SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ලස්සන' කියන වචනයට මම අසීමාන්තිකව වෛර කරපු කාලයක් තිබුණා!

මොකද 'ලස්සන'ට අදාළ නිර්ණායක යටතට මාව දාලා ඒවායෙන් මම රිජෙක්ට් වෙද්දි මට සමච්චල් කරපු, මාව රිද්දපු, මට බැනපු, මාව ප්‍රතික්ෂේප කරපු මිනිස්සු කප්පරක් මගේ ජීවිතේ මට හම්බ වෙලා තියනවා. ඒ මිනිස්සුන්ට පින් සිද්ධ වෙන්න මම මගේ පෙනුම සම්බන්ධයෙන් ඉතාම දරුණු හීනමානයකින් මානසිකව දුක් විඳපු කාලයක් තිබ්බා. අන්න ඒ කාලේදි මම 'ලස්සන' කියන වචනයටත් වෛර කරන්න ගත්තා.

මට මතකයි මගේ ඥාති සහෝදරියක් සම්බන්ධ සිදුවීමක්. ඇය ඇත්තෙන්ම බොහොම ලස්සනයි. විදේශයක ඉපදුණ සහ හැදී වැඩුණ නිසා ඇයට තිබ්බේ විදේශිකයෙක්ගේ පෙනුම. ඉතින් නිවාඩුවට ඇය ලංකාවට ආවාම නතර වෙන්නේ අපේ ගෙදර. සෙල්ලම් කරන්නේ මාත් එක්ක.

ඒත් හිටිහැටියේම ඇය ඔහේ කියලා දානවා "නිමේෂා ඔයා කැතයි" කියලා. එක පාරක් නෙමෙයි තුන් හතරවතාවක් විටින් විට. ඇයට ඒ කතාවේ බරපතලක් තේරුණා කියලා මම හිතන්නේ නෑ. මොකද ඇයත් අවුරුදු 6ක 7ක කුඩා දරුවෙක් නිසා.

නමුත් ඒ වචන තුන මගේ ළමා හිත ඇතුලට කිඳා බැහැපු ගැඹුර මට අද වගේ මතකයි. ඒ වගේම ප්‍රාථමික පන්ති වල මගේ හොඳම යෙහෙළිය මාත් එක්ක සෙල්ලම් කරන්න අපේ ගෙදර ආවාම අර ඥාති සහෝදරියට වැඩි සැලකිල්ලකුත් මට අඩු සැලකිල්ලකුත් දක්වන්න ගත්තා. හේතුව මම කැත වීමත් ඇය ලස්සන වීමත්.

එතකොට මේ යෙහෙළියගේ අම්මා දවසක් මගෙන් අහනවා "ඔයා අක්කා (මගේ ඥාති සහෝදරිය) වගේ ලස්සන නැති හින්දා ඔයාට ඉරිසියයි නේද" කියලා.

හිතවතුනි, මේ හැමදෙයක්ම වෙන්නේ මම ප්‍රාථමික පන්ති වල ඉගන ගන්න කුඩා දරුවෙක් කාලේ.

ඊළඟට මට මතක් වෙනවා පාසල් වයසේදි උන සිදුවීමක්. මම පාසලට ආවේ ගියේ කෝච්චියෙන් සහ බස් එකෙන්. මම ගත්තු බස් එක වැටෙන්නේ කොළඹ විශ්වවිද්‍යාලය ඉදිරියෙන්.

වරක් විශ්‍වවිද්‍යාල ශිෂ්‍යයෝ රොත්තක් මං හිටපු බස් එකට නැග්ගා. එදා මම විතරයි බස් එකේ හිටගෙන හිටියේ. මේ ළමයි ටිල හිටගත්තේත් මම වටේ. ඉතින් එතන ඉඳන් මම ආයේ කොටුව ස්ටේශන් එකෙන් බහින තැනට වෙනකම්ම මේ ළමයින්ගේ බයිට් එක උනේ එයාලාට බැල්මකින්වත් වරදක් නොකරපු මම.

"නංගි ඔයාගේ බර කීයද? තරාදියට ඔයාගේ බර අහුවෙන්නැතුව ඇති නේද? ඔයාගේ ඝනත්වයයි පරිමාවයි කියන්න, අපි ඒකෙන් බර හොයාගන්නං" කියලා කට්ටියක් උසුළු විසුළු කරද්දි තව කට්ටියල් උසුළු විසුළු කරන්න ගත්තා ඒ දවස් වල මගේ නිකට අසළ තිබ්බ ටිකක් අඳුරු ලපයකට. "මචං මේ නංගිට රැවුලකුත් තියනවා බං, නංගි ඔයා මොන කට් එකටද රැවුල හදාගන්න හිතං ඉන්නේ, ඔහොම්මම උඩු රැවුලකුත් වවන්න නංගි...."

එදා මට දැනිච්ච අසරණකම සහ ලැජ්ජාව කොච්චරද කියනවා නං මම ගෙදර ආපු හැටියේම කළේ පිහියක් උස්සං නානකාමරේට ගිහින් අර හමේ තිබ්බ අඳුරු ලපය සූරන්න ගත්තු එක. මට ඕන උනේ හමත් එක්කම හරි ඒක අයින් කරන්න. අන්තිමට මං ඒක නැවැත්තුවේ එතන තුවාල වෙලා ඉන්න බැරි තරං රිදෙන්න ගත්තාම.

කැම්පස් එකේ කාඩ් දාද්දි මට 'හාල්මැස්සි' කියලා කාඩ් එක දාන්න හදපු සීනියර්ලා හිටියා. හේතුව මම මහත වීම. එතකොට සමහර අය මගේ මූණටම කියලා තියනවා "කෙට්ටු වෙයං බං. බලපං උඹේ ඇඟේ කැත. කොල්ලෙක්වත් බලනවද. බලපං ඒකට මගේ කෙල්ලගේ ඇඟේ ලස්සන" කියලා.

අන්තිමට එහෙම කිව්ව අය මේ වෙද්දි මටත් වඩා මහත් වෙලා විතරක් නෙමෙයි ඒ කාලේ තිබ්බ ප්‍රේම සම්බන්ධතා කැඩිලා, වෙන අයව කසාදත් බැඳලා.

ඉතින් මේ සිදුවීම් වල පිහිටෙන් මම හැදී වැඩුණේ මගේ පෙනුම ගැන ඉතාම අවම ආත්ම විශ්වාසයක් සහිත තරුණියක් විදිහට. ඒ හීනමානය කොච්චරද කියනවා නං මගේ පළමු ප්‍රේම සම්බන්ධය බිඳ වැටෙන්න හේතුවත් ඒකමයි. මොකද මට වඩ වඩාත් දරුණුවට හිතෙන්න ගත්තා පෙම්වතෙක් ලබන්න තරම් මම ලස්සන කෙල්ලෙක් නෙමෙයි කියලා. මගේ පෙනුම ගැන මගේ පෙම්වතා ඇත්තේ නොසතුටින් වෙන්න ඇති කියලා. මං හිතන්නේ මගේ පළමු පෙම්වතාට හිතාගන්නත් බැරි වෙන්න ඇති මං කිව්වාම මට මේ සම්බන්ධේ නවත්තන්න ඕනේ කියලා.

සමහරවිට ඔහු තවම නොදන්නවා ඇති සැබෑ හේතුව. හැබැයි සැබෑ හේතුව තමා මං තුළ මගේ පෙනුම ගැන තිබ්බ හීනමානය.

මගේ පෙනුමට මම ආදරය කරන්න ගත්තේ මගේ දෙවන පෙම්වතා නිසා. ඔහු සතියට දෙතුන් පාරක්ම නොවරදවා කිව්වා "අමාවි ඔයා ලස්සනයි" කියලා. මගේ ආකර්ශනීය දේවල් ඔහු නිතරම අගය කළා. මම කැතයි කියලා හිතපු දේවල් වල පවා ලස්සන ඔහු මට පෙන්නලා දුන්නා. ඔහු නිසා මට මගේ පෙනුම සම්බන්ධව තිබ්බ ආත්ම විශ්වාසය දෙගුණ තෙගුණ උනා. එන්න එන්න මම මට ආදරය කරන්න ගත්තා. ඔහුට හදිසියේ හරි මේ සටහන ඇහැ ගැටුණොත් ඔහුට මම කිව යුතුයි ඔහු මාව ඉතාම අන්ධකාර ගොහොරුවකින් ගොඩට ඇදලා ගත්තා කියලා.

ඊළඟට මම විදේශගත වෙනවා. මිනිහෙක්ගේ කැත ලස්සන උස මහත බර හමේ පාට කියන කාරණා වලින් මිනිහෙක්ව ජජ් කිරීම, එවැනි කාරණා සම්බන්ධව තමන්ගේ අදහස් පළ කිරීම, එවැනි කාරණා වලින් කෙනෙක්ගේ මූණට දමා ගැසීම වගේ දේවල් දියුණු ලෝකයේ සළකන්නේ නින්දිත අපරාධ ලෙස බව මට දැනගන්න ලැබෙනවා.

ඒ වගේම මට මුණ ගැසුණ කිසිම විදේශිකයෙක්ට මගේ පෙනුම තඹ දොයිතුවක ප්‍රශ්නයක් උනේ නෑ. මම අධි ස්ථූල තරුණියක් වෙලා හිටිය කාලේ ඔවුන් මට දක්වපු ආදරයම මම සිහින් සිරුරක් දරන තරුණියක් වෙලා ඉන්න මේ කාලේත් ඔවුන් මට දක්වනවා. කොටින්ම මගේ පරණ විදේශිය යාළුවෝ මාව දැන් දැක්කාම "අනේ අමාවි ඔයා කෙට්ටු වෙලා" කියලවත් කියලා නෑ. මොකද එයාලාගේ ඇස් ඉස්සරහ මම කවදාවත් නිකම්ම නිකං මස් පරුවතයක් උනේ නෑ. ඔවුන් මාව දැක්කේ මනුස්සයෙක් විදිහට. තවමත් ඔවුන් මාව දකින්නේ ඒ මනුස්සයා විදිහටමයි.

ugly 1

අද වෙනකොට මම මගේ පෙනුම ගැන අතිශය තෘප්තිමත් සහ ඉතා ඉහළ ආත්ම විශ්වාසයකින් යුක්ත තරුණියක්. ඒ වගේම අද වෙනකොට මම ලස්සනට අඳින්න පළඳින්නේ, සුවඳ විළවුන් ආලේපන ගල්වන්නේ පවා මාව සතුටු කරන්නයි. මට තිබෙන ආදරේටයි. එහෙම නැතුව වෙන අයට ලස්සනට පේන්න ඕන හන්දා නෙමෙයි.

මම ඒ තරමට මගේ පෙනුම ගැන තෘප්තිමත් වෙන්නත්, පෙනුමට ආදරය කරන්නත් පටන් අරන්. ඒ වගේම සාම්ප්රදායික 'ලස්සන' ට අදාළ නිර්ණායක වලට දාලා පුද්ගලයෙක්ව මැනෙන අවස්ථාවක් ඇහැ ගැටුණොත් දෙවරක් නොහිතා මගේ අප්රසාදය පළ කිරීම පුරුද්දක් කරගෙන ඉන්න කෙනෙක් මම. මොකද ඒ වගේම සිදුවීම් වලින් මම මානසිකව විඳපු අපහසුතාවයන් මට හොඳහැටි මතක නිසා. අනික, "මම කැතයි අනේ" කියන වචන තුන මගේ ඉස්සරහදි කිසිම කෙනෙක්ට මම කියන්න ඉඩ හරින්නෙත් නෑ.

ඉතින් ඔයාලාත් කවදාහරි කාටහරි මූණට කියලා තියනවාද "ඔයා කැතයි අනේ, ඔයාගේ අරක ඇදයි අනේ, ඔයාට මේක පිහිටලා නෑ අනේ, ඔයාගේ අර පින්තූරේ ඔයා හෙන අවුල් අනේ" වගේ දේවල්?

එහෙම කියලා තියනවා නං අද ම, මේ මොහොතේම කල්පනා කරන්න පටන් ගන්න. මොකද ඒවැයින් පෙන්වන්නේ ඔයාලාගේ තියන අවංකකමවත්, සත්‍යගරුකබවවත් නෙමෙයි. ඒ කමෙන්ට්ස් වලින් පෙන්වන්නේ ඔයාලා අදාල පාර්ශව වලට කරලා තියන මානසික හානියේ දිග පළල!

 

අමාවි සිල්වා

නවතම ලිපි