SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

බැලු බැල්මටම රටේ සාමාන්‍ය ස්ත්‍රීහු වේගයෙන් දේශපාලනීකරණය වෙමින් සිටින වග මේ දිනවල දේශපාලන රැස්වීම් බලන විට පෙනෙන්නේය.

ලංකාවේ ස්ත්‍රීන් දේශපාලනයට පැමිණීම අහම්භයක් නොවේ. එයට තරමක් දිගු ඉතිහාසයක් තිබේ. එහෙත් මේ එම ඉතිහාසය ලියන මොහොත නොවේ. මේ නව දේශපාලන ස්ත්‍රිය ඉතිහාසයේ තීරණාත්මක බලවේගයක් වනු නිසැකය. විශේෂයෙන් පැරණි හා පවත්නා පාලක කල්ලිය නෙරපීමට කෙරෙන දේශපාලනයේ ඉදිරියෙන්ම සිටින්නේ අපේ සාමාන්‍ය ස්ත්‍රීයයි. ස්ත්‍රී දේශපාලනයේ ආනුභාවය කෙබදු ද?

 

රටේ ස්ත්‍රියක් මැතිවරණයකින් ජයගෙන දේශපාලන රඟමඬලට ගොඩවෙන්නේ 1931 දිය. ඇඩ්ලීන් මීදෙණිය මොලමුරේ ය. ඇය රුවන්වැල්ලේ, මීදෙණිය වලව්වේ ‘රටේ මහත්තයාවූ ජෝන් හෙන්රි මීදෙණියගේ දියණියකි. ප්‍රථම කතානායක ඇලෙක්සෙන්ඩර් ෆ්‍රැන්සිස් මොලමුරේ සමඟ විවාහ වී සිටියා ය. ඇඩ්ලීන් දේශපාලනයට එන්නේ 1931 ඇගේ පියාගේ මරණයෙන් පසු රුවන්වැල්ල ආසනය නියෝජනය කිරීමටය. එහෙත් ඇගේ වලව් පැලැන්තියේ මැතිවරණ දේශපාලනය අවසන් කරන්නේ සමසමාජ ව්‍යාපාරයයි. 1936 දී රුවන්වැල්ල ආසනයේ ප්‍රතිවාදියා වන්නේ ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා ය. එහෙත් කුලවත් රදලයන්ට බලයට හා කෙරුම්කාරකමට ලැබුණු සබරගමුවේ කුල පීඩිතයන්ගේ චන්ද යන්නේ සමසමාජ ව්‍යාපාරයට ය. එය කෙතරම් බලවත් වුයේ ද කිවහොත් 1956 එම ආසනයට එජාපයෙන් තරග වැදුණු රණසිංහ ප්‍රේමදාසට ‘කුලය විකුණුවත්’ ලැබුනේ ඇන්. ඇම්. ලැබු චන්දවලට වඩා අඩක් අඩු ප්‍රමාණයකි...!

 

මේ සමසමාජ දේශපාලනය දිළිදු කුල පීඩිතයන් අතරේ පැතිරුණා පමණක් නොව රදල වලව් ඇතුලට ද කඩා වැදුනේය. ඇඩ්ලීන් මොලමුරේගේ සොහොයුරා, ජෝසප් හර්කියුලස් මීදෙණිය, රත්නපුරේ රටේ මහත්තයා ය. ඔහු විවාහ වී සිටියේ වයලට් එල්ලාවල සමඟය. මේ දෙපොලගේ දියණියන් දෙදෙනෙක් සමසමාජ දේශපාලනයේ ආනුභාවය ලැබූහ. එයින් වඩාත්ම ඔබ දන්නේ අයිරාංගනී මීදෙණිය සේරසිංහය. අනෙක් සොහොයුරිය, කාමිණි මිදෙණියයි. කාමිණි ගැන ඔබ බොහෝ දෙනෙක් නොදැන සිටින කාරණය වන්නේ ඇය වර්තමානයේ බෝඩ් ලෑල්ලක් වූ සමසමාජ පක්ෂයේ නායක දොස්තර තිස්ස විතාරණ සමඟ විවාහ වී සිටි බවය. දොස්තර විතාරණ, සමසමාජ නායකයෙකුව සිටි ඇන්. ඇම්. පෙරේරාගේ සොහොයුරිය වූ මැඟී පෙරේරාගේ පුත්‍රයා ය

1947 දී වාම පක්ෂ අතර තිබූ න්‍යායික මතභේද මත ලංකා ඉතිහාසයේ ප්‍රගතිගාමීම ස්ත්‍රී දේශපාලන ව්‍යාපාරය විසුරුවා හැරෙන්නේය. ඒ එක්සත් කාන්තා පෙරමුණය. එහෙත් මෙසේ අරාජික වූ ස්ත්‍රී දේශපාලනය 1953 හර්තාලයේ දී යළි මතුවන්නේ ය. හර්තාලයේ දී කොච්චි පාරවල්වල රොටි පිච්චුවේ නිර්භීත ස්ත්‍රීන් ය. බලපිටිය හා රත්ගම ආසනවල දී පොල් ලෙලි තලන කිතුල් පොලු ඔසවාගෙන පොලීසියට එලව එලවා පහර දුන්නේත් ස්ත්‍රීන් මේ ස්ත්‍රීන් ම ය. දැන් රනිල් රාජපක්ෂගේ පාදඩ දේශපාලනය පෙරලා දමන්නට ස්ත්‍රීන් සංවිධානය වනු දැකීම කෙතරම් අපුරු දර්ශනයක් ද?

 

|නන්දන වීරරත්න

නවතම ලිපි