SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

දිවයින පත්‍රයේ 2015 ජූනි 15 වැනිදා පල වූ ලිපියකි.

සසප ප්‍රධාන ලේකම් විජේ ඩයස් සහෝදරයා සමග පැවති මෙම සාකච්ඡාව මෙහෙය වූයේ එරික් ගාමිණි ජීනප්‍රිය යි.

බුදුදහම සහ මාක්ස්වාදය අතර පවතින්නේ පරස්පර විරෝධි ස්වභාවයක් ද, එසේත් නොමැති නම් මාක්ස්වාදය විසින් බුදුදහම තහවුරු කරනවාද?

බුද්ධාගමත්, මාක්ස්වාදයත් අතරේ පාගන්න බැරි පරස්පර විරෝධයක් තිබෙනවා. ඒක සම්මුති ගසන්න බැහැ.

දර්ශනය පිළිබඳ ඉතිහාසයට අනුව දර්ශනවාදය මූලික කඳවුරු දෙකකට බෙදෙනවා. ලෝකයේ සංකල්ප, ප්‍රවර්ග සම්බන්ධයෙන් ගත්තට පස්සේ ඒවා වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් ගත්තට පස්සේ ප්‍රාථමික වන්නේ විඥානය ද, භෞතික යථාර්ථය ද කියන කාරණය උඩ දර්ශනවාදය කොටස් දෙකකට බෙදෙනවා. විඥනය ප්‍රාථමිකයි කියන කොටසට තමයි අපි දර්ශනවාදයේ විඥනවාදී දර්ශනයන් කියල කියන්නේ. භෞතික යථා ලෝකය ප්‍රාථමිකයි කියන කොටසට තමයි අපි භෞතිකවාදීන් කියල කියන්නේ. එය තමයි දර්ශනවාදයේ මූලික බෙදුම්කඩනය. එහෙම ගෙන බැලුවහම බුද්ධාගම විඥනවාදී කඳවුරේ සහ මාස්වාදය භෞතිකවාදී කඳවුරේ. මේ දෙක පාගන්න බෑ.

එසේ වුවත් දර්ශනවාදයේ ඉතිහාසය තුළ දී මේ දෙක පැහීම සඳහා උත්සාහයනුත් දරල තිබෙනවා. අතීත කාලපරිච්ඡේදයේ දී මූලිකව මෙම භෞතික පදනම පිළිබඳව කරුණු කාරනා සාක්ෂි සහිතව සනාත කර ගැනීමට අවස්ථාවක් නොතිබුණ කාලපරිච්ඡේද වලදී, ලෝකය වෙනස් වන්නේ කෙසේද, මනුෂ්‍ය සිතිවිලි වෙනස්වීම් සමග සම්බන්ධ වෙන්නේ කෙසේද යන කාරණය පැහැදිලි කර ගැනීම සඳහා අවශ්‍ය වෛෂයික කොන්දේසි නොතිබුණ කාලපරිච්ඡේද වලදී, මේ දෙක අතර දෝලනය වීමක් දකින්න පුළුවන්. කාන්ට්වාදය යනුවෙන් සඳහන් වන්නේ ඒ වගේ ද්වයිතවාදයක්. එහි විඥනවාදී අංශ වගේම භෞතික අංශත් තිබෙනවා. එයින් මෙපිට තමයි මාක්ස්වාදය විසින් භෞතිකවාදය වැඩිදියුණු කර ගන්නේ. විශේෂයෙන්ම ඓතිහාසික භෞතිකවාදය වැඩිදියුණු කර ගන්නවා. මාක්ස්වාදය විසින් ඉතිහාසයේ වෙනස්වීම්වලට බලපාන ප්‍රාථමික බලවේගය, සමාජයීය වෙනස්කම්වලට පාදක වන හේතුකාරක වන බලවේගය, භෞතිකමය කොන්දේසි බව ය කියන එකත්, මානුෂීය විඥනය ඒ මත තීන්දුවන බවත් තහවුරු කරනවා. ඒ නිසා භෞතිකවාදී දර්ශනයේ කූඨය වන මාක්ස්වාදයත්, බෞද්ධ ධර්ම දර්ශනයත් අතරේ සමහන්වීමක් පවතින්න බෑ.

 

මාක්ස්වාදය, භෞතිකවාදී දර්ශනයක් මත පදනම් වී තිබෙනවා. මාක්ස්වාදීන් විසින් බුද්ධ ධර්මය හඳුන්වන්නේ විඥනවාදී ධර්මයක් ලෙසයි. එසේ වුවත් මෙරට ක්‍රියාත්මක බොහෝ මාක්ස්වාදී පක්ෂවල හික්ෂුන් වහන්සේලා සාමාජිකයන් සහ හිතවතුන් ලෙස ක්‍රියාකරනවා.

මෙම තත්ත්වය ඔබ දකින්නේ කෙසේද? සමාජවාදී සමානතා පක්ෂයෙත් භික්ෂූන් වහන්සේලා කටයුතු කරනවාද?

අපේ පක්ෂයේ හික්ෂූන් වහන්සේලා නෑ. වෙන දේවගැතිවරු ඇත්තෙත් නෑ. වෙනත් ආගමික සංස්ථාවල නියෝජිතයනුත් අපේ පක්ෂයේ නෑ. එහෙම පවතින්න බෑ. මම පැහැදිලි කළ කාරණා අනුවත් එය ඒත්තු යා යුතු යි.

ආගමික සංස්ථාවක කොටස්කාරයෙක් කියල කියන්නේ, මහජනතාව අතරේ විඥනවාදී සංකල්ප තහවුරු කිරිම සඳහා ක්‍රියාකාරි වන පුද්ගලයෙක්. බෞද්ධ භික්ෂුවක් නම් ඔහු භාරගෙන තිබෙන වගකීම් භාරය වන්නේ, දානමය කටයුතුවල දී හෝ පාංශකූල කටයුතුවල දී හෝ විඥනවාදී ධර්මය දේශනා කිරීම යි. ඒ අනුව මිනිසුන්ගේ ජීවිතය තීන්දු වන්නේ ඔවුන්ගේ කර්ම චක්‍රය අනුව ය, ඒ සඳහා පරණ පිං දහම් බලපාන බවත්, තමන් විසින් කරනු ලබන පිං දහම් අනුව අනාගත උත්පත්තිය සාර්ථක කර ගැනීමට පුළුවන් වනවා ය යන විඥනවාදී කතා කීම තමයි බෞද්ධ භික්ෂුව බාරගෙන තිබෙන්නේ.

ඒ සමග අපගේ පක්ෂයේ ඉදිරි දර්ශනය කම්කරු පංතිය අතරට මහජනතාව අතරට ගෙන යැමේ කටයුත්තේ නිරතවන්න බෑ. එම නිසා ඒ වෙනස අප පවත්වාගෙන යනවා. නමුත් ඕනෑම ආගමික සංස්ථාවකට අයත් පුද්ගලයකුට ඔවුන්ට පැවරී ඇති කටයුතු කරගෙන යන්න පුළුවන්. නමුත් ඒක අපත් සමග හමුවෙලා කරන්න බෑ.

මේ පරස්පරය මේ ආකාරයට තියුණු බෙදුම්කඩනයක් ලෙස මතු කිරීමට දේශපාලන පක්ෂ බයයි. ඇයි, ඔවුන් අවස්ථාවාදී ලෙස මේ සමාජයේ පවතින පසුගාමී අදහස්වලට අනුගතව ඔවුන්ගේ බඩවඩා ගැනීමේ දේශපාලනය කිරීමට බලාපොරොත්තු වෙනවා නෙ. අපි, සමාජවාදී සමානතා පක්ෂය, ජාත්‍යන්තර සමාජවාදී විප්ලවවාදීන්. ඒ නිසා අපි බලාපොරොත්තු වන්නේ මෙම සමාජ ක්‍රමයේ පරිපූර්ණ පරිවර්තනයක්. එම පරිපූර්ණ පරිවර්තනයට මිනිසුන්ගේ සංකල්ප, අදහස් උදහස්, චින්තනය, සංස්කෘතිය යන සියල්ල අයත් වනවා.

 

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා පසුගියදා ප්‍රකාශ කර තිබුණා එම පක්ෂයේ නායකයන්ට පන්සලකටවත් යැමට නොහැකි තත්වයක් තිබෙන බව.

ජ.වි. පෙරමුණේ නායකයන් සමහර අවස්ථා වලදී තම පක්ෂය හඳුන්වා දී තිබෙන්නේ මෙරට බොෂෙවික් පක්ෂය ලෙසයි. එම පසුබිම තුළ ඔබ ජනතා විමුක්ති පෙරමුණ හා බුද්ධාගම අතර පවතින සම්බන්ධය දකින්නේ කෙසේද?

ඒක ඔවුන්ගේ වංචනික දේශපාලන වෘතයේ කොටසක්. මේ පිළිබඳව ඔවුන් කෙලින් කතා කිරීමට බයයි.

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය ආරම්භයේ සිටම අවස්ථාවාදි යි. ධනේෂ්වර ක්‍රමයට අනුගතවාදි යි. ඔවුන් වැඩට බැහැගන්නේ මේ ක්‍රමයේ අත්උදව්කාරයන් ලෙස තමයි. එතැන් සිට ඔවුන් වඩ වඩාත් දකුණට යැම් ප්‍රකාශයට පත්කරල තිබෙනවා ඔවුන්ගේ චර්යාවන් මගින්. චන්ද්‍රිකා කුමාරතුංගගේ කාලපරිච්ඡේදයේදී පරිවාස ආණ්ඩු පිහිටුවීම සහ එම ධනපති ආණ්ඩුවේ ඇමැතිකම් බාර ගනිමින් එහි වගකීම්වලට උරදීම මගින්, වර්ගවාදී යුද්ධයේ ප්‍රමුඛ කසකාරයන් ලෙස වැඩ කිරීම මගින් මේ මර්දනකාරී පාලන තන්ත්‍රය පවත්වාගෙන යැම සඳහා සහයෝගය ලබාදී තිබෙනවා. ජනාධිපති රාජපක්ෂ බලයට ගෙන ඒම සඳහාත් ඔවුන් කාර්යභාරයක් ඉෂ්ට කළා. ඒ වගේම දැන් පවතින ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහාත් ඔවුන් ක්‍රියාත්මක වූවා. එම බලය පවත්වාගෙන යැම සඳහාත් ඔවුන් සමග දිගටම වැඩ කරනවා. මම සිතන්නේ ඉදිරියේදී තවදුරටත් ඔවුන්ගේ දක්ෂිණාර්ෂික ගමන වඩාත් පැහැදිලි ලෙස හෙළිදරව් වේවි.

 

කාල්මාක්ස්, ලෙනින් ඇතුළු මාක්ස්වාදී නායකයන්ගේ පොත්වල තම දර්ශනයට එරෙහි මතවාදයන්ට එරෙහිව සිදුකරන ලද මතවාදී අරගලයන් පිළිබඳව සඳහන් වනවා. නමුත් මෙරට බොහෝ මාක්ස්වාදීන් එබඳු අරගලයක නිරත වන බවක් දකින්න නෑ. සමාජවාදී සමානතා පක්ෂය එම කටයුත්තේ නිරත වනවා ද?

අපගේ ඉදිරි දර්ශනය කම්කරු පංතිය ප්‍රමුඛ ගම්බද ගොවීන්, දුගී තරුණයන් තරුණියන්, පීඩිත ජන කණ්ඩායම් වෙත ගෙන යැම සඳහා අප මතවාදී අරගලයක නිරත වනවා. උදාහරණයක් විදියට සඳහන් කරනවා නම්, වර්තමාන දේශපාලන අර්බුදය කුමක් ද යන කාරණාව පැහැදිලි කිරීම සඳහා අපි 17 වැනිදා කොළඹ මහජන පුස්තකාල ශාලාවේ රැස්වීමක් සංවිධානය කර තිබෙනවා. ඒ සමගම මේ ආණ්ඩුව බලයට පත්වීමට පෙර පැවති මැතිවරණයේදී අපි ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කර රට පුරාත්, ජාත්‍යන්තරවත් ලෝක සමාජවාදී වෙබ් අඩවිය හරහාත් නිරන්තරයෙන් මතවාදී අරගලයක නිරත වූවා.

දැන් මෙතනදී මේ මතවාදයට ඒ කියන්නේ ආපෝහක භෞතිකවාදී සමාජවාදී විප්ලවවාදී ඉදිරි දර්ශනයට හා මතවාදයට එරෙහි සියලු ව්‍යාපාරවල දේශපාලනය හෙළිදරව් කිරීම, අපි නිරන්තරයෙන්ම කරගෙන යන මෙම මතවාදී අරගලයේම කොටසක්. උදාහරණයක් විධියට සඳහන් කරනවා නම් නව සමසමාජ පක්ෂයේ වික්‍රමබාහු කරුණාරත්න එක දිගට ලක්බිම පත්තරයට ලියන නිනව්ව කොලමේ ඔහු ලියනවා බුද්ධාගම සහ මාක්ස්වාදය සමහන් කළ හැකිය, බුද්ධාගමේ සඳහන් කරල තිබෙන දේ තමයි මාක්ස්වාදයේ කියල තිබෙන්නේ, එහෙමත් නැතිනම් මාක්ස්වාදයේ කියල තිබෙන දේ තමයි බුද්ධාගමේ සඳහන් කර තිබෙන්නේ කියලා. මහජනතාව වඩ වඩාත් ව්‍යාකූල කිරිම සඳහා කම්කරු පංතිය වඩ වඩාත් පසුගාමී ආචීර්ණ කල්පිත සංකල්ප තුළ සිර බන්ධන ගත කිරීම සඳහා ඔහුගේ වැඩ කොටස ඔහු කරගෙන යනවා. සමසමාජ, ස්ටාලින්වාදී කොමියුනිස්ට් පක්ෂය නායකත්වය විශේෂයෙන්ම 1950 ගණන්වලින් මෙහා පැත්තට එකදිගට මේ පරාජිකා දේශපාලනයේ යෙදීගෙන සිටියා. එම නිසා එම පක්ෂවලට බෞද්ධ භික්ෂුන් සිටිය. ඒත් අපි දැකල නෑ අනිකුත් ආගමික පූජ්‍ය පක්ෂයේ අය මේ පක්ෂවල සිටිනවා. එයිනුත් පැහැදිලි වනවා මොවුන් සිංහල බෞද්ධ වර්ගවාදය කරා යොමු වු පක්ෂයන්‍ ය කියන කාරණාව.

ජනතා විමුක්ති පෙරමුණ බොල්ෂෙවික් පක්ෂයේ නම යොදා ගන්නවා නම් ඒක අන්තිම දුෂ්ඨ සහගත වංචාවක්. ලංකාවේ බොල්ෂෙවික්වාදී පක්ෂයක් පැවතුණා. ඒ 1942 සිට 1950 දක්වා පැවතුණ බොල්ෂෙවික් ලෙනින්වාදී පක්ෂය යි. ඒක ලංකාවේ පැවතුන ට්‍රොට්ස්කිවාදී පක්ෂය යි. එය 4 වන ජාත්‍යන්තරය තුල ලංකාව - ඉන්දියානු උපමහද්වීපය නියෝජනය කළ ශාඛාව යි. එහි සාධනීය දේශපාලන උරුමයන් නියෝජනය කරන්නේ සමාජවාදී සමානතා පක්ෂය යි. එම බොල්ෂෙවික් පක්ෂය කොන්දේසි විරහිතව විඥනවාදී සංකල්පවලට එරෙහිව සටන් වැදුනා.

ඔබ බොෂෙවික් ලෙනින්වාදී පක්ෂය පිළිබඳව සඳහන් කළා. එම පක්ෂයේ නායකයා ලෙස කටයුතු කර තිබෙන්නේ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මහතා යි. ඔබ එම පක්‍ෂය විඥනවාදයට එරෙහි අරගලයක නිරත වූ බව සඳහන් කළත්, කොල්වින් ආර්. ද සිල්වා මහතා බෝධි පූජාවලට පවා සහභාගි වී තිබෙනවා නේද?

අපි සමාජවාදී සමානතා පක්ෂය ලෙස කොල්වින් ආර්. ද සිල්වාගේ දේශපාලන පරිහානිය පිළිබඳව එසේත් නොමැති නම් පොදුවේ සඳහන් කරන ලෙස සම සමාජ දේශපාලනය පිළිබඳව අපි දීර්ඝ වශයෙන් විශ්ලේෂණයන්, විභාග කිරීම්, අර්ථ කතනයන් කිරීම් කරල තිබෙනවා. ඒ පාවාදීම පටන් ගත්තේ 1950 ගණන් වල. බොල්ෂෙවික් ලෙනින්වාදී පක්ෂය, සමසමාජ පක්ෂය සමග ප්‍රතිපත්ති විරහිතව, මුලධර්ම පිළිබඳ සාකච්ඡාවකින් තොරව, 1950 දී ඒකාබද්ධ කරනවා. එතනින් එහාට කොල්වින් ආර්. ද සිල්වාගේ ට්‍රොට්ස්කිවාදී ගමන නතර වනවා. මෙම තත්වයට එරෙහිව සටන් කිරීම සඳහා 4 වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව පිහිටුවන්නේ 1953 දී. විශේෂයෙන්ම 1964 දී සමසමාජ පක්ෂය කරපු මහා පාවාදීමෙන් පසුව එම ජාත්‍යන්තරයේ ශාඛාවක් තමයි අපි පිහිටුවා ගත්තේ.

කොල්වින් ආර්. ද සිල්වලා පන්සල් යන්න පටන් ගත්තේ 1964 දී කරපු මහා පාවාදීමත් සමග යි. සිරිමාවෝ බණ්ඩාරනායකගේ ධනපති ආණ්ඩුවේ ඇමතිකම් බාරගත් ඇන්. එම්. පෙරේරා, කොල්වින් ආර්. ද සිල්වා, ලෙස්ලි ගුණවර්ධන කණ්ඩායම පළමුවන වන්දනා ගමන යන්නේ මල් වට්ටිය වඩම්මගෙන කැලණිය පන්සලට යි. එම අවස්ථාවේදී ගත් ඡායාරූප පුවත්පත්වල පළ වී තිබුණා. ඒක ඓතිහාසික ඡායාරූපයක්. එම ඡායාරූපය නිශ්චිතවම මාක්ස්වාදී සමාජවාදී දේශපාලනයේ ඉදිරි දර්ශනය නින්දිත ලෙස පාවා දීමකට ලක්කර ඇති බව සංකේතවත් කරනවා.

කොල්වින් ආර්. ද සිල්වාගේ 1982 ජනාධිපතිවරණ ඡන්ද ව්‍යාපාරය පටන් ගත්තේ කළුතර බෝධියෙන්. එය හුදෙක් සිංහල බෞද්ධ පමණක් නොවෙයි ඔහුගේ කුලවාදයත් ප්‍රකට කරන කාරණයක්. ඒ වගේ පාරාජිකාවීම පිළිබඳව අනන්තවත් කරුණු කාරණා පවතිනවා. නමුත් ඔවුන් 1964 දී කම්කරු පංතියේ ස්වාධින විප්ලවවාදී සමාජවාදී දේශපාලනය ප්‍රතික්ෂේප කරමින් ධනේශ්වර පංතියේ ආවත්වකාරයන් බවට පත් වනවා.

 

මාක්ස්වාදී පක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සංධාන ගතවීම පාවාදීමක් ලෙසයි ඔබ සඳහන් කරන්නේ. සමාජවාදී සමානතා පක්ෂයට සමාජවාදී විප්ලවය ජයගත හැකි බව ද ඔබ සඳහන් කරන්නේ.

ලෝකය සමාජවාදී ලෙස පරිවර්තනය විය යුතුව තිබෙනවා. ඒක ඓතිහාසික නියාමයක්. ඒක වෙශයික ඓතිහාසික නියාමයක ප්‍රකාශනයක්. එම ප්‍රකාශනයට නියෝජනයක් ලබා දීමයි අපි කරන්නේ. මාස්වාදය අනුවම ප්‍රකාශ කරනවා නම් භෞතික වෛශයික ලෝකයේ වන පරිවර්ථනයන් පිළිබිඹු කර ගැනීම තමයි මනුෂ්‍ය චින්තනය මගින් කරන්නෙ. එතකොට අපගේ මෙම විප්ලවකාරී ඉදිරිදර්ශනය වෙෂයික ලෝකයේ ක්‍රියාත්මක වන නියාමයගේ ප්‍රකාශනයක්. ඒ පරිවර්තනය නිශ්චිතවම සිද්ධ විය යුතුව තිබෙනවා. එය එසේ සිදුවෙමින් පවතිනවා. ඒ සඳහා හැඩගැසෙමින් පවතිනවා කියන එක 1917 ඔක්තෝම්බර් වල රුසියාවේ සිදුවූ විප්ලවයෙන්, එනම් ලෝක සමාජවාදය සඳහා තැබූ පළමු පියවරෙන්, ප්‍රකාශයට පත්වූවා. අද වන විට අධිරාජ්‍යවාදී ලෝකය පුරාම දැවැන්ත ආර්ථික අර්බුදයක් පවතිනවා, ඒ වගේම ලෝක ධනපති ක්‍රමයේ බිඳවැටීමක් පවතිනවා. තුන් වන ලෝක යුද්ධයක් කරා ගමනය පැනනැඟී පවතින්නේ මේ තත්ත්වයෙන්.

මෙම තත්වය තුළ විවිධ දේශපාලන ව්‍යාපාර ලංකාව සම්බන්ධයෙන් ගත්තොත් නව සම සමාජ පක්ෂය, එක්සත් සමාජවාදී පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්ෂ වාමාංශික වෙස් ගනිමින් මහජනතාව සමාජවාදයෙන් වලක්වා තැබීම සඳහා ධනේශ්වර ක්‍රමය පෙරලා දැමීම වලක්වා ගැනීම සඳහා උපරිම උත්සාහයක යෙදීගෙන ඉන්නවා. එසේ වුවත් මෙම ඓතිහාසික නියාමය බලගතුයි මෙම පාවාදීම්වලට වඩා. එහෙයින් සමාජවාදී සමානතා පක්ෂය සටන් වදින්නේ මෙම ඓතිහාසික නියාමයන්ට පටහැනි ලෙස සමාජවාදී ක්‍රියාමාර්ග පාවා දීමට ක්‍රියාකරන්නන්ට එරෙහිව විප්ලවවාදී ඉදිරි දර්ශනයෙන් කම්කරු පංතිය හා පීඩිත ජනතාව බලමුලු ගැන්වීමයි. මෙම ආත්මිය පාවාදීම්වලට වඩා එම නිසා ලෝකය සමාජවාදය ශාක්ෂාත් කරන බව සහතික යි.

@උපුටාගැනීම මුහුණු පොතෙන්.

නවතම ලිපි