බ්‍රිතාන්‍යයේ "කොවිඩ් 19 විමර්ශනය" මාස කිහිපයක සිට තවමත් පැවැත්වෙනවා.
දෙවැනි දිනටත් හිටපු අගමැති බොරිස් ජොන්සන් අද එහි පෙනී සිටිනවා. මේ වන විටත් වරුවකට වැඩි කාලයක් ඔහුගෙන් ප්‍රශ්න කෙරෙනවා. රූපවාහිනි නාලිකාවල සජීවීව විකාශනය වෙනවා.
නිසි වෙලාවේදී රට ලොක්ඩවුන් නොකිරීම කොවිඩ් මරණ සංඛ්‍යාව ඉහළ යාම මත පදනම්ව දේශපාලන හා අනෙකුත් අධිකාරීන්ගෙන් සිදුවු අඩුපාඩු විමර්ශනයයි මෙහිදී සිදුවන්නේ.
කොවිඩ් සමයේ තීන්දු තීරණගත් දේශපාලකයන්, ඉහළ සෞඛ්‍ය නිලධාරීන් ඇතුළු සියලු දෙනා විමර්ශනයට කැඳවෙනවා. එදා එකට වැඩ කළත් එකිනෙකා අතින් සිදු වූ අඩුපාඩු ඔවුන් ඉතා විවෘතව ප්‍රකාශ කරනවා.
පසුගිය සතියේ හිටපු සෞඛ්‍ය ලේකම් (ඇමති) Matt Hancock විමර්ශකයන් හමුවේ කියා සිටියේ සති තුනකට පෙර අගමැතිවරයා රට වසා දැමීමේ තීරණය ගත්තේ නම් මරණ සංඛ්‍යාව අඩුවිය හැකිව තිබූ බවයි. එමෙන්ම රජය වසංගතය මැඩලීමේ උපාය මාර්ග හැසුරූ අන්දම සම්පූර්ණයෙන්ම වැරදිසහගත බවද ඔහු කියා සිටියා.
එංගලන්ත ප්‍රධාන වෛද්‍ය නිලධාරී මහාචාර්ය Sir Chris Whitty, රජයේ විද්‍යාත්මක උපදේශක Sir Patrick Vallance වැනි අය කියා සිටියේ තම උපදෙස් ලබාදීම් හා රජයේ දේශපාලන අවශ්‍යතා මත ආතතියක්ද හටගත් බවයි.
කැබිනට් අමාත්‍ය Michael Gove ජීවිත අහිමිවූවන්ගේ පවුල්වල සාමාජිකයන්ගෙන් සමාව අයැද සිටියා. Boris Johnson කියා සිටින්නේ වැරදි සිදු වූ බවයි. කොවිඩ් සමයේ ගත් සියලු තීරණ සම්බන්ධයෙන් තමන් වගකීම භාර ගන්නා බවද ඔහු පවසනවා. සිය ඇමතිවරුන් ඉතා දුෂ්කර තත්වයක් තුළ ඔවුන්ගේ උපරිමය ඉටු කර ඇතැයිද ඔහු පවසනවා.
හිටපු විනිසුරුවරියක වන Baroness Hallett ගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම විමර්ශනයේදී ඉතා තදබල ලෙස බලධාරීන්ගෙන් ප්‍රශ්න කෙරෙනවා. මෙය අනාගතයට "උගත් පාඩම්" (Lessons Learned) වෙනුවෙන් කෙරෙන විමර්ශනයක්.
මේ සිදුවීමත් එක්ක ලංකාවේ සිදුවීම් සහ විමර්ශන මතකයට නැගෙනවා. ලංකාවේ ආර්ථිකය බංකළොත් කිරීම සම්බන්ධයෙන ශ්‍රේෂ්ඨාධිකරණය හිටපු ජනාධිපති මහින්ද, ගෝඨාභය ඇතුළු කිහිපදෙනෙකු මූලික අයිතිවාසිකම් කඩකළ බව පසුගියදා තීරණය කළා. ඔවුන් කිසිවෙකු ඒවා පිළිගන්නේ නැහැ. පුදුමය ඇත්තේ ඔවුන් ආරක්ෂා කිරීමටද අනුගාමික දේශපාලකයන් මෙන්ම ජනතාවද පෙළ ගැසීමයි.
පාර්ලිමේන්තුවේ මේ ගැන අදහස් දක්වන විට පවා ජෝගි නටා, උමතුවෙන් මෙන් හැසිරෙන පිරිස් අප දුටුවා. එහෙත් බ්‍රිතාන්‍යයයේ හිටපු අගමැති, ඇමතිවරුන් හෝ වගකිව යුතු කිසිදු නිලධාරියෙකු බේරා ගැනීම වෙනුවෙන් පවුලේ සාමාජිකයෙකු හෝ කටක් නොඅරින සම්ප්‍රදායක් තිබෙනවා. ඔවුන් වෙනුවෙන් පක්ෂය හෝ තම ළඟම දේශපාලන හිතෛෂියා හෝ ඉදිරිපත් වන්නේ නැහැ. සාක්ෂි දෙන්නන් කිසිවෙකු බේරා ගැනීම වෙනුවෙන් බොරු කියන්නෙත් නැහැ.
ලංකාවේ පාස්කු ප්‍රහාරයේ වගකීම අදටත් කිසිවෙක් භාර ගන්නේ නැහැ. එවක ජනාධිපති සහ ඉහළ නිලධාරීන් සිය ධුරයේ වගකීම් ඉටු නොකළ බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කිරීම පමණක් ජයග්‍රහණයක්. අපට සිස්ටම් ඇති බව පැහැදිලි නමුත් ඇතැම් ආයතනවල ක්‍රියාකාරීත්වයට ඉඩක් නැහැ. මහ බැංකු බැදුම්කර වංචාවේ වරදකරුවන් තවමත් නිදැල්ලේ සිටින්නේ මේ නිසයි.
බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් කොවිඩ් සමයේ තේ පැන් සාදයකට සහභාගී වී කොවිඩ් නීති කැඩූ බවට වරදකරු කෙරුනා. සෞඛ්‍ය ලේකම්ට ධූරය අතහැරීමට සිදුවූයේ කොවිඩ් සමයේ කාන්තාවක් සිප ගැනීමෙන් දුරස්ථ සීමාව උල්ලංඝනය කිරීම නිසයි. වරෙක වත්මන් අගමැති Rishi Sunak ආසන පටි රහිතව මෝටර් රථයේ යන අතරතුර දුරකථනය භාවිත කිරීමේ වරදට දඩ ගෙව්වා.
ලංකාවේ ගැටළුව ඇත්තේ පොඩි මිනිස්සුන්ට පමණක් නීතිය ක්‍රියාත්මක කිරීමයි. ලොකු මිනිස්සු වැරදි පිළිනොගැනීමයි. එසේ වැරදි කරන ලොකු මිනිස්සු බේරා ගැනීමට වහලුන් පිරිසක්ද සිටීමයි.
මිනිස්සුන්ට ජීවිතය එපා කරවන්නේ නැති බැරිකම පමණක් නොවේ නීතියේ සාධාරණත්වය නොමැතිකමද ඊට හේතුවකි.
@මහින්ද රුබසිංහ