උන්හිටි ගමන් පැමිණ ලේක්හවුසියේ පිළිගැනීම් කවුන්ටරයේ සිට ඇමතුමක් දෙයි.
සනත් බාලසූරිය, දේවිකා වඩිගමංගාව, මනුබන්ධු විද්‍යාපති, අරවින්ද හෙට්ටිආරච්චි වැනි මිතුරන් පිරිසක් ඔහු ඒ ගමන්වලදී හමුවන්නට සිටිති.
පැමිණි හැම වතාවකම ඔහුට කියන්නට කතා, හෙළිකරන්නට බලාපොරොත්තු රැසක් තිබුණි. ඒ කතා සහ බලාපොරොත්තු සියල්ල සමාජ යහපත වෙනුවෙනි.
සුනිල් සැම විටම සිතුවේ ජනප්‍රිය අදහස්වලට පිටුපා සිටිමිනි. ගල් අඟුරු බලාගාරවලට එරෙහිව මෙරට මතුවුණු විරෝධයේ මූලික තර්කයක් වූයේ ඒවා හේතුවෙන් සිරිමා බෝධිය, උඩරට තේ වගාව විනාශ වන බවය. සුනිල් ඒ ගැන දිනමිණට ලිපි කිහිපයක් ලිවීය. එහිදී ඔහුගේ තර්කය වූයේ එසේ වන්නේ නම් ඉන්දියාවේ බලාගාර හේතුවෙන් ද ලංකාවට එම බලපෑම ඇතිවිය යුතුය යන්නය.
"ඇවිදින පාසල " දිනමිණ ලිපි පෙළ ඔහුගේ දැනුමේ පෘථුල බව විදහා පෑ අවස්ථාවකි. ඇතැම් පාසලක උදෑසන රැස්වීමේ එකී ලිපි ශබ්ද විකාශන යන්ත්‍ර මගින් කියැවූ බවද අසන්නට ලැබුණි. ඒ ඒවාහි අඩංගු කරුණුවල වැදගත්කම හේතුවෙනි. සිනමාව, සංගීතය, චිත්‍ර කලාව, දේශපාලනය ආදි ඕනෑම විෂයක් වෙනත් මානයකින් බලන ඇසක් දැණුමක් ඔහුට තිබුණි. මහන්සියෙන් උපයා ගත් දැණුම හෙතෙම, ප්‍රතිලාභ අපේක්ෂාවකින් තොරව සමාජගත කළේය. දිනමිණට සැපයූ ලිපිවලට ගෙවීම් කරන්නට ගිණුම් අංකයක් ලබා ගනු ලැබුවේ නොයෙක් වර කන්නලව් කිරීමෙනි.
සුනිල් අල්පේච්ඡ මිනිසෙකි. ඔහුට ජීවත් වන්නට බොහෝ දේවල් අවශ්‍ය වූයේ නැත. පොත් කිහිපයක්, සිනමා සීඩී දෙකතුනක් අතැතිව සරන්නෙක් වැනි ඔහුගේ ජීවිතය සන්නාසි දිවියක් වැනියැයි වරෙක සිතේ. මහා සිහිනයක් සිතෙහි දරාගෙන සිහිනය සැබෑ කරන මග සොයා ඇවිදි ඔහුගේ ගමන හදිසියේ නතරවීම දරාගත නොහැකි හේතුව එයයි.
@ අනුර කේ එදිරිසූරිය