SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

"ලිවීම මට පේන්නෙ එක පැත්තකින් තාපසයෙකුගෙ සොයා යාමක් වගේ. අනිත් පැත්තෙන් විද්‍යාඥයෙකුගේ සොයා යාමක් වගේ. තවත් පැත්තකින් මානසික ලෝකයක් තුළ අමු සල්ලාලයෙක්, පාදඩයෙක්, මේ විදිහෙ ජීවිත ගණනාවක ට්‍රිප් එකක්, ඇඩ්වෙන්චර් එකක් ගන්න උත්සාහ කරන රෝල් එකක් විදහට තමයි මට මේක පේන්නෙ"

 

කේ කේ සමන් කුමාර යනු සමකාලීන සිංහල සාහිත්‍යයේ මඟහැරයා නොහැකි නවකතාකරුවෙකි.

 

එසේම සිංහල සාහිත්‍ය නවීකරණය කිරීමට අධිපති ආකෘතීන්ට නිරන්තරයෙන් අභියෝග කරන නවකතාකරුවෙකි.

නේරංජනේ ඉස්නානේ, පිණි අහුරක් ඉහිරුණා, මාක්ස් ලයිව් ඉන් ශ්‍රී ලංකා, මහිලාවංශය වැනි නවකතා ඔස්සේ සේම ඔහු විශිෂ්ට කෙටිකතා, කවි සහ විචාර ග්‍රන්ථ ඔස්සේ සිංහල සාහිත්‍යයේ වර්ධනයට සුවිශාල ලෙස දායක වී ඇත.

මා ඔහු සමග කතාබහක යෙදෙන්නේ නවකතාකරුවෙකු ලෙස ඔහු ලේඛනයේ යෙදෙන විට ඔහුට දැනෙන හැඟීම් සහ ලිවීම සමග බැඳුණු ඔහුට ම අනන්‍ය වූ වතාවත් තේරුම් ගැනීමේ අරමුණින් ය.

මේ සාකච්ඡාව තුළ මා අසන ප්‍රශ්න මේ වන විට මා විසින් පළකර ඇති නිම්නාගේ ඉතිහාසය (2019) සහ මේ රහස් කවුලුවෙන් එබෙන්න (2014) නවකතා ලියන අතර මා මුහුණ දුන් අත්දැකීම් මතින් පැන නැගුණු ඒවා ය.

හැම ලේඛකයෙක්ම ලිවීමේ ක්‍රියාවලියට මුහුණ දෙන්නේ තමන්ගේම වූ ආකාරයකටය යන්න ප්‍රකට කරුණකි. ලියන තැන, ලියන විදිහ, ලියන විට බොන කෝපි කෝප්ප ගණන, ලිවීම තමන්ම විඳින හැටි වැනි දේ අයත් වන්නේ ලේඛකයාගේ අතිපුද්ගලික අඩවියට ය.

මේ සංවාද මාලාව උත්සාහ කරන්නේ නවකතාකරුවන්ගේ එම රහස් අඩවිය වෙත එබී බැලීමට ය.

 

 

කෞශල්‍ය: මම මුලින්ම ඔබගෙන් අහන්න කැමතියි ඔබ නවකතාවක සමාරම්භක මොහොතට මුහුණ දෙන හැටි ගැන. ඔබේ නවකතා වල පළමු වාක්‍යය ලියවුණු ආකාරය ගැන යමක් කියන්න පුලුවන් ද?

 

සමන්: හැම පොතකදිම එකම විදිහයි කියල කියන්න බැහැ. නමුත් බොහෝ වෙලාවට මගෙ තියෙන්නේ සැලසුම් නොකළ ලිවීමක්. අපි ඔය ස්වයං සිද්ධ ලේඛනය කියල කියන්නේ. ඒ කියන්නේ කිසිම දෙයක් සැලසුම් නොකරනවා කියන එක නෙමෙයි. සමහර වෙලාවට අවුරුදු ගාණක් ඒ ප්ලොට් එක ඔලුවේ තියාගෙන ඉඳලා ඒකෙ ආකිටෙක්චර් එක නෝට්ස් ගහලා එහෙම තියෙන්නත් පුලුවන්. දැන් මෙතෙන්දි තව දෙයක් කියන්න ඕන. මගෙ තියෙන එකක් තමයි ස්ටෝරි කියන එකට මම සම්පූර්ණයෙන් විරුද්ධයි. ඒකෙන් කියන්නෙ මං ස්ටෝරි එන්ටර්ටේන් කරන්නෙ නැහැ කියන එක නෙමෙයි. වෙන අයගෙ ඒවා මං එන්ටර්ටේන් කරනවා. නමුත් ස්ටෝරි ලයින් එක පුලුවන් තරන් මකන්න තමයි මගෙ ඇඟෙන් එන්නෙ. ඒක මේ තියරිටිකලි එන එකක් නෙමෙයි. මට ඔය අංකොං, ඔය අනවශ්‍යයි කියල බැහැර කරන ඒව තියෙන්නෙ, ඒ වගේම උපාඛ්‍යානමය කෑලි, කිසිම සම්බන්ධයක් නැති ඒව මගෙ ලිවීම ඇතුළේ උඩට එනවා. එක රටාවකට ගොනු කරගෙන යන එකම මට හිතෙන්නේ උන්නතිකාමී යමක් ලුහුබඳින එකේ ප්‍රක්ෂේපණයක් කියල. මට ලයිෆ් එක ගැනත් එහෙමයි හිතෙන්නේ. ඕකට එක එක අර්ථකථන දෙන්න පුළුවන්. ධනේෂ්වර මධ්‍යම පාංතික ආශාවන් ලුහුබැඳීම කියල කියන්න පුලුවන්. ස්ත්‍රීවාදී විදිහට ඕනෙනම් පිරිමි සුරතාන්තය හඹායාම කියල කියන්න පුලුවන්. මේක මට හරි පීඩාකාරී. මොකද මගෙ ලයිෆ් එක යන්නෙ එහෙම නෙමෙයි. තවත් විදිහකට කිව්වොත් දැන් ලෝකයේ සෞන්දර්ය විද්‍යාව ඇතුළේ හෙජමොනියක් හැදිල තියනවානෙ ඓතිහාසිකව. බටහිර ගත්තොත් ඇරිස්ටෝටලියන් ආඛ්‍යානය, මෙහෙ ගත්තොත් භරතමුණිගේ සංස්කෘත එක. මොඩර්නිසම්, පෝස්ට් මොඩර්නිසම් මොනවා ආවත් අවසානයේ ඒව අතෙන්ට සම්බන්ධ වෙනවා. ලෝකයේ තියන හෙජමොනික දේවල් ඔය බුකර්, නොබෙල් ප්‍රයිස් වගේ ඒවා ගත්තත්, මෙහෙ සාහිත්‍ය විනිශ්චය මණ්ඩල, සාහිත්‍ය පිටු සංස්කාරකවරු ගත්තත්, ඇකඩමියාවේ උගන්නන ඒව ගත්තත් එක හෙජමොනික ආඛ්‍යානයක් තියනවා. ඒක ඇතුළේ විවිධත්වයන් තියනවා. ඒක මම පිළිගන්නවා. ඒක බිඳ දමන දේවලුත් ඒක ඇතුළෙම තියනවා. හැබැයි මේ ඔක්කොම අවසානයේ අරකටම තමයි යන්නේ. දැන් කොටින්ම මනෝවිශ්ලේෂණය පවා යනවනෙ එතෙන්ට අන්තිමට ඔය සංකේතීය පියා වැනි සංකල්ප එක්ක සහ සමහර ලිංගිකත්වයන් විපරීත හැටියට සලකුණු කිරීම එක්ක. මේකෙ මට අවසානයේ පේන්නේ දෙවියන්වහන්සේම තමයි. අනිත් පැත්තෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ගේන පොලිටිකල් කරෙක්ට්නස්, එතික්ස්, ඩයිවර්සිටි වගේ දේවල් ගත්තොත් මට අවසානයේ පේනවා බයිබලයේ කෝඩ් එක, ඒ දස පනතම. දැන් මෙහෙන් ගත්තොත් පංච ශීලය හරි දස සීලය හරිම පේනවා. අපි සාමාන්‍යයෙන් සෞන්දර්ය විෂුවල් එකක් පවා හදන්නේ මේක ඇතුළේ ස්ටීරියෝ ටයිප් කරපු විදිහකට. දැන් මේකෙදි යටපත් කරන ලද චිත්තවේග තියනවා, භාවවේග තියනවා, සංස්කෘතික භාවිත තියනවා. මං මේ වෙනකොට මගෙ ලිවීම ඇතුළේ අල්ලන්න හදන්නේ අන්න එවැනි මේ හෙජමොනික ආඛ්‍යානය විසින් බැහැර කරන දේවල් තමයි. හැබැයි යම් කාලයක් මමත් අරකෙ හිටියා. දැන් මං ආපහු ඔබගේ ප්‍රශ්නයට එන්නම් පළවෙනි වාක්‍යය ලියවෙන හැටි ගැන. මට හුඟක් වෙලාවට ප්ලොට් එකත් හදිසියේ පහළ වෙනවා, ඒකත් එක්කම පළවෙනි වාක්‍යයත් එනවා. ඒක නිකං අවිඥ්ඥානික, කොහෙන්දෝ තියන ලෝකයකින් එන එකක් වගේ. අර ආධ්‍යාත්මික සාහිත්‍යයේ කියන්නේ විශ්වයෙන් එන පණිවිඩයක් කියල. ඒ විදිහට හදිසියේ පහළ වෙලා සති දෙකෙන් විතර ඉවර කරපු වැඩත් තියනවා. සමහර ඒව තියෙනවා පළවෙනි වාක්‍යය ලියන මුල් ඡේදයක් දෙකක් ලියල ඔහේ කාලයක් පල් වෙමින් තියන වැඩ. හැබැයි ඒ මොහොතෙ ඉඳන් ඉන්නෙ ඒකත් එක්ක. හැබැයි පළවෙනි වාක්‍යය අර සරච්චන්ද්‍රගේ සිංහබාහු නාට්‍යයේ තියෙන්නෙ හෙණයාක් සේ පතිත වූ අහසින් කියල. එතෙන්දි අපි හෙණය කියන එක හරි මිහිරි එකක් හැටියට ගමුකෝ. අන්න ඒ වගේ එක පාරටම එන විදුලියක් වගේ තමයි එන්නේ.

 

කෞශල්‍ය: දැන් එතකොට මේ පළවෙනි වාක්‍යය ලියවෙන මොහොතෙදි මේ ලියන්න යන නවකතාව ගැන තියන දැනුම මොනවගේ ද?

 

සමන්: ඒක එකිනෙකට වෙනස්. දැන් මාව සාහිත්‍යකරුවෙක් හැටියට මුලින්ම වැඩිදෙනෙක් අඳුරගන්න 'සර්පයෙකු හා සටන් වැද' කෙටිකතාව ගත්තොත් ඒකට එහෙම ප්ලොට් එකක් ඔලුවෙ තිබුණේ නැහැ. හැබැයි මම සයිමන් නවගත්තේගමගේ සංසාරාරණ්‍යයේ දඩයක්කාරයා කියවල ඒකට වශී වෙලා හිටියෙ. එතකොට මං අහල තිබුණ මං හිටපු පළාතේ එක ගෙදරක තාත්තයි දුවයි අතර සම්බන්ධයක් තියනවා කියල. මේ අසූවෙ මුල. ඒ වෙනකොට මට කිසිදු ලිංගික අත්දැකීමක් නෑ. පෝර්න් කියලත් ඒ දවස් වල අපිට තිබුනෙත් පත්තරනේ. චිත්‍රපටයකවත් ලිංගික දර්ශනයක් දැකල නැහැ. හැබැයි දවසක් මං කඩේට ගිහින් එන විනාඩි පහක මොහොත ඇතුළේ එකපාරට මේ ප්ලොට් එක ස්පාර්ක් වුණා. ගෙදර ආවා වාඩි වුණා ලිව්වා. විනාඩි විස්සක් විතර ඇතුළත මේ කෙටිකතාව මං ලියල ඉවර කළා. අදටත් ඒකෙ කිසිම දෙයක් වෙනස් කරල නැහැ. හැබැයි නවකතාවක් වගේ එකකදි එහෙම බැහැ නෙ. එතෙන්දි අපි කොච්චර විරුද්ධ වුණත් මහා ආඛ්‍යානයක් තියනවනේ. අපි කොච්චර ස්ටෝරි ලයින් එකට විරුද්ධව කතා කළත් ස්ටෝරි ලයින් එකක් තියනවනේ ඒකෙ ආකිටෙක්චර් එක හැටියට හරි. දැන් මගෙ 'නේරංජනේ ඉස්නානේ' නවකතාව මං ලිව්වෙ ඒ වෙනකොට මාත් එක්ක ජීවත් වුණු චරිතයක් මගෙන් ඈත් වෙන මොහොතක. එයාටත් වෙන සම්බන්ධයක් ගොඩනැගිල තිබුණා ඒ වෙනකොට. දවසක් රෑ එයා ඇඳේ නිදාගෙන හිටියා. මම ලියන්නේ බිම කුෂන් එකක් දාගෙන දණගහගෙන වගේ තමයි ඒ දවස් වල. මම එකපාරටම හැරිල බලද්දි මං දැක්ක මෙයාව, එයා නිරුවතින් තමයි නිදාගෙන හිටියෙ. එයාගෙ පිටුපස තමයි මට පේන්නේ. මට එකවරම හිතුනා මේ ගෑනි මේ බුදුවෙන්න නේද ට්‍රයි කරන්නෙ කියල. එහෙම තමයි නේරංජනේ ප්ලොට් එක ආවෙ. ඒක ලියවුණේ මාසයක් වගේ ඇතුළත. දැන් මේ ප්ලොට් එක දවස් දෙකක් විතර ඔලුවෙ වැඩ කරන අතරෙ මං නැදිමාලේ බෞද්ධ මධ්‍යස්ථානයට ගිහින් සමහර පිටක අරගෙන ආවා. මං කලින් ඒවා කියවලත් තිබුණා. ඊට අමතරව ඔය බෞද්ධ විද්වත්තු එක්ක යම් යම් දේවල් කතා කළා. මේ විදිහට සතියක විතර කාලයක් ගියා. ඉන් පස්සෙ මාසයක් විතර ඇතුළත නවකතාව ලියල ඉවර වුණා . දැන් 'මාක්ස් ලයිව් ඉන් ශ්‍රී ලංකා' නවකතාවෙ පළවෙනි වාක්‍යය ලියවෙන කොට මට ප්ලොට් එකක් තිබුණේ නැහැ. ප්ලොට් එක ආවෙ පස්සේ. ඒකත් මම මාස තුනක් විතර ඇතුළත ලියල ඉවර කළා. ඒක එක විදිහක්. දැන් 'මහිලාවංශය' වගේ නවකතාවක් ගත්තොත් ඒක තුළ මගෙ අම්මගෙ ඉඳල මගෙ කුඩම්මගෙ ඉඳල මගෙ ස්ත්‍රී සම්බන්ධතා ඉඳල මේ සියල්ල මට ගොනු කරන්න ඕනෙ වෙනවා. මං මේව තුළ විඳපු සයිකොලොජිකල් දේවල් මට ගේන්න අවශ්‍ය වෙනවා. ඒ වගේම ඒක තුළ ආකයිවල් ෆෙමිනිස්ට් ලයින් එකක්, ඒ කියන්නේ ඔය කුවේනි ගෙ දේවතාවියන්ගෙ වගේ දේවල් සහිත ලයින් එකක් ගේන්න ඕනෙ වෙනවා. මේ වගේ තව බොහෝ දේවල් මේක තුළ ගොනු වෙලා තිබුනා. හැබැයි මම 2005 විතර ඉඳන් මේක ලියන්න ට්‍රයි කරනවා ඒ හැම අවස්ථාවකම මොකක් හරි දෙයක් ඇවිත් ඒකට බාධා වෙනවා. හොඳට ලියාගෙන යද්දි ජීවත් වෙන්න සල්ලි නැතිම තත්වෙට පත්වෙනවා, වතාවක් මගෙ අත පණ නැති වෙනවා, ජීවිතේ විශාල බිඳවැටීම් එනවා. මේක ලියන්න දෙන්නෙම නෑ. මේකම සයිමන්ටත් උනා ස්වර්ණ වන්නියේ වල්ලිඅම්මලා ලියද්දි. ඒක ලියන්න දුන්නෙම නෑ. වතාවක් අත්පිටපත නැති වෙනවා. අදටත් ඒ පොත තියෙන්නෙ මැද්දෙන් ඉවර වුණු එකක් හැටියට. දැන් මේ සයිමන් ගේ පොත ඇතුළේ එයාගෙ සම්භවය පිලිබඳ අවිඥ්ඥාණික ට්‍රෝමා එක තිබුණා කියන එක මම දැනගෙන හිටියා. ඒක මම විචාර වල සඳහන් කරලත් තියනවා. එතකොට මගෙ මහිලාවංශය ඇතුළෙත් අම්මා සහ තාත්තා පිළිබඳ යම් ට්‍රෝමා එකක් තිබුණා. දැන් මේකෙ එක ඩ්‍රීම් එකක් තේරුම් ගන්න මං මනෝවිශ්ලේෂණයේ සියලු ගුරුකුල ඇසුරු කරනවා, අභිධර්ම කියවනවා, කර්මය පිළිබඳ ඉන්දියානු සම්භාව්‍ය ග්‍රන්ථ හොයාගෙන යනවා. දැන් මේක මැද්දේ මගෙ අත පණ නැති වෙන කොට මට හිතෙනවා මේක මගෙ මනසෙ ඇති වෙන සයිකොසිස් එකක්. මට මේක ලියන්න දෙන්නේ නැහැ. ඒ අතම පණ නැති කරනවා. එතෙන්දි මං සයිකියැට්රිස්ට් කෙනෙක් ගාවට මාස හයක් විතර දිගටම යනවා. පස්සෙ ෆිසියොතෙරපි එහෙම කරල ඒක හොඳ වෙනවා මේ 2008 වගේ කොහොම හරි අන්තිමට 2015 දි මට උදව් කරන මිත්‍රයෙක් එයා මට අවුරුද්දක් විතර වෙන කිසිම වැඩක් නොකර මේ පොත ලියන්න මට ස්පොන්සර් කරනවා. එහෙම තමයි අන්තිමට 'මහිලාවංශය' පළවෙනි වෙලුම ලියල ඉවර කරන්නෙ. ඉතින් මේක තවත් විදිහක්.

 

කෞශල්‍ය: මේ ලියන ක්‍රියාවලිය ඇතුළේ ඔබගෙ ජීවිතය ගෙවෙන හැටි ගැන යමක් කියන්න පුළුවන් ද?

 

සමන්: මගෙ තියනවා අර මලපෙරේතයා වගේ ලියන එක. සමහර වෙලාවට දවස් දෙක තුන දත් මදින්නේ නෑ මූණ හෝදන්නේ නැහැ. සුලු ආහාරයකින් ඉන්නේ. ඔය කෝපි වගේ දෙයක් වැඩිපුර ගන්නවා. අනිත් සමහර වෙලාවට බස් එකෙත් ලියනවා. ඉඩක් අහුවෙන තැනක ලියනවා. මේ අවස්ථාවේ මං ලියන එක ගත්තොත් එහෙම සිතිවිල්ල එක එක හිතේ තියාගෙන ඉන්න බැහැ. මොකද මම ලියන්නෙ කතාන්දරයක් හැටියට නෙමෙයිනෙ. එන සිතිවිලි, අපි උදාහරණයක් හැටියට ගම්මුකො චක්කු විඥ්ඥානය කියල. දැන් අපි නිකන් පිරිමි බැල්ම තුළින් හිතුවොත් අපිට ගෑනියෙක් දැක්කම ඒ රූපය මොලේට යන්න කලින් ඇහේම පහළ වෙනවනෙ සිතිවිල්ලක්. මේක මේ විද්‍යාත්මක අර්ථ නිරූපනයක් නෙමේ. මං මේ කියන්නේ අපි දකින කොටම එන සිතිවිල්ල ගැන. දැන් මේක හිතේ තියාගෙන ඉඳල ලියන්න බැහැ. මේ වැඩේදි මං පාරෙ යන කොටත් නෝට් පොතක් තියනවා. හිටිගමන් ලයිට් කණුවක් ගාව නතර වෙලා ලියනවා. එතකොට මගෙ කොමෝඩ් එක ලඟ නොට් බුක් එකක් තියනවා, උයන තැන තව එකක් තියනවා. වෙන වෙනම එක එක තැන් වල මං කඩදාසි තියල තියෙන්නෙ. දැන් මේ ලියවෙන ඒවයෙ සමහර වෙලාවට කිසිම සම්බන්ධයක් නෑ. අර විශ්වයේ කේඕස් එක වගේ. දැන් මගෙ සංවිධානාත්මක ලිවීම ගත්තොත් මං පාන්දර හතරට විතර ඇහැරෙනවා. එතකොට අර ඇහැරෙනකොටම එන සිතිවිලි. කුරුල්ලන්ගෙ සද්ද යන්තමට ඇහෙද්දි. ඇඳේ ටෝච් එකක් තියනවා. කඩදාසි තියනවා. නයිට් ලෑම්ප් එකකුත් දාල තියෙන්නෙ. මං ඕකෙ කුරුටු ගානවා. සමහර වෙලාවට හරියට නැගිටින්නෙත් නෑ. ඒක අර්ධ නින්දක්. ඒක ඊලඟට මං ගන්නෙ ලුසිඩ් ඩ්‍රීම් එකක් හැටියට. ලුසිඩ් ධ්‍රීම් එකක් කියන්නෙ නිදිත් නෑ නිදි නැත්තෙත් නෑ. මේක ටිකක් පරිස්සමෙන් කරන්න ඕන වැඩක්. සමහර වෙලාවට මේකෙන් ගැලවෙන්න බැරි වෙනවා. ඒකට මං දැන් ටොටම් එකක් තියාගෙන ඉන්නෙ මේකෙන් ගැලවෙන්න. මං අතරමං වෙච්ච වෙලාවට එලියට එන්නෙ ඒකෙන්. ඔහොම පාන්දරින් පටන් ගන්න ලිවීම නතර වෙන්නෙ මුත්‍රා බරක් ඇවිල්ල, කෝපි එකක් හදා ගන්න එළියට ඇවිත් වගේ දේකින්. දැන් ඊට පස්සෙ ලිවීම සිද්ද වෙන්නෙ අර පාන්දර එකට වඩා සවිඥ්ඥානිකව. මේක නවතින්නෙ දරා ගන්න බැරි බඩගින්නක් ආවම. මේ විදිහට මුලු දවසම ලියන එක තමයි කරන්නෙ. දැන් අවුරුදු හතක් විතර තිස්සෙ මං මේ ලියන නවකතාව ගත්තම ඒකෙ මං වැඩිපුරම උනන්දු වෙන්නෙ මේ සවිඥ්ඥානිකත්වයේ මැදිහත් වීමෙන් තොරව එන දේවල් ලියන භාෂාව හොයා ගන්න.

 

කෞශල්‍ය: දැන් ඔබේ නවකතා අවසන් කරන තැන ඔය කොහොමද හොයා ගන්නේ?

 

සමන්: ඒකත් නිකං එක ෆීලිං එකක් මේක තමයි අන්තිම වාක්‍යය කියල. ඒකත් අර පළවෙනි එක වගේ, අර සමාරම්භක වාක්‍යය වගේ, ඒ තරං හොඳ වාක්‍යයක් තවත් නෑනේ. මං කවදාවත් පළවෙනි වාක්‍යය ලියල පැත්තකට දාලා ආයා ලියල එහෙම නෑ. ඒක එකපාරටම පහළ වෙනවා. අවසානයත් ඒ වගේ තමයි එන්නෙ. ඒක මගෙ පාලනයෙන් පරිබාහිරයි. හැබැයි හරියටම ඒ අන්තිම වාක්‍යය ලියන්න කලින් ඊට කලින් වාක්‍යකදි දැනෙනවා මේ අවසානය කියල. ඊලඟ වාක්‍යය තමයි අවසාන වන තැන කියල. ඒක තාර්කිකව නෙමෙයි හිතෙන්නෙ. ඒක ඉවක් වගේ දෙයක්. සමහර වෙලාවට තවදුරටත් යා හැකිව තිබිය දී, නිකං තව දුරටත් රමණය කළ හැකිව තිබිය දී තෘප්තියෙන් ඉන්න විට නවතිනවා වගේ දෙයක් වෙන්නත් පුලුවන්. ඒක කලින් සැලසුම් කරන්න බැහැ. දැන් මේ ලියමින් ඉන්න නවකතාව ගත්තොත් ඒකෙ ප්‍රින්ටඩ් වර්ෂන් එක පිටු 2000ක් විතර වෙයි. මේකෙ සමහර කොටස් මම පළ කරන්න හිතන් ඉන්නෙ මගෙ මරණයෙන් පස්සෙ. ඒක වෙබ් වර්ෂන් එකක් හැටියට මගෙ මරණයෙන් පස්සෙ පළ වෙයි. එතකොට මුලු පොත පිටු 3000ක් විතර වෙයි.

 

කෞශල්‍ය: නවකතාවක් ලියල අවසන් වුනාම දැනෙන්නේ කොහොමද?

 

සමන්: මට 'මහිලාවංශය' පළවෙනි කොටස ලියල ඉවර වුනාම තමයි මම ලොකුම අර්බුදයට ගියේ. ඒක අවුරුද්දක් ඇතුළත එක දිගට ලිව්වනෙ. මිනිස් ආශ්‍රයක් නෑ. එළියේ යථාර්ථයත් එක්ක කිසිම සම්බන්ධයක් නෑ. මේක ලියන අතරෙත් වතාවක් මාව ටිකක් අවුල් වුනා ඔය නිසා. ඉතින් 'මහිලාවංශය' ලියල ඉවර වෙලා මං කොළඹ පාරවල් වල ඔහේ ඇවිද්දා. ඔය අසූව දශකයෙ අපි චිත්‍රපටි බලන්න ගියපු තැන් වල, ඒ කාලෙ තේ බීපු පෙට්ටි කඩ තිබුණ තැන් වල. අර හදවතට වැදිච්ච තැන් තියෙන්නෙ අපේ තැන් කියල. ඒ හැම තැනකම මං ඇවිද්දා. මොකද නවකතාවක් ලියල ඉවර වුනාම අර නොදන්නා රටකට ආවා වගේ එකක් තියනවා. මේක නෝමල් වෙනකං මං ඇවිදිනවා. යාලුවො හම්බ වෙනවා.

 

කෞශල්‍ය: ලිවීම ඔබ විඳින හැටි ගැන යමක් කියන්න පුලුවන් ද?

 

සමන්: ලිවීම මට පේන්නෙ එක පැත්තකින් තාපසයෙකුගෙ සොයා යාමක් වගේ. අනිත් පැත්තෙන් විද්‍යාඥයෙකුගේ සොයා යාමක් වගේ. තවත් පැත්තකින් මානසික ලෝකයක් තුළ අමු සල්ලාලයෙක්, පාදඩයෙක්, මේ විදිහෙ ජීවිත ගණනාවක ට්‍රිප් එකක්, ඇඩ්වෙන්චර් එකක් ගන්න උත්සාහ කරන රෝල් එකක් විදහට තමයි මට මේක පේන්නෙ. ජීවිතයේ පරම ප්‍රමෝදය ලුහුබඳින දෙයක්, දැන් පරම ප්‍රමෝදය විවිධාකාරයි නේ. සමහරු මේක ස්ත්‍රීන් එක්ක කරනවා, දැන් මට ඒක නෑ, මට ලව් එක්ක විපරීත සම්බන්ධයක් තියනවා ඒක වෙන ආකාරයකට. දැන් මට ඩ්‍රග්ස් වගේ එකක් කොහොමටවත් නෑ. ඇල්කොහොල් වුණත් යම් ප්‍රමාණයකටනේ ගන්න පුලුවන්. ඒව ඉවර වෙනවා. හැබැයි ලිවීමේ ප්‍රමෝදය කියන්නෙ මේ කිසි එකක් වගේ නෙමෙයි. ඉවර වෙන්නෙ නැහැ. ඒක මේ පාඨකයෙක් කියවන්න ඕන කියල එකක් නෑ. ඒ ලියන ප්‍රොසෙස් එක තුළ තමයි මේක තියෙන්නේ.

 

කාලාන්තරයක් තිස්සේ ලිවීම සිය ජීවන පැවැත්මේ අත්‍යන්ත අංගයක් බවට පත්ව ඇති නවකතාකරුවෙකුගේ අත්දැකීම් සහ අදහස් අපට ලිවීමට අනුප්‍රාණය සපයනු ඇතුවා සේම ඔහුගේ කෘතීන් කියවන විට ඒ වචන පිටුපස සිටින ඔහුගේ ආත්මය ගැන අවලෝකනය කරන්නට ද බල කරනු ඇත.

 

සංවාදය - කෞශල්‍ය කුමාරසිංහ

BBC සිංහල