SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

බාල ඖෂධ මිලදී ගැනීම සම්බන්ධයෙන් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාග වන ආන්දෝලනාත්මක නඩුවේ

මැයි 18 වැනිදා විභාගය, රාජ්‍ය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රසම්පාදන හා තොග පාලන ව්‍යුහය තුළ පවතින බරපතල පරස්පරතා මනාව හෙළිදරව් කළ දිනයක් විය. 9 වන දිනටත් සාක්ෂි කූඩුවට නැගුණු සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයීම් ඒකකයේ (MSD) ප්‍රධාන තොග පාලක එච්.එම්.ඩී.එන්. බණ්ඩාර ගෙන් විත්තියේ නීතිඥවරුන් නැගූ හරස් ප්‍රශ්න හරහා, හදිසි ඖෂධ මිලදී ගැනීම් සාධාරණීකරණය කිරීම සඳහා දත්ත පද්ධති (Pronto System) සහ තොග වාර්තා ක්‍රියාත්මක වූයේ කෙසේද යන්න පිළිබඳව විවේචනාත්මක කියවීමකට අවකාශය සැලසිණි.

 

 

 

මෙම නඩු වාර්තාව හුදෙක් නීතිමය ලියවිල්ලක් පමණක් නොවේ. එය රාජ්‍ය ආයතන තුළ පවතින පද්ධතිමය දූෂණය (Systemic Corruption) සහ වගවීමකින් තොර පරිපාලන සංස්කෘතියේ ස්වභාවය විනිවිද දකින කැඩපතකි.

 

 Travel ban on two govt officials in substandard immunoglobulin importation  case - Breaking News | Daily Mirror

 

දත්ත පද්ධතියේ පරස්පරතා සහ 'කෘත්‍රිම' හිඟය

තෙවන චූදිත වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ඉසුරු ජයවර්ධන ගේ හරස් ප්‍රශ්න ඇසීම මූලිකවම එල්ල වූයේ ඖෂධ තොග පවතිද්දීම 'හදිසි අවශ්‍යතා' නිර්මාණය කළේ කෙසේද යන තර්කය ගොඩනැගීම සඳහාය. විශේෂයෙන්ම හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් (Human Immunoglobulin) ඖෂධයේ තොග පිළිබඳව මතු වූ සංඛ්‍යාත්මක පරස්පරතා මෙහිදී තීරණාත්මක විය.

 

නීතිඥ ඉසුරු ජයවර්ධන:

2023/05/23 වන විට එහි තිබූ හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ප්‍රමාණය කොපමණද?

සාක්ෂිකරු:

1870 ක් වශයෙන්.

නීතිඥ:

දිනකට අවශ්‍යතාව කොපමණද?

සාක්ෂිකරු:

250 ක් ස්වාමීනී.

නීතිඥ:

ජාතික තලයේ මෙම ඖෂධය කොපමණ තිබෙනවාද?

සාක්ෂිකරු:

12,840 ක්.

නීතිඥ:

මාසයක් දෙකක් අතර ප්‍රමාණයක් නේද ඒ අනුව ප්‍රමාණවත්?

සාක්ෂිකරු:

මාස 1.7 කට ප්‍රමාණවත්.

 

 

මෙහිදී විත්තිය මනාව තහවුරු කරන්නේ, MSD ගබඩාවේ දින තුනකට පමණක් ඖෂධ ඇති බව පෙන්වා පද්ධතිය තුළ භීතිකාවක් නිර්මාණය කළ ද, ජාතික තලය තුළ (රෝහල් පද්ධතියේ) මාස එකහමාරකට වඩා වැඩි කාලයකට ප්‍රමාණවත් තොග පැවති බවයි. එමෙන්ම ප්‍රාදේශීය මිලදී ගැනීම් (Local Purchasing) මගින් වැඩි මිලට ඖෂධ මිලදී ගත් විට ඒවා ස්වයංක්‍රීයව පරිගණක පද්ධතියට (Pronto) ඇතුළත් නොවීම තුළින්, දත්ත පද්ධතියේ නිරවද්‍යතාවය පිළිබඳ බරපතල අර්බුදයක් නිර්මාණය වී ඇති බව සාක්ෂිකරුගේ පිළිතුරු මගින්ම සනාථ විය.

 

 Medical Supply Division

 

'කළමනාකරණය' නම් වූ හිස් වචනය සහ විනිසුරු මැදිහත්වීම

11 වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අමිත ආරියරත්න  තොග පාලන මූලධර්ම පිළිබඳව සාක්ෂිකරුගෙන් දැඩි ලෙස ප්‍රශ්න කළේය. සාමාන්‍ය ක්‍රමවේදය අනුව මාස තුනක තොගයක් පවත්වාගෙන යා යුතු බවට විත්තිය කළ යෝජනාව සාක්ෂිකරු ප්‍රතික්ෂේප කළේ එය "තොග පවත්වාගෙන යාමක් නොව කළමනාකරණය කිරීමක්" බව පවසමිනි. ආයතනය තුළ තොග බිංදුවට වැටීම යනු සැපයුම් අඛණ්ඩතාව බිඳ වැටීමක් බව විත්තිය මතු කළ විට, එය හුදෙක් 'කළමනාකරණ ක්‍රියාවලියේ' කොටසක් ලෙස සාක්ෂිකරු අර්ථකථනය කිරීමට උත්සාහ කළේය.

 

මෙම අවස්ථාවේදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ තීරණාත්මක මැදිහත්වීමක් දැකගත හැකි විය.

 

විනිසුරු:

මාසික අවශ්‍යතාවය 4500 යි. දවසකට 250 යි. 2V36 A ඖෂධ 7 වැනිදා ඒකක 6ක් භාරගෙන තිබෙනවා. දවසකට 250 අවශ්‍යතාව තියෙද්දි 6 පමණක් භාර ගන්නවද?

සාක්ෂිකරු:

ඔව් අවශ්‍යතා අනුව භාර ගන්නවා ස්වාමීනි.

 

එපමණක් නොව, ඖෂධ හුවමාරුව පිළිබඳව විනිසුරුවරයා නැගූ ප්‍රශ්නය පරිපාලනමය දුර්වලතා තවදුරටත් නිරාවරණය කළේය.

 

විනිසුරු:

රෝහල් අතර ඖෂධ හුවමාරු කිරීම් ප්‍රතික්ෂේප කරලා ගැටලු ඇතිවීම් වාර්තා වෙනවද?

සාක්ෂිකරු:

නැහැ ස්වාමීනී. සුහදව කරගෙන යනවා. බැරි නම් කියනවා.

 

මෙමගින් පැහැදිලි වන්නේ ජාතික තලයේ ඖෂධ පවතිද්දී, රෝහල් අතර සුහද හුවමාරුවකින් තත්වය සමනය කරගැනීමට අවකාශය තිබියදීත්, හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලීන් වෙත යොමු වීම පිටුපස වෙනත් න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක වී ඇති බවට විත්තිය නගන තර්කයට ප්‍රබල පදනමක් වැටෙන බවයි.

 

 

සුරේෂ් සලේ: CID රැඳවුම් භාරයේ සිටියදී මානව හිමිකම් කොමිසම කර ඇති නිරීක්ෂණ  මොනවා ද? - BBC News සිංහල

 

සී.අයි.ඩී පරීක්ෂණයේ සිදුරු සහ විනිවිදභාවයේ අර්බුදය

හයවන චූදිත වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් ජයවර්ධන ගේ හරස් ප්‍රශ්න මගින් රහස් පොලිස් (CID) විමර්ශනයේ පැවති හිඩැස් මතුකර පෙන්වීය. අධිකරණය හමුවේ "කළමනාකරණ ක්‍රියාවලියක්" ගැන න්‍යායාත්මකව කරුණු දැක්වූ සාක්ෂිකරු, එම කිසිදු කරුණක් CID යට ප්‍රකාශ කර නොමැති බව මෙහිදී අනාවරණය විය.

 

 

නීතිඥ නුවන් ජයවර්ධන:

කළමනාකරණ ක්‍රියාවලිය ගැන සී අයිඩී එකට කිව්වද?

සාක්ෂිකරු:

සී අයිඩී එක දීර්ඝ විමසුමක් කළේ නැහැ. දීර්ඝ විමසුමක් කළේ මේ අධිකරණයයි.

නීතිඥ:

මම යෝජනා කරනවා ඔබ පැමිණිල්ලට පක්ෂග්‍රාහීව සාක්ෂි දෙන බවට. හිතා මතාම ප්‍රශ්න මග අරිනවා.

 

 

මෙදින නඩු වාර්තාව සමස්ත රාජ්‍ය සෞඛ්‍ය ප්‍රසම්පාදන යාන්ත්‍රණයේම ව්‍යුහාත්මක අර්බුදය සංකේතවත් කරයි. දත්ත පද්ධති (Pronto) පවතින්නේ තීරණ ගැනීම පහසු කිරීමට සහ විනිවිදභාවය ආරක්ෂා කිරීමට වුවත්, මෙහිදී එම පද්ධතියම අත්තනෝමතික මිලදී ගැනීම් සාධාරණීකරණය කරන ආවරණයක් (Screen) ලෙස භාවිත කර ඇති බව පෙනෙන්නට තිබේ. සාක්ෂිකරුගේ "කළමනාකරණ ක්‍රියාවලිය" යන යෙදුම, පද්ධතියේ පවතින හිඩැස් වසා ගැනීමට භාවිතා කරන හිස් වචනයක් (Empty Signifier) බවට පත්ව ඇත.

 

 

ප්‍රාදේශීය මිලදී ගැනීම්වලින් ලැබෙන තොග පද්ධතියට යාවත්කාලීන නොවීම, දිනකට අවශ්‍යතාව 250ක් වුවත් ඒකක 6ක් වැනි හාස්‍යජනක ප්‍රමාණයක් භාරගැනීම සහ ජාතික තලයේ ප්‍රමාණවත් තොග තිබියදීත් කඩිනම් මිලදී ගැනීම් සඳහා ප්‍රමුඛතාවය දීම යනාදී කරුණු තුළින් පැහැදිලි වන්නේ, මෙය හුදෙක් පරිපාලනමය අතපසුවීමක් නොව, සූක්ෂම ලෙස සැලසුම් කරන ලද ක්‍රමවේදයක ප්‍රතිඵලයක් විය හැකි බවයි. ත්‍රිපුද්ගල මහාධිකරණයේ විනිසුරු මඩුල්ල සිය සූක්ෂම ප්‍රශ්න කිරීම් හරහා මෙම පරිපාලනමය ආවරණය ඉරා දැමීමට දරන උත්සාහය මෙහිදී අතිශය ප්‍රශංසනීය වේ. 19 වන දිනට නියමිත වැඩිදුර හරස් ප්‍රශ්න ඇසීම තුළින් මෙම ප්‍රසම්පාදන මාෆියාවේ තවත් අඳුරු කලාප ගණනාවක් ආලෝකයට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.

 

 

ඉමියුනෝග්ලොබියුලින් නඩුව: අධිචෝදනා පත්‍රය අමතක කර පැමිණිල්ල වෙනත් මාවතක  යනවද?

නඩු වාර්තාව

2026/06/18

බාල ඖෂධ මිලදී ගැනීම පිළිබඳව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාග වන නඩු විභාගයේ අද (18) දින සාක්ෂි දීම සඳහා 9 වන දිනටත් කැඳවා තිබුණේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයීම් ඒකකයේ ප්‍රධාන තොග පාලක එච් එම් ඩී එන් බණ්ඩාරය.

තෙවන චූදිත වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ඉසුරු ජයවර්ධන සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න ඇසීම ආරම්භ කළේය

නීතිඥ ; මෙම ඖෂධයේ MSD V කේතයට spc කේතය සමානද?

සාක්ෂිකරු ; සමාන්තරයි

නීතීඥ ; හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධයේ විස්තර සහිත මේ 293 ලේඛනයේ 7 හා 8 තීරුවලට අවධානය යොමුු කරන්න

සාක්ෂිකරු ; මෙහි 8 තීරුවේ ඕඩර් නම්බර් කියා සඳහන් වෙනවා 7 තීරුවේ 00603 අංකය සහිත ඖෂධය බව සඳහන් වෙනවා.

නීතිඥ ; පැ 291 බලන්න. එහි 8 තීරුවේ කේත අංකය කුමක්ද?

සාක්ෂිකරු ; 2023/MSD/V/R/P/00038 ලෙස සඳහන්

නීතිඥ ; මෙහි ඇණවුම කොපමණද?

සාක්ෂිකරු ; 22500 යි.

නීතිඥ ; පැ 293 හි 9 වන තීරුවේ මාතෘකාව කුමක්ද?

සාක්ෂිකරු ; award quantity

නීතිඥ ; එහි 2V 27 ලෙස සලකුණු කර ඇති කොටස් හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් කොපමණ ප්‍රමාණයක් ඇනවුම්කර තිබේද?

සාක්ෂිකරු ; 22500ක්

නීතිඥ ; පැ 305, 306,307 ලේඛන ගැන මතකයක් තිබේද?

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි

නීතිඥ ; ඔබ මූලික සාක්ෂියේදී කියා සිටියාද මේ ලේඛන ගැන හැරුණු විට හත්වන චූදිත ඔබට වාචික උපදෙස් ලබා දීමක් සිදුකළාා කියා.

සාක්ෂිකරු ; නැහැ ලිපියට ප්‍රකාරව උපදෙස් දුන්නා.

නීතිඥ ; මම යෝජනා කරනවා කිසිදු උපදෙසක් ලබා නොදුන් බව

සාක්ෂිකරු ; වාචික උපදෙස් දුන්නට ලිඛිතව උපදෙස් දීම තිබුණා

නීතිඥ ; 2022 වසරේදී ජීවිතාරක්ෂක, අත්‍යවශ්‍ය සහ අත්‍යවශ්‍ය නොවන වශයෙන් වර්ගීකරණයක් කර තිබුණද?

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි

නීතිඥ ; ඖෂධ කීයක් ඊට ඇතුළත් කර තිබුණද?

සාක්ෂිකරු ; ජීවිතාරක්ෂක 14 අත්‍යවශ්‍ය ඖෂධ 875 හා අත්‍යවශ්‍ය නොවන තත්ත්වයේ 857 ආසන්න වශයෙන් 1350 කට ආසන්න ප්‍රමාණයක් තිබුණා

නීතිඥ ; 2023 අප්‍රේල් මස වන විට අසේල ගුණවර්ධන නම් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා චක්‍රලේඛයක් නිකුත් කළා ප්‍රමුඛතා ලැයිස්තුවක් ගැන

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි

නීතිඥ ; ඒ මගින් කලින් සඳහන් කළ 1347 ක් පමණ වූ ඖෂධ 847 ක් බවට පත් කළා මතකද?

සාක්ෂිකරු ; විද්වත් කමිටුවක යෝජනාවෙන් 850ක් බවට විශේෂ ලැයිස්තුවක් සකස් කළා

(පැ 210 I ලේඛනය සාක්ෂිකරුට පෙන්වයි)

නීතිඥ ; මේ චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ කවදාද?

සාක්ෂිකරු ; 2023/04/04 වැනිදා

නීතිඥ ; සෞඛ්‍ය අංශයේ සියලු දෙනාම මේ ප්‍රමුඛතා ලැයිස්තුවට අනුගත වෙන්න කියා උපදෙස් දී තිබුණා

සාක්ෂිකරු ; ඔව්

නීතිඥ ; I ඇමිනුමෙහි අංක 1 හි සඳහන් ඖෂධය කුමක්ද?

සාක්ෂිකරු ; හියුමන් ඉමියුනෝග්ලොබියුලීන්

නීතිඥ ; අංක 570 සඳහන් අයිතමය කුමක්ද?

සාක්ෂිකරු ; රිටක්සිමැබ් එන්නත

නීතිඥ ; 1947 ..... 850 ක් කිරීමට හේතු ලෙස දක්වා ඇත්තේ කුමක්ද?

සාක්ෂිකරු ; ඒවන විට රටේ පැවැති අර්බුදකාරී වාතාවරණය හේතුවෙන් සෞඛ්‍ය සේවා අයවැය පාලනය සඳහා රෝගීන් කළමනාකරණය කරන්නැයි එහි උපදෙස් දී තිබුණා.

නීතිඥ ; (පැ 309 සටහන සාක්ෂිකරුට පෙන්වයි)

මෙහි 309 I 5 වන චූදිත යොදන ලද්දක් බව හඳුනාගත්තා. එහි පෝලියෝ අංක ගැන විස්තර කරන්න.

සාක්ෂිකරු ; එහි 191, 192, 193 වශයෙන් සඳහන් කර තිබෙනවා. ඒ 2023/05/23 දිනයේදී

නීතිඥ ; ඒවන විට එහිි තිබූ හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ප්‍රමාණය කොපමණද?

සාක්ෂිකරු ; 1870 ක් වශයෙන්

නීතිඥ ; මාසික අවශ්‍යතාව කොපමණද?

සාක්ෂිකරු ; 7500 යි

නීතිඥ ; දිනකට කොපමණද ?

සාක්ෂිකරු ; 250 ක් ස්වාමීනී

නීතිඥ ; ඒ අනුව 2023/05/23 ට දින කීයකට මේ ඖෂධ පවතිනවද?

සාක්ෂිකරු ; දින තුනකට පමණ

නීතිඥ ; ආයතන කොපමණ රටේ තිබෙනවද?

සාක්ෂිකරු ; වෛද්‍ය ආයතන 2000 ක් පමණ තිබෙනවා.

නීතිඥ ; ජාතික තලයේ මෙම ඖෂධය කොපමණ තිබෙනවාද?

සාක්ෂිකරු ; 12840 ක්

නීතිඥ ; මාසයක් දෙකක් අතර ප්‍රමාණයක් නේද ඒ අනුව ප්‍රමාණවත්?

සාක්ෂිකරු ; මාස 1.7 කට ප්‍රමාණවත්

නීතිඥ ; මෙම ඖෂධය වාර්ෂික අවශ්‍යතාවයේ පුරෝකතනය 90000 ක්

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි

නීතිඥ ; පෙන්ඩින් 75000 ක් තිබුණා

සාක්ෂිකරු ; ඔව්

නීතිඥ ; මෙහි ඩිළිවරි ෂෙඩියුල් එක කොයි තරම් කාලයක් තිබුණද?

සාක්ෂිකරු ; වසරක් පමණ

නීතිඥ ; මම යෝජනා කරනවා 23/01/01 දිනට ඒකක 40000කුත් 23/06/31 දිනට 35000 කුත් වශයෙන් සැලසුම් කොට තිබූ බවට

සාක්ෂිකරු ; එහෙම තියෙන්න ඇති

නීතිඥ ; පැ 308 හි 1 යටතේ ඇති පෙන්ඩින් ඕඩර් ලයිස්තුවව බලන්න. 2023 ජනවාරි 1 දින 40000ක් ලැබීමට තියෙනවා තිබුනා කියා නමුත් ජනවාරි 11වන විටත් කිසිදු ඖෂධයක් ලැබුණේ නැහැ මම යෝජනා කරනවා

සාක්ෂිකරු ; එහෙම වෙන්න ඇති

නීතිඥ ; 2024/10/13 වන විටත් Priority ලැයිස්තුව අනුව ඖෂධයක් බාර ගැනීම තොග පාලන නිලධාරී හරහා වෙද්දී යම් සඳහනක් කර තිබෙනවා.

(නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය විරෝධය පළ කරයි )

නීතිඥ ; මෙම සටහන අනුව තොග පාලන නිලධාරීන් ගැටලුවක් හඳුනාගෙන

සාක්ෂිකරු ; ඔව්

නීතිඥ ; ඒ කුමක්ද

සාක්ෂිකරු ; අයිතමයට අදාළ තොරතුරු වගයක්. ඒ සමගම delivery has been expired කියල සඳහන් කර තිබෙනවා.

නීතිඥ ; අදාළ ඇනවුම ප්‍රමාද වී පැමිණ තිබෙනවා කල යුතු කුමක්ද කියා නේද අහල තියෙන්නේ?

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී අදාල උපදෙස් ලබාගෙන තමයි එය භාරගන්න වෙන්නේ

නීතිඥ ; ඩිලිවරි ෂෙඩියුල් එක ප්‍රමාද වෙලා ඖෂධ ලැබෙනවද?

සාක්‍ෂිකරු ; ඔව් එවිට අනුමැතියක් ලබා එය භාරගත හැකියි

පැ 320 ලේඛනයේ සඳහන් වෙනවා දඩ මුදලක් මත අවශ්‍ය නම් ඖෂධ තොගය බාරගන්න පුළුවන් කියා

නීතිඥ ; 2V 38 කොටසට අවධානය යොමු කරන්න

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි

නීතිඥ ; දඩ මුදලක් අය කරන්න තීරණය කළාට ඒ ගැන කටයුතු කරන්නේ කුමන අංශයෙන්ද?

සාක්ෂිකරු ; ගිණුම් අංශයෙන්

නීතිඥ ; ගණනය කරන්නේ ගිණුම් අංශයෙන්ද?

සාක්ෂිකරු ; එතැන විය යුතුයි

නීතිඥ ; මම යෝජනා කරනවා ගිණුම් අංශයෙන් කියලා

සාක්ෂිකරු ; විය හැකි ස්වාමීනී

නීතිඥ ; ඩිළිවරි ෂෙඩියුල් එකට දිනකට අදාල තොගය ලබා නොදුන්නත් අදාල තොගය MSD වෙත ලබා දිය හැකියි කියා

සාක්ෂිකරු ; එය ඉදිරියට දැනුවත් කොට ලබාගත හැකියි

නීතිඥ ; (2V36 A ලේඛනය පෙන්වයි)

2023/MSD/V/R/P/00019ඇණවුමක් තිබෙනවාද මහත්මයා?

සාක්ෂිකරු ; තිබෙනවා

නීතිඥ ; මම යෝජනා කරනවා 2023/MSD/V/R/P/00019 කියන ඇනවුමට අදාළ වන්නේ අගෝස්තු 15 වන දිනට 28125 වශයෙනුත් 2021/11/15 දිනට තවත් 28125ක් වශයෙනුත්, 2022/05/31 දින තවත් 28125 වශයෙන් එම ඇනවුම් ලැබිලත් තිබෙන්නේ කියා

සාක්ෂිකරු ; එහෙම වෙන්න පුළුවන්

නීතිඥ ; 21/12/15 දින ඒකක නියමිත ප්‍රමාණය නැතිව කොටස් වශයෙන් ලැබුණත් භාර ගන්නවා

සාක්ෂිකරු ; මෙහි දින දෙකක ඖෂධ ලැබිලා තිබෙනවා. මේක රාජ්‍ය ඖෂධ සංස්ථාවෙන් පිටත ශෙඩියුල් ගිවිසුම් ගත කොන්දේසි වලට යටත්ව භාර ගත්තා.

විනිසුරු ; 2V 36 බැලුව නේද? එය බලලා කියන්න

සාක්ෂිකරු ; මේක spc ඇනවුමක්. අමතර ඇනවුමක් ජනවාරි 23 වෙද්දී ලැබිය යුතුයි කියා දන්වා තිබෙනවා. ජනවාරි 23 වෙද්දී අයිතමයන්ගේ අවශ්‍යතාව ඇත්නම් සලකා බලා ලබා ගන්නවා කොන්දේසි වලට යටත්ව.

විනිසුරු ; මාසික අවශ්‍යතාවය 4500/යි. දවසකට 250 යි. 2V36 A ඖෂධ 7 වැනිදා ඒකක 6ක් භාරගෙන තිබෙනවා. දවසකට 250අවශ්‍යතාව තියෙද්දි 6 පමණක් භාර ගන්නවද?

සාක්ෂිකරු ; ඔව් අවශ්‍යතා අනුව භාර ගන්නවා ස්වාමීනි

නීතිඥ ; ( පැ 309 ලේඛණයට අවධානය යොමු කරවයි)

මේ සටහන අනුව ජාතික තොගය 12840 යි.

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී

නීතිඥ ; (පැ 240 ලේඛනය පෙන්වයි) 89 අයිතමය යටතේ ඇති හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් 2023මැයි 6 දිනට අවධානය යොමු කරන්න. එහි 12868ක් ලෙස සඳහන්

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී

නීතිඥ ; පැ 309 - 1 හි අවශ්‍යතාවය සඳහන් ප්‍රමාණය හා සසඳද්දී යම් වෙනසක් පවතිනවා නේද?

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී

නීතිඥ ; පැ 299හි 12868 ක් සඳහන් වෙනවා

සාක්ෂිකරු ; ඔව් මම ඊයෙත් කිව්වා තොග පාලන පද්ධතිය බලන වෙලාව අනුව හා වාර්තාව ගන්න වෙලාව අනුව එකම දවසක වුවත් එය වෙනස් විය හැකියි.

නීතිඥ ; ලෝකල් පර්චෙසින් ගැන ඔබ මූලික සාක්ෂි දෙද්දි කිව්වා.

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි

නීතිඥ ; මොකක්ද?

සාක්ෂිකරු ; ආයතන මගින් අවශ්‍යතා අනුව මිලදී ගැනීම් ප්‍රාදේශීයව සිදුකරන බව. වෛද්‍ය සැපයීම් අංශයේ නැති නිසා එහෙම මිලදී ගන්නේ

නීතිඥ ; ප්‍රාදේශීය මිලදී ගැනීමක් කලාම අදාළ අංශයට ඖෂධ ලැබෙනවා

සාක්ෂිකරු ; ඔව්

නීතිඥ; එවිට ඒවා පද්ධතියට ඇතුල් වෙනවද?

සාක්ෂිකරු ; එම ආයතන විසින් ඇතුල් කළොත් පමණයි ස්වාමීනි.

නීතිඥ ; මෙම දත්ත පද්ධතිය තුළ යම් දිනයකට වඩා පසු දිනයක ඖෂධ ප්‍රමාණය වැඩිකර පෙන්වයි නම් ඒ කවර අවස්ථාවලදීද?

සාක්ෂිකරු ; QR Process මගින්. එය පවතින තොගයට සාපේක්ෂයි.

නීතිඥ ; ලෝකල් පර්චෙසින් කලාම දත්ත පද්ධතියට ඇතුල් වෙනවද නැද්ද?

සාක්ෂිකරු ; පරිගණක පද්ධතිය තුළින් ඇතුල් කරන්න පුළුවන් නැත්නම් පෙන්නුම් කරන්නේ නෑ

නීතිඥ ; පද්ධතිය තුළට ලැබෙන ඖෂධ වැඩි ප්‍රමාණයක් ආවොත් එය ප්‍රාදේශීය මිලදී ගැනීම් කියලා හිතන්න පුළුවන්ද?

සාක්ෂිකරු ; ඒක වැඩිවන අගය අනුව තීරණය කළ යුතුයි

නීතිඥ ; මම ඊයේ 2023/MSD/V/R/P/00019 ගැන ප්‍රශ්න කළා. පැ 308 ලේඛනය අනුව එම ලැයිස්තුව අනුව ඔබට මම පෙන්වා සිටින ඇනවුම් ලැයිස්තුවේ 2V36 ලේඛනය ඇසුරින් 2023/03/02 දින ඖෂධ ලැබුණේ 9048 පමණක් බව. ඒ ඇනවුම් ලැයිස්තුව අනුව 9/23 වන විට ලැබීමට ඇති 40000 කට ආසන්න ප්‍රමාණය ලැබී අවසන් බව.

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි

නීතිඥ ; ඉන් පසු මැයි මාසයේ 26 දින තෙක් හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් MSD එකේ වෙනත් කිසිදු සටහනක් මත සැපයුනේ නැති බවට මම යෝජනා කරනවා.

සාක්ෂිකරු ; මට තහවුරු කරන්න පුළුවන් වන්නේ ලේඛන ඇසුරින් පමණයි.

නීතිඥ ; පැ 294 ලේඛණයට අවධානය යොමු කරන්න. 89 අයිතමය යටතේ මාර්තු දෙක දිනට හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් කොපමණ තිබෙනවද?

සාක්ෂිකරු ; ඒකක 23451 යි.

නීතිඥ ; මැයි 26 දිනට අවධානය යොමු කරන්න. පැ 284 අනුව 2023/05/26 වන විට තිබුන ප්‍රමාණය කොපමණද?

සාක්ෂිකරු ; ඒකක 12868 ක් ස්වාමීනී

නීතිඥ ; මාර්තු දෙකට වඩා අඩුයි නේද ?

සාක්ෂිකරු ; ක්‍රමානුකූලව අඩුවෙලා

නීතිඥ ; ඔබ කලින් කිව්වා මාසික අගය 1.7 යි තිබුනේ කියලා

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී

නීතිඥ ; 379 - 1 සටහන අනුව MSD තුළ තිබුනේ 870යි. ඒ අනුව දින තුනකට ප්‍රමාණවත් තොගයක්

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි

නීතිඥ ; ප්‍රාදේශීය මිලදී ගැනීම්වල මිල අඩුද වැඩිද?

සාක්ෂිකරු ; සාමාන්‍යයෙන් වැඩියි.

නීතිඥ ; පැ 309 - 2 ට අවධානය යොමු කරන්න. ඔබ එය හඳුනා ගත්තා, තුන්වන චූදිත තැබූ සටහන් කියා.

සාක්ෂිකරු ; ඔව්

නීතිඥ ; Priority Item කියා සඳහන් කර ඇත්තේ අර 850 න් එකක් විය හැකිද?

සාක්ෂිකරු ; එසේ විය හැකියි

නීතිඥ ; තොග පාලක විසින් යම් ගැටලුවක් ඉදිරිපත් කර තිබුණා පැ 309 අනුව

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි

නීතිඥ ; ඒ අවස්ථාවේ තුන්වන චූදිත තැනැත්තිය කරුණු විමසා තිබෙනවා

සාක්ෂිකරු ; සටහන් යොදලා තිබෙනවා

නීතිඥ ; දඩයක් පැනවීම සඳහා හැකියාව ඇති කොන්දේසි පර්චස් ඕඩරය සම්බන්ධ 12 වන කාරණය තිබෙනවා.

සාක්ෂිකරු ; එය 310ලේඛනයේ සලකුණු කර තිබෙනවා.

නීතිඥ ; පසුව එය අධ්‍යක්ෂ වෙත යොමු කර තිබෙනවා

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි

නීතිඥ ; හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධයේ 5g - 6g කියන්නේ කුමක්ද ?

සාක්ෂිකරු ; 5g හෝ 6g දෙකෙන් එකක් දෙන්න පුළුවන්

නීතිඥ ; දියරයක් නම් 50වුනත් 100 වුනත් දෙන්න පුළුවන්ද?

සාක්ෂිකරු ; බැහැ ස්වාමීනි

නීතිඥ ; රිටක්සිමැබ් 500ml, 50ml භාර ගැනීම ගැන කවදා හෝ සටහනක් පැමිණිල්ල ඉදිරිපත් කළාද?

විනිසුරු ; Availability බලද්දි වෙනත් ප්‍රමාණ ප්‍රමාණවලින් තියෙන එක බලන්නේ නැද්ද?

සාක්ෂිකරු ; ඒක 1g , 2.5g, 5 - 6 g වුනත් දෙනවා

(පැ 300 - A ලේඛනය සාක්ෂිකරුට පෙන්වයි)

නීතිඥ ; මෙය ඔබට ලැබුණු ඊමේල් පණිවිඩයක්ද? මෙහි කුමක් විමසා ඇත්ද?

සාක්ෂිකරු ; මෙම ව්‍යාපෘතිය හරහා ඒකක 40,000ක් ඉල්ලුවා. 2023 දි 17000 ක් , 2024 දි ඉතිරිය ලබාදීමට සඳහන්.

නීතිඥ ; එය වෛද්‍ය සැපයීම් අංශය ඉල්ලලා තිබුණා

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනි

නීතිඥ ; 00038 කියන්නේ මෙම නඩුවට සම්බන්ධ එකක්

සාක්ෂිකරු ; පැ 300 A කියන්නේ 34000ක් ලබාදිය හැකි බව කියන පණිවිඩයක්.

නීතිඥ ; 75000ක් හා 25000ක් තිබියදී ද මේ 34000 ගන්න හදන්නේ

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී

11 වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ අමිත ආරියරත්න සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න ඇසීම ආරම්භ කරයි.

නීතිඥ ; වාර්ෂික ඖෂධ අවශ්‍යතාවය ගණනය කරන අන්දම ඔබ කීවා

සාක්ෂිකරු ; වැරදියි. අපි පුරෝකතනයක් කරන්නේ. මාසික අවශ්‍යතාවය ගණනය කර ඉදිරි වර්ෂය සඳහා අවශ්‍යතාව සපයනවා. අත ඇති හා එන්න තියෙන ප්‍රමාණය ගණනය කොට spc එකට ඇනවුමක් දෙනවා. ඒක තමයි සාමාන්‍ය ක්‍රමවේදය.

නීතිඥ ; යම් නිශ්චිත මාසයක පැවතිය යුතුව තිබිය යුතු යැයි drag manual දත්ත ඇත්තේ කොතැනද?

සාක්ෂිකරු ; මාස තුනක් ඖෂධ කළමනාකරණ ක්‍රියාවලිය තුළ යම් විදියකින් තොග අඩු වුනොත් එස්පීසි වහා එය පුරවනවා. මේක කළමනාකරණ ක්‍රියාවලියක්.

නීතිඥ ; තොග කළමනාකරණ ක්‍රියාවලියේදී මාස තුනක තොගයක් තිබිය යුතුයි නේද?

සාක්ෂිකරු ; නැහැ , මාස තුනක තොගයක් කළමනාකරණය කළ යුතුයි.

නීතිඥ ; ඔබ සීඅයිඩීයට කළ ප්‍රකාශයේ ඔය කළමනාකරණය ගැන කිව්වද?

සාක්ෂිකරු ; සී අයිඩීය ඇහුවේ නෑ

නීතිඥ ; ඔබ සීඅයිඩීයට ඔය කළමනාකරණය ගැන කිව්වේ නැහැ කියා මම යෝජනා කරනවා.

සාක්ෂිකරු ; තොග කළමනාකරණ ක්‍රියාවලිය ගැන ඔවුන් ඇහුවේ නැහැ.

නීතිඥ ; ඔබ සාක්ෂි මඟහරින සාක්ෂිකරුවෙක්.

සාක්‍ෂිකරු ; මම එය ප්‍රතික්ෂේප කරනවා

නීතිඥ ; MSD එක මාස තුනක තොග පවත්වාගෙන යාමයි සාමාන්‍ය ක්‍රමවේදය කියා මා යෝජනා කරනවා

සාක්ෂිකරු ; මම එය ප්‍රතික්ෂේප කරනවා

නීතිඥ ; ඔබ හදිසි ප්‍රසම්පාදන ගැන සාක්ෂි දුන්නනේ. එහිදී ජාතික තලයේ ඖෂධ ගැන සොයා බලලා පද්ධති තුළ තුල විශ්ලේෂණය කළ යුතු යැයි ඔබ කීවා නේද?

සාක්ෂිකරු ; ඔව් ඒ කියන්නේ ඖෂධ කළමනාකරණය තුළයි

නීතිඥ ; හදිසි ප්‍රසම්පාදනයකට යද්දී ආයතනික තොග තිබේනම් අවශ්‍ය නැහැ කියා ඔබ කිව්වා නේද?

සාක්ෂිකරු ; සාමාන්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුළින් ඖෂධ තොග පෙන්ඩින් ඇත්දැයි බලලා ඖෂධ හුවමාරු ක්‍රියාවලිය සමඟ බලලා spc යා යුතුයි.

නීතිඥ ; ආයතනය තුළ තොග තිබේ නම් හදිසි ප්‍රසම්පාදන අවශ්‍ය නැහැ කියා ඔබ කීවා නේද?

සාක්‍ෂිකරු ; ආයතන ගැන මම කිව්වෙි නැහැ.

නීතිඥ ; ආයතනයක තොග තිබීම තීරණාත්මක සාධකය නෙවෙයි. හුවමාරු කළ හැකි යැයි ඔබ කීවා.

සාක්‍ෂිකරු ; පරිපාලන සාධකයක් අවශ්‍යයි. MSD එකට පුළුවන් ආයතන තුළ තිබෙන තොග ගැන යම් පියවරක් ගන්න. ආයතනයටත් වගකීමක් තියෙනවා හුවමාරු කරගන්න

නීතිඥ ; MSD එකට නියෝග කළ හැකිද?

සාක්‍ෂිකරු ; හුවමාරු කර ගැනීම ඔවුන්ගේ වගකීමක්. වැඩියෙන් තිබේ නම් ලබාදීම වගකීමක්

නීතිඥ ; ආයතන තුළ විශාල තොගයක් තබාගන්න බැහැනේ. රෝගීන්ට අවශ්‍ය නිර්දේශ අනුවයි. එය ලබාදෙන්නේ. එසේ ලබා නොදී මගහරින්න බැහැ නේද?

සාක්‍ෂිකරු ; ඒක සාමාන්‍ය ක්‍රියාවලිය

නීතිඥ; ක්‍රියාවලිය පටලගන්න එපා. රෝගියෙකුට ප්‍රතිකාර කරන ක්‍රමවේදය මේ

සාක්ෂිකරු ; එක් එක් ආයතන වලින් ගන්න තීරණ

විනිසුරු ; රෝහල් රෝහල් අතර ඖෂධ හුවමාරු කිරීම් ප්‍රතික්ෂේප කරලා ගැටලු ඇතිවීම් වාර්තා වෙනවද?

සාක්ෂිකරු ; නැහැ ස්වාමීනී. සුහදව කරගෙන යනවා යනවා. බැරි නම් කියනවා.

නීතිඥ ; යම් ඖෂධයක තොග මට්ටම 0 නම් සැපයුම් අඛණ්ඩතාව තහවුරුද?

සාක්ෂිකරු ; තහවුරුව බිඳවැටිලා

විනිසුරු- පෙන්ඩින් කියන්නේ ලැබීමට තිබෙන තොගයක් ද යන්න පැහැදිලි කරන්න.

සාක්ෂිකරු ; spc එකට ඇනවුමක් දුන්නම ඒක පෙන්ඩින් ටෙන්ඩරයක් කැඳවා, ලාංසු තබා ඇගයීම් සිදුකර, ප්‍රධානය කරනවා. ඉන් පසු ණයවර ලිපි විවෘත කරනවා. එය තිබෙන්නේ කොතැනද යන්න දන්නේ එස්පීසි පමණයි

හයවන චූදිත වෙනුවෙන් පෙනී සිටින නීතිඥ නුවන් ජයවර්ධන සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න ඇසීම අරඹයි.

නීතිඥ ; තොග පාලන නිලධාරි වශයෙන් සී අයිඩීය ලිපිගොනු ලබාගත්තද?

සාක්ෂිකරු ; සැපයීම් අංශයෙන් එකක් මා හරහා ලබා ගත්තා

නීතිඥ ; තොග පාලන ප්‍රධානියා ලෙස ප්‍රොන්ටෝ පද්ධතිය ගැන සැලකිලිමත්ද?

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී

නීතිඥ ; ඊට අමතරව ඒ ඒ ඖෂධ සම්බන්ධයෙන් පවත්වාගෙන යන ලිපි ගොනු තිබෙනවාද?

සාක්ෂිකරු ; ඔව් ස්වාමීනී

නීතිඥ ; ඒ ඒ අයිතම ගැන වෙන වෙනම ගොනු

සාක්‍ෂිකරු ; අයිතම වලට අදාලව ලිපිගොනු පවත්වාගෙන යන්නේ එස්පීසි තුල

නීතිඥ ; මම අහන්නේ ඔබ ළඟ

සාක්ෂිකරු ; යම් ඖෂධයක් ගැන අවබෝධයක් ලබාගත හැකියි ප්‍රොන්ටො පද්ධතියෙන්. ලිපිගොනු හා ඊමේල් මගින්

නීතිඥ ; ඊමේල් ප්‍රින්ට් අවුට් අරන් තියෙනවද?;

සාක්ෂිකරු; ඖෂධ වලට අදාල ලිපිගොනු ගත්තේ නැහැ.

නීතිඥ ; drag manual අත්පොත අනුව MSD මගින් සෑම විටම තොග පවත්වාගෙන යා යුතුයි කීම හරිද වැරදිද?

සාක්ෂිකරු ; නැහැ. කළමනාකරන ක්‍රියාවලියක් ඒක

නීතිඥ ; කළමනාකරණ ක්‍රියාවලිය ගැන සී අයිඩී එකට කිව්වද?

සාක්ෂිකරු ; සී අයිඩී එක දීර්ඝ විමසුමක් කළේ නැහැ. දීර්ඝ විමසුමක් කළේ මේ අධිකරණයයි

නීතිඥ ; මම යෝජනා කරනවා කිසිම තැනක ඔබ ඔය කළමනාකරණ ක්‍රියාවලිය ගැන කියා නැහැ කියා

සාක්ෂිකරු ; මුල් වරට මගෙන් අහන්නේ මෙතනදී මම මෙතනදී කිව්වා

කළමනාකරණ ක්‍රියාවලිය යන්න ඌනතාවයක්

නීතිඥ ; මම යෝජනා කරනවා ඔබ පැමිණිල්ලට පක්ෂග්‍රාහීව සාක්ෂි දෙන බවට.

සාක්ෂිකරු ; ප්‍රතික්ෂේප කරනවා

නීතිඥ ; හිතා මතාම ප්‍රශ්න මග අරිනවා

සාක්ෂිකරු ; ප්‍රතික්ෂේප කරනවා

නීතිඥ නුවන් ජයවර්ධන තවදුරටත් සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න ඇසීමට නියමිතය. (19) පෙරවරු 10 ට යලි නඩු විභාගය ආරම්භ කෙරේ.

නවතම ලිපි