- ගැටලුව:- භාණ්ඩාගාර ලේකම්ගේ එකඟතාවෙන් සැකසූ ඉංජිනේරු වැටුප් කැබිනට් පත්‍රිකාව සඳහා වන අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකාව සභාපති විසින් සඟවයි.
- අර්බුදය:- වසර 4ක් තුළ ඉංජිනේරුවන් 200කට ආසන්න පිරිසක් RDA හැර යයි; මැයි 11 සිට යළිත් වර්ජනයක්.
- පාර්ලිමේන්තුවේදී:- ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සභාපතිවරයාට දැඩි දෝෂාරෝපණ.
- පත් කිරීම:- වත්මන් සභාපතිවරයා, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය ගරු බිමල් රත්නායක මහතාගේ පත්කිරීමකි.
ශ්‍රී ලංකා මාර්ග සංවර්ධන අධිකාරියේ (RDA) ඉංජිනේරුවරුන්ගේ වැටුප් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා
අනුමැතිය ලබාගැනීම වෙනුවෙන් සකස් කර තිබූ අතිශය වැදගත් අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකාවක්, එම අධිකාරියේ වත්මන් සභාපතිවරයා විසින් හිතාමතාම සඟවා ඇති බවට බරපතළ චෝදනාවක් එල්ල වේ. වත්මන් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක විසින් පත්කරන ලද මෙම සභාපතිවරයා, අර්බුදය විසඳීම පසෙකලා වෘත්තීය සමිති මඟහරිමින් කටයුතු කරන බව වාර්තා වේ.

ආර්ථිකයේ රුධිර නාලවලට එල්ල වී ඇති බලපෑම
ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වියදමින් 30%කට ආසන්න ප්‍රමාණයක් වැය කරමින්, රටේ ආර්ථිකයේ රුධිර නාල පද්ධතිය බඳු වූ ජාතික මංමාවත් පද්ධතිය සංවර්ධනය සහ නඩත්තු කිරීමේ දැවැන්ත කාර්යභාරය ඉටුකරන්නේ මාර්ග සංවර්ධන අධිකාරිය විසිනි.
එහෙත්, පවතින අඩු වැටුප් ගැටලුව සහ බඳවා ගැනීමේ පටිපාටියේ අක්‍රමවත්භාවය හේතුවෙන් පසුගිය වසර හතරක පමණ කාලය තුළ දක්ෂ ඉංජිනේරුවන් අධිකාරිය හැරයාමේ දැඩි ප්‍රවණතාවක් නිර්මාණය වී ඇත. මේ හේතුවෙන් 700කට ආසන්නව පැවති RDA ඉංජිනේරු ප්‍රජාව මේ වන විට 500ක සීමාවටත් වඩා අඩුවී තිබීම බරපතළ ඛේදවාචකයකි.
ඉංජිනේරුවන් යළිත් වර්ජනයක
මෙම අර්බුදයට විසඳුම් ඉල්ලා RDA ඉංජිනේරු සංගමය පසුගිය වසර 4ක කාලය මුළුල්ලේම පැවති සහ පවතින රජයන් සමඟ දිගින් දිගටම සාකච්ඡා කර ඇත. පසුගියදා රටේ ඇතිවූ "ද්විත්ව" ආපදා තත්ත්වය හමුවේ ඔවුන් තම වෘත්තීය ක්‍රියාමාර්ගය මානුෂික හේතූන් මත තාවකාලිකව අකුලා ගත්තද, බලධාරීන්ගේ නිහඬතාවය හේතුවෙන් පසුගිය මැයි 11 වනදා සිට යළිත් වර්ජනයකට අවතීර්ණ වී ඇත.
ඒ අනුව, RDA පනතින් පවරා නැති මාර්ග සංවර්ධන ක්‍රියාවලින් 100%ක්ම ඉවත්වී ඇති ඔවුහු, ප්‍රාදේශීය සහ දිස්ත්‍රික් සංවර්ධන කමිටුවලට සහභාගී වීම ද මුළුමනින්ම වර්ජනය කර තිබේ.
පාර්ලිමේන්තු කමිටුවේදී නිරුත්තර වූ සභාපති
මෙම උග්‍ර වෙමින් පවතින ගැටලුව සම්බන්ධයෙන් මෑතකදී පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී (Sectoral Oversight Committee) වත්මන් සභාපතිවරයාගෙන් ප්‍රශ්න කර ඇත. එහිදී පැහැදිලි පිළිතුරක් ලබාදීමට නොහැකිව නිරුත්තර වූ ඔහු, තම අසමත්භාවය සහ නොහැකියාව ප්‍රදර්ශනය කරමින් එහිදී දැඩි දෝෂාරෝපණයට ලක්වූ බව ද වාර්තා වේ.
එකඟතාවන් කඩකරමින් පත්‍රිකාව සඟවයි
ගැටලුව විසඳීමට කිසිදු උත්සාහයක් නොදරන මෙම සභාපතිවරයාගේ අත්තනෝමතික ක්‍රියාකලාපය තවදුරටත් තහවුරු වන්නේ, වැටුප් ගැටලුව සම්බන්ධයෙන් ගෙන ආ අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකාවට ඔහු සිදුකළ ක්‍රියාවෙනි.
RDA ඉංජිනේරු සංගමය මහා භාණ්ඩාගාර ලේකම්වරයා හමුවී සාකච්ඡා කොට, භාණ්ඩාගාර ලේකම්වරයා පිළිගත් එකඟතාවකට අනුව වැටුප් පරිමාණ සැකසීම සඳහා කැබිනට් අනුමැතිය ඉල්ලීමේ පත්‍රිකාවක් යොමු කිරීමට තීරණය වී තිබුණි. ඒ සඳහා අවශ්‍ය අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකාව ද සම්පූර්ණයෙන්ම අවසන් කර තිබිණි. එහෙත්, පසුගිය 11 වනදා පැවති අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමට එම පත්‍රිකාව අනුමැතිය සඳහා ඉදිරිපත් නොකළ සභාපතිවරයා, එය හිතාමතාම සඟවාගෙන ඇත.
මේ සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ඉංජිනේරු සංගමය දුරකථනයෙන් සම්බන්ධ වීමට උත්සාහ කළද, සභාපතිවරයා එයද මඟහරිමින් සිටින බව වැඩිදුරටත් වාර්තා වේ. ඒ අනුව රාජ්‍ය යාන්ත්‍රණය තුළ මෙවැනි වැදගත් ගැටලුවක් හමුවේ අමාත්‍ය බිමල් රත්නායක ගේ පත්කිරීමක් වන මෙම සභාපතිවරයාගේ ක්‍රියාකලාපය මේ වන විට දැඩි විවේචනයට ලක්ව ඇත.

