SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඉදිරියේදී පැවත්වන පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අග්‍රාමාත්‍ය අපේක්ෂක ලෙස බැසිල් රාජපක්ෂ ඉදිරිපත් වීමට බොහෝ ඉඩ ඇති බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග කියා ඇත.

අගමැති අපේක්ෂක කතාවට වඩා මෙහිදී වැදගත් සංසිද්ධියක් ඇත.

ඒ, බැසිල්ගේ ලංකාවට පැමිණීම හා ඔහු ඇවිත් කරන්නට යන දේ ගැන ය.

 

රාජපක්ෂලාට මතුව ඇති සමාජ විරෝධය කාලයේ තලාවෙන් වැසී යාවී යැයි අපේක්ෂා කළද තවමත් ගමට යන පොහොට්ටු නායකයින්ට විශේෂයෙන් නාමල් ඇතුලු පිරිසට සංග්‍රහය ලැබෙන්නේ හූවෙන් ය.

බැසිල් ලංකාවට යලිත් පැමිණෙන්නේ මෙවන් වටාපිටාවකය.

ඔහු පැමිණ කරන්නට බලාපොරොත්තු වන්නේ පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා පොහොට්ටුවේ සාමාජිකයින් හා අපේක්ෂකයින් තල්ලු කිරීමය.

බැසිල් ඇතුලු පිරිස හිතන්නේ රාජපක්ෂලාට මතුව ඇති වෛරය මහ ඡන්දයක් හරහා තනුක වනු ඇති බව ය.

ඒ මොක වුනද මේ අවස්ථාවට රාජපක්ෂ කල්ලිය ලෙස එක්ව මුහුණ දිය යුතුය යන්න ඔහුගේ උපක්‍රමය වී ඇත.

 

එහිදී බැසිල් රාජපක්ෂ කොළඹිනුත්, නාමල් හම්බන්තොටින්, රෝහිත (චිචී) කුරුණෑගලිනුත්, නිපුණ මාතරිනුත්, ශෂීන්ද්‍ර මොණරාගලිනුත් ආදී ලෙස වන පවුල් ගස මුලින්ම මහ ඡන්දෙකින් පාර්ලිමේන්තුව තුලට යෑම අපේක්ෂිත කාරණය වී ඇත.

 

රනිල් එක්ක නෑ...

 

කෙසේ වුවද පොහොට්ටුව, බැසිල් රාජපක්ෂ ඇතුලු රාජපක්ෂ කල්ලිය රනිල් වික්‍රමසිංහ සමග එක් නොවන්නට අවසානයේ තීරණය කර ඇතැයි සඳහන් ය.

මේ වනවිට තම ගොඩ කොපමණද සහ කුමක්ද යන්න වඩාත් හොඳින් පැහැදිලි කර ගැනීම බැසිල්ගේ උවමනාව වී ඇති අතර බැසිල්ගේ සංවිධාන ක්‍රමවේදයද එය ය.

 

එසේ වුවද රාජපක්ෂලාගේ අනාගතය තීරණය වන්නේ නාමල් ගෙනි.

ඒ අනුව ඔහු පාර්ලිමේන්තුවට තේරී පත්විය යුතු ය.

පවතින වාතාවරණය අනුව එය ද බලපෑම් සහගත වන බැවින් සම්පූර්ණ උත්සාහයන් යොදා නාමල් රාජපක්ෂ ආසනය පරාජය වීමෙන් ගලවා ගැනීම මූලික වී ඇත.

 

මහින්ද රාජපක්ෂ එක් වරක් හම්බන්තොට තම අසුන පරාජය වීමේ ඉතිහාස කතාව ඔව්නගේ මතකයේ පවතින අතර මේ වනවිට ඊටත් වඩා තත්වය ‌බරපතල අඩියක පවතින්නේ ය.

 

මැද සන්දානය සහ චම්පික

 

සන්දාන ගණනාවක මැතිවරණ පොලොවක් නිර්මාණය වෙමින් ඇති අතර කිසිවෙකුට තනිවම තරඟ කර බලය ලබාගත නොහැකිය යන මතය පිලිගත් කාරණයකි.

ඒ අනුව මේ වනවිට චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනිය ප්‍රම්‍රඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආශීර්වාදයෙන් ගොඩ නැගෙමින් ඇති මැද සන්දානය ද පාර්ලිමේන්තු මැතිවරණයක් සඳහා මේ වනවිට පෙළගැසෙමින් ඇත.

විශේෂයෙන්ම මෙම සන්දානය දේශපාලනයේ කුණු නොගෑවුනු අයගෙන් සමන්විත කරගැනීම අපේක්ෂාව බව ඔවුන්ගේ මතය වී ඇත.

 

එහිදී පොහොට්ටුවෙන් බිඳී වෙන්ව ගොඩනැගුනු ලන්සලාගේ සන්දානයද, නිදහස ජාතික සභාවේ ඩලස්/ චරිත/එල්ලාවල ඇතුලු පිරිසද, ශ්‍රිලනිපය ද, එක්සත් ජනරජ පෙරමුණද ඇතුලුව සුළු ජාතික දේශපාලන නායකයින්ද සමග මැද සන්දානය ගොඩනැගෙමින් පවතින බව කියැවේ.

 

කෙසේ වුවද මේ වනවිට එක්සත් ජනරජ පෙරමුණ බලපෑම් කළහැකි කණ්ඩායමක් සකස් කර ගැනීමට උනන්දු වන අතර, චම්පිකලා ජාත්‍යන්තර වශයෙන් රාජ්‍ය තාන්ත්‍රිකයින් හා හමුවීම් කිහිපයක්ම මේ දිනවල සිදු කෙරෙන බවටද ආරංචිමාර්ග සපයා ඇත.

පසුගියදා ඉන්දීය රජයේ සංකේතීය චරිතයක් වූ ශිව සංකර් හමු වූ අතර අද රුසියානු තානාපති හමුවී දේශය වෙනුවෙන් එක්වන පියවරක් වැඩපිළිවෙල ඉදිරිපත් කර සාකච්ඡා කර ඇත.

සුළු ජාතික නායකයින් හමුවීම මෙන්ම දේශපාලන නොවන සිවිල් සංවිධාන හා වෘත්තිකයින් අතරට යෑමටද ඔවුන් පියවර ගෙන ඇති බව සඳහන් ය.

 

සජිත්ව දමනය කිරීමේ රනිල්ගේ උපක්‍රමය...

 

සමගි ජන බලවේගය දමනය කිරීම රනිල් වික්‍රමසිංහගේ අභිප්‍රාය වුවද සජිත් ප්‍රේමදාසව ගැනීම ලෙහෙසි නැතිවග දැන් දැන් පෙනී ගොස් ය.

පාර්ලිමේන්තුව විසුරුවා හැදෙන පාර්ලිමේන්තුවෙන් කොටසක් තමා වෙත ගැනීමට පුළුවන් වේ යැයි රනිල් සිතනවාද විය හැකිය. (අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකුට කල් තබා පාර්ලිමේන්තුව විසුරුවාලීමට ව්‍යවස්ථාමය බලයක් තිබේද යන්න වෙනම කාරණයකි).

එහෙත් පාර්ලිමේන්තුව විසුරුවා ලීමෙන් පැති මාරු කරන නියෝජිතයින් තම පක්ෂය තුල ගල් වන්නේ පක්ෂය හරහා ඊලඟ අපේක්ෂකත්වය ලබාගැනීම අත්‍යවශ්‍ය වන බැවින් ය.

එහෙත් රනිල් ගේ අභිප්‍රාය තුළ පාර්ලිමේන්තුවෙන් සජබට පත්වන කොටසක් සහ පොහොට්ටුවෝ කොටසක් ලබාගැනීම හරහා ඊලඟ ජනාධිපතිවරණය ගැන අදහසක් ඇති කරගැනීම තිබෙන්නේ ය.

 

මහා මැතිවරණයක් ආ පසු දැනගත හැකි වඩාත් නිවැරදිම අදහස වන්නේ දැනට පාර්ලිමේන්තුවේ සිටින බහුතරයකට මේ වනවිට කිසිදු ජනතා පදනමක් නැති බව ය. ඔවුන්ට නැවත පාර්ලිමේන්තුවට තේරී පත්වීමට හැකියාවක් නැති බව ය.

 

ජන පදනමක් නැති වී පාර්ලිමේන්තුවට තේරී පත්වීමට නොහැකි වුවහොත් මොන පක්ෂයේ කුමන තනතුරක් දැරුවද ඉන් ඇති පලක් නැත්තේ ය. සැලකීමක් ද නැත්තේ ය.

මේ නිසා මේ වනවිට බොහෝ මන්ත්‍රීවරුන් මේ වනවිට ජන පදනම සකස් කරගැනීමේ ක්‍රියාවලියේ නිරත වෙති.

එයද ජනතාව අතරට යෑමට තරම් හැකියාවක් ඇති අය පමණකි.

 

පහුගියදා සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් පැවසුවේ මේ සියලු වැඩ මධ්‍යයේ තමා තම ආසනයේ ජනතාව දැනුවත් කරමින් ඔවුන් සමග කුඩා හමු සංවිධානය කරමින් සති අන්තයේ කටයුතු කරන බව ය.

මරික්කාර්ට ජනතාව අතරට යෑමට හැකි වුවද බොහෝ ආණ්ඩු පක්ෂ නියෝජිතයින්ට ගිය විට ලැබෙන්නේ හූ හඩ ය.

ඒ නිසා ඔවුන්ගේ කැම්පේන් සිදුකළ හැක්කේ ඔන්ලයින් ය.

නවතම ලිපි