කොළඹ (SL Leader)
ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ අතිශය පෞද්ගලික දත්ත ඇතුළත් ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතියේ ටෙන්ඩරය
ඉන්දියානු සමාගමකට ලබාදීම හරහා බරපතළ ජාතික ආරක්ෂක අවදානමක් මතුව ඇති බව ජාතික වෘත්තීය සහ සිවිල් පෙරමුණ අවධාරණය කරයි.
අද (07) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ එම පෙරමුණේ කැඳවුම්කරු වෛද්‍ය චමල් සංජීව පෙන්වා දුන්නේ, දත්ත ජාවාරම ලෝකයේ බලවත්ම ජාවාරම බවට පත්ව ඇති යුගයක ලාංකිකයන්ගේ තොරතුරු විදේශීය පාර්ශවයකට නතු කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බවයි.
අනුරගේ ‘ප්‍රතිපත්තිය’ වෙනස් වෙලාද?
වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක මීට පෙර විපක්ෂයේ සිටියදී මෙම ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතියට සහ දත්ත විදේශීය සමාගම් සතු කිරීමට එරෙහිව පාර්ලිමේන්තුවේදී දැඩි ස්ථාවරයක සිටි බව වෛද්‍ය චමල් සංජීව මෙහිදී මතක් කර දුන්නේය.
"ලෝකය ගමන් කරන්නේ දත්ත මත බව එදා ජනාධිපතිවරයා ඉතා බැරෑරුම් ලෙස පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. නමුත් අද ඔහුගේ පාලනය යටතේම එම ව්‍යාපෘතිය සැක සහිත ඉන්දියානු සමාගමකට ලබාදීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙමින් පවතිනවා. එදා අනුර කියපු කතාව අද වෙනස් වෙලාද කියන ප්‍රශ්නය අපිට තියෙනවා,"
යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.
කළු ලැයිස්තුගත සමාගමකට දත්ත බාරදීම
මෙම ව්‍යාපෘතිය සඳහා තෝරාගෙන ඇති සමාගම මීට පෙර ශ්‍රී ලංකාවේ මත්පැන් බෝතල් සඳහා වන ආරක්ෂිත ස්ටිකර් (Excise Sticker) මුද්‍රණය කිරීමේදී දැවැන්ත බදු වංචාවකට සම්බන්ධ බවට චෝදනා එල්ල වූ සමාගමක් බව වෛද්‍යවරයා හෙළි කළේය. මෙවැනි ප්‍රශ්නකාරී ඉතිහාසයක් ඇති සහ අසාදු ලේඛනගත විය යුතු සමාගමකට මෙරට ජනතාවගේ පෞද්ගලික තොරතුරු බාරදීම අතිශය භයානක තත්ත්වයක් බව ඔහු පෙන්වා දෙයි.
දේශීය බුද්ධිමතුන් කොන් කිරීම
ශ්‍රී ලංකාව තුළ වෙනමම ඩිජිටල් අමාත්‍යාංශයක් පවතින අතර, මේ පිළිබඳ සොයා බැලීමට දේශීය උගතුන් සහ තාක්ෂණික විශේෂඥයන් ඕනෑතරම් සිටින බවත්, ඔවුන්ගේ දායකත්වයෙන් තොරව මෙවැනි ගනුදෙනු සිදුකිරීම පිටුපස ඇති අදිසි හස්තයන් පිළිබඳව විමර්ශනය කළ යුතු බවත් ජාතික වෘත්තීය සහ සිවිල් පෙරමුණ පවසයි.
කලාපීය දේශපාලන බලපෑම්
තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමති ධුරයේ සිදුවන වෙනස්කම් පවා ශ්‍රී ලංකාවට බලපාන පසුබිමක, මෙරට පුරවැසියන්ගේ අනන්‍යතාව ඉන්දියානු පාර්ශවයන්ට ලබාදීම භූ-දේශපාලනික වශයෙන් ද ගැටලු රාශියක් මතු කරනු ඇතැයි වෛද්‍ය චමල් සංජීව අනතුරු ඇඟවීය.
ගල්අඟුරු වංචාව ඇතුළු විවිධ දූෂිත ගනුදෙනු හරහා ජනතාව මේ වන විටත් පීඩාවට පත්ව සිටින අතර, අනාගතයේදී සිදුවිය හැකි මෙම "ඩිජිටල් දත්ත කොල්ලය" පිළිබඳව ජනතාව දැන් සිටම අවධානයෙන් සිටිය යුතු බව මාධ්‍ය හමුවේදී අවධාරණය කෙරිණි.

