නොබෙල් ත්‍යාගලාභී ජර්මානු ජාතික සම්භාව්‍ය ලේඛක හර්මන් හෙසර් විසින් රචිත “සිද්ධාර්ථ” මගේ ජීවාතාබෝධය පුළුල් කළ රසවත් නිර්මාණ කෘතියකි.
ලොව පුරා සම්භාවනාවට පත් එම නවකතාව රස විඳි මට ඒ සමාන වූ රසයක් ගෙන දුන් ස්වීය නිර්මාන කෘතියක් වූයේ, සයිමන් නවගත්තේගම ශූරීන් විසින් රචිත “ක්ෂීර සාගරය කැලඹිණ” නවකතාවයි. ඔහුගේ නිර්මාණ අතර, සංසාරරාණ්‍යයේ දඩයක්කාරයා, සාපේක්ෂණි, සංසාරරාණ්‍ය අසබඩ, සාගර ජලය මඳි හැඬුවා ඔබ සන්දා යන කෘතීන් ඒ හා සමාන වූ කෘතහස්ත නිර්මාණ පෙළකි.
සයිමන් නවගත්තේගම ශූරීන් සිංහල බසින් තොරව විදෙස් පතල භාෂාවකින් තම නිර්මාණ කාර්යයෙහි යෙදුණි නම්, ඔහු විශ්ව සම්භාවානාවට පත් ජාත්‍යන්තර සම්මානයන්ගෙන් පිදුම් ලත් විශ්ෂ්ඨතම ලේඛකයෙකු වනවා නොඅනුමානය යැයි මගේ සිතට නිතර එන හැඟුමකි. මම ඔහුගේ සමීපම සහෘද රසවතෙක් පමණට බැදුණේ එබැවිණි. ඔහු දැන් අප අතර නොමැත. මා හිතවත් මාධ්‍යවේදී මාලින්ද සෙනෙවිරත්න සයිමන් නවගත්තේගම ශුරීන්ගේ චිර ප්‍රසිද්ධ නවකතාවක් වූ “සංසාරරාණ්‍යෙය් දඩයක්කාරයා” පසු කළෙක ඉංග්‍රීසියට පරිවර්තනය කළේය. සයිමන් නවගත්තේගමයන් ලියූ සුද්දිලාගේ කතාව, සාගර ජලය මඳි හැඬුවා ඔබ සන්දා සහ සංසාරේ දඩයක්කාරයා යන නිර්මාණ පිළිවෙලින් ධර්මසිරි බණ්ඩාරනායක, සුමිත්‍රා පීරිස් සහ ප්‍රසන්න ජයකොඩි යන විශිෂ්ඨ සිනමාවේදීන් විසින් කලකට ඉහත සිනමාවට නැගීය.
මේ දිනවල ප්‍රදර්ශණයට ලක් වෙන, මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් අධ්‍යක්ෂණය කරන ලද “ක්ෂීර සාගරය කැලඹිණ” (KSK) සිනමා නිර්මාණයට වස්තු විෂය වී ඇත්තේ ද සයිමන් නවගත්තේගම විසින් ඒ නමින් ම රචිත විශිෂ්ඨ නවකතාවයි. දැන්, රසිකයන් කා තුළත් කුකුස විය හැක්කේ, සයිමන් නවගත්තේගමයන්ගේ එම සුවිශේෂ කෘතියට සුනිල් ආරියරත්නයන්ගෙන් සාධරණයක් ඉටුවීද? යන්නයි.
සිනමා විචාරකයෙක් නොවූව ද, සාමාන්‍ය රසිකයෙක් වූ මට ද, ඒ කුකුස සහිත හැඟීම පහළ වූවා පමණක් නොව කලක් සයිමන් නවගත්තේගමයන් සමඟ පරිවර්තන හා ප්‍රකාශන කාර්යයක නියළුණු මට, ඔහුගේ නිර්මාණ කාර්යයන් පිළිබඳ කළ රසවත් අල්ලාප සල්ලාපයන් රැසක් මතකයට නැගී ආවේය. ඒ, ඔහු විසින් පරිවර්තනය කරන ලද, Paulo Freire ගේ Pedagogy of the Oppressed නම් ලොවේ විමුක්තිකාමීන් හා අධ්‍යාපනවේදීන් අතර චිර ප්‍රසිද්ධ කෘතිය, “සංවාදය සංවිධානය සහ විප්ලවය” නමින් පරිවර්තනයට හා ප්‍රකාශයට පත් කළ 1997 වර්ෂයේ අගභාගයේ දී අප අතර සිදු වූ කතා බස් ඊට පාදක විය.
තමන් විසින් ලියූ “ක්ෂීර සාගරය කැලඹිණ” කෘතියට පාදක වූ මනෝභාවය හා නිර්මාණ පරිකල්පනය ගැන රසවත් කතා රැසක් එදා සයිමන් මා සමඟ බෙදා හදා ගත්ත ද ඒ සියල්ල කැටි කර කිව හැකි කතාවක් ද තිබේ. සයිමන් නවගත්තේගම, සාහිත්‍යකරුවෙකුට, නාට්‍යකරුවෙකුට නොදෙවෙනි වූ සංනිවේදන විශේෂඥයෙකුද වූ බැවින්, ඔහු කාලයක් පුරාම දිවංගත ආර්. ප්‍රේමදාස අගමැතිවරයාගේ උපදේශකත්වයෙන් ඇරඹි නාගරික දිළිඳු ජනයා පුනර්ජීවනය කෙරෙන ව්‍යාපෘතියක ප්‍රධාන නිලතලයක් දැරීමට අවස්ථාව ලද්දේ ය. කොමියුනිස්ට් පක්ෂයට අයත් “ඇත්ත” පත්‍රයේ කලක් කර්තෘ මණ්ඩලයේ සේවය කළ සයිමන් නවගත්තේගම, පසුව, එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක අගමැති ධූරය ද, ජනාධිපති ධූරය ද හෙබ වූ ප්‍රේමදාසයන්ගේ දේශපාලන ව්‍යාපෘතීන්ට සමීපව සේවය කිරීම කෙනෙකුට විමතිය දනවන කරුණක් වන නමුත්, දිවංගත ආර්. ප්‍රේමදාසයන් පිළිබඳ දන්නා බොහෝ දෙනෙකුට එය එසේ නොවීය.
ආර්. ප්‍රේමදාසයන් මෙරට ජනාධිපතිධූරයට පත් වූයේ, ඔහුගේ බසින් ම කිවහොත්, “දෙකොණ ගිණිගත් විලක්කුවක්” හා සමාන දේශපාලන- සමාජ- ආර්ථික පරිසරයකය. උතුරේ බෙදුම්වාදී කැරලිකාරීත්වයත්, ආණ්ඩු පාලනයට එරෙහිව දකුණේ දියත් වූ සන්නද්ධ කැරලිකාරිත්වයකුත් සහිත ඉතා භීම, මර්දනකාරී ප්‍රචණ්ඩත්වයකින් රට ම ඇලලී ගිය වකවානුවක, අභියෝගයට ලක් වූ රාජ්‍ය නායකයෙකුගේ උපාය-උපක්‍රම කෙරෙහිත් ඔහුගේ සසල හා ධෛර්යය සම්පන්න අධ්‍යාත්මයත්ට ළං වූ නිර්මාණකරුවෙක් ලෙසත් සයිමන් නවගත්තේගම, “ක්ෂීර සාගරය කැලඹිණ” රචනාකර ප්‍රකාශයට පත් කළේ, ජනාධිපති ප්‍රේමදාසයන් ත්‍රස්ත ප්‍රහාරයකින් ඝාතනයට පත්වීමෙන් අනතුරුව 1990 වර්ෂයේ දී ය. තම පාලන සමයේ දී ඉතා ගුප්ත, ගූඨ බවක් පෙන්නුම් කළ ද, කාලයක් පුරා ග්‍රාම සංවර්ධනය, ග්‍රාම රාජ්‍යය, ගම්උදාව යන එකී නොකී සංවර්ධන සංකල්ප යථාවක් කරගැනීමට ඇප කැප වූ මේ රාජ්‍ය නායකයාට සමීපව, ඔහුගේ අධ්‍යාත්මක බලපෑම් සහගත වී යැයි විශ්වාස කළ හැකි සයිමන් නවගත්තේගමයන්, “ක්ෂීර සාගරය කැලඹිණ” නිර්මාණයෙන් සිදුකළ පරිකල්පනීය නිර්මාණකරනය මේ කුඩා දිවයිනට පමණක් සීමා කළ නොහැකි, සර්වකාලීන නිර්මාණයකි.
“ක්ෂීර සාගරය කැලඹිණ” සිනමා කෘතිය නැරඹූ මට ඇති වූයේ සාධනීය මෙන්ම නිෂේධනීය වූ හැඟුම් දාමයකි. එය අසාර්ථක ආරම්භයක් හා සාර්ථක නිමාවක් සහිත සිනමා කෘතියකි. අධිරාජයාගේ ගූඨ, ගුප්ත බව හා කෲරභාවය ආරම්භයේදී ම එකී චරිතයෙන් ගිලිහී ගොස් තිබිණි. අධිරාජයාට එරෙහිව සිදුවන පත්‍යන්ත ජනයාගේ කැරැල්ලේ බලපෑම හා අධිරාජයාට එල්ලකර ඇති අධ්‍යාත්මික පීඩනය එහි දියාරූ වී තිබිණි. අධ්‍යාත්මයෙන් රෝගා තුර වූ වෙස්වලාගත් අධිරාජයාට හමුවෙන, ශාරීරකව මාරාන්තික මහාමාරිය වසංගතයට ගොදුරුව සිටි කුඩා අසරණ දැරිය යන දෙදෙනාගේ මානව සහසම්බන්ධය එකිනෙකාගේ සුවයට හේතූකාරක වූ බැඳීමක් ලෙස සිනමාරූපී කාව්‍ය බසට නැංවීමේ දී දුහුල් වී තිබිණි. සාමුහික සමාජ-දේශපාලන විමුක්තිකාමීත්වයේ අරමුණු තුළ ද, සාමුහික සංවර්ධන සංග්‍රාම තුළ ද තම පුද්ගලානු බද්ධ ඉලක්කයන් හඹා යෑම නොවැලක්විය මිනිස් ලක්ෂණයක් ලෙස ප්‍රබලව කියා පෑමට සිනමා සිත්තම සමත් වී තිබිණි.
රටක අර්බුද මැද යළි යළිත් ක්ෂීර සාගරය කැලඹී ඇති වකවානුවක මෙවන් සාරයන්ගෙන් යුත් සිනමා නිර්මානයක් එළි දැක්වීම ගැන මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ට මෙන්ම එහි නිශ්පාදක සරසවි ප්‍රකාශන අධිපතීන්ට ස්තූතිවන්ත විය යුතුය.
@ බන්දුල චන්ද්‍රසේකර
2023-6-3