ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාග වන ආන්දෝලනාත්මක ප්‍රමිතියෙන් තොර ඖෂධ නඩු විභාගයේ දෛනික වාර්තාවට පෙරවදනක්!
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය කම්පා කළ "බාල බෙහෙත්" නඩු විභාගය ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ
ජුනි මස 03 වන දින යළි විභාගයට ගැනුණේ ඩිජිටල් සාක්ෂි සහ තාක්ෂණික දත්ත පිළිබඳ නීතිමය ගැටුමක නව පරිච්ඡේදයක් සනිටුහන් කරමිනි. පැමිණිල්ල, විත්තිය සහ අධිකරණය යන ත්‍රිවිධ පාර්ශ්වයන්ම තාක්ෂණික අභියෝගවලට මුහුණ දුන් මෙම දිනය, නූතන අධිකරණ පද්ධතියක් තුළ ඩිජිටල් සාක්ෂි මෙහෙයවීමේ ඇති ප්‍රායෝගික දුෂ්කරතා මනාව ප්‍රදර්ශනය කළේය.
විශේෂයෙන්ම මෙම නඩු විභාගය තුළ පැමිණිල්ල විසින් සාක්ෂි මෙහෙයවීමේ දුර්වලතාව සහ අපිළිවෙල විශාල වශයෙන් පෙන්නුම් කෙරෙන නඩජු විභාගයක් බවට පත්වීම ඛේදවාචකයකි.

මෙම විශ්ලේෂණාත්මක සටහන, එදින නඩු විභාගයේ හරය, මතු වූ නීතිමය තර්ක සහ අධිකරණයේ සුවිශේෂී මැදිහත්වීම් පිළිබඳව ගැඹුරු විවරණයක් සපයයි.
ඩිජිටල් අභියෝගය සහ අධිකරණයේ ප්‍රායෝගික සීමාවන්
රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සැකකටයුතු ලේඛන පිළිබඳ ජ්‍යෙෂ්ඨ සහකාර පරීක්ෂක ඊ.එම්.ඩී.ටී.ඊ. උඩංගමුව තෙවැනි දිනටත් සාක්ෂි කූඩුවට නැගුණි. නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම විසින් සාක්ෂි මෙහෙයවීම ආරම්භ කළේ සංයුක්ත තැටියක (CD) අඩංගු දත්ත ප්‍රොජෙක්ටරයක් හරහා විද්‍යුත් තිරයකට පතිත කරමිනි.
නමුත් අර්බුදය ආරම්භ වූයේ එම ඩිජිටල් ගොනු (Folders) නඩු භාණ්ඩ ලෙස ලකුණු කිරීමට උත්සාහ කළ අවස්ථාවේදීය.

සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ:
"සංයුත්ත තැටියක් තුළ ඇති ඩිජිටල් ෆෝල්ඩරයක් ලේඛනයක් ලෙස අංකනය කරන්නේ කෙසේද?"
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම:
"පැ 297 II ෆෝල්ඩරය විවෘත කළ විට එහි ඇත්තේ මොනවාද?"
සාක්ෂිකරු (උඩංගමුව මහතා):
"දෛනිකව පවතින තොග."
විත්තියේ නීතිඥ අසේල සේරසිංහ වහාම නැඟී සිටිමින් පෙන්වා දුන්නේ මෙම විද්‍යුත් දත්ත ප්‍රදර්ශනය ප්‍රායෝගික නොවන බවත්, හරස් ප්‍රශ්න ඇසීමට නම් දෘඩ පිටපත් (Printouts) අවශ්‍ය බවත්ය. විනිසුරුවරයා ඊට එකඟ වුවද, මතු වූයේ රජයේ සම්පත් පිළිබඳ ඛේදනීය තත්වයකි.
විනිසුරු:
"මාදු පිටපත වෙනුවට දෘඩ පිටපත මාක් කළ හැකියි."
නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය:
"ඒවා මුද්‍රණය කරන්න දෙපාර්තමේන්තුවේ බැහැ. එම කොපි මුද්‍රණයට රජයේ මුදල් වෙන් වන්නේ නැහැ. මම පෞද්ගලික මුදලින් ඒවා මුද්‍රණය කරන්නේ."

තාක්ෂණික දෝෂ හේතුවෙන් සංයුක්ත තැටිය ධාවනය අඩාල වූ විට, අධිකරණ රෙජිස්ටාර් ඉදිරියේ අදාළ දත්ත පිටපත් කරගන්නා ලෙස විනිසුරුවරයා නියෝග කළද, අධිකරණය සතුව ද ඊට අවශ්‍ය පහසුකම් නොමැති වීම නිසා එම නියෝගය අහෝසි කිරීමට විනිසුරුවරයාට සිදු විය. මෙය සමස්ත ක්‍රියාවලියේම පැවති ප්‍රායෝගික රික්තය මනාව කියාපෑවේය.
විත්තියේ තියුණු හරස් ප්‍රශ්න ප්‍රහාරය
අධිකරණයේ තාක්ෂණික බාධා මධ්‍යයේ වුවද, විත්තියේ නීතිඥවරුන් සාක්ෂිකරුගේ වාර්තාවල නිරවද්‍යතාව සහ පදනම ප්‍රශ්න කිරීම අත්හැරියේ නැත.
9 වන විත්තිකරු වෙනුවෙන් නීතිඥ රහුල් ජයතිලක:
මොහුගේ ප්‍රශ්න කිරීම් යොමු වූයේ පද්ධතියේ දත්තවල සුරක්ෂිතතාව සහ ඔරැකල් (Oracle) මෘදුකාංගයේ භාවිතය පිළිබඳවයි.
නීතිඥ රහුල් ජයතිලක:
"වෛද්‍ය සැපයුම් අංශයේ පරිශීලකයන්ට ඇති පහසුකම් දැනගන්න පුළුවන්ද ඒකෙන්? ඔබට ඇති පලපුරුද්ද මත මෙම දත්ත සුරක්ෂිතතාවයට සහතික විය හැකිද?"
සාක්ෂිකරු:
"එහි මෘදුකාංගයේ පරිශීලන ගිණුම්වල දත්ත වෙනස් කළ නොහැකියි. පරිශීලකයන්ට ඉවත් කරන්න හෝ වෙනස් කරන්න බලය දීල නැහැ. සියල්ල තිබූ පරිදිම තිබුණා."
6 වන විත්තිකරු වෙනුවෙන් නීතිඥ නුවන් ජයවර්ධන විසින් සජීවී පද්ධතියෙන් දත්ත නොගෙන බැකප් (Backup) එකක් ලබා ගැනීම සහ ඇතැම් දත්ත අතුරුදන් වීම පිළිබඳව මෙහිදී දැඩිව ප්‍රශ්න කළේය.
නීතිඥ නුවන් ජයවර්ධන:
"අඩු ඖෂධ හතර අඩු වුණේ කෙසේද? ඒ කුමන හේතුවක් මතද කියා දන්නවද?"
සාක්ෂිකරු:
"අධිකරණ නියෝගය අනුව මම එස්.ආර් අංක 4 කට අදාලව ප්‍රොන්ටෝ සිස්ටම් දත්ත නැති බව නිරීක්ෂණය කළා... මම එය බැලුවේ නැහැ ස්වාමීනී."
මෙම පිළිතුර හරහා, දත්ත අස්ථානගත වීමේ තාක්ෂණික හේතුව රස පරීක්ෂකවරයා විසින් විමර්ශනය කර නොමැති බව විත්තිය මනාව තහවුරු කර ගත්තේය.
නීතිඥ හරේන්ද්‍ර බානගල (1 වන විත්තිකරු):
සාක්ෂිකරුගේ පරීක්ෂණවල සීමාවන් සහ කොවිඩ් සමයට අදාළව කිසිදු පරීක්ෂණයක් කර නොමැති බව තහවුරු කර ගත්තේය.
නීතිඥ අසේල සේරසිංහ (2 වන විත්තිකරු):
සාක්ෂිකරු තොරතුරු ලැයිස්තු සැකසූ පුද්ගලයන් හෝ වාර්තාවේ මූලික අරමුණ නොදන්නා බව මතු කළේය.
නීතිඥ ඉසුරු ජයවර්ධන (3 වන විත්තිකාරිය):
පද්ධතිය තුළ භාවිතා කළ හැකි තොග (Usable Stock) පිළිබඳව වාර්තාවේ කිසිදු සඳහනක් නොමැති බව පෙන්වා දුන්නේය.
නීතිඥ අමිත ආරියරත්න (11 වන විත්තිකරු):
ඉදිරිපත් කළ ලේඛනයේ ව්‍යුහය, එහි ආවරණ ලිපිය සහ නිල ලාංඡන (Letterheads) නොමැති වීම පිළිබඳව ප්‍රශ්න කරමින් වාර්තාවේ ආකෘතිකමය නිරවද්‍යතාව අභියෝගයට ලක් කළේය.
ජුනි 03 වන දින නඩු විභාගය, හුදෙක් සාක්ෂි විමසීමක් පමණක් නොව, ශ්‍රී ලංකා අධිකරණ පද්ධතිය සංකීර්ණ තාක්ෂණික සාක්ෂි කළමනාකරණය කිරීමේදී මුහුණ දෙන අර්බුදය කැටපත් කළ දිනයකි.
පැමිණිල්ල විසින් දත්තවල නිරවද්‍යතාව තහවුරු කිරීමට දැඩි උත්සාහයක් ගත්තද, පැමිණිල්ලේ ඉදිරිපත් කිරීම්වල ඇති දුර්වලතාවන් පිළිබඳව විත්තියේ නීතිඥවරුන් ඉතා සූක්ෂ්ම ලෙස එම පද්ධතිවල ඇති සිදුරු (දත්ත නොමැති වීම, ලයිසන්ස් පරීක්ෂා නොකිරීම, සජීවී දත්ත වෙනුවට බැකප් දත්ත භාවිතය) අධිකරණය හමුවේ නිරාවරණය කළහ. විනිසුරු මඬුල්ලට නීතිමය කරුණුවලට අමතරව තාක්ෂණික හා යටිතල පහසුකම් පිළිබඳ ගැටලුවලට ද එතැනදීම විසඳුම් සෙවීමට සිදුවීම මෙම නඩුවේ ඇති සංකීර්ණත්වය තවදුරටත් තීව්‍ර කරයි.
මීළඟට දිග හැරෙන්නේ, මෙම උණුසුම් තර්ක විතර්ක මැද ලියවුණු එදින සම්පූර්ණ නඩු වාර්තාවයි.

නඩු වාර්තාව
2026/06/03
බාල බෙහෙත් නඩු විභාගය ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ඊයේ (03) යළි විභාගයට ගැනුණු අවස්ථාවේ, සාක්ෂි දීම සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සැකකටයුතු ලේඛන පිළිබඳ ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ සහකාර පරීක්ෂක ඊ.එම්.ඩී.ටී.ඊ. උඩංගමුව මහතා තෙවැනි දිනටත් කැඳවනු ලැබීය.
සාක්ෂිකරුගෙන් සාක්ෂි ලබා ගැනීම සඳහා විද්‍යුත් තිරයක් මතට සීඩී (CD) තැටියක තිබූ ලේඛන ප්‍රොජෙක්ටරයක් ඔස්සේ පතිත කළ අතර, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය විසින් සාක්ෂි මෙහෙයවනු ලැබුවාය.
එහිදී එම සීඩී පටයේ ඇති ලේඛන පැමිණිල්ලේ සාක්ෂි වශයෙන් අංකනය කිරීමට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය උත්සාහ ගත් අවස්ථාවේදී, සභාපති විනිසුරුවරයා අසා සිටියේ සංයුක්ත තැටියක් තුළ ඇති ඩිජිටල් ෆෝල්ඩරයක් ලේඛනයක් ලෙස අංකනය කරන්නේ කෙසේද කියාය. අනතුරුව දෛනික තොග සහිත ෆෝල්ඩරය '297 II' ලෙසත්, මාසික තොග සහිත ෆෝල්ඩරය '297 III' ලෙසත් ලකුණු කරනු ලැබීය.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: පැ 297 II ෆෝල්ඩරය විවෘත කළ විට එහි ඇත්තේ මොනවාද? සාක්ෂිකරු: දෛනිකව පවතින තොග.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: පැ 297 III විවෘත කළ විට එහි අඩංගු වූයේ මොනවාද? සාක්ෂිකරු: මාසික තොග ප්‍රමාණය.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: ජාතික තලයේ ඖෂධ ගැන මෙහි සඳහන් වෙනවාද? සාක්ෂිකරු: ඔව්.
මේ අවස්ථාවේ විත්තිය වෙනුවෙන් පෙනී සිටින නීතිඥ අසේල සේරසිංහ මහතා පෙන්වා දුන්නේ, විද්‍යුත් තිරයේ දත්ත ප්‍රදර්ශනය ප්‍රායෝගිකව ප්‍රශ්න ඇති කරන බවය. සාක්ෂි විමසා අවසන් වූ පසු සාක්ෂිකරුට ස්ක්‍රීන් ෂොට් එකක් පෙන්විය යුතු බවත්, හරස් ප්‍රශ්න ඇසිය යුතු බවත් ඔහු පෙන්වා දුන් අතර, විත්තියේ නීතිඥයන් සියලු දෙනා ඊට එකඟතාව පළ කළහ. හැකියාවක් ඇත්නම් ප්‍රින්ට් අවුට් (මුද්‍රිත පිටපත්) ලබා දෙන්නැයි විත්තියේ නීතිඥවරු ඉල්ලීමක් කළහ.
සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා: ෆෝල්ඩර්වලට අංක දමන්නයි අවශ්‍ය වුණේ? නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය: ඒවා මුද්‍රණය කරන්න දෙපාර්තමේන්තුවේ බැහැ. එම කොපි මුද්‍රණයට රජයේ මුදල් වෙන් වන්නේ නැහැ. මම පෞද්ගලික මුදලින් ඒවා මුද්‍රණය කරන්නේ. විනිසුරු: මෘදු පිටපත වෙනුවට දෘඪ පිටපත මාක් කළ හැකියි.
යළි නඩු විභාගය ආරම්භ විය. 9 වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ රහුල් ජයතිලක මහතා සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න ඇසීම ආරම්භ කළේය. එහෙත් එම සංයුක්ත තැටිය ධාවනයේදී දිගින් දිගටම බාධා සිදුවන බව නිරීක්ෂණය වූ අතර, සමහර අවස්ථාවල එය විවෘත වූවත් තවත් අවස්ථාවල විවෘත නොවිණි. එය හුදෙක් යාන්ත්‍රික දෝෂ මත සිදුවන බවත්, පැ 297 I දත්ත දෝෂයකට ලක් වුවහොත් සාක්ෂි මෙහෙයවීම ව්‍යාකූල වනු ඇති බවත් මෙහිදී විනිසුරුවරයා පෙන්වා දුන්නේය. එය වැදගත් සාක්ෂියක් බැවින්, සංයුක්ත තැටියෙහි ඇති දත්තවල දෘඪ පිටපත් එක්සෙල් (Excel) ගොනු ලෙස වගු වශයෙන් ලබාගෙන තබා ගැනීමටත්, එම දත්ත සහිත එක්සෙල් වගු අධිකරණයේ රෙජිස්ටාර් ඉදිරියේ පිටපත් කිරීමටත් විනිසුරුවරයා නියෝග කළේය.
ඒ අනුව අධිකරණ කටයුතු පෙරවරු 11.45 දක්වා කල් තැබුණු අතර, යළි 11.45 ට එහි කටයුතු ආරම්භ කරන ලදී.
ඒ අවස්ථාවේ සභාපති විනිසුරුවරයා කියා සිටියේ, අධිකරණයේ රෙජිස්ටාර් ඉදිරියේ එසේ පිටපත් ලබා ගැනීමට අධිකරණයේ පහසුකම් නොමැති බවය. එවැනි පහසුකම් ලබාගත හැක්කේ පෞද්ගලික අංශයෙන් බව පෙන්වා දුන් විනිසුරුවරයා, ඒ සඳහා වියදම් දැරීමට පාර්ශ්වයක් නොවන බවද ප්‍රකාශ කළේය. එබැවින් රෙජිස්ටාර් ඉදිරියේ ඡායා පිටපත් ගැනීමට කළ නියෝගය අහෝසි කරන ලදී.
යළිත් විත්තියේ නීතිඥ රහුල් ජයතිලක මහතා සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න ඇසීම ආරම්භ කළේය.
නීතිඥ: 297 III ෆෝල්ඩරයට ඔබ ඇතුළත් කර තිබූ එක්සෙල් ෆයිල් දෙක ගැන කියන්න. සාක්ෂිකරු: ජාතික තොගයේ තිබූ ඖෂධ 182ක් හා ජාතික තොගයේ තිබූ ඖෂධ 229ක්, 2021 ජනවාරි සිට 2024 ජනවාරි දක්වා (ජනවාරි මාසයද ඇතුළත්ව) මාළිගාවත්ත මහේස්ත්‍රාත්තුමිය විසින් එවන ලද ඖෂධ 182 මාසික තොගය වෙනමම ගණනය කර, වෛද්‍ය සැපයුම් අංශයේ මාසික තොගය, ආයතනික මට්ටමේ මාසික තොගය හා එහි එකතුව වන ජාතික තොගය ගණනය කර ඉදිරිපත් කළ ඒවා එහි තිබෙනවා.
නීතිඥ: ඖෂධ 229 ලැයිස්තුව කුමක්ද? සාක්ෂිකරු: එම එක්සෙල් වගුව විවෘත කළ විට, පෙර කී පරිදි මාළිගාවත්ත මහේස්ත්‍රාත්තුමිය පෙර පරිදිම එවන ලද 2021 ජනවාරි සිට 2024 ජනවාරි දක්වා වන දත්ත ඇතුළත් ගොනුවක්.
නීතිඥ: මහේස්ත්‍රාත්තුමිය විසින් 1 ලෙස එවූ ලේඛන 206 I ලෙසද, අනෙක් ලැයිස්තුව 229 E 3 සහ 229 E 4 ලෙසද හඳුන්වා තිබෙනවා. සාක්ෂිකරු: එසේය ස්වාමීනි.
නීතිඥ: 7 වන ඡේදයේ ඇති කාරණය කුමක්ද? සාක්ෂිකරු: මාළිගාවත්ත මහේස්ත්‍රාත්තුමිය එවන ලද ප්‍රශ්නවල 6, 7, 8 ප්‍රශ්නවලට පිළිතුරු දීම සිදුකර ඇති ආකාරයයි.
නීතිඥ: ඔබ ඊයේ කිව්වා 6, 7, 8, 9 අංක යටතේ ඇත්තේ, ඉවිස් (Ewis) ආයතනය ලබා දුන් මෘදුකාංගයට අදාළ ගිවිසුම පිළිබඳවයි කියලා. සාක්ෂිකරු: එකඟයි ස්වාමීනි.
නීතිඥ: වෛද්‍ය සැපයුම් අංශයේ පරිශීලකයන්ට ඇති පහසුකම් දැනගන්න පුළුවන්ද ඒකෙන්? සාක්ෂිකරු: අපි නිරීක්ෂණය කළා. ඉවිස් ආයතනයට මෙම පද්ධතියේ ක්‍රියාකාරිත්වය ගැන මනා දැනුමක් තිබුණා. ඒ නිසා මෘදුකාංග පාලනය වෛද්‍ය සැපයුම් ඒකකය යටතේ පවතින බව ඇතුළු කරුණු නිරීක්ෂණය කළා. අධිකරණ නියෝගවලට අදාළව ලිපියක් ගොනුකර ඇති බවත්, ඉවිස් මෙයට සහභාගි නොවන බවත් දැනුම් දුන්නා.
නීතිඥ: එම 297 වාර්තාවේ 2 හා 3 අත්සන් කාගෙද? සාක්ෂිකරු: පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ සඳසිරි සහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ උප පොලිස් පරීක්ෂක ජයසිංහ.
නීතිඥ: 2015 හෝ 2016 දී වෛද්‍ය සැපයුම් ඒකකය ප්‍රොන්ටෝ (Pronto) මෘදුකාංගය පවත්වාගෙන ගොස් ඇත්තේ, තොග පාලනයට පමණක් බව කිව්වා. එම පද්ධතිය භෞතිකව භාවිතා වෙද්දී එයින් පැරණි තොරතුරු ගැනීමට පමණක් භාවිතා වන බවත්, දෛනික මෙහෙයුම් ස්වස්ථා (Swastha) මඟින් කරන බව නිරීක්ෂණය වුණා. සාක්ෂිකරු: එසේමයි ස්වාමීනි.
නීතිඥ: පරිශීලකයන්ට දී ඇති වරප්‍රසාද කියන කරුණු ගැන, ඔබට ඇති පළපුරුද්ද මත මෙම දත්ත සුරක්ෂිතතාවයට සහතික විය හැකිද? සාක්ෂිකරු: වෛද්‍ය සැපයුම් ඒකකය සෘජුව නිරීක්ෂණය කළා. එහි මෘදුකාංගයේ පරිශීලන ගිණුම්වල දත්ත වෙනස් කළ නොහැකියි. පරිශීලකයන්ට ඉවත් කරන්න හෝ වෙනස් කරන්න බලය දීලා නැහැ. වෛද්‍ය සැපයුම් ඒකකයෙන් හෝ ඉවිස් ආයතනයෙන් මෙම පද්ධතිවල දත්ත ඇතුළු සියල්ල තිබූ පරිදිම තිබුණා.
නීතිඥ: ඔරැකල් ඩේටා බේස් (Oracle Database) ඉහළ මට්ටමක ඇති බව කීවා. ප්‍රොන්ටොත් ඔරැකල්. ඔබ පරීක්ෂා කරද්දී සුරක්ෂිතභාවය පැවසුවා. සාක්ෂිකරු: එහෙමයි ස්වාමීනි. එම පරිශීලක ගිණුම් හරහාද ගොස් ඉවත් කරන්නට හෝ වෙනස් කරන්නට නොහැකි බව හෙළිවුණා.
නීතිඥ: රස පරීක්ෂක දෙපාර්තමේන්තුව හදන වාර්තාවල අංශ ප්‍රධානියා අත්සන් තැබීමේ ක්‍රමවේදය කුමක්ද? සාක්ෂිකරු: අප අංශයේ ඩිජිටල් අපරාධ විද්‍යා වාර්තා නවකයන් විසින් අත්සන් කරන්නේ නැහැ. වසරකට සියයක් පමණ නිකුත් කරනවා. විද්‍යාගාරයේ නවක නිලධාරීන් වන බැවින් සැකකටයුතු ලේඛන පරීක්ෂකගේ අත්සනට ඉදිරිපත් කරනවා.
නීතිඥ: එසේ ඉදිරිපත් කරද්දී අත්සන් කරන්නේ කොතැනද? සාක්ෂිකරු: හදන කෙනා දකුණු පස, නියෝජ්‍ය සැකකටයුතු ලේඛන පරීක්ෂක දකුණේ.
නීතිඥ: සාක්ෂි දෙන්නේ කවුද? සාක්ෂිකරු: සකසන කෙනා.
නීතිඥ: සර්වර් පරිගණකයේ දත්තවලින් පැ 297 ලේඛනය හැදුවේ. මෙම දත්ත පරිගණකයේ උත්පාදිත දත්ත යැයි කියන්නේ ඇයි? ඒවා ඩිජිටල් දත්ත ලෙස එළියට ගත්තේ පැ 197 බී යටතේ වෛද්‍ය සැපයුම් අංශයේ දත්ත ලබා ගැනීම ප්‍රොන්ටෝ පද්ධතියෙන් ගත්තා. ප්‍රොන්ටෝ පද්ධතියේ තිබුණේ එම දත්ත තමයි කියලා තහවුරු කර ගන්නේ කොහොමද? සාක්ෂිකරු: එස්.ආර්. අංශයෙන් අරන් තිබුණා. SL 12 ක්වෙරි (Query) එක මගින් ලබාගත් නිසා එසේ උත්පාදනය කරගත් බව දක්වා තිබෙනවා.
නීතිඥ: ඔබ SQL ක්වෙරි මගින් උත්පාදනය කරගත් දත්තවල නිරවද්‍යතාව සහතික කරන්නේ කෙසේද? සාක්ෂිකරු: පෙර කී පරිදි බැකප් සර්වර් එකට යනවා.
නීතිඥ: මහේස්ත්‍රාත් උසාවියෙන් එවූ ප්‍රශ්නවලට පිළිතුරු දී තිබෙනවා. එම උත්තර පදනම්ව සංයුක්ත තැටිය ඉදිරිපත් කළේ. එය 297 I කියා ලකුණු කළා. සාක්ෂිකරු: එසේය ස්වාමීනි.
නීතිඥ: එම දත්ත ලබා ගන්නේ බැකප් සර්වර් එකකින් කිව්වා. යම් පද්ධතියක දත්ත කුඩා ෆෝල්ඩරයක දාලද තිබුණේ? සාක්ෂිකරු: නැත ස්වාමීනි. වෛද්‍ය සැපයුම් ඒකකයේ ක්‍රියාත්මක, ඉවිස් ආයතනයෙන් ලබා දුන් BAREOS යනුවෙන් සඳහන් මෘදුකාංගයක් මගින් එය භාවිතා කර දෘඪ තැටියකට බැකප් කරනවා. එය බැකප් සර්වර් එකට ඉන්ස්ටෝල් (Install) කර ගැනීමයි සිදුවන්නේ.
නීතිඥ: යම් පරිගණකයක ඒක තිබුණාද? සාක්ෂිකරු: වෛද්‍ය සැපයුම් ඒකකයේ තිබූ දත්තවලින් ගත්තේ.
නීතිඥ: ඒවා ඔරැකල් මෘදුකාංගවල තියෙන්නේ කියලා කියන්නේ මොකක්ද? සාක්ෂිකරු: ඔරැකල් සමාගමෙන් නිපදවන මෘදුකාංගයක්.
නීතිඥ: එය මොන වර්ෂයට අයත් එකක්ද? සාක්ෂිකරු: එය බැලුවේ නැහැ. ඒත් වර්ෂන් එක 10 බව මතකයි.
නීතිඥ: ලයිසන් එක පරීක්ෂා කළේ නැද්ද? සාක්ෂිකරු: නැහැ.
(පළමුවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ හරේන්ද්‍ර බානගල මහතා හරස් ප්‍රශ්න ඇසීම ආරම්භ කරයි.) නීතිඥ: ඔබ කර ඇතැයි කී වාර්තා සියල්ල පරිගණකද? සාක්ෂිකරු: සීඩී, ටීවී, දුරකථන ඇතුළු දත්ත ගබඩා වෙන උපාංග.
නීතිඥ: ඔබ කොවිඩ්වලට අදාළව කුමන හෝ පරීක්ෂණයක් කරලා තියෙනවද? සාක්ෂිකරු: නැත ස්වාමීනි.
නීතිඥ: පද්ධති ආශ්‍රිතව, පරිගණක ආශ්‍රිතව නිරීක්ෂණ කෙරෙනවා නම් ඔබේ දෙපාර්තමේන්තුව කරනවද? සාක්ෂිකරු: දෙපාර්තමේන්තුවටම ලැබෙන නඩු සම්බන්ධ නියෝග අනුව කරනවා.
නීතිඥ: ඔබ කියන්නේ ඔබේ අනුදැනුම නැතිව පරීක්ෂණ තිබිය හැකියි කියලද? සාක්ෂිකරු: තිබිය හැකියි.
නීතිඥ: මේ සාක්ෂි දෙන වාර්තාවට අදාළව ඒ ප්‍රශ්නාවලියට උත්තර දෙන්න කලින් ප්‍රොන්ටෝ පද්ධතිය ගැන අවබෝධයක් ලබා ගත්තා කිව්වා. සාක්ෂිකරු: ඔව්.
නීතිඥ: ඒ තුළ සැපයුම්කාර ලැයිස්තුවක් තිබුණාද? සාක්ෂිකරු: තිබුණා ස්වාමීනි.
නීතිඥ: ඔබ මේ නඩුවට අදාළ රාජකාරිය පැවරීමේදී බැකප් එකකට ඉන්ස්ටෝල් කළ බව කිව්වා. එය සරල රාජකාරියක්ද? සාක්ෂිකරු: සරල නැහැ. එය බරපතළ කටයුත්තක්.
(දෙවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ අසේල සේරසිංහ මහතා හරස් ප්‍රශ්න ඇසීම අරඹයි.) නීතිඥ: මේ ලේඛනවල තොරතුරු ලැයිස්තු හැදුවේ කවුදැයි ඔබ දන්නවද? සාක්ෂිකරු: නැහැ.
නීතිඥ: එම සකස් කළ නිලධාරී ගැන දන්නේ නැද්ද? සාක්ෂිකරු: අධිකරණ නියෝගයක් ආවා. ඒක ක්‍රියාත්මක කළා.
නීතිඥ: පැ 297 සැකසීමේ අරමුණ මොකක්ද? සාක්ෂිකරු: එය සම්පාදනය කළේ මාළිගාවත්ත මහේස්ත්‍රාත් නියෝගය අනුවයි.
නීතිඥ: එහෙම ඉල්ලා තියෙන්නේ ඇයි කියා දන්නේ නැද්ද? සාක්ෂිකරු: නැහැ ස්වාමීනි.
(තෙවන විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ඉසුරු ජයවර්ධන මහතා හරස් ප්‍රශ්න අසයි.)
නීතිඥ: ඔබෙන් ඉල්ලූ දත්ත ලබා දුන්නාද? සාක්ෂිකරු: ඔව් ස්වාමීනි.
නීතිඥ: එහි ඖෂධ 182ක් හා ඖෂධ 229ක් ගැන සඳහන්. සාක්ෂිකරු: ඔව්.
නීතිඥ: පද්ධතිය පරීක්ෂා කිරීමේදී භාවිතා කළ හැකි තොගයක් (Usable stock) තිබුණද? සාක්ෂිකරු: අවබෝධයක් නැහැ.
නීතිඥ: මහේස්ත්‍රාත් අධිකරණයෙන් විමසලත් නැද්ද? සාක්ෂිකරු: නැත ස්වාමීනි.
නීතිඥ: ඔබ දුන් වාර්තාවලත් යූසබල් ස්ටොක් ගැන හෝ ඉතිරිය ගැන සඳහනක් නැද්ද? සාක්ෂිකරු: නැත.
(6 වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ නුවන් ජයවර්ධන මහතා හරස් ප්‍රශ්න අසයි.) නීතිඥ: මේ වාර්තාව සකසන්න වෛද්‍ය සැපයුම් අංශයේ නිලධාරීන් සහාය කර ගත්තාද? සාක්ෂිකරු: භෞතික පරීක්ෂාව වැනි දේට ඔවුන් සහාය කර ගත්තා.
නීතිඥ: එසේ සහාය ලබා ගත්තා කියා වාර්තාවට ඇතුළත් කළාද? සාක්ෂිකරු: සහාය ගත්තේ වෛද්‍ය සැපයුම් අංශයේ තාක්ෂණ නිලධාරීන්ගෙන් තොරතුරු ගන්න.
නීතිඥ: ඔබ කියන්නේ ඔබ එහි යද්දී ප්‍රොන්ටෝ සහ ස්වස්ථා පද්ධති දෙකම ක්‍රියාත්මකයි කියලද? සාක්ෂිකරු: ඔව්.
නීතිඥ: ඔබ ප්‍රොන්ටෝ බැකප් එකක් ගත්තා. සාක්ෂිකරු: ඔව්, එහි දත්තවල බැකප් එකක් ගත්තා.
නීතිඥ: මුල් අවස්ථාවේ ගන්න හැදුවේ සජීවී මෘදුකාංගයෙන්. සාක්ෂිකරු: එම මෘදුකාංගයේ ක්‍රියාත්මක වූ දත්තවලින්. ප්‍රතිඵල දෙන්න විශාල කාලයක් ගතවන බව පෙනී ගියා.
නීතිඥ: එම නිසා වෛද්‍ය සැපයුම් ඒකකයෙන් ගන්න හැදුවා. සාක්ෂිකරු: අපි පරීක්ෂා කළා. සුළු කාලයකින් ගත හැකි වන නිසා සජීවී පද්ධතියේ ඇති දත්ත ක්‍රියාත්මක කර බැකප් එකක් ගත්තා.
නීතිඥ: අඩු ඖෂධ හතර අඩු වුණේ කෙසේද? සාක්ෂිකරු: අධිකරණ නියෝගය අනුව මම එස්.ආර්. අංක 4කට අදාළව ප්‍රොන්ටෝ සිස්ටම් දත්ත නැති බව නිරීක්ෂණය කළා.
නීතිඥ: ඒ කුමන හේතුවක් මතද කියා දන්නවද? සාක්ෂිකරු: නැහැ ස්වාමීනි.
නීතිඥ: තාක්ෂණිකව ඒක කිවහැකි කවර අන්දමින්ද? සාක්ෂිකරු: මම එය බැලුවේ නැහැ ස්වාමීනි.
(11 වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ අමිත ආරියරත්න මහතා හරස් ප්‍රශ්න ඇසීම අරඹයි.) නීතිඥ: පැ 297 ලේඛනයේ කොළ කීයද? සාක්ෂිකරු: 5යි.
නීතිඥ: එහි මුල් පිටු දෙකේ ඔබ අත්සන් කර තිබෙනවා. සාක්ෂිකරු: ඔව්.
නීතිඥ: 1 හා 2 වාර්තාවක්ද? කමිටු වාර්තාවට ආවරණ ලිපියක්ද? සාක්ෂිකරු: මුල් පිටු දෙක ආවරණ ලිපියක් පමණයි. තනතුරු නාමය පදනම් කරගෙන ඒ පිටු දෙක සැකසුවා.
නීතිඥ: අන්තිම පිටු ටික ආයතනය නියෝජනය කරන්නේ නැද්ද? සාක්ෂිකරු: නියෝජනය වෙනවා. නමුත් කමිටුවකින් හැදූ වාර්තාවක් නිසා ලිපි ශීර්ෂ යෙදුවේ නැහැ.
නීතිඥ: ප්‍රොන්ටෝ එකෙන් ඩේටා බැකප් කරගන්නේ කොහොමද? සාක්ෂිකරු: දෘඪ තැටියකට අරන්.

