SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු චූදිතයින් 12 දෙනෙකුට එරෙහිව පවරා ඇති

ප්‍රමිතියෙන් තොර ඖෂධ නඩුව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ මේ දිනවල විභාග වෙමින් පවතී. 15 වන දිනට අදාළව පැවති නඩු විභාගයේ වාර්තාවන් නිරීක්ෂණය කරන විට, එය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පරිපාලනයේ පවතින බරපතළ දුර්වලතා, ආයතනික අකාර්යක්ෂමතාව සහ වගකීම් විරහිතභාවය මනාව පෙන්වා දෙන කැඩපතක් බඳු බව පෙනී යයි.

 

 Court Orders the Release of One Suspect of the Immunoglobulin Case on Bail

 

 

පැමිණිල්ලේ අපහසුව සහ විනිසුරු මඩුල්ලේ ස්ථාවරය

 

නඩු විභාගය අතරතුර පැමිණිලි පාර්ශවයේ කරුණු ගොනු කිරීමේ යම් අපිළිවෙලක් සහ සාක්ෂිකරුවන්ගේ වගකීමෙන් තොර ස්වභාවය විත්තියේ හරස් ප්‍රශ්න හමුවේ තදින් මතුවන ආකාරයක් දැකගත හැකි විය. වෛද්‍ය සැපයීම් ඒකකයේ (MSD) ප්‍රධාන තොග පාලක නිලධාරී එච්. එම්. ඩබ්ලිව්. එන්. බණ්ඩාර  විත්තියේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සිටියදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණී ගිරිහාගම අධිකරණයට සුවිශේෂී විරෝධතාවක් මතු කළාය.

 

 

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණී ගිරිහාගම: 

(විරෝධතාවක් දක්වමින්) "වෛද්‍ය සැපයීම් ඒකකයේ ප්‍රධාන තොග පාලකවරයා අධිකරණය ඉදිරියේ සාක්ෂි දෙන්නේ තොග පාලකවරයකු ලෙසින් නොවෙයි. කරුණාකර ඒ සම්බන්ධයෙන් ඔහුට අවවාද කරන්න."

 

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල: 

(එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින්) "සාක්ෂිකරුට නිදහසේ සාක්ෂි දීමට අවස්ථාව ලබාදිය යුතුයි."

 

 

විත්තියේ හරස් ප්‍රශ්න හමුවේ සිය සාක්ෂිකරුගේ රාජකාරිමය වගකීම් පැහැර හැරීම ඉස්මතු වීම පැමිණිල්ලට අභියෝගයක් වී ඇති බව මෙයින් ගම්‍ය වේ. විනිසුරු මඩුල්ලේ තීරණය හරහා, රාජ්‍ය නිලධාරීන්ගේ සැබෑ කාර්යභාරය සහ ඔවුන්ගේ දැනුවත්භාවය අධිකරණය හමුවේ විවෘතව විචාරයට ලක්වීමට මඟ පෑදිණි.

 

 

 Court rejects Keheliya's intervention plea – Sri Lanka Mirror – Right to  Know. Power to Change

 

 

ඊමේල් සාක්ෂි සහ "ශූන්‍ය" වූ ජීවිතාරක්ෂක ඖෂධ

 

දස වන චූදිත වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ප්‍රියන්ත නාවාන විසින් සාක්ෂිකරුගෙන් අසන ලද හරස් ප්‍රශ්න මාලාව හරහා 2022 වසරේ මැද භාගයේදී රටේ ඖෂධ සැපයුම මුහුණ දුන් ඛේදවාචකය සංඛ්‍යාත්මකවම හෙළිදරව් කෙරිණි. 2022 මැයි 23 දිනැති ඊමේල් පණිවුඩයක් මුල්කරගනිමින් මෙම ප්‍රශ්න කිරීම් සිදුවිය.

 

නීතිඥ ප්‍රියන්ත නාවාන: 

(සාක්ෂිකරු විසින් යවන ලද ඊමේල් පණිවිඩයක් පරීක්ෂා කිරීම සඳහා ලබා දෙමින්) "මෙම පණිවුඩයේ ඖෂධ වලට අදාළ ඇණවූම් තිබෙනවා නේද? ඒවා අත්‍යවශ්‍ය ඖෂධ?"

 

සාක්ෂිකරු (එච්. එම්. ඩබ්ලිව්. එන්. බණ්ඩාර): 

"ඔව් ස්වාමීනි."

 

නීතිඥ ප්‍රියන්ත නාවාන: 

"එම සාරාංශය අනුව ජීවිතාරක්ෂක ඖෂධ, අත්‍යවශ්‍ය නොවන ඖෂධ හා අත්‍යවශ්‍ය ඖෂධ ලෙස දක්වා තිබෙනවාද? එය මැයි 23 යවලා තියෙන්නේ. එදිනට අදාළ තොගය කොපමණද?"

 

සාක්ෂිකරු: 

"එයට අනුව ජීවිතාරක්ෂක ඖෂධ MSD එකේ ශුන්‍යයි."

 

 

 

රටක සෞඛ්‍ය පද්ධතියේ හදවත බඳු වූ වෛද්‍ය සැපයුම් ඒකකයේ (MSD) ජීවිතාරක්ෂක ඖෂධ තොග "ශුන්‍ය" වීම යනු සාමාන්‍ය පරිපාලන දෝෂයක් නොව බරපතළ ජාතික ඛේදවාචකයකි. බාල ඖෂධ ජාවාරමට තෝතැන්නක් සැකසෙන්නේම මෙකී හිඩැස තුළිනි.

 

 

Import of human immunoglobulin, medical supplies without competitive bids  challenged before court - Breaking News | Daily Mirror 

අර්බුදයේ කේන්ද්‍රය: රිටක්සිමැබ් සහ හියුමන් ඉමියුනෝග්ලොබියුලීන්

 

නඩුවට අදාළ ප්‍රධාන ඖෂධ ද්විත්වයේ තොග සම්බන්ධයෙන් නීතිඥවරයා කළ ප්‍රශ්න කිරීම්වලදී, සැපයුම් ජාලයේ බිඳවැටීම තවදුරටත් තහවුරු විය.

 

නීතිඥ ප්‍රියන්ත නාවාන: 

"ඖෂධ දෙකෙහිම තොග තත්ත්වය සසඳන්න."

සාක්ෂිකරු: 

"රිටක්සිමැබ් ඖෂධය මසකට 75ක් අවශ්‍යයි. නමුත් MSD එකේ ශූන්‍යයි. ආයතන තුළ 850 ක් තිබුණා. හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් මසකට 7500 ක් අවශ්‍යයි. එය MSD තුල 5500 ක් ද ආයතන තුළ 4420ක් ද තිබුණා."

 

 

තත්ත්වය තවත් දරුණු වූයේ 2022 ජුනි සහ අගෝස්තු මාස වන විටය. අතිරේක ලේකම් සමන් රත්නායක ඇතුළු ඉහළ නිලධාරීන්ට යැවූ ඊමේල් පණිවුඩයකට අනුව අත්‍යවශ්‍ය ඖෂධ වල තත්ත්වය සාක්ෂිකරු විසින්ම මෙසේ විස්තර කළේය.

 

 

නීතිඥ ප්‍රියන්ත නාවාන: 

"අතිරේක ලේකම් රත්නායක හා නියෝජ්‍ය අධ්‍යක්ෂ වික්‍රමසිංහට මෙය යැව්වේ 2022 ජුනි 21 දින MSD හි තොග දැනුම් දීමටයි. එම දිනය වන විට තොග ශූන්‍ය වී තිබුණද?"

සාක්ෂිකරු: 

"ජීවිතාරක්ෂක ඖෂධ MSD හි 1 යි. ආයතන තුළ ශුන්‍යයි. අත්‍යවශ්‍ය ඖෂධ MSD හි 18 යි. ආයතන තුළ ශූන්‍යයි යනුවෙන් සඳහන් කළා."

නීතිඥ ප්‍රියන්ත නාවාන: 

"අත්‍යවශ්‍ය ඖෂධයක් වන හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් 2022 අගෝස්තු වන විට MSD හි ශුන්‍ය වී තිබූ බව ඔබ දුටුවාද?"

සාක්ෂිකරු: 

"ඔව් ස්වාමීනී."

නීතිඥ ප්‍රියන්ත නාවාන: 

"එහි මාසික අවශ්‍යතාවයට ගැලපෙන තොග නැද්ද?"

සාක්ෂිකරු: 

"MSD 0, ආයතන වල 765 යි."

 

 

TISL files FR petition over human immunoglobulin and other controversial  medical supplies – The Island

 

සමාලෝචනය

 

මෙම සාක්ෂි විභාගය හරහා පැහැදිලි වන්නේ, මාස ගණනාවක් තිස්සේ ජීවිතාරක්ෂක සහ අත්‍යවශ්‍ය ඖෂධ තොග ශුන්‍ය වෙමින් පවතින බව ඊමේල් හරහා ඉහළ නිලධාරීන්ට වාර්තා වී තිබුණද, ඊට කඩිනම් සහ විධිමත් පූර්ව විසඳුම් සෙවීමට අදාළ රාජ්‍ය යාන්ත්‍රණය මුළුමනින්ම අපොහොසත් වී ඇති බවයි.

 

සාක්ෂි විභාගයේදී පැමිණිල්ලේ සාක්ෂිකරුවන් සිය රාජකාරිය පිළිබඳව නිසි වගකීමකින් යුතුව අධිකරණය හමුවේ කරුණු දැක්වීමට අපොහොසත් වීම, මෙන්ම හුදෙක් 'තොග ශුන්‍ය බව ඉහළට දැනුම් දුන්නා' යන්නෙන් පමණක් සිය වගකීම අවසන් යැයි සිතන ආයතනික සංස්කෘතියක් මින් පිළිඹිබු වේ.

 

 

මෙම නඩු විභාගය මිනිස් ජීවිත සමඟ ඍජුව ගනුදෙනු කරන අතිශය වගකීම් විරහිත සෞඛ්‍ය පරිපාලන පද්ධතියක අභ්‍යන්තර බිඳවැටීම හෙළි කරන්නක් බව ඉහත සංවාද මැනවින් සනාථ කරයි. අදාළ සාක්ෂිකරුගෙන් තවදුරටත් හරස් ප්‍රශ්න ඇසීම අද (16) දිනට කල් තබා ඇත.

 

නවතම ලිපි