SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

විචාරාත්මක පුවත් විග්‍රහය

 

 

මෙරට පාරිභෝගිකයා භාණ්ඩයක් මිලදී ගැනීමේදී බොහෝ විට විශ්වාසය තබන්නේ එහි 'සන්නාමය' (Brand) සහ

එය අලෙවි කරන වෙළෙඳසැලේ 'ප්‍රමිතිය' මතය. විශේෂයෙන්ම ජාත්‍යන්තර මට්ටමේ සුපිරි වෙළෙඳසැල් ජාලයක් සහ දශක ගණනාවක් තිස්සේ ලාංකීය ගෘහණියගේ විශ්වාසය දිනාගත් දේශීය නිෂ්පාදන ආයතනයක් කෙරෙහි පාරිභෝගිකයා තුළ ඇත්තේ අවිවාදිත විශ්වාසයකි. එහෙත්, එම විශ්වාසය හුදෙක් මුදල සහ ලාභය මත පමණක් පදනම් වී පාරිභෝගිකයාගේ සෞඛ්‍යයත්, මුදලුත් කොල්ලකන තත්ත්වයකට පත්ව ඇති බව පසුගියදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් දුන් තීන්දුවක් මගින් මනාව තහවුරු වේ.

 

 

ඒ, ප්‍රමිතියෙන් තොර බාල ලුණු වෙළෙඳපොළට නිකුත් කිරීම සහ අලෙවි කිරීමේ චෝදනාව මත ප්‍රකට සුපිරි වෙළෙඳසල් ජාලයක් වන “ස්පාර් ශ්‍රී ලංකා පුද්ගලික සමාගම” (SPAR Supermarket) සහ මෙරට ප්‍රධාන පෙළේ ලුණු නිෂ්පාදන සමාගමක් වන “රයිගම වයඹ සෝල්ටර්නර්ස් පුද්ගලික සමාගම” (Raigama Wayamba Salterns) යන සමාගම් ද්විත්වයම වරදකරුවන් කරමින් රුපියල් ලක්ෂ 2ක දඩයක් නියම කිරීමත් සමගය.

 

 

 

නීතියේ දැලට කොටු වූ ජාවාරම

ශ්‍රී ලංකා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් කොළඹ 02, යුනියන් පෙදෙසේ පිහිටි ස්පාර් (SPAR) සුපිරි වෙළෙඳසැලේ සිදුකළ හදිසි වැටලීමකදී ලබාගත් කුඩු ලුණු සාම්පල, රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමෙන් අනතුරුව මෙම බරපතළ වංචාව හෙළිදරව් වී ඇත. රස පරීක්ෂක වාර්තාවන්ට අනුව මෙම ලුණු, පාරිභෝගිකයාට ලබා දිය යුතු SLSI 80:2019 ජාතික ප්‍රමිති පිරිවිතරයන්ට අනුකූල නොවන බාල තත්ත්වයේ ඒවා බව සනාථ වී තිබේ.

 

ඒ අනුව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි පනතේ 30 සහ 31 වගන්ති උල්ලංඝනය කරමින්, පාරිභෝගිකයා රවටා සහ නොමඟ යවා කටයුතු කිරීමේ චෝදනාවට, නිෂ්පාදකයා මෙන්ම බෙදාහරින්නාද අධිකරණය ඉදිරියේ නිරුත්තර වී වරද පිළිගන්නා තත්ත්වයට පත් විය.

 

 

ලාභය හඹා යාම සහ සන්නාමයන්හි පිරිහීම

මෙම සිදුවීම හුදෙක් එක් නඩු තීන්දුවකට පමණක් ලඝු කළ නොහැක්කකි. එයින් නිරූපණය වන්නේ වර්තමාන ශ්‍රී ලාංකීය ආයතනික ක්ෂේත්‍රයේ පවතින ඛේදනීය තත්ත්වයකි. මෙරට වෙළෙඳපොළේ ඉහළම සන්නාම නාමයන් දිනා සිටින, ජනතාවගේ දෛනික ජීවිතය හා බද්ධ වූ සමාගම් පවා අද වන විට ක්‍රමයෙන් තම ලාභ රේට්ටුව (Profit Margins) වැඩිකර ගැනීම උදෙසා භාණ්ඩවල ප්‍රමිතිය බිලිදෙන තත්ත්වයට පත්ව තිබේ.

 

අමුද්‍රව්‍ය මිල ඉහළ යාම හෝ ආර්ථික අර්බුදය ඊට නිදහසට කරුණක් කරගත නොහැක. පාරිභෝගිකයා සුපිරි වෙළෙඳසැලකට ගොස්, සාමාන්‍ය කඩයකට වඩා වැඩි මිලක් ගෙවා සන්නාමගත භාණ්ඩයක් මිලදී ගන්නේ එහි ඇති 'ප්‍රමිතිය සහ සුරක්ෂිතභාවය' පිළිබඳ විශ්වාසයෙනි. එහෙත් ලුණු වැනි දෛනිකව පරිභෝජනය කරන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යයකින් පවා මෙලෙස ජනතාවගේ ඇස්වලට වැලි ගැසීම, ආයතනික ආචාරධර්ම (Corporate Ethics) වල දැවැන්ත බිඳවැටීමක් පෙන්වයි.

 

 

මිලදී ගත හැකි සම්මාන සහ සැබෑ ජනතා සම්මානය

 

අද වන විට බොහෝ සමාගම් වාර්ෂිකව කෝටි ගණනක් මුදල් වියදම් කරමින් තරු හෝටල්වල දැවැන්ත සම්මාන උළෙලවල් පවත්වයි. නැතහොත් විවිධ ආයතන මගින් පිරිනමන "වසරේ විශිෂ්ටතම සන්නාමය", "වසරේ පාරිභෝගික විශ්වාසය දිනූ සන්නාමය" වැනි සම්මාන මිලදී ගනියි. පසුව එම සම්මාන රූපවාහිනී තිරයේ සහ පුවත්පත් පිටුවල ප්‍රදර්ශනය කරමින් පාරිභෝගිකයන්ව තවදුරටත් මායාවක හිර කර තබයි.

 

 

නමුත් මෙම සිදුවීමෙන් අපට කියාදෙන විශාලතම පාඩම වන්නේ, කොතරම් මුදලක් වැය කර දැවැන්ත සම්මාන උළෙලවල් පැවැත්වුවද, කොතරම් වෙළෙඳ දැන්වීම් පළ කළද සැබෑ "ජනතා සම්මානය" ලැබෙන්නේ හෝ රැඳී පවතින්නේ භාණ්ඩයේ අඩංගු "නිසි ප්‍රමිතිය" මත පමණක් බවයි. ප්‍රමිතියෙන් තොරව ජනතාව රවටන සමාගම්වලට අවසානයේ හිමිවන්නේ උසාවි ගාස්තු සහ දඩ මුදල් ගෙවා, සමාජය ඉදිරියේ අවමානයට ලක් වීමටය.

 

 

පාරිභෝගිකයාට පණිවිඩයක්

රයිගම් සහ ස්පාර් වැනි දැවැන්ත සමාගම්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට ජනතා ප්‍රසාදය හිමිවිය යුතුය. නීතිය කාටත් සමාන බව මින් තහවුරු වී ඇත.

 

 

 

කෙසේ වෙතත්, අවදියෙන් සිටීමේ වගකීම ඇත්තේ පාරිභෝගිකයා අතේය. නම් දැරූ සමාගමක් හෝ සුපිරි වෙළෙඳසැලක් වූ පමණින් ඔවුන්ගේ සියලුම නිෂ්පාදන 100% ක් නිවැරදි යැයි අන්ධ ලෙස විශ්වාස කළ නොහැකි බව දැන් ඔප්පු වී හමාරය. එබැවින්, ඔබ මිලදී ගන්නා භාණ්ඩවල යම් හෝ ප්‍රමිතියෙන් තොර බවක් හෝ පාරිභෝගිකයා රැවටීමක් සිදුවන බව පෙනී යන්නේ නම්, කාර්යාල වේලාවන් තුළ 1977 යන කෙටි ඇමතුම් අංකය ඔස්සේ වහාම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට දැනුම් දීමට පසුබට නොවන්න. ජාවාරම්කරුවන්ගෙන් ඔබේ මුදලත්, සෞඛ්‍යයත් ආරක්ෂා කරගත හැක්කේ ඔබේම අවධානයෙන් පමණි.

 

 

(මූලාශ්‍රය - ශ්‍රී ලංකා මිරර් පුවත් වාර්තාව ඇසුරෙනි)

නවතම ලිපි