SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සජිත් බොහෝ කලක සිට රාජ්‍ය බලය සහිත පක්ෂයක (UNP, SLFP හෝ SLPPය ආණ්ඩු බලය හොබවන කාලයක මෙන්)

ජනාධිපතිවරයෙකු සේ හැසිරෙමින් පාසල් ආක්‍රමණය කරමින් සිටී.

පාසල් වලදී ඔහුට ලැබෙන පිළිගැනීම (තූර්යවාදන කණ්ඩායම් විසින් කැඳවාගෙන යමින්) රටේ ජනාධිපතිවරයාට ලැබෙන පිලි ගැනීමට සමාන වේ. සජිත් රාජ්‍ය ආරක්ෂාව යටතේ පැමිණ ඍජුවම පාසල් තුල දේශපාලනය කරමින් සිටී. පාසල් තුල මේ ආකාරයේ දේශපාලන මෙහෙයුම් උපරිමයෙන් සිදු කරනු ලැබූයේ ජේ.ආර්. ප්‍රේමදාස සමයන් තුලදීය.

 

සජිත් විසින් පාසල් තුල දේශපාලන මෙහෙයුම් සිදු කිරීම සඳහා දඩමීමා කරගනුයේ බස් රථ, "සුහුරු පන්ති කාමර", පරිඝනක වැනි ප්‍රදානය කිරීම්ය. සජිත්ට මෙසේ කල හැකි නම් රටේ ඕනෑම පුරවැසියෙකු හට ද මෙවැනි පරිත්‍යාග සිදු කරමින් පාසල් තුලට ගොස් තම දේශපාලන අදහස් දැක්වීම් සිදු කිරීමේ හැකියාව තිබිය යුතුය.

 

සජිත් මෙවැනි ප්‍රදානයන් සිදු කරනුයේ ව්‍යාපාරික ප්‍රජාවගේ සම්මාදම තුලිනි. ඉන් පෙනී යන්නේ සජිත් පිටුපස විශාල ව්‍යාපාරික ප්‍රජාවක් සිටින බවය. රනිල්ට ජනාධිපතිවරයාව සිටියදී පවා මෙවැන්නක් කල නොහැකිව සිටී හෝ කිරීමට උනන්දුවක් නොමැත. රනිල් ජනාධිපතිවරණයට පැමිණෙන්නේ නම් ඔහු කිසි විටකත් සජිත් හට මෙවැනි හැසිරීමකට ඉඩ නොතබනු ඇත. සජිත්ගේ මෙම ක්‍රියාවට මාලිමාවෙන් ද විරෝධයක් නොපැමිණේ. එක්කෝ ඔවුන් ඊට විරුද්ධ විය හැකි බව නොදනී නැති නම් ඔවුන්ට ඉන් සිදු වන හානිය නොපෙනේ.

 

පාසල්වල විදුහල්පතිවරුන් හෝ පතිවරියන් වන්නේ ගුරුවරුන් අතරින් ඉස්මතුවන උන්නතිකාමී බලාපොරොත්තු ඇති අයයි. එවැනි අය කොහොමටත් කැමති වැන්නේ අනුර වැන්නන්ට නොව සජිත් වැන්නන් හටය. ඒ ප්‍රධාන වශයෙන්ම කෙසේ හෝ වඩා උසස් පාසලක් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන්, බලය හිමි වන දේශපාලන පක්ෂයේ අනුග්‍රහයෙන් තම පුද්ගලික කටයුතු කරගැනීමේ හැකියාව අත්කරගැනීම වැනි හේතු නිසාවෙනි. මෙම තත්වය තුල ගුරුවරුන් හට, පාසල් සිසුනට සහ දෙමාපියන් හට සජිත් ප්‍රේමදාස හැඟවුම්කරණය වන්නේ මාලිමාවේ දේශපාලන නායකත්වයට වඩා වෙනස් ලෙස ප්‍රභූ අයිකොනයක් (iconic) ලෙසය. එනම් අවිඥානය පහුරු ගෑවෙන ස්ථානය මෙයයි. මැතිවරණ දිනයේදී ඡන්දය ප්‍රකාශ වීමේ දී, ඡන්දය ප්‍රකාශ කිරීම නම් "සවිඥානික ක්‍රියාව" පිටුපස සිට අවිඥානය බොහෝ දෙනෙකුට අදාලව එසේ වුවහොත් සජිත්ට අත්වන වාසිය ඉතා ඉහලය.

 

පසුගිය මාස වල සජිත්ගේ හැසිරීම තුල මේ තත්වයේ වර්ධනයක් දැකිය හැක. ජවිපෙ ප්‍රධානීන්ගේ අවධානය යොමුව ඇත්තේ සජිත් ගොන් කතා කියමින් යන බවත්, එසේ ගොන් කතා කීම තමන් හට වාසිදායක බවත්, අනුර සමග විවාදය මගහැරීම "ජනතාව" තුලින් ඔහුව ප්‍රතික්ෂේප වීමට හේතු වන බවත් වැනි මිනිස් සබුද්ධිකත්වය පිලිබඳවය.

 

නමුත් ජවිපෙ ප්‍රධානීන් අවබෝධ කොට නොගන්නේ භාණ්ඩ සහ සේවා විකිණීම සඳහා නිපදවෙන වෙළඳ දැන්වීම් යනු තමන් එම භාණ්ඩය මිලදී ගැනීම සඳහා පොළඹවා ගැනීම වෙනුවෙන්ම නිපදවෙන ඒවා බව මිනිසුන් දන්නා බවත්, නමුත් එම මිනිසුන්ම වෙළඳපොලේ දී එම භාණ්ඩ සහ සේවා මිලදී ගැනීමට පෙළෙඹෙන්නේ ද එම වෙළඳ දැන්වීම් වල ඇති සාර්ථකත්වය තුල බවත්ය. එනම්, තරඟකාරී ලෙස භාණ්ඩ සහ සේවා විකිණීමේ දී සාර්ථක වෙළඳ දැන්වීම්කරණය යනු සමාන අකාරයේ අනෙකුත් භාණ්ඩ අතරින් තම සමාගමේ භාණ්ඩය මිලදී ගැනීම සඳහා වන "පුරවැසියන්ගේ" අවිඥානික පෙළඹවීම ඇති කිරීමට සමත් වෙළඳ දැන්වීම්ය.

 

එසේ පෙළඹෙන්නේම වෙළඳ දැන්වීම ප්‍රචාරය වීමේදී, එසේ එම වෙළඳ දැන්වීම ප්‍රචාරය කරනුයේ සහ ඒ ආකාරයෙන් නිපදවා තිබෙනුයේ තමන් භාණ්ඩය මිලදී ගැනීම සඳහා පොළඹවා ගැනීමට බව "දන්නා පුරවසියාම" වේ. මෙය සජිත්ට අදාලව පවසන්නේ නම්, සජිත් පාසල් වලට ප්‍රදාන සිදු කරමින් රට වටේ ඇවිදිනුයේ ජනාධිපතිවරයා වීමට බව මිනිසුන් දනී. එසේම ඔහුගේ මමන්කාරි මෝඩ කතා පිළිබඳව ද නොදන්නවා නොවේ. නමුත් වැදගත් වන්නේ එම දැනුම තිබියදීම ඔහු වෙත අවිඥානික බැඳීමක් ඇතිවන ස්ථානයයි. එය හරියටම සමාන වන්නේ තමන් භාණ්ඩය මිලදී ගැනීමේදී (සවිඥානික ක්‍රියාව) එය මෙහෙයවෙන අවිඥානික ස්ථානයටය ("අවිඥානය ව්‍යුහගතව ඇත්තේ භාෂාවක් ලෙසය").

 

ජනාධිපතිවරණය කල්දැමිය යුතු බවත්, එසේ නොමැති නම් මේ ජනාධිපතිවරයාම පත්කොට ගත යුතු බවත්, මේ දිනවල UNPය විසින් මාධ්‍ය හමු තියා දිගින් දිගටම පවසමින් සිටී. එම ප්‍රකාශ විමසා බැලීමේදී පෙනී යන්නේ ඒවා ජනාධිපතිවරණයෙන් පසු අනාගතය වෙනුවෙන් කරන ප්‍රකාශ මිස ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරමින් කරන ප්‍රකාශ ලෙස නොවේ. රනිල්ට දැනට ඇති එකම තුරුම්පුව වන්නේ ජනාධිපතිවරණයට පෙර මහා මැතිවරණය පැවැත්වීම පමණි.

 

කෙසේ වෙතත් රනිල් හට තව එක් සැලසුමක් ඉතිරිව ඇත. ඒ සජිත් හට UNPයේ සහාය පල කරීමයි. එනම්, රනිල් විසින් ඍජුව සහාය පළකිරීමක් ලෙස නොව UNPයේ පිරිසක් සජිත් වෙත යවා රනිල් ස්වාධීන වන බව ප්‍රකාශ කිරීමයි. එසේ සිදු කොට ව්‍යාපාරික ප්‍රජාවගේ සහාය ද ලබා දී සජිත් ජනාධිපතිවරයා බවට පත්කරගැනීමයි.

 

එය සමාන වන්නේ 1988 වසරේ රනිල්ගේ මාමා වන ජේ.ආර්. මුහුණ දුන් තත්වයටය. ජේ.ආර්. විසින් ප්‍රේමදාස හට ජනාධිපති අපේක්ෂකතත්වය ලබා දෙනුයේ වෙන කල හැකි දෙයක් නොවූ තැනය. ඒ ඉතා අකමැත්තෙනි. එසේ කොට වසර තුනක් ඇවෑමෙන් ප්‍රේමදාස පන්නා දැමීමට ජේ.ආර්.ගේ ගෝලයින් වන ලලිත්, ගාමිණි, ප්‍රේමචන්ද්‍ර වැන්නන්ගේ ප්‍රධානත්වයෙන් කුමන්ත්‍රණයක් දියත් කෙරෙනි. නමුත් එය අසාර්ථක විය. එකල රනිල් යනු ද එකී කුමන්ත්‍රණයේ සාමාජිකයෙකු වුව ද ඔහුට UNPය තුලම රැඳී සිටීමට උපදෙස් ලැබී තිබුනේ කුමන්ත්‍රණය අසාර්ථක වුවහොත් තම නියෝජිතයෙකු UNPය තුල බලය වෙනුවෙන් සිටිය යුතු බැවිනි. එම කුමන්ත්‍රණය අසාර්ථක වුව ද දෙවන සැලසුම සාර්ථක වී UNP බලය නැවත ජේ.ආර්. උරුමය යටතට පත්විය.

 

මෙවර රනිල් හට ඉතිරිව ඇත්තේ ද එම විසඳුමමය. එනම් සජිත් ජනාධිපතිවරයා බවට පත්කොට වසර දෙකක් පමණ යන විට හර්ෂ, ඉරාන් සහ කබීර් හරහා සජබ තුලින්ම සජිත්ගේ වැඩපිළිවෙලට පහර දීම ආරම්භ කොට සජිත් ගෝඨාභයට නොදෙවෙනි බව පවසමින් විශ්වාසභංගයක් ගෙනවිත් සජිත් පලවා හැර රනිල් නැවත ජනාධිපතිවරයා බවට පත්කොට ගැනීමයි. එය සිදු කිරීම අපහසු කටයුත්තක් නොවනු ඇත්තේ සජබේ සිටින බහුතර මන්ත්‍රීවරුන් හට ප්‍රශ්නය වී ඇත්තේ රනිල්ට මැතිවරණ ජයග්‍රහණය කිරීමට නොහැකි වීම මිස ප්‍රතිපත්තිමය ප්‍රශ්නයක් නොවන බැවිනි.

 

ඒ සඳහා අවශ්‍ය ආර්ථික පදනම රනිල් මේ වන විට සකස් කරමින් ඇත. ඔහු 2015දී මෙන්ම ණය ගෙවීම 2027 දක්වා කල් දමාගෙන ඇත. ජනාධිපතිවරණයට පෙර ඔහු තවත් ණය ගැනීමට ද බලාපොරොත්තු වන බව පවසයි. ණය ලබාගෙන බඩු මිල අඩු කිරීම, පඩි වැඩි කිරීම, වාහන ගෙන්වීමට අවසර දීම වැනි පියවර වෙත ඔහු ගමන් කරනු ඇත. එය UNPයේ සහාය සමගින් සජිත්ගේ ජයග්‍රහණයට ද හේතු විය හැකි අතර සජිත්ගේ අනාගත විනාශය වෙනුවෙන් ද හේතු වනු ඇත. මේ දිනවල දිග ඇදෙන ගොඩහේවා හර්ෂ ආර්ථික ප්‍රතිපත්තිමය වෙනස තුලින් ද පෙන්නුම් කරනුයේ සජිත් ජනාධිපති වූවාට පසුව හර්ෂ ද සිල්වා ලලිත් ඇතුලත්මුදලි බවට පත්වීමට නියමිත බවය.

 

රනිල් විසින් සියල්ල සිදුකරනුයේ ජේ.ආර්වාදී UNPය නැවත ගොඩනැගීම සඳහාය. රටට කුමන තත්වයක් අත්වුව ද UNPය යලි ගොඩනොනගා රනිල් ලෙහෙසියෙන් නික්ම නොයනු ඇත. UNPයේ අනාගත නායකත්වය වන්නේ රුවන්, රවී, හර්ෂ, ඉරාන්, කබීර් වැනි කිහිප දෙනෙකි.

 

මේ පිළිබඳව වැඩි දුර කියවීම සඳහා මේ සබැඳියට යන්න: http://www.spartacus.lk/%e0%b6%b8%e0%b7%99%e0%b6%ad.../2022/

 (පින්තූරය - අංජන ඉන්ද්‍රජිත්ගේ කාටූනයකිනි)

 

@ස්පාර්ටකස් ලිපි