SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන්නේ

හංසයා ලකුණ සහිත පොදු සන්ධානයකින් බවට විශ්වාස කටයුතු ආරංචි මාර්ග මේ වනවිට සඳහන් කර ඇත.

 

ජනාධිපතිවරයාගේ අපේක්ෂාව තමන්ට හිතවත් පක්ෂ සමඟ සන්ධානගත වී ජාතික අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට තරග කිරීම බව එම ආරාචිමාර්ග වලින් කියැවේ.

 

පළමු තුරුම්පුව (සජබය ගලවා එජාපයට සවිකිරීම)

 

කෙසේ වුවද පහුගිය කාල වකවානුව පුරාම රනිල් වික්‍රමසිංහ එජාපයේ නායකයාගේ උපරිම උත්සාහය වූයේ තම පක්ෂයේ අති බහුතරයක් දෙනා කඩාගෙන ගොස් පිහිටවූ සමගි ජන බලවේගයෙන් අවම තරමේ භාගයක් හෝ නැවත කඩා තම පක්ෂයට එකතු කර ගැනීමටය.

 

ඒ සඳහා තමා ගේ අනුප්‍රාප්තික ජනාධිපති ධූරයේ බලය උපයෝගී කරගෙන සිදු කළ හැකිය යන්න ඔහුගේ අභිප්‍රාය වී තිබුණි.

ඒ අනුව මුලින්ම ඔහු හා එක් වූයේ හරීන් ප්‍රනාන්දු හා මනූෂ නානායක්කාරය.

බලයේ මුවාවෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට පහසුවෙන්ම ලබාගත හැකිව තිබූ ලාභය එය ය.

එහෙත් එමගින් වූයේ අරගලය වෙනුවෙන් පෙනී සිටීම හරහා  යම් ජනප්‍රියත්වයක් ඇති කරගෙන සිටි හරීන් හා මනූෂට ඉදිරියේදී ඡන්දයක් දිනාගැනීමටවත් අසීරු මාවතක් උදාවීමය.

දැනට ඔවුන් සිතා සිටින්නේ තමාට ලැබී ඇති අමාත්‍යධූරයන්හි කටු ඔ‌ටුන්නෙන් සියල්ල සිදුවේවි යැයි කියා නම් මහා මැතිවරණයකින් එජාපයෙන් ඡන්දයට පැමිණියහොත් ඔවුන්ට අබ සරණමය.

 

රාජිත සේනාරත්න දැනට අනූනවයයි දසම නවයයි නවයෙන් ජනාධිපති  රනිල්ගේ උගුලෙන් බේරී සිටින්නේ බලය ගත් විට රනිල් වික්‍රමසිංහගේ සුපුරුදු සෙල්ලම නිසා ය.

නොඑසේනම් රාජිතටද ඇමති තනතුරක් සමග හරීන් මනූෂ ඇද වැටී ඇති ඉරණමම ලැබෙනු ඇත.

 

ඒ කුමක් වුවද පාර්ලිමේන්තු මැතිවරණයක් අදාළ කාලය තුළ පැවැත්වීමට මැතිවරණ කොමිසම තමාට ලැබී ඇති බලතල උපයෝගී කරගන්නේ නම් දැනට පාර්ලිමේන්තුවට තේරී පත්වූවන්ගෙන් භාගයකටත් වැඩි පිරිසකට කොහොමටත් අබ සරණම වනු ඇතැයි විශ්ලේෂක මතය ය.

එය වැලැක්වීමට රනිල්ට තබා සක්කරයාගේ වයිමා ආවත් බැරි බව ඔවුන්ගේ අදහස ය.

 

 

දෙවැනි තුරුම්පුව (අයි.එම්.එෆ් කයිය)

 

රනිල් වික්‍රමසිංහ ගන්නා දෙවන තුරුම්පුව වන්නේ ඡන්දයක් පිළිබඳ කතිකාව තුළට, බලය ලබාගත් විට වෙනත් දේශපාලන සංවිධාන IMF ගිවිසුම පවත්වාගෙන යෑම ගැන අදහස් දැක්වීම ය.

එය ජාත්‍යන්තරවත් විමර්ශනයට හා මැදිහත්වීමට ලක්වන ලෙස පාවිච්චි කිරීම රනිල් අටවන්නට බලාපොරොත්තු වන උගුල ය.

එවැනි අවස්ථාවක දැනට බලය වෙනුවෙන් තරඟ කරන්නට බලාපොරොත්තු වන පක්ෂවලට සෘජුවම ඊට මුහුණ දෙන්නට වෙනවා මෙන්ම තම තීරණය සෘජුවම ඉදිරිපත් කරන්නටද සිදු වේ.

සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා මේ වනවිටත් IMF  ගිවිසුමට එරෙහිව අවි අමෝරා ඇත.

ඒ නිසා ඔහු පිළිබඳව ඇමරිකාව සහ  ඉන්දියාව (චීනය පවා) මේ වනවිට යම් අදහසක් ඇති කරගෙන සිටිනවා යැයි සිතිය හැකිය.

 

මෙතැනදී රනිල් වික්‍රමසිංහ විසින් මූලික වශයෙන්ම  ඉලක්ක කරන්නේ ජාතික ජන බලවේගය ය. දැන් ඔවුන්ට සෘජුවම තමා බලයට පැමිණි පසු IMF ගිවිසුමට කරන්නේ කුමක්ද යන්න කියන්නට සිදුවෙනවාය. එය දැනට කරනවා වැනි පක්ෂයේ වෙනත් නියෝජිතයින් හරහා නොව පක්ෂ නායකයා විසින්ම සෘජුව පැහැදිලිව කියවීම රනිල්ගේ උපාය ය.

 

මේ තුරුම්පු දෙකටම සාර්ථකව ඉලක්කගත පක්ෂ/ සන්දාන මුහුණ දෙන්නේ ද  රනිල් වික්‍රමසිංහ සතු තවත් එක් බොළඳ උත්සාහයක් ඇත.

 

ඒ, මේ පවත්නා මනාප බලුපොරයක් වැනි  මැතිවරණ ක්‍රමය අතිශය දූෂිත එකක් බවත් සැබෑ ජනතා නියෝජිතයින් තෝරා පත්කරගැනීමට නම් මැතිවරණ ක්‍රමය සංශෝදනය කළ යුතු බවත් ය.

 

එසේම දැනට ක්‍රියාත්මක වන සමානුපාතික ඡන්ද ක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ප්‍රතිපත්තිවලට පටහැණි බවත් දිස්ත්‍රික් ඡන්ද ක්‍රමය නීතිවිරෝධී වත්කම් රැස්කිරීම් ඇතුළු දූෂණ ක්‍රියාවලට මහජන නියෝජිතයන් පොළඹන බවත් ගෙන එන තර්කය ය.

එයට දැන් පාර සකසමින් ඇති බව ද පෙනී යන්නේ ය.

 

ඒ, එළැඹෙන සතියේ අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ විසින් සමානුපාතික ඡන්ද ක්‍රමය වෙනස් කොට ආසන මට්ටමින් මන්ත්‍රීන් තෝරාගත හැකිවන පරිදි පවත්නා මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට අදාළ විශේෂ යෝජනාවක් සඳුදා අමාත්‍ය මණ්ඩල හමුවට ඉදිරිපත් කිරීම ය.

ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරෙන විශේෂ කැබිනට් පත්‍රිකාව මගින් යෝජනා කර ඇත්තේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීන් 225 දෙනාගෙන් 160 දෙනකු අදාළ මැතිවරණ කොට්ඨාසයේ ඡන්ද දායකයන් විසින් ඍජුවම තෝරාපත් කරගත යුතු බවය.

ඉතිරි මන්ත්‍රීන් 65 දෙනා සමානුපාතික ඡන්ද ක්‍රමය අනුව ජාතික හෝ පළාත් මට්ටමින් තෝරාගත යුතු බවත් එහි සඳහන් කර ඇත.

 

බැලූ බැල්මට මෙය තර්ක කළ යුතු නොවන හැමෝම පිලිගන්නා කාරණයකි.

ඒ අතින් මෙයට එකඟ වීමට හැම දෙනාම කැමති ය.

 

එහෙත් ගැටලුව වන්නේ මේ මැතිවරණ වර්ෂයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති වටපිටාවක, ඡන්දයට අවශ්‍ය මුදල් වෙන්කර, පක්ෂවල මැතිවරණ සංවිධාන කටයුතු ආරම්භ කර ඇති මොහොතක හිටි අඩියේ මෙවැන්නක් ගෙන ඒමය.

අරමුණ කොතෙක් පැහැදිලි ද?

 

රනිල් වික්‍රමසිංහ තවමත් ඡන්ද සටන ආරම්භ කර නැති අතර  තම පක්ෂය තුළ හෝ ඊට අල්ප සූදානමක් හෝ සිදු කර නැත.

 

එවිට මැතිවරණයන් කල් දැමීමට මෙමගින් අවස්ථාව උදා වේවිද?

 

කෙනෙකුට මේ පිළිබඳ සැක සාංකා පහල විය හැක්කේ මේ වනවිට පළාත් සභා සහ පළාත් පාලන ඡන්දවලට සිදුව ඇති තත්වයන් පිළිබඳ කල්පනා කිරීමෙනි.

එහෙත් පළාත් පාලන මැතිවරණයේදී මැතිවරණ කොමිසම සතුව ඇති බලතල ප්‍රමාණය අල්ප ය.

 

මහා මැතිවරණය හෝ ජනාධිපතිවරණය එසේ නොවේ.

අදාළ කාලසීමාව පැමිණි විට ව්‍යවස්ථානුකූලවම මැතිවරණ ‌කොමිසමට මැතිවරණය කැඳවීමේ බලය ලැබී ඇත.

මහා මැතිවරණය කල් දමන්නට නම් ජනමත විචාරණයකට යා යුතු ය.

ජනාධිපතිවරණයට එසේවත් කළ නොහැකිය.

ව්‍යවස්ථා ප්‍රකාරව එය පැවැත්වීමට මැතිවරණ කොමිසම සතු බලය වන්නේ ය.

 

ඒ නිසා ස්වාධීන මැතිවරණ කොමිසම පිළිබඳව චිත්‍රයක් රටට ලබාගත හැකි මොහොත මෙය වනු ඇත.

නොඑසේනම් ජනාධිපති  රනිල් වික්‍රමසිංහ ගේ බොළඳ පැතුම් මල්පල ගනු ඇත.

 

@සමාරා පරණවිතාන

 

 

nalan mendis

නවතම ලිපි