට හිමිවේ.
මීට අමතරව දරුවෙකුට දිනකට හෝ නිශ්චිත කාලපරිච්ඡේදයක් තුළ සමාජ මාධ්‍ය භාවිත කළ හැකි උපරිම කාලය සීමා කිරීමට අමාත්‍යවරයාට ප්‍රතිපාදන සපයා ඇත. එසේම දරුවන්ට සමාජ මාධ්‍ය වෙත පිවිසිය හැකි දවසේ නිශ්චිත වේලාවන් තීරණය කිරීමේ නෛතික බලය ද මෙම පනත මගින් තහවුරු කර තිබේ.

අධීක්ෂණ යාන්ත්‍රණය
මෙම නව නීති ක්‍රියාත්මක වීම අධීක්ෂණය කිරීම සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය යටතේ බලයලත් කොමසාරිස්වරයෙකු පත් කිරීමට යෝජිතය. පැමිණිලි භාරගැනීමට, නියෝග නිකුත් කිරීමට, අදාළ තොරතුරු කැඳවීමට මෙන්ම පරීක්ෂණ පැවැත්වීමට මෙම නිලධාරියාට පූර්ණ බලතල හිමිවනු ඇත.
මෙම පනතේ සිංහල සහ දෙමළ පිටපත් අතර යම් පරස්පරතාවයක් මතු වුවහොත්, සිංහල පිටපතේ අන්තර්ගතය බලපැවැත්වෙන බව ද එහි නෛතික ප්‍රතිපාදන තුළ පැහැදිලිව සඳහන් කර තිබේ.

ඩිජිටල් අර්බුදය සහ ගෝලීය ප්‍රවණතා
වත්මන් සමාජය තුළ දරුවන් ඉලක්ක කරගත් සයිබර් අපරාධ, මාර්ගගත හිරිහැර (Cyberbullying) සහ ළමා අපයෝජන සිදුවීම් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත. කිසිදු නියාමනයකින් තොරව සිදුවන සමාජ මාධ්‍ය භාවිතය දරුවන්ගේ මානසික සහ ශාරීරික සෞඛ්‍යයට ද දැඩි තර්ජනයක් වී තිබේ.
ඕස්ට්‍රේලියාව වැනි ලොව බොහෝ රටවල් ද මේ වන විටත් වයස අවුරුදු 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමේ නීති ක්‍රියාත්මක කර තිබේ. ජාත්‍යන්තර ප්‍රජාවම මෙම ඩිජිටල් අර්බුදයට විසඳුම් සොයමින් සිටින මොහොතක මෙම ගෝලීය ප්‍රමිතීන්ට අනුගත වෙමින් මෙවැනි පියවරක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීම ඉතා කාලෝචිතය.

මහජන නියෝජිතයෙකුගේ නෛතික මැදිහත්වීම
මෙවැනි සංකීර්ණ නීතිමය රාමුවක් පාර්ලිමේන්තුවට ගෙන ඒම සඳහා නීතිය සහ එහි ව්‍යවහාරය පිළිබඳ පුළුල් ප්‍රායෝගික අවබෝධයක් අවශ්‍ය වේ. ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා විසින් මෙවැනි යෝජනාවක් ගෙන ඒම තුළින් නීතියේ අවශ්‍යතාව නිවැරදිව හඳුනාගැනීම මෙන්ම, මහජන නියෝජිතයෙකු ලෙස සතු සමාජ වගකීම ද මනාව විදහා දක්වයි.
පාර්ලිමේන්තුවට අද දින ඉදිරිපත් කළ පනත පහතින්...




