SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මේ සතියේ කිවිදා දැක්ම ලියන්නට වෙන්නේ රටේ ආර්ථිකය සම්බන්ධයෙන් වැදගත් තීරණ ගණනාවක්ම ගනිමින් තිබෙන අවස්ථාවකය.

  • 2024 වර්ෂයට අදාළ අය-වැය ලේඛනය පාර්ලිමේන්තුවේ අනුමත වූයේ මේ සතියේය.
  • එය අනුමත වීමට දිනයකට පෙර ආණ්ඩුව පාර්ලිමේන්තුව යොදා ගනිමින් VAT බද්ද සියයට 15 සිට සියයට 18 දක්වා වැඩි කර ගත්තේය. මෙතෙක් වැට් නොගැසු භාණ්ඩ හා සේවා රාශියක්ම අලුත් බදු ගැහිල්ලට ඇතුළත් කර ඇති බවද මෙහිදී කිව යුතුය.
  • තුන් වෙනුව රටේ අනාගත ආර්ථිකය ගමන් ගන්නා දිසාව පිළිබඳව විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ IMF වට්ටෝරුවෙන් එපිට කරන්නට කිසිවක් තමන්ට නොමැති බවය.

 

මේ සංසිද්ධී කීපයම මුල්කර ගනිමින් රටේ බරපතළ සංවාදයක් ඇතිවිය යුතු බව මගේ අදහසය. ඒ නිසාම කිවිදා දැක්මෙන් ලියන්නේ IMF න්‍යාය පත්‍රය යනු ලෙඩේට බෙහෙත බවය. තවත් සමහරුන් කියන්​නේ IMF වට්ටෝරුව යනු ‘බෙහෙතක් වගේ එන මිළඟ අර්බුදයේ කෑල්ලක්’ බවය. ආණ්ඩුවේ නායකයන් කියන්නේ ආර්ථික අර්බුදයෙන් මිදෙන්නට වෙන කළ හැකි කිසිම දෙයක් නැති බවය. මේ කථාව ආණ්ඩුවේ අය පමණක් නොව වෙනත් ක්ෂේත්‍රවලද පිළිගන්නා එකම කථාව බවටද පත් වී ඇත. ඒ නිසා  මෙවර කිවිදා දැක්මෙන් සාකච්ඡා කරන්නේ ‘IMF බෙහෙත’ පිළිබඳවය.

 

රට බංකොලොත්වීම

 

මේ සාකච්ඡාවට වැදවත් වන එක කාරණයක් වන්නේ රට ආර්ථික වශයෙන් බංකොලොත්වීම යනුවෙන් අපි කියන්නේ කුමක්ද ? යන ප්‍රශ්නය නිරාකරණය කර ගැනීමය. මා මිත්‍ර මහින්ද පතිරණ විසින් මේ කාරණය පසුගිය සතියේ කිවිදා දැක්මෙන් ද මතුකර තිබුණි. සමහරුන් සිතන්නේ රට බංකොලොත්වීම කියන්නේ ඉන්ධන, විදුලිය, ගෑස් වැනි අත්‍යවශ්‍ය දේවල් නොමැතිවීම කියාය.

 

එහෙත් ආර්ථික නිර්වචනයක් ලෙසින් (IMF ශබ්ද කෝෂයෙන් ගත්තත්) රට බංකොළොත්වීම යනුවෙන් සලකන්නේ ණය සේවාකරණය සිදු කරන්නට නොහැකිවීම දැනුම් දීමය. සාමාන්‍ය ජීවිතයේ ව්‍යාපාරයක් වුවත් බංකොලොත් බව ප්‍රකාශ කරන්නේ ස්වකීය කටයුතු කරන්නට ආර්ථික/ මූල්‍ය ශක්තිය නොමැතිවීම සහ තම ව්‍යාපාරයේ ආයෝජන සඳහා ගත් මුදල්/ණය ආපසු ගෙවා දැමීමේ හැකියාව අහෝසිවීම යන කාරණා පදනම් කරගෙනය.

 

මෙරට ආර්ථිකය තුළ සංචිත අර්බුදයක් මතුවීම 2019 සිටම ගොඩනැගෙනමින් පැමිණි බව පැහැදිලිය. තෙල්, ගෑස් බෙහෙත් සහ අත්‍යවශ්‍ය ආහාර ආනයනය කිරීමට අවශ්‍ය ඩොලර් හිඟවීම නිසා 2020, 21 වර්ෂවල මෙම සේවා පවත්වාගෙන ගියේ අතමාරු ක්‍රමයට සංචිත සොයා ගැනීමෙන් බවත් ඇත්තය.

 

 

එහෙත් එම ‘අමාරු’ තත්ත්වය තුළ යම් කළමනාකරණයක්වත් කර ගැනීමේ හැකියාව මුළුමණින්ම නැවතුනේ 2022 අප්‍රේල් 12 දින අලිසබ්‍රි මුදල් ඇමැතිතුමා සහ නන්දලාල් වීරසිංහ මහ බැංකු අධිපතිතුමා විසින්  ණය සේවාකරණය (ණය ගෙවීම) නොහැකි යැයි ස්ථාවර තීරණයක් ගැනීමත් සමගය. 2010 වර්ෂයෙන් පසු බොහෝ අවස්ථාවල රටේ සංචිත මට්ටම පහළටම ගිය බව සහ ඒ ඒ කාලවලත් මුදල් ඇමැති සහ මහ බැංකු අධිපතිට අවශ්‍ය නම් ‘රට බංකොලොත්’ යැයි ප්‍රකාශ කිරීමේ ඉඩක් තිබූ බව පැහැදිලිය.

 

 

එහෙත් ඒ අය (2010-2015 ආණ්ඩුව, 2015-19 ආණ්ඩුව සහ 2019-22 ආණ්ඩුව) ඒ සෑම අවස්ථාවකම උත්සාහ කළේ විවිධ උපක්‍රම හරහා සංචිත කළමනාකරණය කර ගනිමින් බංකොලොත්භාවයක් තමන් විසින්ම ප්‍රකාශ කර ගැනීමේ ක්‍රියාවකින් ගැලවීමය. එහෙත් 2022 අප්‍රේල් මේ තත්ත්වය වෙනස් කළා පමණක් නොව එම බරපතළ තීරණයට පාර්ලිමේන්තුවේ අනුමැතියක් පවා නොගත් බව මෙහි දී සටහන් කළ යුතුය.

 

මගේ අදහස වන්නේ රටේ මූල්‍ය අර්බුදයක් මෝදු වෙමින් තිබීම නොදැකීම ගෝඨාභය ආණ්ඩුවේ වරදක් බවය. එසේම 2022 අප්‍රේල් 12 දින රට බංකොලොත් යැයි ප්‍රකාශයට පත් කිරීම ඒ වගේම වැරැද්දක් බවය. 2022 ජූලි මසට නියමිත ණය වාරිකය විශාල එකක් බව (ඩොලර් මිලියන 1000) සැබෑවක්ය.  එහෙත් එම විශාල ණය වාරිකයට  පෙරාතුව තිබූ  සාපේක්ෂ වශයෙන් කුඩා ණය වාරිකයක් පෙන්වමින් 2022 අප්‍රේල් මාසයේ බංකොලොත්භාවය ප්‍රකාශයට පත් කිරීම මේ ගැටලුව (මූල්‍ය අර්බුදය) සමස්ත ආර්ථික  අර්බුදයක් බවට පත් කළ බව මගේ මතයයි.

 

 

IMF  වට්ටෝරුව

 

 

IMF සහාය ලබා ගැනීම මේ තත්ත්වය තුළ අනිවාර්යය සාධකයක් බවට පත් වූ බවද සැබෑවක්ය. එහෙත් මෙහිදී රටේ අවධානය යොමු විය යුතු කාරණයක් වන්නේ IMF සහාය යනු කඩා වැටුණු සංචිත තත්ත්වයක් ප්‍රකෘති කර ගැනීමේ උත්සාහයක් මිස රටක ආර්ථිකය සම්පූර්ණයෙන්ම යටත් කළ යුතු මෙවලමක් හෝ පිළිතුරක් නොවන බවය. මෙය හරියට සමාන වන්නේ ‘වාහනයක් ස්ටාර්ට් කර ගැනීමට තල්ලුවක් දීම’ වැනි දේකටය.

 

අප මේ ආකාරයට 16 වතාවක් වාහනය තල්ලු කර පණගන්වා ගෙන ඇත. එහෙත් ඒ සෑම අවස්ථාවකම IMF ආයතනයේ නිර්දේශ රට තුළ ක්‍රියාත්මක කිරීමට යාමෙන් රටම විවිධ අර්බුදවලට මුහුණ දුන් බව මතක් ගැනීමත් මෙහිදී ඉතාමත් වැදගත්ය. නිදර්ශනයක් ලෙසින් ගතහොත් 2003 වර්ෂයෙන් පටන් ගත් IMF වැඩසටහන යෝජනා කළ දේවල් සිදු කරන්නට ගොස් එවකට බලයේ සිටි වික්‍රමසිංහ ආණ්ඩුව පත්වූ අර්බුධජනක තත්ත්වය සමහරුන්ට තවමත් මතකය.

 

මෙවරද IMF ‘චෙක් ලිස්ට් එක’ හෙවත් ‘සිදු කළ යුතු වැඩ’ රටේ දේශපාලනයටත් ආර්ථිකයටත් ඉතාමත් අනතුරුදායකය. එහෙත් ආණ්ඩුව හැසිරෙන්නේ තමන්ගේ ලෙඩේට අලුත් බෙහෙතක් සොයා ගැනීමෙන් ප්‍රීතියට පත්වූ පුද්ගලයකු  වගේය. මෙතනින් එහාට වෙන කිසිදු බෙහෙතක් අවශ්‍ය නොවන  ගානට ආණ්ඩුව කථා කරන්නේ ඒ නිසාය.

 

මෙහිදී පළමුවෙන්ම අවධානයට ගත යුතු කාරණයක් වන්නේ 1977 න් පසුව අපේ රට IMF සහාය ලබාගත් අවස්ථා සහ එම අවස්ථාවලIMF එක ඉදිරිපත් කළ නිර්දේශ නිසා සිදු වූ හරිය තේරුම් ගැනීමය. 1977න් පසු කාලය තුළ අපි IMF එකට ගිය අවස්ථා 09 ක් තිබේ. ඇසිය යුතු එක් ප්‍රධාන කාරණයක් වන්නේ IMF වැඩ පිළිවෙළ ක්‍රියාවට නැගීම නිසා රටේ ආර්ථික වේගය, උද්ධමන අනුපාතිකය සහ ගෙවුම් ශේෂයේ ජංගම ගිණුම කරෙහි සිදුකරන ලද බලපෑම කවරේදැයි ආණ්ඩුව දන්නේද යන්නයි. ඒ අය එය දන්නේ නැත.

 

 

මෙවර IMF බෙහෙත් වට්ටෝරුවෙන් කර ඇති යෝජනා ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කිරීමට පටන් ගෙන තිබේ. එම යෝජනා අතර ප්‍රධානත්වයක් ගන්නේ (1) පොලී අනුපාතය ඉහළ දැමීම (2) අය-වැය පරතර  ද.ජා.නි. ප්‍රතිශතයක් ලෙසින් සියයට 5 මට්ටමට ගෙන ඒම (3) රාජ්‍ය ආයතන පෞද්ගලිකකරණය (4) රජය ආර්ථික කටයුතුවලින් ඉවත්වීම (5) සහනාධාර හා සුබසාධන වියදම් කපා හැරීම (6) රාජ්‍ය බදු ආදායම වැඩි කිරීම (7) සහනාධාර ඉලක්කකරණය (8) සෘජු වෙළඳ සීමා  ඉවත් කිරීම (9)විනිමය අනුපාතිකය පා කිරීම (10) ප්‍රාග්ධන චලනයන්ට ඇති සීමා ඉවත් කොට ගෙවුම් ශේෂයේ ප්‍රාග්ධන ගිණුම නිදහස් කිරීම වැනි දේවල්ය.

 

 

පොලී අනුපාතය නැංවීම හරහා IMF මතු කරන  බලපෑම සමස්ත ආර්ථිකයේම විශාල හැකිලීමක් බලාපොරොත්තු වන බව පැහැදිලිය. මෙවර අය-වැය හරහා ද ජනාධිපතිතුමා කියන්නට උත්සාහ ගන්නේ මේ කාරණය සාධාරණීකරණය කිරීමටය. පොලී අනුපාතය ඉහළ දැමීමෙන් උද්ධමනය පාලනය කිරීමත්, ප්‍රාග්ධනය කාර්යක්ෂමව ආයෝජනය කිරීමේ ඉඩක් ඇතැයි පිළිගන්නා සාම්ප්‍රදායික තර්කය මත පදනම් වෙමින් සිදුකරන මේ මෙහෙයුමේ බරපතළ විපාක රාශියක් මතු කරන  බව දැනටමත් පෙනී යමින් තිබේ.

 

රජය සීමා කිරීම හා රාජ්‍යය ආර්ථික කටයුතුවලින් ඉවත්වීම යන සූත්‍රය අප වැනි සංකීර්ණ, ආර්ථික මට්ටම් බෙදුණු රටකට කුමන ආකාරයෙන් බලපාන්නේද යන්නද මෙහිදී අවධානයට ගත යුතු  කාරණයක්ය.

 

රටක සමාජ සුබසාධනය (Social welfare) සහ සමාජ සංරක්ෂණය  (Social Security) යනු දෙකක් මිස එකක් නොවේ. සමාජ සුබසාධනය යනු රාජ්‍යයේ වගකීමක් ලෙසින් සැලකිය යුතු ආයෝජනයක් යැයි  තර්ක කළ හැකිය. අධ්‍යාපනය, සෞඛ්‍යය වැනි ක්ෂේත්‍ර අයිති වන්නේ ඒ සුබ සාධනයට මිස සමාජ ආරක්ෂණයට නොවේ. සමාජ ආරක්ෂණය යනු වෙළඳපොළ ආර්ථිකයේ මෙම සංකෝචනයෙන් මිරිකුණු සහ ඒ නිසාම සමාජයේ දුගියන් බවට තල්ලු වුණු  කණ්ඩායම් සඳහා යම් ආකාරයක සහනයක් තාවකාලිකව ලබාදීමය. සමෘද්ධි හා අස්වැසුම වැනි ව්‍යාපෘති එන්නේ ඒ සඳහාය.

 

IMF වට්ටෝරුවේ මේ සමාජ ආරක්ෂණයට යම් බරක් තැබුවාට සමාජ සුබසාධනය සීමා කිරීමට බරපතළ බලපෑමක් සිදුකරන බව ඉතාමත් පැහැදිලිය. 

 

 

වෙන මගක් නැද්ද?

 

 

ආණ්ඩුවේ සමහරුන් කියන්නේ ‘‘අපිට පුතේ මගක් නැතේ’’ කියන කවිය මිස වෙනකක් නොවේ. මෙවර IMF සහාය ගන්නා තැනට දැන් සියල්ල යෙදී ඇති නිසා මේ කතාවේ එක්තරා අර්ථයක් තිබෙන බව ඇත්තය. එහෙත් අපි මේ IMF තල්ලුවට එකඟ විය යුත්තේ ඒ හරහා යළි ස්ටාර්ට් කර ගන්නා වාහනය පදවාගෙන  යන මාවත පිළිබඳව සහ වාහනයේ එන්ජිම පිළිබඳව බරපතළ තේරුම් ගැනීමක් ඇතිව මිස වෙන කිසිම මගක් නැති ආකාරයෙන් නොවේ. IMF  සහාය ගනිමින් තමන්ගේ ආර්ථිකය ගොඩ ගත් රටවල් (ඉන්දියාව/තායිලන්තය) පෙන්නුම් කරන්නේ ඒ පාඩම මිස වෙනකක් නොවේ.

 

 

මා මීට පෙර කියා ඇති පරිදි මේ තත්ත්වය තේරුම් ගත යුත්තේ රෝගියෙක් ICU එකට ඇතුළු කළයුතු තරම් අසාධ්‍ය වූ විට ලබාදෙන ප්‍රතිකාරයක් ලෙසින්ය.

සමහරුන් හදන්නේ රෝගියා හැමදාම දැඩි සත්කාර ඒකකයේ තබා ගැනීමටය. IMF ගෝලයෝ හදන්නේ ඒකටය.

එහෙත් රටේ දේශපාලන සාකච්ඡාව මුල්විය යුත්තේ ICU එකෙන් එළියට ගත් විට රෝගියාට ලබා දිය යුතු බෙහෙත් කවරේදැයි තීරණය කිරීමටය. රෝහලෙන් එළියට ගැනීමට අවශ්‍ය බෙහෙත් සොයා ගැනීමටය.

 

@මහාචාර්ය චරිත හේරත්

Lankadeepa

නවතම ලිපි