SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

(අවුරුදු 75ක ශාපයට පෙර සිරිලකේ තිබුණේ දෙව්ලොව ද?)

හිතවත් පුරවැසියනි, ගම් වැසියනි, මූකලන් වැසියනි,

 මේ දවස්වල රටේ ප‍්‍රධාන පක්ෂ දෙක හෝ ඒවායේ කැබලි ගැලවී ගොස් හැදුනු පක්ෂ කෑලි හැරුණුකොට තුන්වෙනි ආගමනයකට පෙරුම්පුරන අනෙක් බලවේග බහුතරයක් මැතිවරණ වේදිකාවල කටේ තොලේ නොගෑවී කියන දෙයක් තමයි 75 වසරක දේශපාලනාර්-ථික සාපයක් ගැන. ඒ කියන්නේ 1948 සිට මේ දක්වා පැවති සාපයක් ගැන.

        

       මනුස්ස කටින් කියවෙන හැමදේක ම නොකියවෙන දෙයක් ද තියෙන අතර, කියන්නා හරයෙන් ම ඒ නොකියවෙන දේටත් වගකීමෙන් බැඳී සිටී. ඉතිහාසයෙන් කොටසක් හලා (කතා නොකොට) කොටසක් සම්බන්ධයෙන් පමණක් අරුත් නිරූපනය කිරීමට යාමේ දී, ජීවිත යථාවෙන් කොටසක් පමණක් කතා බහට හසුවී අනෙක් කොටස කතා බහෙන් ඉවත් වී යටපත් කෙරී නිහඬතාවට පත්වී ගොළු වේ. නොඑසේ නම් නොපෙනී යයි. නමුත් එයින් කතාවට හසු නොවූ කොටස ක‍්‍රියාත්මක වී නොපවතිනවා යන්නක් එයින් අදහස් නොවේ. එනම් යම් මොහොතක අනපේක්ෂිතව මතු වී යටපත් වන දෙය ද නොපෙනී ක‍්‍රීයාත්මක වෙමින් පවතී. ඇත්තටම අප යටපත් කරන දෙය නොපෙනී යනවා ම නොවේ මේ. අප යටපත් කරන දෙය කෙරෙහි අප ම අන්ධ වී යාමකුයි යි මේ. 

      

        ඒ කියන්නේ, 75 වසරක සාපයක් තිබුණාය කියනකොට ම, එහි නොකියවෙන දේ ලෙස පවතින්නේ,  75ස් වසරකට කලින් (අඩුම තරමින් සාපේක්ෂව අරුතින්, 1948 පෙර) රටේ ආශීර්වාදයක් තිබුණාය යන්නකි. මේකෙන් අසන්නාව සේ ම කියන්නාව ද අවිඥානික අඩක් වූ උගුලකට හසුකර ගැනේ.

       

        නාගරික නොවූ ග‍්‍රාම්‍ය සංස්කෘතික පදනමකින් ජාතික දේශපාලනයට අවතීර්ණව ඇති ජවිපෙ සමන්ත විද්‍යාරතන සහ නලින් හේවගේ යන දෙදෙනා ද එබඳු ”75 වසරක සාපය” ගැන මේ දවස්වල නිතර  ම කියන්නන් දෙදෙනෙකි. මේ කියවන්නන් දෙදෙනා වේගයෙන් ලංකාවේ ඉංග‍්‍රීසි නොදත් ගැමි සිංහල වරිග ප‍්‍රජා ආකර්ශණය කරගනිමින් වේදිකාවල දිගකතා පවත්වාගෙන යන අතර, ජවිපෙ නායක අනුර කුමාර ඒ සිංහල ගැමි කතිකාවට වෙනස් සිතුම් මානයන්වල සිටින දෙමල සහ මුස්ලිම් ගැමි ප‍්‍රජා නායකයින් වෙත ද වෙනම ම කතාවක් කියමින් යයි. ඊට සමාන්තරව අනුර මේ කතිකා සියල්ල ගැටගසා තමන් තුළ සමබර කරගනිමින් සමස්තයේ අරුත තමන්ගේ කතාවලින්න් කියන්නා බවට පත්වී, අවිඥානිකව අතීත ජේ. ආර්. ජයවර්ධන පන්නයේ කතිකා-ව්‍යූහ සම්බන්ධීකාරකයෙක් වන්නට යත්න දරයි.

      

වරක් එජාපය ශක්තිමත්ව පැවති සමයක, විජමු ලොකුබණ්ඩාර නැමති අර්ධ-එජාපීය සිංහල ඔන්ලි බණ්ඩාරනායකවාදී හෙල-හවුල්වාදියා  තනි ජාතියක් විසින් අයිතිවාසිකම් කියන භාෂාවක් වන සිංහළ භාෂාවේ ගුණ පමණක් එක්සත් ජාතික පක්ෂය ඇතුළේ සහ පිටත දී දිගින් දිගට ම වනමින් දොඩමින් යනවා දුටු එකල එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රගතිශීලී සාමාජිකයින්, විජමු දේශපාලනයේ දී ”සිංහල භාෂාව ගැන  ඕනවට වඩා පාරම්බාන එක තොන්ඩමන් සහ ඒ. සී. එස් හමීඞ් හෝ නයින මරික්කාර් වැනි එජාපයට සම්බන්ධ සිංහල නොවන පාක්ෂිතකයින්ට හොඳ මදි” ය කියා කසුකුසුවක් ඇති කළේ ය.

       

හෙල හවුල් ආලයෙන් විකසිත වී සිටි විජමුට මේ නිසා නැට්ටට ම හිත රිදුනේ ය. ඔහු වහා ගොස් ජේ. ආර්. ජයවර්ධන හමුවී ”සර්, මං සිංහල භාෂාව ගැන කතාකරන ඒක නවත්තන්නද මේ කියන්නේ?” කියා ඇසූ විට ජේ. ආර්. සන්සුන්ව ”ඇයි මොකක්ද ලොකුබණ්ඩාර ප‍්‍රශ්නෙ?” කියා අසා ඇත. ”නෑ සර් මේ පක්ෂෙ සමහර අය කියනව, මං සිංහල භාෂාව ගැන කතා කරනව වැඩියි, ඒ හින්ද තොන්ඩමන්ට, හමීඞ් මහත්තයට හිත රිදෙයි, කියල, ඒ හින්ද මගේ හිතටත් හරි නෑ සර්!! ...” යැයි විජමු පිළිතුරු දුන් පසුව, ජේ. ආර්. ආපස්සට පවසා ඇත්තේ, ”නෑ, නෑ ලොකුබණ්ඩාර ලොකු බණ්ඩාරගෙ කතා කරගෙන යන්න, තොන්ඩමන්ල, හමීඞ්ල එයාලගෙ කතා කරගෙන ගියාවෙ, එතකොට තමයි මට මේ ඔක්කොම කතා බැලන්ස් කරල පාලනේ ගෙනියන්න ලේසි වෙන්නෙ,” කියල යි.

 

ජේ. ආර්. ගේ මේ ව්‍යූහ-විද්‍යාත්මක උත්තරයෙන් තවත් භයානක දෙයක් නොකියා කියවේ. එනම්, එජාපයේ පූර්-ණ ජානයක් නොමැති විජමු ලොකුබණ්ඩාරයා ජේ. ආර් ඉන්නකම් එජාපය තුළ ව්‍යුහගතව සිටින නමුත්, ජෙ.ආර් නැති කාලෙක මේ විජෙමූ ම එජාපයේ හතුරු පාර්ශවයක් වෙත වුණත් මාරුවිය හැකි හැකි හදිසි අනතුරක් පැවතීම යි. ජවිපෙ, චම්පික, සරත් ෆොන්සේකා, සෝනියා ගාන්ධි සහ ගෝලීය දේශපාලනයේ නව තත්වයන් යන ප‍්‍රධාන සාධක නිසා ලක් ආණ්ඩුව එල්ටීටිය පරදා යුද්ධය දිනාගත් පසු යුද්ධයේ දිනූයේ මහින්ද ඇතුළු රාජපක්ෂ පවුල නිසා කියන පොදු-ජන-වරිග මතයට ම අහුවී ගිය විජෙමූ, මහින්ද රාජපක්ෂ රජෙක් වන් වීරයෙක්ය පවසා මැදමුලනේ පැත්තට සීරුවෙන් මාරු වුණි. එයින් බණ්ඩාරනායකවාදී මතයෙහි තිබූ ජාතිවාදී ස්වභාවය දශක ගණනාවකට පසුත් අර්ධ-යූඑන්පීකාරයෙකු හරහා හෙළිදරව් වුණි. විජමුට සමාන්තරව හිටි අනෙක් අඩක්-යූඑන්පීකාර බණ්ඩාරනායකවාදියා වූ ආර්. ප්රේමදාස ජනපතිව සිටි කෙටි කාලය තුළ විජමුලා ඇතුළු හෙළ-හුවුල්කාරයෝ යූඇන්පිය තුළ බල්ටි ගැසුවේ ය.

 

මේ හෙළිදරව්ව කැඩපතක් කරගෙන අදටත් බණ්ඩාරනායකගේ සඟ-වෙද-ගුරු-ගොවි කම්කරු කියන නිර්ධනවාදී සේ පෙනෙන, ජනයා සුභසාධනයෙන් රවටන හොර සූත්තරය එළිපිට වමාරන සජිත් ප්රේමදාස කවුදැයි කියා නිවරදි හිත් ඇත්තෝ තේරුම් ගනිත්වා!!!           

 

හිතවත් පුරවැසියනි, ගම් වැසියනි, මූකලන් වැසියනි,

         මගේ කල්පනාවේ හැටියට ගෝඨාභයව බලයට පත්කළ 69 ලක්ෂයක් වූ ජනයාගේ සියයට 70කට අධික ප‍්‍රමාණයක් නියෝජය කරන ඒ ගැමියන්ගේ ඡන්ද දිනා ගැනීමට ජවිපෙන් සබුද්ධිකව ම මුදාහැර ඇත්තේ මේ සමන්ත විද්‍යාරතන සහ නලින් හේවගෙ දෙදෙනාව ය. මුවට වේගයෙන් වචන ගලා ඒම සහ භාෂාව ව්‍යක්තව, ආකර්ශණීයව මෙහෙයවීම අතින් ගත්කල මේ දෙදෙනා චතුර කතිකයන් වන නමුත් මූලික හැසිරීම් රටාවෙන් ම මේ දෙන්නා විජමු පන්නයේ හෙල හවුල් ජානයෙන් සිංහලය මෙහෙයවන හද්ද ගැමියන් ය.

        

සුද්දන්ගේ ඩිවයිඞ් ඇන් රූල් හෙවත් බෙදා පාලනය කිරීමේ ක‍්‍රමවේදය අනුව එක්සත් ජාතික පක්ෂයේ වූ බහුජාතික ජාතික පොදු මතයෙන් විජමු වැන්නන් ආම්බන් කරගත්තා වන අතර, පුද්ගලයින් සෘජුව පාලනය කරන නායකත්ව ගතියක් නැති කමින් රනිල්ට එය කරගත නොහැකි විය, රනිල් පවත්වාගෙන ගියේ ජාතිකවාදීන් සියල්ල පක්ෂයක් තුළ බැලන්ස් කරන ජේ. ආර්.වාදී  ප්රතිපත්තියක් නොවේ. එකක් රනිල්ට ජේ. ආර්. සේ පිටතට අධිකාරීත්වයක් දමන සංවිධායකයෙකුගේ නායකත්ව ගතිලක්ෂණ පිහිටා නැත. අනෙක ඔහු ජාතිකවාදීන් සම්බන්ධයෙන් අනුගමනය කළේ  පක්ෂ අභ්‍යනත්ර ප්රතිපත්තියක් නොව, පක්ෂයෙන් පරිභාහිර ප‍්‍රතිපත්තියකි.

   

එහිදී රනිල් පිහිටියේ ජාතිකවාදීන් සමඟ ඞීල් දමා ආම්බන් කරගන්නට හදන අතාර්-කික ප‍්‍රතිපත්තියක ය. එයින් ජාතිකවාදීන්  රනිල්ට ආම්බන් වෙනවා වෙනුවට රනිල්ව පාරීච්චි කිරීම සිදු විය. මෙලෙස රනිල්ව පාවිච්චි කළ වරිගවාදී ජාතිකවාදියෙකි මහින්ද රාජපක්ෂ. අධිකාරීත්වයක් දමා සංවිධානය වූ වත්මන් ගොල්ෆේස් අරගලය නොවන්නට රනිල්ට වරිග-ජාතිකවාදීන් වූ රාජපක්ෂලා ආම්බන් කරන්නට චාන්ස් එකක් එන්නේ නැත. ඔහු පාක්ෂිකයෙකුට හෝ එජාපයට පාක්ෂික කරගන්නට ඉන්න කෙනෙකුට කියන්නට උවමනා දේ මූණට කියා නතු කරගන්නා ජේ.ආර් ගේ පිළිවෙත අනුගමනය කලේ නැත. ඔහු සැමවිට ම විශ්වාසය තැබූයේ මූණට නොකියා නූල්සූත්තරෙන් පුද්ගලය පෞර්ශයන් නතු කර ගැනීම කෙරෙහිය. සිරි ලංකාව වැනි දීර්ඝ සිතීම් අවම සහ හැම දේ ම කෙටි පණ්වුඩ සේ කියන්නට ඉල්ලන නොගැඹුරු රටක ජනයාට සහ දේශපාලකයින් බහුතරනකට රනිල්ගේ මේ වක‍්‍ර පිළිවෙත නොතේරෙයි. ඒ නිසා ඔවුන් තමන්ව අන්දන්න එන රනිල්ව උපරිමයෙන් පාවිච්චි කරන්නට පෙළඹෙයි.

 

සමන්ත-නලින් දෙදෙනාව දැනට ආම්බන් වී ඇත්තේ ජවිපෙ පක්ෂ ව්‍යූහය තුළ නාමිකව හෝ පවතින දයලෙක්තික භෞතිකවාදී න්‍යාය ධර්මය නිසයි. නමුත් ජවිපෙ ආණ්ඩුවක් පිහිටුවා සංචාරක කර්-මාන්තය තුළ මධ්‍යසාරය හෝ ගණිකා කර්-මාන්තයට ලිහිල් ධනේෂ්වර ඉඩක් දෙන්නට අනුරට සිද්ධවෙන දවසක, මේ දෙදෙනා ඇතුළු ඔවුන් නියෝජනය කරන සිංහල ඔන්ලි වරිගයත් ජවිපෙත් අතර අභ්‍යන්තර සහ භාහිර ගැටුම් ඇති නොවී තියේවිද විජේවීර පියාණෙනි??    මන්ද  සාපේක්ෂව ගත්කල අනුර කුමාරත් මේ වන විට තරමක හෝ නාගරික ගති ලක්ෂණ වලට හුරුවෙමින් පවතින ගතිකයක් පෙනෙන්නට පවතින නිසයි එරහෙම ඇහුවෙ. මට අනුව එය සාධනීය ගතිකයකි.

         

බහුතරය දිනාගැනීමේ දේශපාලනික තලයේ දී, නූගත් පසුගාමී ගැමියන්ගෙන් චන්දය ලබා ගැනීමට උපායිකව පොහොට්ටුව ඉක්මවා යාම සඳහා මේ සමන්ත-නලින් දෙබෑය පොරපිටියට දැමීම තාවකාලිකව එක්තරා ආකාරයක සාර්ථක ක‍්‍රමවේදයක් විය හැකි නමුත්, දීර්ග කාලීනව ගත්කල එම දෙදෙනා සේම ඔවුන්ගේ කීමට චන්දය ලබා දෙන්නන්ගේ සංයුතික සමාජ හරය විසින් ජවිපෙයව 1956යේ සිංහල ඔන්ලි ගැමි වරිගවාදී ශ‍්‍රිලනිප මතවාදී උගුලට හසුවීමක් දක්වා යා හැකි අවදානමක් ද පවතී. පකෂයේ නායකයා වන අනුර කුමාර මුළුමනින් ම නාගරික සුබිමකින් පැමිණියෙක් වූවා නම්, තමන්ගේ නායකත්වය යටතේ පවතින පක්ෂ ව්‍යූහය අවිඥානිකව මෙසේ වරිගවාදයකට ගොදුරුවීම අවම කරගන්නට තිබුණි. මන්ද, කවුරු කොහොම කෙසේ කීවත්, යමෙකුගේ න්‍යායික දැනුමට වඩා එම කෙනා දේශපාලනයට පැමිණි පවුල් සහ සමාජ පරිසරයේ පදනම එකී කෙනාගේ භාවිතය කෙරෙහි බෙහෙවින් බලපාන සාධකයක් බව  ඕනෑ ම සමාජ විප්ලවීය පක්ෂයක කේඩර්වරුන් තැනීමේ දී පවා සැලකිල්ලට ගත යුතු තීරණාත්මක සාධකයක් වන නිසා ය.

 

ඒකනේ, නාගරික ඉහළ මධ්‍යම පංතික ට්‍රොට්ස්කි සහ ගැමි ගොවි පංතික ස්ටැලින් අතර ගැටුම් ඇතිවීමේ දී ”ඒ දෙන්නව කොහොමහරි සමගි කරන්න!” කියල ලෙඩ ඇඳේ ඉඳගෙනත් ලෙනින් කිව්වෙ. මොකද ඒක හුදු ට්‍රොට්ස්කි සහ ස්ටැලින් සමගි කිරීම යනු පුද්ගලයින් දෙදෙනෙකු සමගි කිරීමන් නොවේ. එය රුසියාව නැමති ලොව විශාලතම බිම් පෙදෙස තුළ නාගරික සහ ගැමි සමාජ ස්ථර දෙකක්, එකවර විප්ලවය පවත්වාගෙන යාම උදෙසා සමගි කරවා ගැනීමකි. නමුත් ලෙනින් මිය ගොස් වසර 70ක් පාමුල සෝවියට් සමූහාණ්ඩුව ඇමරිකා එක්සත් ජනපදය පාමුල කඩා ඇදගෙන වැටුණේ මේ සමගි කරවාගැනීම ගැලපෙන්නේ නැති ඉස්කුරුප්පු ඇණයක් ගැලපෙන්නේ නැති ඉස්කුරුප්පු සිදුරකට දානවා වගේ අසීරු කාර්යයක් වූ නිසාවෙනි. 

           

නාගරික උඩ පංතියක පරිසරයකින් පැමිණි ලෙනින් ගොවියා-නාගරිකයා එකවර දේශපාලනයට යොදා ගන්නා මේ උපාය ම  යම් අකාරයකින්  ක‍්‍රියාවට නංවා රුසියානු ඉතිහාසයට තාවකාලික විප්ලවයක් දිනාගත්ත ද, ලෙනින් මිය පරලො ව ගොස් පසුකලෙක එය කෙලවර වූයේ බොල්ෂෙවික් පක්ෂයට රතු හමුදාව හදාදුන් නාගරික උඩ පංතිකයෙක්, සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදියෙක් සහ ජාත්‍යන්තරවාදියෙක් වූ ලිියොන් ට්‍රොට්ස්කිගේ හිසට ගැමි ගොවියෙකුගේ පුතෙකු වූ ජෝසප් ස්ටාලින්ගේ අනුගාමිකයෙක් විසින් පොරොව පාරක් දෙවා විප්ලවය විසින් අපේක්ෂා කළ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ඉෂ්ටාර්ථයන් ගිලිහී ව යන තැනට කටයුතු සැලසීම යි.

                 

      

ලක් කොදෙව්වේ මේ ගෙවෙන මොහොතේ දේශපාලන පොර පිටිය දෙස බලන කළ, මතුපිටින් බැලූ බැල්මට ගුරුත්වයක් නැති විශ්වයේ එකිනෙකට අයාලේ හැප්පෙන් ග‍්‍රාහක කැබලි කිහිපයක් සේ බලකඳවුරු 04ක් ඉලිප්පී පෙනේ. ඒවානම්, පාර්-ලිමේන්තු අසුන් 03කින් බලය හසුරුවන එජාපය, එජාපයට යාවී හෝ වියෝවී හුලං-කෝඩෙකට හසුවී තිබෙන පොහොට්ටුව ප‍්‍රමුඛ ශ‍්‍රීලනිප කඳවුර, රටේ නාගරික බලයට ඉව අල්ලන ලූම්පන් ආදේශකයක් වන සජිත්-හිරුණිකා-මුජබර් ප‍්‍රමුඛ සජබය සහ ටක්කෙට ම ආණ්ඩු බලය ගන්නා බවට කියමින් සිටින ජවිපෙ ප‍්‍රමුඛ ජාතික ජන බලවේගය.

      

මෙය මතුපිටින් කාටත් සවිඥානක ලෝකයක පවතින සහ චන්දයකින් පසුව වෙනම ම රූපාකාරයකට හැඩගැසිය හැකි නම්‍යශීලී ග‍්‍රාහක 04ක චතුර්ගඨනාත්මක චිත‍්‍රයකි. නමුත් රටේ බහුතරයකට අවිඥානිකව පවතින සැබෑ සක‍්‍රිය යථාව වනාහී තවමත් ද්වීගඨනාත්මක තත්වයකි, ගතිකත්වයකි. එනම් බලවේග දෙකක ගැටුමකි. එයින් එකක් වන්නේ, ගම් දනව් සිසාරා යමින් නගරවලට අඩුබරක් සහ ගම්මානවලට වැඩි බරක් දමමින් ගෝඨාගේ 69 ලක්ෂයට ඉව අල්ලන ජවිපෙ ප‍්‍රමුඛ ජාතික ජන බලවේගය යි. අනෙක් බලවේගය වන්නේ, අයිඑම්එෆ් ණය දෙන ව්‍යූහයට ගාංචුවක් දාගැනීම ද සමග ඇමෙරි-යුරෝ පරිපාලනයන්ට නම්‍යශීලීව තවමත් ජනාධිපති විධායක බලතල අතැතිව සිටින රනිල් ය.

    

විසංකාරයා වන මම දැනට උපායිකව මේ දෙපාර්ශවයේ ම පට්ට වැඩ කිඩ කතා කිරීම තාවකාලිකව පසෙක තබා, දෙපැත්තට ම අදාළව සිදුවීමට නියමිත ප‍්‍රධාන හදිසි අනතුරු දෙකක් එළිදරව් කරන්නට අපෙක්ෂා කරමි.

     

එකක් නම්, ජාතික තලයේ පක්ෂය සංවිධානය කිරීම මගහැර, ගෝලීය තලයේ පවතින විදෙස් ආයතනික බලය ද, තම නූල් සූත්තරවාදී ඥානය ද, පොහොට්ටුව තුළ 69 ලක්ෂය ඇතැයි යන මිත්‍යාව ද, සාගල-වජිර-අකිල-රුවන් නැමති ගොංකනු ද මත රඳා පැවතීම බඳු පාපයන් නිසා, අවිඥානිකව රනිල් කරන හැම දෙයක් ම ජාතික ජනබලවේගයට චන්ද වැඩිකර දෙන ක‍්‍රියාවක් බවට පත්වී, මොන චන්දය ආවත් ගෝඨා ඉදිරියේ සජිත්ට සිද්ධ වෙච්ච දේ ම, ජවිපෙ ඉදිරියේ රනිල්ට සිදුවී 69 ලක්ෂයකට වඩා වැඩි ප‍්‍රතිශතයකින් ජවිපෙට රනිල් පැරදී මූණ හකුළුවාගෙන බල රහිතව ඉවත්ව යන්නට සිදුවීම. සංක්ෂිප්ත වාක්‍ය අරුතකින් කියනව නම්, පොළව මට්ටමේ ජාතික ජන බලය අවනිෂ්චය කර ගෝලීය බලය පමණක් අධින්ෂ්චය කර ගැනීමේ අසමබරතාව නිසා ඇතිවන ප‍්‍රතිඵලයකට මුහුණ දීමට රනිල්ට සිදුවීම යි.

      

දෙවැන්න නම්, ගෝලීයකරණයේ මූලික දේශපාලනාර්-ථික සහ මූල්‍යාර්-ථික නියාමන මාපකයන් සහ ඒවා නියෝජනය කරන ආයතන මගහැර, ගෝලීය තලයේ පක්ෂය සංවිධානය කිරීම යනු තම සංවිධානයේ ම විදේශ ශාඛා ශක්තිමත් කිරීම යනුවෙන් පමණක් වරදවා වටහාගෙන, ඒ හරහා ගෝලීය ධනේෂ්වර ආයතනවල බලය දිනාගැනීම අවිඥානිකව මගහැර, දිවයින පුරා පැතිර පවතින තම පක්ෂ යාන්ත‍්‍රණයෙන් කොළඹ නාගරික බලය තහවුරු කර ගැනීම අවප‍්‍රමාණ කර, කොලඹින් පිටත ප‍්‍රජා සංවිධානය කිරීමට වැඩි බලයක් දීම හරහා 69 ලක්ෂය තම පක්ෂය වෙත දිනාගත හැකැයි යන මතයට පමණක් ගොදුරුවී, කොළඹ ආණ්ඩු හිතවාදී බල ව්‍යූහයන් විසින් ක‍්‍රියාත්මක කරන චන්ද අකුලා දැමීම්, මඩ ගැසීම් සහ මර්ධන යන්ත‍්‍රණයන්ට හසුවී, තව කල් අරන් අනාගතයේ දී එක්සත් ජාතික පක්ෂ යන්ත‍්‍රය සහ එහි ශක්තිමත් ගෝලීය නව-ලිබරල් පදනම සහිත පරිපාලන ආයතනවල සහය ද ඇතිව හදිසියේ කරන චන්දයක දී වෙලඳ ප‍්‍රචාරක ආයතනවලට දෙන්නට එජාපයට තරම් මුදල් නැතිකම නිසා ම සාමාන්‍ය ප‍්‍රතිශතයකින් එජාපයට පැරදී, තවදුරටත් විපක්ෂයේ ම ඉඳන් එජාපයේ අවක‍්‍රියාවන් හුවා දකවමින් කෑගසා තව වසර 05ක් ඔවුන්ට ම පබ්ලිසිටි දීමට ජවිපෙට සිදුවීම. සංක්ෂිප්ත වාක්‍ය අරුතකින් කියනව නම්, ගෝලීය බලය අවනිෂ්චය කර ජාතික බලය අධින්ෂ්චය කර ගැනීමේ අසමබරතාව නිසා ඇතිවන ප‍්‍රතිඵලයකට මුහුණ දීමට අනුර ප‍්‍රමුඛ ජවිපෙට සිදුවීම.  

    

එනම් බලය පවත්වා ගැනීම වෙනුවෙන් එජාපයත්, බලය ලබා ගැනීම වෙනුවෙන් ජවිපෙයත් වෙනස්විය යුත්තේ මතුපිටින් සාංසිද්ධිකව(Incidentally) නොව ඉතිහාසිකව (්‍Historically) ය.

 

නමුත් අවම තරමින් සාංසිද්ධිකව හෝ මේ දෙපාර්ශවයන් කළ යුත්තේ කුමක්ද?

       

රනිල් අවම තරමින් රවී කරුණානායක වැන්නෙකුට නියෝජ්‍ය නායකකම දී, රවී යටතේ සජිත්ගේ බොළඳකම් ඉක්මවා යා හැකි අකිල විරාජ් වැන්නෙකුට ගැමි ප‍්‍රජා සංවිධානය කිරීම භාරදී පොළව මට්ටමෙන් එජාපයේ කාර්යක්ෂම සංවිධාන ව්‍යූහ විධිමත්ව ගොඩනැගිය යුතු ය. මෙහිදී රනිල් මේ වන විට නොතකා හැර පවතින එජාපයේ නාගරික සභා සහ ගම් සභා නියෝජිතයින් ප‍්‍රධාන කරගත් වැඩමුළු සහ අධ්‍යාපන යැඩසටහන් ක‍්‍රියාත්මක කිරීම හරහා ඔවුන් කේන්ද්‍රීය සංවිධාන ව්‍යුහයකට ගැට ගැසීම වේගයෙන් කළ යුතු ම ය. එයට බැසිල්ගේ අවසරය ලැබෙන තෙක් නොසිටිය යුතු ය. මහින්ද රාජපක්ෂ රැස්වීමකදී කියූ පරිදි, ”රනිල් අපට උවමනා තැනට වෙනස් වෙලා ආපු නිසා අපි පිළිගත්තා,” වැනි කතා අහන් ඉන්නවා වෙනුවට, ”එජාපයට උවමනා ධනේෂ්වර තැනකට පොහොට්ටුවේ බහුතර චන්ද දායකයින් හරවා ගතතා” යැයි කිවිය හැකි වන පරිදි පක්ෂය සංවිධානය කරගත යුතු ම ය. පරදින්නට හෝ ඡන්දවලට පෙනී සිටිය යුතු ම ය.

                

රනිල් විසින් මේ කියන එකකටවත් කන් නොදී සාගල-වජිර කියන දේවලට පමණක් ප‍්‍රමුඛතාව දෙමින් සිටිනවා යනු බලය ලබා ගැනීම සම්බන්ධයෙන් අනුර සහ ජාතික ජනබලවේගයට කොල පාට එළියක් දැල්වීමක් බව සිහියට ගත යුතු ය.  

   

අනුර කුමාර අවම තරමින් ඉංග‍්‍රීසියෙන් හෝ භාෂා කිහිපයකින් වැඩ කළ හැකි සම-නායකයෙක් බිහිකර ගතයුතු අතර, ගෝලීයකරණයේ මූලික දේශපාලනාර්-ථික සහ මූල්‍යාර්-ථික නියාමන මාපකයන් හැදෑරීම පක්ෂයේ ප‍්‍රධාන ක‍්‍රියාදාමයක් බවට පත්කර, ජවිපෙ පක්ෂ යන්ත‍්‍රය ගෝලීය ඇල්ගෝ-රිදමයන් අනෙකා කරගනිමින් ගොඩනැගෙන කාර්යක්ෂම කලාපීයවාදී සහ ගෝලීයවාදී අක්ෂයකින්  ද විධිමත්ව ප‍්‍රතිසංවිධානය කර, ගෝලීය ප‍්‍රාග්ධන මෙහෙයුම් ආයතන තුළ සහ රටේ කොළඹ ප‍්‍රධාන නගරය තුළ තම බලය රසායනිකව ම හවුරු කරගෙන, කොළඹින් බැහැරව සිට ජවිපෙට ඇදෙන ප‍්‍රජාවන් සහ ඒ ප‍්‍රජාවන්වල නායකත්වය නාගරිකයන්ට පැවරීම හෝ ඔවුන් නාගරිකත්වය තුළ පුහුණු කිරීමේ ව්‍යාපෘති අරඹා, නව-පාර-ජාතික නගර බිහිකර, අලිබාබා හෝ ඇමසන් ඩොට් කොම් හෝ නෙට්ෆ්ලික්ස් හෝ ෆේස්බුක් වැනි පාරජාතික ගෝලීය කොම්පැනි කිහිපයක් අන්තර්ජාලයෙහි දියත් කර, දැනට ජාතික තලයේ තර්-කයක් තුළ පවතින පක්ෂය, ගෝලීය ප‍්‍රාග්ධන තර්-කය සහ කලාපීය ප‍්‍රාග්ධන තර්කයක් තුළ ද පෝෂණය කිරීම ඇරඹිය යුතු ම ය.

       

අනුර මේ කියන එකකටවත් නක් නොදී තම සුපුරුදු ”ගම හදා රට හැදීමට” පමණක් ප‍්‍රමුඛතාව දෙමින් සිටිනවා යනු එය තම බලය පවත්වා ගැනීම සම්බන්ධයෙන් රනිල් සහ එක්සත් ජාතික පක්ෂයට කොල පාට එළියක් දැල්වීම බව සිහියට ගත යුතු ය.

 

හිතවත් පුරවැසියනි, ගම් වැසියනි, මූකලන් වැසියනි,

           

විසංකාරයා වන මගේ කල්පනාවේ හැටියට නම්, එජාපය සහ ජවිපෙ යන දෙකම, ඒවායේ දුර්වල අර්ධයන් නිවැරදිකරණයට භාජනය කරගෙන ලක් කොදෙව්ව සංවර්ධනය කිරීමෙහිලා අත්‍යවශ්‍යයෙන් යොදාගත යුතු බලවේග දෙකකි. රටට හතුරු බලවේග වන්නේ වරිගවාදීී ශ‍්‍රීලනිපය සහ ඊට ගෑවුණු ජාතිවාදී බලවේග සහ භාෂාවට ප‍්‍රමුඛතාව දී දේශපාලනය කරන දෙමල සහ මුස්ලිම් සුළු-ජාතිකයන්ගේ අන්ත ජාතිවාදී බලවේගයන් ය.

      

පළමුව, යටත්විජිතවාදීන් විසින් නූතනවාදී ආකාරයකට ද, පසුව එහි දිගුවක් ලෙස නව-නූතන ආකාරයට ද ධනවාදයේ ලාභ ඉපයීමේ තර්-කය මේ ලක් බිමේ පැතිරෙන්නට සහ පැලපදියම් වන්නට ඉඩක් ලැබුණ ද, දකුණු ආසියාවට පොදු පූර්-ව-ධනවාදී (වැඩවසම් සහ පූර්-ව-වැඩවසම්) බ‍්‍රාහ්මණ බලපෑම සහිත නගර ද, නගර වලට පිටතින් පැවතුන ගෝත‍්‍රික ඥාතී පද්ධතීන්ද මුළුමුනින් අහෝසි වූයේ නැත. ඉන්දියාවේ යථාව ද මීට නොවෙනස් වන  නමුත් අප ලක විසින් ඉන්දියාව ද නොකළ ව්‍යවස්ථාමය ගොංකමක් 1956දී සිදුකරගත් හෙයින්, ලකේ යථාර්ථය අද වන විට නව-නූතන ධනේෂ්වර ආර්-ථික නියාම ධර්ම විරෝධී සහ පුර්-ව-ධනේෂ්වර බලපෑම්වලට හසු වූ තත්වයක පැවතීම හේතුවෙන් හේතුවෙන් ආර්-ථික ව්‍යසනයක් දක්වා රටේ අර්බුධය දිගෑදෙමින් පවතී.

     

එම නිසා මෙම තත්වයට හේතු පාදක වූ විකාරසහගත ඉතිහාසය හඳුනාගන්නේ නැතුව ඊළඟ පියවරක් ඉදිරියට තැබීමට නොහැකිව ඇත. එහිදී විසංකාරයා නොපැකිලව දකින යථාව නම්, මේ පවතින මූල්‍ය ව්‍යසනයට සහ සමාජාර්-ථික අර්-බුදයට තිරසාර විසඳුම ඇත්තේ, නව-නූතන ධනවාදය, එහි නිෂ්පාදන උපකරණ(Means of production) සහ ඊට අදාළ බහු-භාෂා-සංස්කෘතීන් (Multi-language-cultures) නිසි පරිදි(ප‍්‍රමිතියානුකූලව) රට තුළට කැන්දා ගැනීමට අවසර දීම සහ දිරිගැන්වීම තුළ ම බව යි.

    

එහිදී ගෝත‍්‍රකම්වලට සබඳකම් කියන අනෙකුත් සියළු රැලවාද හෙවත් රංචුවාද Herd), වරිගවාද (pre-racism), පූර්ව-ධනවාදී-ඥාති-සබඳතා (Pre-capitalist Kinship relations) සහ මැර-කල්ලිවාදය (Gangsterism) අහෝසි කර දමන  නව-නූතන දේශපාලනාර්-ථික සංස්කෘතියක් (Neo-Modern Political Culture) බිහිකර ගැනීමේ ප‍්‍රායෝගික අභියෝගයට අප මේ දැන් මුහුණ දෙමින් සිටිමු. එහිදී මේ සියළු වාදයන්වලට අදාළ රැස්කෑම් (Flocking) නියෝජනය කරන රාජපක්ෂ සහෝදර-සමාගම හෙවත් මැදමුලන වරිගපූට්ටුව ද, ඊට සමාන්තරව බිහිවූ අන් සියළු ශ‍්‍රීලනිපවාදී හෝ එසේ නොවන දෙමල හෝ මුස්ලිම් ජාතිවාදී වරිග පූට්ටු සියල්ල ද දිගුකාලීනව සහ කෙටිකාලීනව අතුගා දැමිය යුතුව පවතී.

    

එවන් නව-නූතන සංස්කෘතියක් සඳහා ධනේෂ්වර නායකත්වය දිය හැකි එක ම පක්ෂය වන්නේ, නූතනවාදී කාර්-මික විප්ලවානුකූල ඉංග‍්‍රීසි යටත්විජිතවාදීන් දායාද කොට දී ගිය නූතන ධනවාදයේ ඩොමීනියන් ලක්ෂණ හිමිකරගනිමින් බිහිවූ එක්සත් ජාතික පක්ෂය වුවත්, රනිල් හරහා  පක්ෂය පුද්ගලවාදයට ගොදුරුවීම නිසා එහි වාසිය එජාපය සහ දැන් ජවිපෙ අතර දෝලනය වෙමින් පවතී. මීට අමතරව එංගලන්තයේ දේශපාලන සංස්කෘතිය ප‍්‍රකාරව ඉංග‍්‍රීසි උගතුන් ලෙස දේශපාලනයට පැමිණි සමසමාජ, නව-සමසමාජ සහ කොමියුනිස්ට් පක්ෂ ද, පසුකාලීනව බිහි වූ ලිබරල් පක්ෂය ද හැර අනෙකුත් සියළු ම පක්ෂවල ප‍්‍රධාන සාමාජික සංයුතියේ සිට ප‍්‍රතිපත්තිමය සංයුතිය දක්වාත්, එතැන් සිට එහි සංවිධානමය සංයුතීන් දක්වාත් පෙන්නුම් කරන්නේ ගෝත‍්‍රවාදී ස්වභාවයකි. එජාපයෙන් පසුව මේ ගෝත‍්‍රවාදය ඉක්මවා යන ඊළඟ පක්ෂය බවට පත්වීමේ සුදුසුකම් සපුරාගනිමින් පවතින්නේ තවත් ධනේෂ්වර පක්ෂයක් නොව ජවිපෙ ය. ඊට හේතුව ඔවුන්ට විනය රාමුවකට යටත් පක්ෂ යන්ත‍්‍රයක් තිබීම ය. රනිල් නැති කරගෙන ඇත්තේ මෙය යි. එහෙත් ජවිපය ද තවමත් ගැමි වරිගවාද ජානයක් නැට්ටෙ එල්ලගෙන ඇති නිසා ඔවුන්ට බලය අත්කරගැනීම තව පමා වෙයි.

 

ලකට නූතනය සහ ඊට පසු කලෙක නව-නූතනය ගෙන ආ ඉංග‍්‍රීසි භාෂාවෙන් දේශපාලන බලමණ්ඩල රැස්වීම් පවත්වන්නට නොහැකි, සහ පාර්-ලිමේන්තුවේ කැබිනට් රැස්වීම් පැවැත්විය නොහැකි කුමන පක්ෂයකට, කණ්ඩායමකට හෝ පුද්ගලයෙකුටවත් ගෝත‍්‍රවාදය ඉක්මවා ගොස් නව-නූතන-දැනුම අත්පත් කරගන්නවා සහ අභ්‍යාසකරනවා කෙසේ වෙතත්, 20ශතවර්ෂය මුල් භාගයේ නූතන දැනුම අත්පත්කරගන්නට සහ අභ්‍යාස කරන්නට පවා නොහැකි ය. නූතනයේ ලෝක දැනුම අත්කර ගැනීමට තියෙන ප‍්‍රධාන භාෂාව වන ඉංග‍්‍රීසයිවත් දන්නෙ නැහැය කියන එකෙන් තේරුම් යන්නේ, නව-නූතන ගෝළීය ධනවාදය හැදෑරීමට සහ හැසිරවීමට නොහැකි කමින් කෙලවාගන්නට නියමිව සිටින බව යි. ඉංග‍්‍රීසිය දැනගෙනත් පොළව මට්ටමින් පක්ෂය සංවිධානය කර වරිගවාදී ගැමි ප‍්‍රජාවන් නගර සංස්කෘතිය දෙස බලන්නන්ගේ තත්වයට පත් කිරීමට කම්මැලිවෙනවා කියන්නේ, එජාපය ගෝලීය සපෝට් එක තියාගෙන ම හැකිලී කෙලවා ගන්නට නියමිත බව ය.

           

සමන්ත-නලින් දෙබෑයන් විසින් දැන් පවතින්නේ 75 වසරක සාපයක් යැයි කියනකොට ම, ඔවුන් නොදැන ම නොකියා කියන 75 වසරකට පෙර (1948ට පෙර) පැවත ඇති ආශීර්වාදී දෙව් ලොව යනු කාර්-මික විප්ලවානුකූල නිෂ්පාදන උපකරණ හා බැඳි ඉංග‍්‍රීසි භාෂාවෙන් ක‍්‍රියාත්මක වූ ක‍්‍රම-පද්ධතියක් බව අවිඥානිකව පවසයි. 1948ට පෙර ලෝකය යනු සමන්ත-නලින් දෙන්නාට ම ඉංග‍්‍රීසිය හරහා නූතනවාදී නාගරීකරණයට හසුවන්නට තිබූ අවිඥානික සිහිනය යි. 1956 යනු සිංහල ඔන්ලි ඇක්ට් එක හරහා සමන්ත-නලින් දෙන්නාගේ ම ඒ සිහිනය මරා දමා ඔවුන් දෙදෙනා අමු ගොඩයන් දෙන්නෙක් බවට පත්කල සංසිද්ධිය යි. දැන් සමන්ත මේකට මං ඉංග‍්‍රීසි ගුරුවරයෙක් යැයි කීමෙන් පළක් නැත. විසංකාරයා මෙහිදී ඉංග‍්‍රීසි භාෂාව යනුවෙන් කීවේ කාර්-මික විප්ලවානුකූළ නූතන නිෂ්පාදන උපකරණ හා බැඳී පවතින ඉංග‍්‍රීසි සංස්කෘතිය යි.

 

හිතවත් පුරවැසියනි, ගම් වැසියනි, මූකලන් වැසියනි,

එජාපය ද? ජවිපෙද? කියන ප‍්‍රශ්නය චන්දය දීම හෝ ලබා ගැනීම තරම් සරල නොවන අතර, එය ජාතික දේශාපාලනයද?, ගෝලීය දේශපාලනයද?, නැතිනම් දෙකේ ම සුසංවාදී සංයුතියක් සොයා ගැනීම ද? කියන තරම් පට්ට සංකීර්ණය දේශිය උභතෝකොටිකයකි?

 

එජාපය සහ ජවිපෙය දෙවිදිහකට පිස්සු කෙලිද්දී මහජනයාගේ බඩගින්න තීව්ර වෙමින් පවතී.

 

ජවිපෙ විසින් ධනේෂ්වර ජාතික රාජ්‍යය නියමාකාරයෙන් ප‍්‍රතිසංවිධානට කරදෙනවාය යන කැරට් අලය ජනයාට පෙන්වන අතර තුර, රනිල්ගේ තනි අලියා පක්ෂය විසින් ගෝලීය මූල්‍ය ආයතන තුළ තම පරිචය නැතුව බෑ නැමැති බීට්රූට් අලය ජනායාට පෙන්වමින් පවතී. මේ දෙපාර්ශවය ම තමන් නිවැරදි විය යුතු අර්ධය නොදකී සහ ඒවා පෙන්වා දෙනවාට ද අකමැතියි. නැතිනම් අසා සිට ක‍්‍රියාවේ නොයදවන කුහක ප‍්‍රරතිපත්තියේ පිහිටා සිටියි. මේ ගෙවෙන මොහොතේ මේ ජවිපෙ(ගෝලීය යථාව මගහරින) සහ එජාපයේ(ජාතික යථාව මගහරින) ප‍්‍රවේශ දෙකම මානව විරෝධී වේ. මන්ද මෙසේ දෙපැත්තට ඇදීම නිසා ජනතාවගේ මූලික අවශ්‍යතාවලට විසඳුමක් ලැබීම පමා කරවයි. ඒ නිසා මේ දපොර්ශවය ම එකම කාසියේ දෙපැත්ත බවට පත්වෙමින් පවතී.

 

එනයින් සැබෑ මානවවාදී ප‍්‍රවේශය පවතින්නේ නොපෙනෙන අන් තැනකට ගුලිවී අකර්මන්‍යව ය. මේ දෙපාර්ශවය ම 1948 පෙර යටත් විජිත සමයේ ලකේ පැවතුණේ සමෘධිමත් යුගයක් යන්න දෙවිදිහකට නොකියා කිය යි.

 

ඒත් එයින් වැඩක් නැත. අවශ්‍ය වන්නේ ජාතික අර්-ධයහි ශක්තිමත් පාර්ශවය ගෝලීය අර්ධය වැළඳ ගැනීම හෝ ගෝලීය අර්ධය ශක්තිමත් පාර්ශවය ජාතික අර්ධය වැළඳගැනීම ය. නැතිනම් මේ බලවේග දෙක එකතු වීම ය. නමුත් මේ බලවේග දෙක මේ වන විට සතුරු අස්ථානවල පිහිටා ඇති නිසා එය සිද්ධ වන්නේ ද නැත. විසංකාරයා වන මා කියන එකමුතුවීම ගැන අසා දෙපාර්ශවය ම මට සිනාසෙනු ඇත.

කෙසේ නමුත් රටට අවශ්‍ය වන්නේ ගෝලීයවාදී-කලාපීයවාදී-ජාතිකවාදී තුක් ඈඳුතු ධාරාවන් භෞතිකව රඳවා දරාගත් ප්රායෝගික ව්‍යාපාරයකි. එසේ නොවන ව්‍යාපාර බලට පත්වුණු පසුව හෝ බලයට පත් නොවීම හෝ පරදිනවා ය. මේ කෙටි වියමන කියවා රනිල්ට හෝ අනුරට විසංකාරයා වන මා හමුවී මා කියන දේ මුළුමනින් හසුකරගැනීමට මොළේ පෑදේවා! එජාපය සහ ජවිපෙ දෙදෙනා ම හිඳගෙන සිටින්නේ ජන ජීවිතය පරදුවට තබා දේශපාලනය කරන චෙස් බෝඞ් එකක් දෙපස බව ගැඹූරෙන් සිහියට ගත යුතුකාලය එළඹ ඇත. 

  

(තව කොටසක් ලබන සතියේ)

මීට

රටට පාර කපන

@ විසංකාරයා

2023/02/24 වැනි දා කොළඹ දීය.

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි