SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ත්‍රස්තවාදය හා සම්බන්ධ ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වූ බවට එල්ලවූ චෝදනා හේතුවෙන් අසාදු ලේඛනගත කර සිටි රමේෂ් හෙවත්

නික්ලාපිල්ලෛ ඇන්තනි එමිල් ලක්ෂ්මි කාන්තන් සහ මුරුගේසු ශ්‍රී සන්මුගරාජා නමැති තවත් අයෙකු එම ලැයිස්තුවෙන් ඉවත් කරමින් ශ්‍රී ලංකා විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත්කර තිබේ.

 

එම ගැසට් පත්‍රය ඔක්තෝබර් 23 දාතමින් නිකුත්කර ඇති අතර, නිසි බලධරයා වශයෙන් ඊට අත්සන් තබා තිබුණේ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරල් (විශ්‍රාමික) කමල් ගුණරත්න ය.

 

1968 අංක 45 දරන එක්සත් ජාතීන්ගේ පනත අනුව කරන ලද අසාදු ලේඛන ලැයිස්තු සංශෝධනයට අදාළව මෙම ක්‍රියාමාර්ගය ගත් බව අදාළ ගැසට් පත්‍රයේ සඳහන් කර ඇත.

2014 වසරේ පෙබරවාරි මස 25 වන දා එමිල් කාන්තන් ත්‍රස්තවාදී අසාදු ලේඛනයට ඇතුළත් කෙරුණු අතර, ඊට අදාළ 1854/41 අංකය දරන ගැසට් පත්‍රය 2014 මාර්තු 21 වන දින නිකුත් කෙරිණි.

 

 

එමිල් කාන්තන් යනු කවුද?

 

 

1976 දෙසැම්බර් 19 වන දා උපත ලැබූ එමිල් කාන්තන් වවුනියාවේ චෙප්පම්කුලම් ප්‍රදේශයේ පදිංචිව සිටි බව, ඔහු අසාදු ලේඛනයෙන් ඉවත් කළ බවට දැනුම් දෙන ගැසට් නිවේදනයේ දැක්වේ.

ඔහුගේ පුරවැසිභාවය 'ලැබී නොමැත' යනුවෙන් සටහන් කර තිබුණ ද, ශ්‍රී ලංකාවේ විදෙස් ගමන් බලපත්‍රයක මෙන් N අක්ෂරයෙන් ආරම්භ වන අංකයක් සහිත විදෙස් ගමන් බලපත්‍රයක් ඔහුට හිමි ය.

ඔහු අසාදු ලේඛනගත කිරීමට 'ත්‍රස්තවාදය හා සම්බන්ධ ක්‍රියාකාරකම්' හේතු වී ඇත.

එමිල් කාන්තන් යනු අවස්ථා ගණනාවක දී මාධ්‍ය ඔස්සේ මෙන් ම සමාජ මාධ්‍ය ඔස්සේ ද කරළියට පැමිණි 2010 වසරේ දී ජාත්‍යන්තර පොලිසිය විසින් රතු වරෙන්තු නිකුත් කරන ලද සැකකරුවෙකි.

'එල්.ටී.ටී.ඊ. සංවිධානයේ උතුරු නැගෙනහිර මූල්‍ය අංශ ප්‍රධානියා' ලෙස එමිල් කාන්තන් කටයුතු කළ බවට මාධ්‍ය වාර්තාවල සඳහන් වී තිබේ.

එමෙන් ම, අපරාධ ක්‍රියාවලට සහාය වීම්, මූල්‍ය වංචා ආදී නීතිවිරෝධී ක්‍රියා කිහිපයක් සම්බන්ධයෙන් ද ඔහු චෝදනා ලබා ඇත.

 

කළුතර බන්ධනාගාරය තුළ දී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්දාට පහර දී බරපතළ තුවාල සිදුකර මරා දැමීමට තැත් කළ බවට ඔහු ඇතුළු තවත් 16 දෙනෙකුට එරෙහිව නඩු පවරා තිබිණි.

එම නඩුවෙන් ඔහු ඇතුළු විත්තිකරුවන් 10 දෙනෙකු නිදහස් කිරීමට 2017 වසරේ ඔක්තෝබර් මස 30 වන දා කොළඹ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ නියෝග කළේ ය.

 

සුනාමියෙන් හා යුද්ධයෙන් පීඩාවට පත් උතුරු නැගෙනහිර ජනතාවට නිවාස ඉදිකර දීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් ‘රාඩා’ ආයතනය වෙත නිකුත් කළ රුපියල් කෝටි 17කට ආසන්න මුදලක් අවභාවිතා කළ බවට විභාග වූ නඩුවේ එමිල් කාන්තන් ද විත්තිකරුවෙකු විය.

 

පසුව, 2020 වසරේ ජූලි මාසයේ දී කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි විසින් ඔහු නිදහස් කරන ලදී.

ආරක්ෂක අමාත්‍යංශය පවසන පරිදි එමිල් කාන්තන් මේ වන විට ශ්‍රී ලංකාවේ වාසය නොකරයි.

 

 

Emil 2

 

DEPARTMENT OF GOVERNMENT PRINTING

 

 

 

එමිල් කාන්තන් සහ ටිරාන් අලස්

 

 

එමිල් කාන්තන් සහ වත්මන් මහජන ආරක්ෂක අමාත්‍යධූරය දරන ටිරාන් අලස් අතර සම්බන්ධයක් පිළිබඳව වාර්තා වන්නේ, සුනාමියෙන් හා යුද්ධයෙන් පීඩාවට පත්වී සිටි උතුරු නැගෙනහිර ජනතාවට නිවාස ඉදිකර දීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් ‘රාඩා’ ආයතනය වෙත නිකුත් කළ රුපියල් කෝටි 17කට ආසන්න මුදලකින් කිසිදු නිවසක් ඉදිනොකර එම මුදල් අවභාවිත කළ බවට විභාග වූ නඩුව හරහා ය.

 

රාඩා ආයතනයේ හිටපු සභාපති ටිරාන් අලස්, එමිල් කාන්තන්, රාඩා ආයතනයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී රොහාන් සාලිය වික්‍රමසූරිය සහ එහි ගණකාධිකාරීවරයෙකු වන ජයන්ත ඩයස් සමරසිංහ ඇතුළු පිරිසක් මෙම නඩුවේ විත්තිකරුවන් විය.

සුනාමියෙන් හා යුද්ධයෙන් පීඩාවට පත්ව සිටි උතුරු නැගෙනහිර ජනතාවට 'ජය ලංකා' ව්‍යාපෘතිය යටතේ ත්‍රිකුණාමලය හා මඩකලපුව ප්‍රදේශවලින් නිවාස 1600ක් ඉදිකර දීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් ‘රාඩා’ ආයතනය වෙත නිකුත් කළ රුපියල් මිලියන 167ක මුදලක් සාපරාධී ලෙස සාවද්‍ය පරිහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම, එම කුමන්ත්‍රණයට අනුව අදාළ මුදල් සාපරාධී ලෙස සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු චෝදනා මත එම විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා තිබිණි.

 

කෙසේ වෙතත්, ‘රාඩා’ ආයතනයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී චන්ද්‍රකාන්ති ප්‍රනාන්දු සාක්කි දෙමින්, මෙම නඩුවේ මුල් ලේඛන කිසිදු අවස්ථාවක දැක නොතිබූ බවත්, දැක ඇත්තේ ඡායා පිටපත් පමණක් බවත් පැවසූ හෙයින් එම නඩුව තවදුරටත් පවත්වාගෙන නොයන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරීස් අධිකරණයට කළ දැනුම්දීමක් පිළිගත් විනිසුරුවරයා විත්තිකරුවන් සියලු දෙනාම නිදහස් කිරීමට නියම කළේ ය.

 

මේ අතර, 2016 වසරේ ජූලි මාසයේ දී 'ටැමිල් මිරර්' පුවත්පතේ කර්තෘවරයා සමග පැවති විශේෂ සාකච්ඡාවක දී එමිල් කාන්තන් ඔහුට රාඩා ආයතනය (ප්‍රතිසංස්කරණ හා සංවර්ධන ඒජන්සිය) සමග කිසිදු සම්බන්ධයක් නොමැති බවත්, රාඩා ආයතනයේ සභාපති ටිරාන් අලස් හා සමීප ව්‍යාපාරික සබඳතා පැවැත්වීම හේතුවෙන් එම ආයතනයේ නම හා ඔහුගේ නම එක්කර වාර්තා පළවන බවත් පවසා තිබුණේ ය.

 

රාඩා ආයතනය පැවැත්වූ කිසිදු සාකච්ඡාවකට ඔහු එක් නොවූ නමුත්, ඔහු හා ටිරාන් අලස් හමුවූ විට ඔහු තමන් සමග රාඩා ආයතනය පිළිබඳව සාකච්ඡා කරන බව ද එමිල් කාන්තන් එහිදී පවසා තිබිණි.

 

 

එමිල් කාන්තන් සහ නාමල් රාජපක්ෂ

 

emil 3

 

මහින්ද රාජපක්ෂගේ පුත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ එමිල් කාන්තන් සමග සබඳතා පැවැත්වූ බවට ද සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ අදහස් පළ විය.

ඔවුන් දෙදෙනා එකට සිටින ඡායාරූපයක් සමාජ මාධ්‍ය හරහා සංසරණය වීමත් සමග එම අදහස් පළවිය.

 

මේ අතර, නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා, එමිල් කාන්තන් සමග උතුරු නැගෙනහිර ඡන්ද වර්ජනය කිරීම සඳහා ඩුබායිහි දී සාකච්ඡාවක් පැවැත්වූ බවට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක්‌ නැගූ චෝදනා සම්බන්ධයෙන් නීතීඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත 2019 ඔක්තෝබර් 30 වන දා මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළේ ය.

 

 

ආරක්ෂක අමාත්‍යංශයේ ප්‍රතිචාරය

 

 

එමිල් කාන්තන් 'ත්‍රස්තවාදී අසාදු ලේඛනයෙන්' ඉවත් කිරීමට හේතු වූ කරුණු සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය කළ විමසීමක දී, ත්‍රස්තවාදී අසාදු ලේඛනයෙන් ඉවත් කිරීම සඳහා නිශ්චිත ක්‍රමවේදයක් අනුගමනය කෙරෙන බව ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ කර්නල් නලින් හේරත් ප්‍රකාශ කළේ ය.

 

"සාමාන්‍යයෙන් අසාදු ලේඛනයේ සිටින පුද්ගලයින්ගේ ක්‍රියාකාරකම් සහ ඔවුන්ට එරෙහි චෝදනා සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් විමසා බැලීමක් සිදුවෙනවා. ඊට අමතරව ත්‍රස්ත ක්‍රියා සම්බන්ධ චෝදනා තියෙනවා නම් පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ විමර්ශනයකින් ඔහුව නිදහස් කළ යුතු යි. ඒ වගේ ම ඔහු අසාදු ලේඛනයෙන් ඉවත් කළත් දිගට ම ඔහු සම්බන්ධයෙන් අපි නිරීක්ෂණය කරනවා."

"සන්මුගරාජා කියන කෙනා දැන් ජීවතුන් අතර නෑ,"යි ද ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍ය අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේ ය.

 

එසේම, ත්‍රස්තවාදී චෝදනා මත අසාදු ලේඛනගත කර සිටි හෙයින් එමිල් කාන්තන් සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් විමර්ශනයක් සිදුවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පැවසීය.

 

@ BBC