ඊයේ නිර්මාල් දේවසිරිගේ සටහනකට අදාලව විශාල බුද්ධිමය සංවාදයක් හටගෙන තිබුණි.
අදත් එවැන්නක් දියත්වෙමින් ඇත. ඒ අනුරුද්ධ ප්‍රදීප් කර්නසූරිය ගේ සටහනකට අදාලවය.
කෙසේ වෙතත් රාජ්‍යය, නීතිය, අධිකරණය පොලීසිය වැනි ආයතන පිළිබඳව පැරණි වාමාංශික අර්ථය පවා මේ වන විට සම්පූර්ණයෙන්ම වියැකී ගොස් අවසන්ය. ඒ සඳහා බලපෑ ප්‍රධාන සාධකයක් වූයේ NSSPයට අදාලව ගොඩනැගුන ට්‍රොස්කිවාදී වාමාංශයයි.
"යුක්තිය මෙහෙයුම" දියත්වන අතරතුර 'යුක්තිය' පිළිබඳව මහා විද්වත්-බුද්ධිමතුන් අදහස් දක්වමින්, සංවාද කරමින් සිටී. පහතින් දක්වා ඇත්තේ අනුරුද්ධ ප්‍රදීප් කර්නසූරිය ගේ සටහනකි.
------------------
නාරම්මලට වඩා තෙලිජ්ජවිල භයානක ඇයි? - අනුරුද්ධ ප්‍රදීප් කර්නසූරිය
පොලිස් නිලධාරියෙකුගේ වෙඩි පහරකින් නාරම්මල තරුණයකු මිය ගිය පුවත අපි කවුරුත් දනිමු. මා පෞද්ගලිකව විශ්වාස කරන්නේ ඒ පොලිස් නිලධාරියා විසින් සැලසුම්කර හිතාමතා නාරම්මල තරුණයාගේ හිසට වෙඩි තබා මැරුවා නොව, බාල උද්දච්ඡකමට පොලිස් පාට් එකක් දමන්නට ගොස් වැඩේ වැරදී එම තරුණයා මිය ගිය බවයි. ඒ අනුව එය හිතාමතා සැලසුම් කොට සිදුකළ මිනීමැරුමකට වඩා, පොලිස් නිලධාරියාගේ උද්දච්ඡකම, මෝඩකම, අශිෂ්ටකම සහ පුහුණුවේ මඳකම එම ඛේදවාචකයට හේතු වී යයි සිතමි. ඔබට වෙනස් අදහස් තිබෙන්නට පුළුවන. නමුත් මට හිතෙන්නේ එහෙමය.
පෙරේදා "නන්නාඳුනන පුද්ගලයන්" දෙදෙනකු විසින් තෙලිජ්ජවිලදී කරන ලද වෙඩි තැබීමකින් තවත් තරුණයෙකු මියගොස් තිබේ. පොලීසිය පවසන්නේ එම වෙළඳ සැලේ හිමිකරුව ඝාතනය කිරීමේ අදහසින් පැමිණි වෙඩික්කරුවන් වැරදීමකින් ඒ මොහොතේම වෙළඳසැලට පැමිණ සිටි වෙනත් තරුණයෙකුව ඝාතනය කරන්නට ඇති බවට තමන් විශ්වාස කරන බවයි.
ඒ අතර වෙළඳ සැලේ හිමිකාර තරුණයා පවසන්නේ එම ඝාතනය සිදුකරන ලද්දේ පොලිසිය විසින්ම යැයි තමන් විශ්වාස කරන බවයි. තමන්ව මරන්නට පැමිණි (පොලිසියේ යැයි තමන් විශ්වාස කරන) දෙදෙනාට සිදුවූ වැරදීමකින් තමන් වෙනුවට තමන්ගේ මිතුරාව ඝාතනය කරන ලද බව ඔහු පවසයි.
ඔහු එසේ කියන්නේ ඇයි? මීට කාලයකට කලින් සිදුවූ මුදල් මංකොල්ලකෑමක් සම්බන්ධයෙන් පොලීසිය එම තරුණයාව අත්අඩංගුවට ගෙන, අතිශය කෲර සහ අමානුෂික වද හිංසා පමුණුවා තිබුණි. දවසක් දෙකක් ඉතාමත්ම දරුණු ලෙස වද හිංසා කිරීමෙන් පසුව තමන් වැරදීමකින් එම තරුණයාව සැක කරන ලද බව පොලිසියට වැටහී ඔහුව නිදහස් කර තිබේ. නමුත් එම වද හිංසාවන්හි කෲරතර ස්වභාවයත්, එයින් ඔහුට ඇතිවූ රෝගාබාධත් නිසා ඔහු ඒ පිළිබඳව පොලිස් කොමිෂමටත් ඉන් අනතුරුව අධිකරණයටත් පෙත්සම් ඉදිරිපත් කර තිබේ. (ඔහුට සිදුවූ වද හිංසාවන් පිළිබඳව ඔහු කරන විස්තරයක් අඩංගු, රේඛා නිරුක්ෂි විසින් ඒ කාලයේ ලියල ලද වාර්තාවක් පළමුවැනි කමෙන්ටුවේ ඇත)
ඒවා ඉල්ලා අස්කර ගන්නා ලෙසට පොලිසිය ඔහුට බලපෑම් සහ බරපතල තර්ජනයන් කරමින් තිබී ඇත. පොලිසිය සමග හැප්පෙන්න ආවොත් වෙන දේ බලා ගනින් යැයි කියා තිබී ඇත. එහෙත් තමන්ට සිදුවූ බරපතල අසාධාරණය සහ අයුක්තිය නිසා එම තරුණයා පොලිසියේ ඉල්ලීම හා තර්ජනය මායිම් කර නැත. මේ වෙඩි තැබීම සිදුවී ඇත්තේ ඒ අතරතුරය. ඒ අනුව එම තරුණයා ස්ථිරව පවසා සිටින්නේ එම වෙඩිල්ල තැබුවේ පොලිසිය යැයි තමන් විශ්වාස කරන බවයි.
මේ තරුණයා කියන ලෙසට එම වෙඩිල්ල තැබුවේ පොලිසියෙන් නම්, එය කිසිසේත්ම නාරම්මල මෙන් වැරදීමකින් යැයි සැක කළ හැකි පරිදි සිදුවූවක් නොව, අනිවාර්යෙන්ම සැලසුම් කොට සිදුකරන ලද ඝාතනයකි.
මෙබඳුම වර්ගයේ පොලිස් ඝාතනයක් මීට දශක දෙකකට පමණ පෙර කඳානේ දී සිදුවිය. එහිදී එම ඝාතකයන්ට තෙලිජ්ජවිලදී මෙන් වැරදුනේ නැත. මේ තරුණයාට මෙන්ම වැරදි ලෙස අත්අඩංගුවට ගැනීමක් සහ දරුණු වද හිංසා පැමිණවීමක් ජෙරාඩ් නම් පුද්ගලයකුට සිදුවී තිබුණි. ඔහු තමන්ට සිදුවූ පොලිස් අකටයුත්ත වෙනුවෙන් නීතියේ පිළිසරණ පැතීය. මෙයාකාරයෙන්ම එම නඩුව ඉල්ලා අස්කර ගන්නා ලෙස පොලිසිය පැත්තෙන් ඉල්ලීම් සහ තර්ජනයන් සිදුවී තිබුණි. නමුත් ඔහු ඊට කැමති වූයේ නැත. එහි ප්‍රතිඵලය වූයේ ඔහුගේ හිසට වෙඩි තබා ඔහුව මහමඟදී ඝාතනය කර දැමීමයි. ඒ කාලයේදී යුක්තිය නැමැති මෙහෙයුමක් නොතිබූ නිසාදෝ, ඒ සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදුවූ අතර, මාගේ මතකය නිවැරදි නම් පොලිස් ඝාතකයන්ට දඬුවම් ලැබුණි.
නමුත් මේ උදාවී ඇත්තේ යුක්තියේ යුගයයි.
අප තෙලිජ්ජවිල තරුණයාගේ කතාව විශ්වාස කරන්නේ නම් එයින් කියවෙන දේ ඉතාමත්ම භයානකය. නාරම්මලදී සිදුවූ ඛේදවාචකයෙන් පසුව, හරි නම් පොලිසිය තමන් ගැන ගැඹුරින් සිතා බලා නිවැරදි වීමට සිතන තැනකට පත්විය යුතුව තිබුණි. නමුත් සිදුවී ඇත්තේ, එය තුට්ටුවකට මායිම් නොකර බය නැතුව තවත් වෙඩිල්ලක් තැබීම නම්, අප සිටින්නේ අතිශයින්ම භයානක රටක සහ යුගයක බව අමුතුවෙන් කිව යුතු නැත.
-------------------
|අනුරුද්ධ ප්‍රදීප් සහ යුක්තිය ඉල්ලා වැලපෙන බොහෝ දෙනෙකු නීතිය, පොලීසිය, අධිකරණය සහ ඒවාට අදාළ අනෙකුත් රාජ්‍ය ආයතන වල ක්‍රියාකාරීත්වය සකස් වී ඇති ආකාරය සහ එම ආයතන වල නිලධාරි දූරයන් හොබවන මිනිසුන් සිතන පතන ආකාරය (අපගේ සිතුවිලි සහ හැසිරීම් හැඩගැස්වීම සිදුවන්නේ සංකේත රටාව- සමාජ නීතිවල සහ භාෂාවේ භූමිකාව තුලයි. මෙම රටාව තුළ ක්‍රියාත්මක වීමට අප බොහෝ විට යම් යම් ආශාවන් සහ කාංසාවන් යටපත් කරයි). පැහැදිලිව හඳුනා නොගනී. එනම් එම බුද්ධිමතුන් ගොඩනැංවී ඇති ආකාරය තුලම එම හැකියාව තුරල් වී අවසන්ය.
එවැනි විද්වත් බුද්ධිමතුන්ට අනුව, ඔවුන් නීතියේ පාරිශුද්ධභාවය කෙලෙසන ක්‍රියාකාරීත්වයන් පිටු දැකීමට මැදිහත් විය යුතුව ඇත. එනම්, ඔවුනට අනුව අවශ්‍ය වන්නේ ඔවුන්ගේ බුද්ධිමය මැදිහත් වීම තුලින් වඩාත් සාධාරණ නීතිමය පසුබිමක් (යුක්තිය පසිඳලීමේ) ස්ථාපිත කිරීම සහ නීතිය, නීතිය ක්‍රියාත්මක කරන ආයතන, කොටින්ම කියනවා නම් රාජ්‍ය පිළිබඳව මිනිසුන්ට ඇතිවිය හැකි පිලිකුල්භාවය, නිශේධනීයත්වය, හැකිතාක් තුරන්කොට එය කෙරෙහි වඩාත් විශ්වාසය තහවරුකොට පවත්වාගෙන යාමය.
පොලීසිය පිළිබඳව සැලකුවහොත් තෙලිජ්ජවිල උදාහරණය තුල කටයුතු කර ඇති ආකාරයෙන් කටයුතු නොකොට පොලීසියට ඔවුනගේ රාජකාරි ඉෂ්ට කල නොහැක. එනම්, පොලීසිය සමග හැප්පුනහොත් සිදුවන දේ පිළිබඳව උදාහරණ සැපයිය යුතුව ඇත. ඒවා ඉන් පසුව ජන මාධ්‍ය වලින් ප්‍රසිද්ධ කරේ. ජෙරාඩ් සිල්වා සිද්ධිය වැනි උදාහරණය යනු ජනප්‍රිය වූ ස්වල්ප සිදුවීම් පමණි. සැබවින්ම එවැනි සිද්ධීන් නිතිපතා සිදුවේ (මරා දැමීම් ද ඇතුළුව). පොලීසියේ කාර්ය වන්නේ නීතිය සහ සාමය ආරක්ෂා කිරීමයි. එසේ කිරීමට නම් පොලිස් නිලධාරියා හට ඇති බිය, ගරුසරුභාවය, පක්ෂපාතීත්වය රැකගත යුතුව ඇත. එසේ නොමැති වුවහොත් පොලිස් නිලධාරීන් හට තම නිවෙස් වල වාසය කිරීමට, පාරේ ගමන් කිරීමට නොහැකි තත්වයක් උදාවනු ඇත. එසේම අපරාධ ඉහල යාම වලක්වාගත නොහැකි වනු ඇත. එබැවින් ඒ සඳහා පොලීසිය තුලමඅරමුණු සහගත එකමුතු බවක් හටගෙන තිබේ.
නීතිය ක්‍රියාත්මක කරන ආයතන ව්‍යුහගත කොට ඇත්තේ එම ආයතනවල දූරාවලීන් වෙත ඇති බිය, පක්ෂපාතීත්වය, ගරුසරුභාවය පිළිබඳව අනුක්‍රමිකතාවය තුලයි. ඔවුනට නිල ඇඳුම් ඇත්තේ සහ එම නිල ඇඳුම් දූරාවලීන් අනුව සුවිශේෂී වන්නේ ද එබැවිනි. නිල ඇඳුම් වල කාර්ය වන්නේ සාමාන්‍ය මිනිසුන් බියට පත්කිරීම සහ දූරවලීන් තුලම ඉහල සිට පහලට බියක් පවත්වා ගැනීමයි. උදාහරණයකට යුක්තිය පසිඳලීමේ ස්ථානය වන අධිකරණය සැලකුවහොත්, අධිකරණ විනිසුරුවරයා වෙස් ගන්වා ඇත්තේ සාමාන්‍ය මිනිසෙකු නොවන ලෙස සාමාන්‍ය මිනිසුන්ට හැඟෙන පරිදිය. විනිසුරු ඇඳුම් පැළඳුම්, ආසනය, ඔහු අසුන්ගන්නා ස්ථානය, ඍජුව කතා කල නොහැකි බව, ඇතුළු සම්පූර්ණ අධිකරණ ආකෘතිය තුල ඇත්තේ බිය ගැන්වීමයි. එසේම අධිකරණයෙන් පිටතදී පවා විනුසුරුවරයා හැසිරිය යුත්තේ සාමාන්‍ය මිනිසෙකු ලෙස නොවන අතර ඔහුට එසේ තම ජීවිතය පවත්වාගෙන යාම සඳහා නෛතික ප්‍රතිපාදන මෙන්ම වෙනත් වරප්‍රසාද ද හිමි වේ. එසේ නොමැතිව අධිකරණය ක්‍රියාත්මක කල නොහැකිය.
අධිකරණය ස්වාධීන ආයතනයක් බව, එහි තීරණ අපක්ෂපාති විය යුතු බව, යන කාරනා ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්මයන්ය (ප්‍රජාතන්ත්‍රවාදය ලිපි පෙළ කියවන්න.
සබැඳිය: http://www.spartacus.lk/democracy/2022/).
නමුත් කලාතුරකින් වන සිදුවීමක් හැරුණු කොට ඕනෑම මහේස්ත්‍රාත්වරයෙකු පොලීසිය ගෙන යන ඕනෑම නඩුවක් භාරගනු ලැබේ (මහේස්ත්‍රාත්වරයාගේ කාර්යභාරය එය නොවුන ද). එසේම පොලීසිය සමග එකඟතාවයෙන් කටයුතු කරයි. පොලිස් ස්තාන්ධිපතිවරුන්ගේ අත්දුටු ප්‍රත්‍යක්ෂයක් වන්නේ ප්‍රශ්නයක් ඇතිකර ගැනීමෙන් තොරව අදාළ පොලිස් බලප්‍රදේශයේ නීතිය සහ සාමය ආරක්ෂා කිරීමට නම් අදාළ පොලිස් බල ප්‍රදේශයේ විහාරස්ථාන වල නායක හිමිවරුන් (ඒ හරහා ප්‍රදේශයේ ගම් වල මධ්‍යම පාන්තික ප්‍රභූන්ගේ අනුකූලතාවය රැකගත හැකිය), ව්‍යාපාරිකයින් සහ මහේස්ත්‍රාත්වරයා සමග ඉතා හොඳ සබඳතාවයක් ගොඩනගා ගත යුතු බවයි. තෙලිජ්ජවිල සිද්ධියේදී වරදක් නොකොට වැරදිකරුවෙකු ලෙස අල්ලාගෙන පහරදුන් තරුණයා පොලීසියට එරෙහිව කටයුතු කිරීම වලක්වා ගත නොහැකිවීම සැලකිය හැක්කේ පන්සල්-ව්‍යාපාරික-මහේස්ත්‍රාත් සම්බන්ධය හරියාකාරව නඩත්තු නොවීමේ ප්‍රශ්නය හෝ එක්කෝ අදාළ තරුණයා විහාරාධිපති ඇතුළු පන්සල ආශ්‍රිත ගමේ ප්‍රධානීන් සමග සම්බන්ධයක් නොපවත්වන්නෙකු බවය. එවැනි අය සඳහා ප්‍රජාතන්ත්‍රවාදය තුල කොමිෂන් සභා පිහිටුවා ඇත. නමුත් සැබවින්ම එවැනි කොමිෂන් සභා තුලින් ද සිදුවන්නේ පොලීසිය ආරක්ෂා කිරීමට කටයුතු කිරීමයි. එසේ නොවන්නේ බැරිම පටලැවිල්ලකදී පමණි (නාරම්මල සිද්ධිය වැනි). එවිට ප්‍රජාතන්ත්‍රවාදය කැපී පෙනෙන ලෙස ඉස්මතුව පෙනේ. යුක්තිය ඉටුවූවා යැයි සිතමින් වින්දිත පාර්ශවයට සතුටු විය හැකිය (වින්දිතයා හෝ වින්දිතයින් මියගොස් ඇත්නම් ඔවුනගේ ඥාතිමිත්‍රාදීන්ට සතුටු විය හැකිය).
ඉහත සඳහන් කරුණු වලට අමතරව නීතිය ක්‍රියාත්මක කිරීමේ සහායක රාජ්‍ය ආයතන සහ නිලධාරීන්ගේ අවිඥානික සහ සවිඥානික එකඟතා ක්‍රියාත්මක වේ. උදාහරණයකට අධිකරණ වෛද්‍ය නිලධාරී වෘත්තිය සැලකුවහොත් එම නිලධාරීන් නිරතුරුවම පොලීසියේ පාර්ශවය වෙනුවෙන් ක්‍රියා කරයි (එසේ නමැති නම් පොලීසියට මිනිසුන්ට පහරදීම් සිදු කල නොහැකි වනු ඇත). අධිකරණ වෛද්‍ය ක්ෂේස්ත්රයේ ගෝඩ්ෆාදර් කෙනෙකු වූ චන්ද්‍රසිරි නිරිඇල්ල තම ශිෂ්‍යයින්ට දුන් (අ)ප්‍රකට අවවාදය වන්නේ නිරතුරුවම පොලීසිය ආරක්ෂා කරනු! යන්නයි. ඔහු ඊට පැහැදිලි කිරීමක් ද එක්කරමින් කියා සිටියේ එසේ පොලීසිය ආරක්ෂා නොකළහොත් සාමකාමී සමාජයක් පවත්වා ගැනීමට පොලීසිය අසමත් වන බවය. ප්‍රජාතන්ත්‍රවාදී, සමාජ විද්‍යාවාදී, දේශපාලන විද්‍යාවාදී, නීති විද්‍යාවාදී තකතීරු බුද්ධිමතුන් කුමක් කීවද නිරිඇල්ලගේ කතාව බොරුවක් ද නොවේ. ඇත්තටම එකී තකතීරු විද්වත් බුද්ධිමතුන් ද මෙය නොදන්නවා නොවේ. නමුත් බුද්ධිමතුන් ලෙස බුද්ධිමය සංවාදයේ යෙදීමට අවශ්‍ය නිසා සහ අවිඥානිකව සැලකුවහොත් ඔවුන්ගේ ලිබරල්වාදයට ඇති අවිඥානික කැමැත්ත හේතුවෙන් ඔවුන් එසේ ක්‍රියා කරයි. එසේ සැලකූ කල විශ්ව විද්‍යාල වල විද්‍යා පීඨ (විශේෂයෙන්ම වෛද්‍ය පීඨය) වලින් පැමිණෙන මධ්‍යම පාන්තික සහ ඉහල මධ්‍යම පාන්තික විද්වත්-බුද්ධිමතුන්ට වඩා කලා පීඨ බුද්ධිමතුන් වනාහි පත කුහක්යින්ය.
|අනීවාර්ය ලෙසම සඳහන් කල යුතුම කරුණක් වන්නේ පොලීසියේ පාර්ශවය සැමවිටම නිදොස් කිරීමට කැපවන අනෙකුත් අදාළ ආයතන වල නිලධාරීන් අයත්වන පන්තිමය තලයන් සහ ඒවාට අදාළ තත්වය පිළිබඳවයි. ඔවුන් බොහෝ දෙනෙකු ඉහල මධ්‍යම පන්තියට සහ මධ්‍යම පන්තියට අයත්ය. එනම් ඒවා වැරදි නොකරන පන්තීන්ය. ඔවුන් වැරදි කල ද නීතියේ සීමාවට නොගොස් ගොඩින් බේරීමේ හැකියාව ඔවුන් සතුය. එබැවින් ඔවුන්ට ප්‍රශ්න ඇති වන්නේ පහල පන්තීන් වල සාමාජකයින් වෙතිනි. මධ්‍යම පාන්තිකයා සහ ඊට ඉහල පාන්තිකයින් ඒ පිළිබඳව නිරන්තර තැතිගැන්මෙන් සහ කනස්සල්ලෙන් පසු වේ. එනම්, පොලීසිය සිටිනුයේ ඔවුන් ආරක්ෂා කිරීමට බව ඔවුන් දනී. එසේ කිරීමට යාමේදී පොලීසිය අතින් අතපසුවීම්, අත්වැරදීම් සිදුවීම නොවැලැක්විය හැකිය (පොලීසියේ සිටිනුයේ ද මිනිසුන්ය).
දැන් කෙනෙකුට පැවසිය හැක්කේ ඉහතින් සඳහන් කල බොහෝ දෑ ලාංකීය සුවිශේශීත්වයට අදාළ කාරනා බවය. ඒ අනුව එසේ පවසන අය විසින් රැගෙන එන සුපුරුදු ප්‍රකාශය වන්නේ "මෙහේ" එහෙම උනාට "එහේ" එහෙම නැහැ යන්නයි ("මෙහේ ෆුල් අප්සෙට් "එහේ" මරු න්‍යාය). එසේ පැමිණෙන ඕනෑම අයෙකුට "එහේ" ගැන කියා දීමට අප සූදානම්ය. එසේම සාමකාමී ස්කැන්ඩිනේවියානු රටවල් ගැන ද සඳහන් කල හැකිය. ඒවා එසේ වී ඇත්තේ කෙසේ ද යන්නත් ඒවායේ තත්වය කුමක් ද යනන්ත් පැහැදිලි කල හැකිය.
පහතින් දක්වා ඇත්තේ මීට වසර දෙකකට ඉහත ලියන ලද ලිපියක සබැඳියයි: මෙම ලිපිය වඩාත් අර්ථවත් වන්නේ එම ලිපිය කියවීම තුලිනි.
@ස්පාර්ටකස් ලිපි