SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

කුඩා ළමුන් මහණ කිරීම ගැන විවාදය නැවතත් කරලියට පැමිණ තිබෙනවා.

මෙම සංවාදයේ දී ඊට පක්ෂව අදහස් දක්වන බොහෝ දෙනාගේ ප්‍රධාන ම තර්කය වන්නේ ළමුන් මහණ කිරීම සහ ළමුන් පාසල් යැවීම අතර වෙනසක් නැති බවත්, එම නිසා ළමුන් පාසල් යැවීමට එකඟ අයට ළමුන් මහණ කිරීමට තාර්කිකව විරුද්ධ විය නොහැකි බවයි.

 

මුලින්ම යමක් තව දෙයකට සමාන වන්නේ කෙසේ ද කියා අප තේරුම් ගත යුතුය. උදාහරණයක් ගමු.

 

අලියෙක් සහ මිනිසෙක් සමානද? මෙහිදී පිළිතුර ඔව් නම්, අප මෙතනදී කරන්නේ අලියා සහ මිනිසා යන ප්‍රපංච දෙක පූර්ණ වශයෙන් ගෙන සංසන්දනය කිරීම නොව, ඒවායේ යම් යම් ලක්ෂණ කීපයක් පමණක් සංසන්දනය කර ඒ ගැන විනිශ්චයක් දීමයි. අලියාට ඇස් දෙකක් ඇත. මිනිසාට ද ඇස් දෙකක් ඇත. අලියාට කටක් ඇත, අලියාට දත් ඇත. අලියා හුස්ම ගනී. මේ සියලු ලක්ෂණ පමණක් අප සැලකිල්ලට ගතහොත් අලියා සහ මිනිසා සමාන ය. නමුත් අලියාට හොඬවැලක් තිබෙන අතර, මිනිසාට හොඬවැලක් නැත. අලියා කකුල් 4න් ගමන් කරන අතර, මිනිසා යන්නේ කකුල් දෙකෙනි. එම නිසා ඒ අනුව මිනිසා සහ අලියා අසමාන ය. නමුත් අප අලියා සහ මිනිසා සමාන යයි කියන විට එසේ කියන්නේ අදාළ සන්දර්භය අනුව, අසමානකම් වැදගත් නොවන බව සලකා ය.

 

 

දැන් ළමුන් මහන කිරීම සහ ළමුන් පාසල් යැවීම සමාන ද? එය සමාන නම් එය සමාන වන්නේ කුමන සන්දර්භයේ ද? මෙය සමාන යයි කියන අය එසේ කියන්නේ, "විනයගත දෘෂ්ටිවාදී අධ්‍යාපනයක් ලබා දීම" යන ලක්ෂණය සැලකිල්ලට ගෙන ය. මේ අර්ථයෙන් ළමුන් මහන කිරීම සහ ළමුන් පාසල් යැවීම සමාන යයි කීම අසාධාරණ නැත.

 

කෙසේ හෝ මේ තර්කය භාවිතා කර මේ දෙක අතර වෙනසක් නැත කියා කියන්නේ නම්, කිසිවෙකුටත් කුඩා ළමුන් ළමා සොල්දාදුවන් කිරීම සහ ළමුන් කුඩා කලදීම රැකියාවකට යොමු කිරීම ආදිය ද ප්‍රතික්ෂේප කළ නොහැකි වනු ඇත. ඊට හේතුව මේවාවලද ලබා දෙන්නේ විනයගත දෘෂ්ටිවාදී අධ්‍යාපනයක් බැවිණි.

 

දැන් ප්‍රශ්නය වන්නේ මේවයේ අසමානකම් මොනවද සහ එම අසමානකම් මෙම ප්‍රශ්නය සාකච්ඡා වන සන්දර්භය තුල වලංගු ද යන්න ය. පාසල තුල මහණ වූ ළමයෙකුට මෙන් තමා අනාගතයේ කවුරු විය යුතු ද යන්න පූර්ව ලෙස තීරණය කර ඒ සඳහා පුහුණු වීමක් ලබා දීම සිදු නොකරයි. පාසලේ දී කරන්නේ පුරවැසියෙකු වීමට අවශ්‍ය යයි සැලකෙන අධ්‍යාපනයක් ලබා දීම පමණි. එයද යම් ආකාරයක දෘෂ්ටිවාදී අධ්‍යාපනයක් බව අපට ප්‍රතික්ෂේප කළ නොහැක. නමුත් පාසල තුල අනාගතයේ දී ලෝකයේ ඇති වෘත්තීන්ගෙන් කැමති වෘත්තියක් තෝරාගැනීමේ නිදහස ළමයාට ලබා දීම ප්‍රතික්ෂේප කරන්නේ නැත. තවද අනාගතයේ දී පවුලක් ගොඩනැගීමට අවශ්‍ය සමාජ කුසලතා සහ දැනුම පාසලේ දී ලබා දේ. ලිංගික අධ්‍යාපනය මින් ප්‍රධාන ය.

 

තවද පාසලේ ළමුන් අතර තිබෙන්නේ මිතුරු සම්බන්ධතාවක් මිස ආගමික ධූරාවලි සම්බන්ධයක් නොවේ. තවද පාසල් අධ්‍යාපනයෙන් පසුව ළමුන් ආපසු ගෙවල් කරා යයි. එහිදී ළමුන් සහ දෙමව්පියන් අතර ආදරය මූලික සම්බන්ධයක් පවත්වාගැනීමට කාලය සහ අවකාශය ලැබේ. කුඩා කළදී ළමුන්ට දෙමව්පියන්ගේ සෙනෙහස සහ රැකවරණය අත්‍යාවශ්‍ය බව මා පෞද්ගලිකව පිලිගනිමි. කුඩා කල මහණ වූ විට දෙමව්පියන් සහ මහණ වූ දරුවා අතර ආදරය මූලික කරගත් සම්බන්ධයක් ඇති වන්නේ නැත. එහිදී මහණ වූ දරුවා සහ දෙමව්පියන් අතර සම්බන්ධය ධූරාවලි සම්බන්ධයක් බවට පත් කරයි. මහණ වූ දරුවාට දෙමව්පියන් කතා කරන්නේ "පොඩි හාමුදුරුවෝ" කියා ය. මෙහිදී දරුවා සහ දෙමව්පියන් අතර ඇති ආදරය මුල් වූ සම්බන්ධය අහෝසි කර, ධූරාවලි සම්බන්ධයකට ළමයා ව යොමු කරවයි. අනෙක් ප්‍රධානම කාරණය වන්නේ පාසල් අධ්‍යාපන ආකෘතිය ප්‍රජාතන්ත්‍රවාදයට යටත් වී තිබීමයි. මහජනයාට අවශ්‍ය නම් තමන්ගේ ආණ්ඩුවක් හරහා පාසලේ අධ්‍යාපන ආකෘති වෙනස් කළ හැක. නමුත් පන්සල් අධ්‍යාපනය කෙසේ සිදු විය යුතු ද යන්න තීරණය කිරීමට මහජනයාට අයිතියක් නැත. එය තීරණය කරන්නේ භික්ෂු සමාජය යි. ළමුන්ගේ විනය හැදීමට ශාරීරික හිංසනය යොදාගැනීම දැන් අභාවයට යමින් තිබෙන්නේ ජනතාවට පාසල් අධ්‍යාපන ආකෘතිය වෙනස් කිරීමට යම් බලයක් තිබෙන නිසා ය. තවද පාසලේ දී ගුරුවරුන්ට තමන් කැමති කැමති ආකාරයට අධ්‍යාපනය මෙහෙයවිය නොහැක. දෙමව්පියන් ට සහ ආණ්ඩුවට තමන් අකමැති දෙයක් පාසල් තුල ළමුන්ට සිදු වන්නේ නම් ඒ වෙනුවෙන් හඬ නැගීමට ඔවුන්ට හැකියාව තිබේ. මේවා පාසල් සහ පන්සල අතර ළකුණු කළ යුතු ප්‍රධාන වෙනස්කම් ය. පාසල සහ පන්සල අතර වෙනසක් නැතැයි කියන අය මේවා වැදගත් වෙනස්කම් ලෙස සළකන්නේ නැත.

 

මේ අනුව අපට ළමුන් මහණ කිරීමට විරුද්ධ වීමට පැහැදිලි පදනමක් තිබේ ද? මගේ අදහස එලෙස විරුද්ධ වන ඕනෑම පදනමක් සංස්කෘතිකයි යන්න ය. උදාහරණයක් ලෙස ඔබ අතීතයේ ග්‍රීසියේ ස්පාටා නගරයේ කුඩා දරුවෙක් නම් කුඩා කළදීම ඔබව දරුණු මිලිටරීයම අධ්‍යාපනයක් වෙත යොමු කරයි. ස්පාටවේ මේ අද අප කරන සාකච්ඡාව කරන්නේ නම්, ළමුන්ට පාසල් අධ්‍යාපනය මිස මිලිටරි අධ්‍යාපනය ලබා නොදිය යුතු බව තර්ක කිරීම හාස්‍යජනක කාරණයක් වනු ඇත. ඊට හේතුව වන්නේ නිතරම යුද්ධවලට සහ සතුරු ආක්‍රමණවලට මුහුණ දීමට ඉඩකඩක් ඇති සමාජයක මිලිටරි අධ්‍යාපනය වෙනුවට, පාසල් ආධ්‍යාපනය ලබා දීම එතරම් නුවණට හුරු දෙයක් නොවන නිසා ය.

 

මේ ආකාරයටම මීට සියවස් කීපයකට පෙර ඔබ ගොවි පවුලක දරුවෙක් නම්, කුඩා කලදීම කුඹුරු කෙටීමට ඉගෙනගැනීම පිරිවෙනට ගොස් අකුරු ඉගෙනගැනීමට වඩා ප්‍රයෝජනවත් බවට ඉතා සාධාරණව කෙනෙක්ට තර්ක කළ හැක. එම තර්කය ඒ කාල වකවානුව තුල ඉතා සාධාරණ තර්කයක් බව මා ද පිළිගැනීමට ඉඩ තිබේ. අද පවා අප සිටින්නේ භික්ෂු සමාජය විසින් රටේ අධ්‍යාපනය සකස් කරන සමාජයක නම් කුඩා ළමුන් මහණ කිරීම එතරම් ලොකු ප්‍රශ්නයක් ලෙස කවුරුත් නොසලකනු ඇත. මට මතක් අන්දමට සමහර රටවල් වල වසර කීපයක් භික්ෂුවක් ලෙස පුහුණු වීම හෝ හමුදා පුහුණුව අනිවාර්ය කර තිබේ. එම රටවල්වල මේවා සංස්කෘතිමය ලෙස සාමාන්‍යකරනය වී ඇති නම් ඊට විරුද්ධව තර්ක කිරීමට පදනමක් නැති වීමට ඉඩ ඇත.

 

කෙසේ හෝ ලංකාව තුල ළමුන් මහණ කිරීම සාධාරණීකරණය කළ හැකි ද? මීට දෙන පිළිතුර තීරණය වන්නේ ළමුන්ගෙන් අප බලාපොරොත්තු වන්නේ කුමක්ද යන්න මත ය. ස්පාටාවේ මෙන් අප බලාපොරොත්තු වන්නේ ළමයෙක්ව සොල්දාදුවෙක් කිරීමට නම් ළමුන්ට හමුදා පුහුණුව දීම නිවැරදි පිළිතුර වේ. අප ළමුන්ගෙන් බලාපොරොත්තු වන්නේ භික්ෂු සමාජය නොකඩවා පවත්වාගෙන යාම නම් ළමුන්ව කුඩා කළ මහණ කිරීම නිවැරදි පිළිතුර වේ. එසේ නැත්නම්, අප ළමුන්ගෙන් බලාපොරොත්තු වන්නේ දෙමව්පිය ආදරය ලැබෙන, සමවයස් දරුවන් සමඟ සමානාත්ම සම්බන්ධයකට පුරුදු වූ, ලෝකයේ තිබෙන වෘත්තීන්ගෙන් තමන්ට කැමති වෘත්තීයක් තෝරා ගැනීමට නිදහස ඇති, කැමති සහකාරියක්/සහකාරයෙක් තෝරාගැනීමට නිදහස ඇති සහ ඒ සඳහා අවශ්‍ය මූලික දැනුම ඇති පුද්ගලයෙක් නම් පාසල් යැවීම නිවැරදි පිළිතුර වේ (අවශ්‍ය නම් කෙනෙක්ට මහණ ජීවිතය ද තෝරා ගත හැක).

 

ගත යුතු නිවැරදි තීරණය කුමක්ද? මීට පරම ලෙස නිවැරදි පිළිතුරක් තිබෙන බව මා පිළිගන්නේ නැත. මේවට ඇත්තේ සංස්කෘතික පිළිතුරු පමණ ය. කෙසේ වුවත් අප මේ සම්බන්ධව ගන්නා තීරණය මත අප අනාගතයේ ජීවත් වන සමාජය ද තීරණය වන බව පමණක් මතක තබා ගන්න.

 

@Anton Fdo fb