SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඊශ්‍රායලය විසින් පලස්තීන ගාසා තීරයේ දී සිදු කළ යුද අපරාධ සම්බන්ධයෙන් ඊට වගකිව යුත්තන් ජාත්‍යන්තර අධිකරණය හමුවට පැමිණවිය යුතු බව තුර්කි ජනාධිපති තායිප් අර්ඩවාන් පවසයි.

එක්සත් ජාතීන් ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් සමඟ පැවති දුරකථන සංවාදයක දී තුර්කි ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ යැයි ජාත්‍යන්තර මාධ්‍යය වාර්තා කරයි.

 

ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන පරිදි සති හතකට ආසන්න කාලයක් ක්‍රියාත්මත වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා තීරයේ පලස්තීනුවන් 15,000ක් පමණ ජීවිතක්ෂයට පත් වූ අතර. ඉන් 40%ක් පමණ ළමුන් වේ.

මෙම සංඛ්‍යා, දත්ත ඊශ්‍රායලය හෝ අමෙරිකාව පිළිනොගත්ත ද ජගත් සංවිධාන නියෝජිතායතන එම අගයන් සනාථ කර ඇත. 

තුර්කි ජනාධිපතිවරයා, ජගත් මහලේකම්වරයා අමතා ඇත්තේ, ගාසා තීරය පිළිබඳ එක්සත් ජාතීන් ගේ ආරක්ෂක මණ්ඩලයේ සාකච්ඡාවක් අද පැවැත්වීමට කටයුතු යොදා තිබියදීයි.

 

ජනාධිපති අර්ඩවාන් සහ ජගත් මහලේකම්වරයා අතර පැවති දුරකථන සාකච්ඡාවක් සම්බන්ධයෙන් තුර්කි ජනාධිපති කාර්යාලය ප්‍රකාශයක් නිකුත් කර ඇත.

එහි සඳහන් වන්නේ, ඊශ්‍රායලයේ නීතිවිරෝධී ප්‍රහාර සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාවේ අපේක්ෂාවන්, ගාසා තීරයට මානුෂීය ආධාර සැපයීම මෙන්ම තිරසාර සාමයක් ඇති කිරීම සම්බන්ධයෙන් ඔවුන් සාකච්ඡා කළ බවයි. 

 

එමෙන්ම ගාසා තීරයේ මෙහෙයුම්වල දී ඊශ්‍රායලය විසින් ජාත්‍යන්තර නීතිය සහ යුද්ධයේ නීතිය නිර්දය ලෙස උල්ලංඝනය කරන බව ද තුර්කි ජනාධිපතිවරයා මෙහි දී පෙන්වා දී තිබේ.

මේ නිසා ඔවුන් සිදු කළ අපරාධ සඳහා ජාත්‍යන්තර නීතිය හමුවේ වගවීමක් දැරිය යුතු බව තුර්කි ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

 

ගාසා තීරය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ අද පැවැත්වෙන සාකච්ඡාවේ දී තුර්කිය නියෝජනය කරනු ඇත්තේ එරට විදේශ අමාත්‍යවරයා විසිනි.

තුර්කි විදේශ අමාත්‍ය හකන් ෆිඩන්, නිව්යෝර්ක් නුවර දී මුස්ලිම් රටවල සම්බන්ධතා කණ්ඩායම ද මුණගැසීමට නියමිතයි. 

අරාබි ලීගය සහ ඉස්ලාමීය සහයෝගීතා සංවිධානය විසින් එම කණ්ඩායම සකස් කරනු ලැබුවේ, ගාසා තීරය සම්බන්ධයෙන් බටහිර බලවතුන් සමඟ සාකච්ඡා කිරීමටයි.

 

ගාසා තීරයට එල්ල කරන ඊශ්‍රායලය ප්‍රහාර තුර්කිය දැඩි ලෙස විවේචනය කළ අතර, වඩාත් පුළුල් ඊශ්‍රායල - පලස්තීන අර්බුදය විසඳීමේ හොඳම මඟ ලෙස දකින්නේ, ඊශ්‍රායලය සහ පලස්තීනය ලෙස රාජ්‍යයන් දෙකක් බිහිකිරීමේ විසඳුමයි.

 

ඊශ්‍රායල - හමාස් සටන්වල ද දිගු කාලීන සහ ස්ථිර සටන් විරාමයක් ඇති කළ යුතු බව තුර්කිය දිගින් දිගටම කියා සිටි‍යි.

ඊශ්‍රායලය ගාසා තීරයට එල්ල කළ ප්‍රහාර ජන සංහාරයක් ලෙස හඳුන්වන තුර්කිය, ඊශ්‍රායලය වරෙක ත්‍රස්ත රාජ්‍යයක් ලෙස ද හැඳින්වීය. 

ඊශ්‍රායල හමුදා ගාසා තීරයට සිදු කරන විනාශය ආත්මාරක්ෂක පියවරක් ලෙස හැඳින්විය නොහැකි බව තුර්කි ජනාධිපතිවරයා ප්‍රකාශ කරයි.

ආසියාකරය, යුරෝපය හා හමු වන සන්ධිස්ථානය ලෙස සැලකෙන තුර්කියත් දශක ගණනාවක සිට බෙදුම්වාදී අරගලයකට මුහුණ දෙමින් සිටියි.

ඒ, උතුරු ඉරාකයේ සහ දකුණු දිග තුර්කියේ කුර්දිස්ථාන් නමින් වෙනම රාජ්‍යයක් පතා සටන් කරන කුර්දිවරුන් ගේ අරගලයටයි.

මේ අතර තුර්කි රජය අද ප්‍රකාශයට පත්කළ විශේෂ ගැසට් නිවේදනයක් මඟින් තුර්කි බෙදුම්වාදීන්ට සහාය දක්වන බවට සැක කරන රාජ්‍ය නොවන සංවිධාන 20ක සහ පුද්ගලයන් 62 දෙනෙකු ගේ දේශීය වත්කම් තහනම් කර තිබේ.

තුර්කි මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේ පවතින සාධාරණ හේතූන් මත එම තීරණයට එළැඹුණු බවයි.

ත්‍රස්තවාදයට මූල්‍ය සැපයීම වැළැක්වීම සඳහා මෙලෙස එම සංවිධානවල වත්කම් තහනම් කිරීමට පියවර ගත් බව ද තුර්කිය ප්‍රකාශ කර ඇත.

 

 

@adaderana

නවතම ලිපි