SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මාර්තු 08 ලෝක කාන්තා දිනය වෙනුවෙන් ගැහැණිය යන්න නැවත කියැවීමක්..

දහනව වන ශතවර්ෂයේ මුල් සහ මැද භාගයේ රුසියාව කියන්නෙ වැඩි ආතතියක් සහ නාටකාකාර දේශපාලන, ආර්ථික හා සමාජ වෙනස්කම් ඇති ස්ථානයක් උනා. පැරණි රදල බල පද්ධතිය ප්ලූටෝක්‍රටික් එකක් බවට පරිවර්තනය වීමත් එක්ක කාර්මිකකරණය විශාල ධන විෂමතා සහ මුලුමනින්ම නව මිනිසුන් හා පන්ති නිර්මාණය කලා. නගර වේගයෙන් වර්ධනය උනා. සාම්ප්‍රදායික කෘෂිකාර්මික ජීවන රටාවන් විනාශ උනා. ඒ විතරක් නෙවෙයි නැපෝලියන් යටත් කර ගැනීමේ රුසියානු ව්‍යාපාරයෙන් පස්සෙ, මානව හිමිකම්, නියෝජිත රජයක් සහ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන ව්‍යවස්ථාවක් සඳහා ඇති ආශාව ප්‍රකාශ කරන බටහිර අදහස් රුසියාවට ආව. 

1825 දී පළමුවන ඇලෙක්සැන්ඩර් රජු මිය ගියාම, සොල්දාදුවන්ගේ රෙජිමේන්තුවක් රුසියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිහිටුවීම වෙනුවට නව කිරුළට පක්ෂපාතී වීම ප්‍රතික්ෂේප කළා. 'දෙසැම්බර්වාදීන්' ලෙස හැඳින්වූ ඔවුන් අවසානයේ මර්දනය කරනු ලැබුවත්, සියවස පුරා විශාල සමාජ විපර්යාසයක හැකියාවක් හා විශ්වාසයක් ඇතිකළා.  මෙම සියලු වෙනස්කම් Nihilism සඳහා වේදිකාව සකස්වෙලා.

රුසියාවේ නිහිලිස්ට් ව්‍යාපාරය සම්බන්ධව දීර්ග ලෙස කතා කිරීම වර්තමානයේ ලංකාවේ දේශපාලනය තුළ මතවාදීමය ලෙස අපේක්ෂා භංගත්වයට පත් මිනිසුන් වෙනුවෙන් වැදගත් වුවත් මේ උත්සාහය ඒ සඳහා නොවේ.

නිහිලිස්ට් ව්‍යාපාරයේ තවත් වෙනස්කමක් තිබුණ. ඒ තමයි නිහිලිස්ට් කාන්තා භාවිතය.

ඒ කාලය තුළ කාන්තාවන් නිහිලිස්ට්වාදී සංවිධානවල යම් කාර්යභාරයක් ඉටු කළා. IIවන ඇලෙක්සැන්ඩර් යටතේ දුර්වල සමාජ ජයග්‍රහණ ලබා දුන් නමුත් ඒ ජය බිඳ දැමීමේ ව්‍යාපෘතියට සම්බන්ධ වීමට කාන්තාවන්ට එතරම් පහසු උනේ නෑ, අපිට වැදගත් උනේ මෙයයි. මේ අවස්ථාව දේශපාලනයේ කාන්තාවගේ මනෝ භාවය ප්‍රකාශිත සුවිශේෂී අවස්ථාවක්. නිහිලිස්ට් ව්‍යාපාරයේ ස්ත්‍රීන් ගැන එහිදී කියැවුනේ මෙන්න මෙහෙමයි.   

“වරක් නිරත වූ විට, ඔවුන් තම පිරිමි සගයන්ට වඩා ක්‍රියාවට සහ ප්‍රචණ්ඩත්වයට කැපවී සිටියහ. Vera Zasulich නම් එක් කාන්තාවකගේ ක්‍රියාවෙන් ආරම්භ වන විප්ලවවාදී කාලපරිච්ඡේදය තුළ සෘජුවම ආයුධ අතට ගැනීම මෙය වඩාත් හොඳ නිදසුනකි. කාන්තාවන් රහසිගත සමාජවල සුළු කොටසක් නොවේ. වඩාත් ප්‍රසිද්ධ නිහිලිස්ට් රහස් සංගම් වන මහජන කැමැත්තේ ගිණුම්කරණයකින් ප්‍රකාශ වූයේ සංවිධානයේ 1/4 සිට 1/3 දක්වා ඇත්තේ කාන්තාවන් බවයි. එපමණක් නොව, විධායක කමිටුවේ අඩකට ආසන්න ප්‍රමාණයක් නියෝජනය කළේ කාන්තාවන් විසිනි. එකල සංස්කෘතියේ සමාජ ආකල්ප සම්පූර්ණයෙන්ම නොසන්සුන් නොවූ අතර තවමත් 'කාන්තා වැඩ' තිබුණද, බොහෝ කාන්තාවන් පිරිමින් සමඟ සමානාත්මතා සබඳතා පැවැත්වූහ” 

 1980 5

ස්ත්‍රියට ස්ත්‍රීත්වය හිමිවේද? නැතහොත් ස්ත්‍රීත්වය යනු ස්ත්‍රීවාදයද?

ඉහත ප්‍රශ්නය පසුගිය දිනයන්හිදී  මා මගෙන්ම විමසුවකි. එම ප්‍රශ්නය මට මගෙන්ම විමසීමට සිදුවූ මූලය කුමක්ද?

පිරිමියාගේ ආශාවේ වස්තුව කුමක්ද? එක් පසකින් මාගේ මිතුරියන්ගේ සහ මිතුරන්ගේ ස්ත්‍රීවාදී කතිකාවන් මා අපහසු කරවයි. අනෙක් පසින් ස්ත්‍රීයගේ විමුක්තිය පුරුෂයාගේ භාවයන් අත්පත් කරගැනීමද? යන්නත්, ස්ත්‍රීය යනු පිරිමියාගේ රෝග ලක්ෂණය නොවේදැයි මාගේ මිත්‍රයකු කරන ප්‍රශ්න කිරීම මා කුඩුපට්ටම් කරවයි.

ඉහත ජේදය කියවීම තුල මා වගේම ඔබත් අපහසුතාවයට පත්වන බව දනිමි. එහෙත් කලක් තිස්සේ ස්ත්‍රී යැයි කියාගන්නා භාවිතයන් සමග පැටලෙමින් දේශපාලනය කරද්දී මාධව රුවන්පතිරණ විසින් ඉදිරිපත් කරන "ඊලන් මස්ක් හරහා ලෙනින්ගේ සමාජවාදයට" යන ලිපිය කියවන්නට ලැබුනි. එම ලිපිය පලවීමත් සමගම මාගේ බොහෝ මිතුරු මිතුරියන්ගේ ප්‍රතිචාරය වූවේ එය තවත් නරුම පුරුෂාර්ථයන් හුවා දක්වන ස්ත්‍රී විරෝධී ඉදිරිපත් කිරීමක් බවයි.

එහෙත් එම ලිපියෙන් පවසන දේ එවැනි සුවපහසු අර්ථයකින් බැහැර කල හැකිද යන්න ගැටලුවක් වී මා නැවත නැවත එම ලිපිය කියවන්නට විය. ඉන් මාහට පසක් වූවේ ස්ත්‍රීවාදය යනු ස්ත්‍රියට ස්ත්‍රීත්වය අහිමි කිරීමක් බවයි. එම නිසාම මාධව රුවන්පතිරණ ගේ ලිපිය නැවත කියවීමකට යාමට මා විසින් හිතවත් ස්ත්‍රීන්ටද නැවත වරක් යෝජනා කලෙමි.

මෙම ඉදිරිපත් කිරීම මාධවගේ ලිපියට හානියක් නොවන ලෙස ඉදිරිපත් කිරීමත් එහිම වූ අවශ්‍යතාවයකි. වර්ථමාන දේශපාලනයේ යෙදෙන පිරිමින්ගේ ෆැන්ටසිය තුල පවතින ආශාව කුමක්ද? මෙන්න මේ ෆැන්ටසිය කොතෙක් දුරට ඔහු වෙතින් මිනිස් සත්තාව දුරස් කරන්නේද? මිනිස් සත්තාව අතපත් කරගැනීම තුල ස්ත්‍රීයට හිමිවන්නේ කුමන ස්ථානයක්ද? ඔවුන්ගේ ෆැන්ටසිය තුල ස්ත්‍රියගේ ආස්තානය කුමක්ද?

පුරුෂයාගේ දීර වීර ගති පැවතුම්, හැගුම්බර ප්‍රකාශන, ශක්තිසම්පන්න ගතිලක්ෂණ ආදිය හමුවේ, කොටින්ම කිවහොත් ඔහුගේ පුරුෂත්භාවය හමුවේ කාන්තාවගේ විමුක්තිය උදාකරගන්නේ කෙසේද යන්න නිහිලිස්ට් භාවිතයන් කැටිකරගත් මාගේ මිතුරියන්ට හමුවීද? එකී විමුක්තිය උදාවේද?

එම ප්‍රශ්නය ඉතා සරලව විමසන්නේ නම් කාන්තා විමුක්තිය යනු පුරුෂත්වය අත්පත් කර ගැනීමද? නැතහොත් පුරුෂයාට සමානයකු සේ කටයුතු කිරීමේ අයිතිය දිනා ගැනීමද?

මෙය මාධව රුවන්පතිරණගේ ප්‍රශ්නයයි. එය ඔහු ආරම්භ කරන්නේම මෙසේය.

//"ස්ත්‍රිය යනු රෝග ලක්ෂණයකි. වඩාත් පැහැදිලිව පවසන්නේනම් ස්ත්‍රිය යනු පිරිමියාගේ රෝග ලක්ෂණයයි"//

 ඉහත ඔහුගේ ඉතා කෙටි වාක්‍ය ඛන්ඩයෙන් ඔහු ස්ත්‍රීවාදය කුඩුපට්ටම් කිරීමට සමත් වී ඇත. බැලූ බැල්මට යමෙකුට එහි හැගවුම අති සරළ විය හැකිය. එහෙත් එම වැකිය ස්ත්‍රීවාදීන්ගේ කතිකාවම වෙනත් ස්ථානයක සලකුනු කරනු ලබන්නකි.

1980 8

මෙහිදී ඔහු පවසන ලෙස ස්ත්‍රිය පුරුෂයාගේ රෝග ලක්ෂණය වන්නේ කෙසේද?

එය අවබෝධ කර ගැනීමට මිනිසාට සහ සතුන්ට හිමි පොදු ස්ථානයකට අපට යාමට සිදුවෙයි. මිනිසකු ළදරුවකු ලෙස මෙලොවට බිහිවීමේදී ඔහුගේ චාලක ඉන්ද්‍රියන්ගේ ක්‍රියාකාරීත්වය ( Mortar skills ) අඩපනව පවතියි. වෙනත් විදියකින් කියනවානම් ඔහු අසම්පූර්ණයි. එසේත් නැතහොත් පරිපූර්ණ නැහැ. මෙය සතුන්ටද අදාල බලපැවැත්මකි. එම අසම්පූර්ණ කම නිසාම එම දරුවා වෙනත් කෙනෙකු විසින් රැක බලාගත යුතුයි. එසේ රැකබලා නොගන්නේ නම් දරුවාගේ ජීවිතය අහිමි වනු ඇත. එබැවින් මව හෝ වෙනත් අයකු විසින් දරුවාට කිරි දීම, වෙනත් ආහාර ලබාදීම, ඇතුලු සියලු කටයුතු සිදුකරමින් රැකබලා ගත යුතුය. මෙසේ රැකබලා ගන්නා දරුවාගේ වර්ධනීය අවදියේදී කවා පොවා රැකබලා ගන්නවා සේම ඔහුගේ ක්‍රියාකාරකම් සඳහාද උදව් කල යුතුය. විටෙක ඔහුව සිනාගැන්විය යුතුය, තවත් විටක ඔහුගේ අත පය සෑදිය යුතුය, පෙරලීම අත පය එසවීම, දනගෑම , ඇවිදීම වැනි එකී නොකී සියල්ල කියාදීම මෙන්ම හුරු පුරුදු කල යුතුය. එසේ තමා රැකබලාගන්නන් විසින් කරන දේ දරුවා ක්‍රමයෙන් අනුකරණය කරයි. තවත් ලෙසකින් පවසන්නේ නම් දරුවාට එම සියල්ල පරිකල්පනීයව බලපායි. නැතහොත් කැඩපතක් සේ බලපායි. දරුවකුගේ මෙම අවදිය යනු කැටපත් අවදියයි (Mirror Stage).

එය මාස 6 සිට වසර 1.5 ක් දක්වා කාලයයි. කෙනෙකු අතක් ඔසවන විට ඔහුට කැඩපතක් සේ එය බලපායි. ඔහුම ඔහුගේ අත එසවීමේදී එය ඔහුට පරිකල්පනීය වන්නේ ඒ ඔහු අත එසවූවා නොව එය වෙනත් අයකු අත ඉස්සූවක් ලෙසයි. මෙම කාරණය මෙතනදී මතක් කල යුතු වන්නේම මිනිසකුගේ රෝගය බිහිවන ස්ථානය මෙම ස්ථානය ලෙස සටහන් කිරීමටයි. එනම් එම දරුවා සතු කිසිවක් නැති බව ඇගවීමටයි. ඔහුට ඔහුසතු සියල්ල පරිභාහිරව අනුකරණයන් ලෙස එන ඒවායි. එම අනුකරණයන් ඔහු බාරගන්නේ පරිකල්පනීය ලෙස මුත් එම පරිකල්පනය කුමක්ද යන්න අප නොදනී. එසේ වුවත් මෙසේ අනුකරණය කරන සියල්ල වඩා හොඳින් කිරීමට උත්සහා දැරීම හා වඩා හොඳින් කරවීමට සැලැස්වීම තුල දරුවාගේ කැටපත් අවදිය තුලම "ඊගෝවෙහි ආරම්භක මොහොත සනිටුහන් කරයි."

1980 10

දරුවකුගේ කැටපත් අවදිය (Mirror Stage) ඔහු ලොකුමහත් වන විටත් එසේම බලපායි. (Mirror pace) එසේනම් රෝගය කුමක්ද? රෝගය මෙන්න මේ අසම්පූර්ණ කමයි. නැතහොත් අපරිපූර්නත්වයයි. එම නිසාම ඔහුට මම අහිමි වේ. එනම් යමෙකු මම යනු කවරෙක්දැයි විමසූවහොත් මම කියා කෙනෙකු අපට හමු නොවේය යන්නයි කිවහැක්කේ.

මෙය බැලූ බැල්මට බරපතල කියවීමකි. ඒ නිසාම එම කියවීම පැහැදිලිව ගත යුතුය. අපරිපූර්ණ දරුවා සතු කිසිවක් නොමැති බව අප කලින් මතු කලා. ඔහු සතු සියල්ල අනුකරණයන්ය. අත පය හැසිරවීම, ලස්සනට හිනාවීම, ලස්සනට කතා කිරීම, ලස්සනට ඇවිදීම, හොඳ දේ කිරීම, හොඳට ඉගෙන ගැනීම ආදී එකී නොකී සියල්ල අනුකරණයන් ය. නැතහොත් තමන්ට භාහිරින් පැමිණෙන දේවල් ය. එවිට “මම තුල මා සතු යමක් නොපවතී. මා පවතින්නේ අනෙකා තුලය”. 

මෙන්න මේ හඳුනාගැනීමත් සමග මාධවගේ ලිපියට පහසුවෙන් ඇතුල් විය හැකියි. එනම්,

අනුකරණයන් ලෙස මා තුල පවතින සියල්ල වඩා හොඳට කිරීම මගේ උවමනාවයි.

කුඩා දරුවා කාලයේ අතක් ඉහලට එසවූවේනම් දෙවනුව එම අත තවත් හොඳට ඔසවන්නේ චාලක ඉන්ද්‍රියන්ගේ දුර්වල තාවය නිසා කියා ඉහතින් සඳහන් කළා. මෙය ඊගෝවේ ආරම්භක අවස්තාව ලෙසත් සඳහන් කළා. මෙසේ ආරම්භ වන ඊගෝව මිනිස් ජීවිතයේ හැම ක්‍රියාවක් සමගම බැඳී පවතිනවා. ඔයා හොඳ ළමයෙක් වෙන්න, හොඳට ඉගෙන ගන්න, හොඳට ඇවිදින්න, යනාදියේ සිට මිනිසා කරන හැම ක්‍රියාවකම අන්තර්ගත වෙනවා. ඔහු පට්ට දක්ෂයෙක් වෙන්නෙ මෙන්න මේ ඇරැඹුම මතයි. වෙනත් විදියකින් කියනවානම් තමන්ටම දැනෙනවා තමන්ගේ ශරීර කොටස් තමන් හිතන විදියට වැඩ කරන්නේ නෑ කියලා. අන්න එහෙම හිතලා එම අඩුව වහගන්න අනුකරණය කරන්න ගන්නවා. දරුවා මවව හෝ පියාව හෝ තමන්ව රැක බලාගන්න අයව අනුකරණය කරනවා. නලු නිලියන්ව, ක්‍රීඩකයන්ව, ගායක ගායිකාවන්ව, එකී නොකී සියල්ලන්වම අනුකරණය කරන්නේම මෙන්න මේ තමන් හිතන විදියට තමන්ගේ ශරීර කොටස් වැඩ කරන්නේ නෑ කියන හේතුව නිසායි.

මෙය ශරීර අවයවයන්ගේ කැළැඹුම් අඩුව සකසා ගැනීම නොහොත් "ඊගෝව" ලෙස හඳුනාගත හැකියි. සියලු මිනිස් ක්‍රියාකාරකමක්ම පවතින්නේ ඊගෝව මතයි. පිරිමියා කරනු ලබන සෑම ක්‍රියාවලියකම ඊගෝව නොමැතිනම් ඒ වෙන කුමක්දැයි යන්න කෙනෙකුට පැවසිය හැකිද?.

ගමන් බිමන්, කෑම බීම, ඉදුම් හිටුම්, ඇදුම් පැලදුම්, ඉගෙන ගැනීම, ජිම් යාම, වාහන, ජංගම දුරකතන ආදී සෑම මිනිස් ක්‍රියාවක්ම ඊගෝව තුල ගොඩ නැගී ඇත.

ඉහත මාධව රුවන්පතිරණගේ ලිපිය ප්‍රශ්න කරමින් සමහර අය ගැහැණිය රෝග ලක්ෂණය නම් පිරිමියාගේ රෝගය කුමක්දැයි විමසීය. එයට දියහැකි පිළිතුර මෙයයි. පිරිමියා යනුම ඊගෝව මත ක්‍රියාත්මක වන රෝගය වැලඳී ඇති තැනැත්තායි.

1980 7

දැන් එසේනම් ගැහැණිය මාධවට අනුව රෝග ලක්ෂණය වන්නේ කෙසේද?

පිරිමියා කරන සෑම දේම කිරීමට තැත් කිරීම යනුම එම රෝග ලක්ෂණයයි. එසේ වුවත් ක්‍රමය ගොඩනගා ඇත්තේම ගැහැණිය නොසලකා හරිමින් නිසාම ගැහැනියට විශ්වීයත්වයට (Universal) පත්වීමට නොහැකි වුවත්, ගැහැණිය පිරිමියාගේ සම තැන ඉල්ලා සිටීම හා ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වීම යනුම එම රෝගය වැලඳ ගැනීමේ ආශාව මත ක්‍රියාත්මක වීමයි. මෙසේ ගත් කල පිරිමියාගේ ආශාව ගැහැණිය පිරිමියා ලෙස කටයුතු කිරීමයි.

//ගැහැණියට රූපලාවණ්‍යගාර වෙත යාමට අවශ්‍ය වෙන්නේ කුමන හේතුවක් නිසාද? ෆැෂන් අවශ්‍ය වන්නේ කුමක් නිසාද? ලස්සනට ඉන්න උත්සාහ කරන්නේ ඇයි, ලස්සනට අතපය, සිනහව, කොණ්ඩය, වාහන, ලස්සන, විනෝදගමන්, වල සිට අරක්කු, සිගරට් වැනි එකී නොකී සියල්ල පිරිමියා සේ කිරීමට නිදහස ඉල්ලා සිටින්නේ ඇයි? එයට හේතුව වන්නේම ගැහැණිය තුලද ඊගෝව වැඩ කරන නිසාය. ඒ කියන්නේම පිරිමියාගේ රෝගයේ ලක්ෂණ ගැහැණිය තුලින් මතු වීමයි.

එසේනම් අපගේ කාන්තා විමුක්ති සංවිධාන විසින් ඉල්ලා සිටින්නේම මෙන්න මේ සමාන ආස්තානය නොවේද? එනම් රෝගය වැලඳ ගැනීමට ඉල්ලා සිටීම නොවේද? එය මාධව පවසන්නේ මෙසේය.

//“එම අර්ථයෙන් ස්ත්‍රියට පිරිමින්ගේ චෛතසික ආර්ථිකය වෙත ඇතුල්විය හැක්කේ ෆැන්ටසි වස්තුවක් ලෙස පමණි, ෆැන්ටසි වස්තුව යනු කිසි දා අත්පත් කොට ගත නොහැකි දෙයි.... object petit (a)....” //

පිරිමියාගේ ආශාව කුමක්ද? උදාහරණයකින් කියනවානම්  යම් පුරුෂයෙක්ට ඇති වෛද්‍යවරයකු වීමේ ආශාව ගත්තොත්, එම වෛද්‍යවරයෙකු වීමේ ආශාව තුල ඇති ෆැන්ටසිය කුමක්ද? මෙතනදී ෆැන්ටසිය යනු අන්න අර වෛද්‍යවරයාගේ පිලිවෙල හා අංගයන් අත්පත් කර ගැනීමයි. වෙනත් විදියකින් කියන්නේ නම් ඔහුගේ පිළිවෙල, හොඳ වාහනයක්, හොඳ නිවසක්, හොඳ පිළිගැනීමක්, බුද්ධිමත් පෙනුමක් වැනි අංගයන්ගෙන් සමන්විත ගොඩනැංවීම අත්පත් කර ගැනීමයි.

මෙම ෆැන්ටසිය තුළට කාන්තාවට ඇතුල්වීමට නම් පිරිමියාගේ ආශාවේ වස්තුව කාන්තාව විය යුතුය. එසේත් නොමැතිනම් කාන්තාව යනු පිරිමියාගේ ෆැන්ටසි වස්තුව වීමයි. පිරිමියාට මෙම වස්තුව අත්පත් කරගත නොහැක. එනම් පිරිමියාගේ ආශාව උපදින්නේ කොතනින්ද යන්න සෙවීමට නොහැකියි. නැතහොත් පිරිමියා කාන්තාවට ආශා කරන්නේ ඇයිද යන්න සෙවීමේදී එයට හේතුවන තවත් ආශාවක් ඇත. එම ආශාවට හේතුවන තවත් ආශාවක් ඇත. මෙසේ මෙය කෙළවරක් කල නොහැකිය. එම නිසාම පිරිමියාගේ ෆැන්ටසි වස්තුව වීම තුල කාන්තාවට එය කිසිදා අත්පත් කරගත නොහැක. මේ සඳහා කාන්තාව තුල කෙසේ ඊගෝව ක්‍රියාත්මක වුවද මඩ සහිත ගොහොරුවකට එක් අඩියක් තැබූ පසු ගොහොරුවේ එම පය ගිලීයද්ද්දී අනෙක් පය තැබූවද ගොඩ ඒමක් නොමැතිව සම්පූර්ණයෙන්ම ගොහොරුවේ ගිලී යන්නා සේම පිරිමියාගේ ෆැන්ටසිය අත්පත් කර ගැනීමට උත්සාහ දැරීම යනුම පිරිමියාගේ රෝගයේ රෝග ලක්ෂණ වැඩි වැඩියෙන් පෙන්නුම් කිරීම හැර වෙනත් යමක් නොවේ.

1980 11

මාධව මෙසේ සඳහන් කරයි.

//“ස්ත්‍රීවාදීන් හෝ ස්ත්‍රීවාදිනියන් ලෙස හඳුන්වා ගන්න අමන හැත්තට අනුව ස්ත්‍රීන් හට විමුක්තිය ලැබිය හැක්කේ පිරිමින් හා සමාන වීමෙනි (නමුත් එම සමාන වීම යනුද රෝග ලක්ෂණයේ වර්ධනයකි). එනම් පිරිමින් කරන රැකියා, ක්‍රියාකාරකම්, මත් පැන් පානය, සිගරැට් බීම, ඇඳුම් පැළඳුම්, ගස් නැගීම, වාහන එළවීම, මෝටර් සයිකල් පැදීම වැනි තවත් බොහෝ දේ (මෙහි උපරිමයට පැමිණි ස්ත්‍රීන් පිරිමින් මෙන් තමන්ද බඩු ගසන බව පවසමින් පිරිමින් සමග නිදා ගනිති. නමුත් ඔවුන්ට නැවතත් එසේ කිරීමට හැකි වන්නෙම පිරිමියාගේ රෝග ලක්ෂණය වීමෙන්මය.) පිරිමින් හා සමානවම සිදු කිරීමට යාම තුල ස්ත්‍රී විමුක්තිය අත්පත් කොට ගත හැකිය යන්න ඔවුන්ගේ ස්ථාවරයයි.”

කෙසේ වෙතත් ඉහත සඳහන් කල සියල්ල තුල ස්ත්‍රියක් බවට පත්වන්නේ නම් ඇය අනීවාර්ය ලෙස පිරිමියාගේ ෆැන්ටසි වස්තුව බවට පත්විය යුතුමය (එකී සමානත්වය අත්පත් කොට ගැනීම යනුම නැවතත් පිරිමියාගේ ආශාවේ වස්තුව බවට පත් වන තත්වයක් බවට පත්ව ඇත). නැතිනම් එහිම ඊට එහා ගිය විපරීතභාවයක් කරා ගමන්කරනු ඇත. එවිට පිරිමියා යනු උග්‍ර රෝගියෙකි. //

ස්ත්‍රියට හිමිවිය යුත්තේ සැබෑ (real) තැනකි. ඇයට තම දරුවාට කිරි දීමෙන් ගැලවිය හැකිද? දරුවා පෝෂණය වන්නේ මවගේ කිරි හරහාය. පිරිමියාගේ ආශාව වන්නේද ගැහැනිය මින් ගලවා කෘතීමව දරුවාට කිරි දීමට සැලැස්වීමය. දරුවන් වැදූ ස්ත්‍රියට වඩා පිරිමියාගේ ආශාව දරුවන් බිහි නොකල නැවුම් ස්ත්‍රිය වෙතය. දරුවන් බිහි කිරීම යනු ස්ත්‍රියගේ සැබෑ (real) ක්‍රියාවකි. දරුවන් බිහි නොකරන්නේනම් එතැනින් මානව පැවැත්ම අවසන් වනු ඇත. ගැහැණිය නැවුම් ලෙස තබාගැනීමට රූපලාවණ්‍යාගාර අවශ්‍යයි වගේම පැලෝපීය නාලය ඛණ්ඩනය කිරීමද වැදගත්‍ ය. දිගින් දිගටම පැලෝපීය නාලය ඛණ්ඩනය කිරීම කාන්තාවට කල නොහැක. එසේ වන්නේ කාන්තාවගේ කාර්යභාරය එය බැවිනි.

නමුත් ඊලන් මස්ක් කාන්තාව දරුවන්ට කිරි දීමෙන් විතැන් කොට ඒ වෙනුවට කෘතීම යන්ත්‍රානුසාරයෙන් කිරි පොවා කාන්තාව ආර්ථික ක්‍රියාවලිය වෙත තව තවත් උකහාගැනීමට තාක්ෂණය හරහා උත්සහ දරන්නේ පිරිමියාගේ ආශාව එය බැවිනි. දැන් සියලු ස්ත්‍රීවාදීන්ට ස්ත්‍රියගේ රියල් තැනින් ගැලවී ක්‍රමය වෙත තව තවත් කිඳාබැසිය හැකිය. ඔවුන්ගේ සටන් පිරිමියා මෙන් පොල් කඩන ස්ථානයේ සිට ඉහල ඉගෝවක් සහිත වෛද්‍යවරියක්, ඉංජිනේරු වරියක් හෝ ඊටත් එහා ගොස් ලිබරල් ආර්ථික ක්‍රියාවලියේ ගොදුරු බවට පත් විය හැකිය. ඉන් පිරිමියාගේ රෝග ලක්ෂණය වර්ධනීය අවදියකට ගෙන ආ හැක.

ගම් වල තවමත් රියල් ස්ථානයේ සිටින කාන්තාවටද විමුක්තිය යනු පිරිමියාට සමාන වීම බැවින් ඒ සඳහා සටන් වදින ක්‍රමවේදයන් ඉගැන්විය හැකිය. රෝග ලක්ෂණය උත්සන්න කල හැකිය.

එය මාධව මෙසේ දකියි.

//රාජ්‍යය යනු ස්ත්‍රියගේ නිර්මාණයක් නොවේ. ඒ අර්ථයෙන් ස්ත්‍රීන් යනු හුදෙක් එම පුරුෂ නිර්මාණය නඩත්තු කිරීමට පුරුෂයාටත් වඩා වැඩියෙන් සේවය කරන්නන් පමණි. ඒ අනුව දියුණුව, සංවර්ධනය, ලෙස අප අත්විඳිනුයේ වක්‍රව ගතහොත් ලුබ්ධිමය ආර්තිකයේ වුර්ධීන්ය. මහා මාර්ග, වර්තමාන නිවාස, වාහන, පාරිභෝගික භාණ්ඩ හා සේවාවන්, දැනුම, අධ්‍යාපන මට්ටම්, ශරීර ස්වභාවයන් සකසා ගැනීම, ඇඳුම් පැළඳුම් වැනි තවත් එවැනි බොහෝ දෑ ඇතුළු සියල්ල පවත්වාගෙන යන්නේ රාජ්‍යය තුලය. //

රාජ්‍ය තුල පවතින්නේ අධිකාරිත්වයයි. එය සෑම මොහොතකම දෘෂ්ටිවාදීව අප ඉදිරියේ අපගේ සියල්ල වෙනස් කරමින් පෙනී සිටියි. එහි පැවැත්ම සඳහා ආයතනික ව්‍යූහයක් පවතියි. එම ආයතන හරහා දැනුම බෙදාහරියි. දැනුම යනු සත්‍ය වෙත ලගාවීමේ මාර්ගය විවර කර දෙන්නකි. ඒ මත සමස්ත නිෂ්පාදන ක්‍රියාවලිය ගොඩනංවා ඇත. මෙහි පැවැත්ම වෙනුවෙන් පෙනීසිටින්නේ රජයයි. මෙකී සමස්ත ක්‍රියාවලියම ගොඩ නැගෙන්නේ පුරුෂමූලික ලෙසය. නැතහොත් ස්ත්‍රිය නොසලකා හරිමිනි. නඩුකාරයා යනු පුරුෂ මූලික වෘත්තියකි. එමෙන්ම එය ස්ත්‍රී අර්ත ගැන්වීමට අමුතුවෙන් " තුමිය" යන විශේෂණය එක් කල යුතුය. ඩොක්ටර් යන්න කාන්තා රූපී ලෙස පෙන්වීමට ලේඩි කෑල්ල ඇතුලත් කල යුතුය. නැතිනම් තුමිය ඇතුලත් කල යුතුය.

මෙසේ ගත් කල රියදුරු, පෙදරේරුවා, වඩුවාගේ සිට සියලු වෘත්තින්ගේ ගොඩනැංවීම පුරුෂයා මූලිකව සිදුවූවකි. මෙම නිර්මාණය තුල කාන්තාව නොසලකා හැරෙන්නේ ඇයි? එසේ නොසැලකීමට බලපෑ හේතුව කුමක්ද? එම පැනයට ස්ත්‍රීවාදී විමුක්ති කාමීන්ට ලබාදිය හැකි පිළිතුර කුමක්ද? රාජ්‍ය නැමති විපරීත ගොඩනැංවීම තුල තව තවත් සංවර්ධනය, දැනුම ලබාදීම, විලාසිතාකරණය, ශරීර හැඩයන් ගේ සිට ගෙදර දොරේ වැඩවලින් ගලවා කාන්තාව අතට ස්කූටරය ලබාදීම දක්වා සහ එතැනින් එහාට ද ස්ත්‍රීය උරාගනිමින් (Absorb) පුරුෂ නිර්මාණයක් වූ රාජ්‍ය රැකබලා ගැනීමේ කාර්යය කාන්තාවට පවරා ඇත.

එපමණින් නොනවතින රාජ්‍ය ව්‍යුහය එහිම පැවැත්මේ මූලය වන ආර්ථික දේහයේ වැඩි පංගුවකට ස්ත්‍රිය දායක කරගති. මෙසේ පුරුෂයාගේ රෝග ලක්ෂණය වෙමින් එම උකහාගැනීම සියල්ලට ස්ව කැමැත්තෙන්ම ඉදිරිපත් වන ස්ත්‍රිය එසේ නොලැබෙනවාට විරුද්ධව නැගීසිටිමින් එම රෝග ලක්ෂණය කරගන්නා ලෙසම ඉල්ලා සිටියි. ඒ සඳහා සටන් වදියි.

1980 12

මාධවගෙ ලිපියෙන්

//රජයේ රැකියා කරන්නන් යනු ඒ සියල්ල පවත්වා ගැනීමේ යාන්ත්‍රණයේ විවිධ දූරාවලීන්ය. එවිට 'ස්ත්‍රීවාදී' ස්ත්‍රී විමුක්තියේ' එක් ප්‍රධාන ඓතිහාසික කාරණයක් වන්නේ පිරිමියා හා සමාන ලෙස රාජ්‍යය සේවක 'අයිතිවාසිකම්' (රජයේ රැකියා) ඉල්ලා සිටීමේ ඉතිහාසයයි. ඒ අනුව ලංකාවේ නියෝජ්‍ය පොලිස් නෝනලා තුන් දෙනා යනු එහි එක් සන්ධිස්ථානයකි. ලංකාවේ පමණක් නොව එවැනි තනතුරු ලෝකයේ සෑම රටකටම අදාලව ගතහොත් වැදගත් සන්ධිස්තානයන්ය. නමුත් ලෝකයේ කිසිම රටක තවමත් යුධ, නාවික, ගුවන් වැනි හමුදා වල එවැනි වගකිවයුතු ප්‍රධානත්වයන් ස්ත්‍රීන්ට ලබා නොදේ (යම් මට්ටමක ඒවා ලබා දීමට ඇමරිකාව උත්සාහ කරමින් සිටී). වර්තමාන පිරිමියා ආශා කරනුයේ අධ්‍යාපනය (උගත්කම) දැනුම, සපිරි රූපලාවන්‍යාගාර වෙත නිරන්තරයෙන් යනෙන ස්ත්‍රියටය. එසේ නොමැතිව පිරිමියෙකු ලෙස පොල් කඩන්නියකට නොවේ. එබැවින් රූපලාවන්‍යයට අදාළ විශාල ආර්ථිකයක් නිර්මාණය වී ඇත (එවැනි ආර්ථිකයන් නැවතත් ලුබ්ධිමයතත්වය ප්‍රතිමූර්ති ගත වීමකි). ඒ අනුව සත්තකින්ම, සමස්ත මහා ආර්ථිකයේ මෙන්ම එහිද නිර්මාතෘන් පිරිමින් වන විට ස්ත්‍රිය යනු එයට සහභාගී වන්නා පමණි. නමුත් එම තත්වය විද්‍යාමාන වන්නේ ස්ත්‍රී විද්‍යාඥවරියන්, මහාචාර්යවරියන්, වෛද්‍යවරියන්, ඉන්ජිනේරුවරියන්.... වැනි ලෙස බස් ඩ්‍රයිවර්වරියන් දක්වා ස්ත්‍රී සහභාගීත්වයක් ලෙසය (ධනවාදයට හොඳින්ම අවශ්‍ය තත්වය). ඒ තත්වය එසේ විද්‍යමාන වන විට වාම මෙන්ම ලිබරල්වාදීන් ද දිගින් දිගටම ඒ තුල ඉදිරියට යාම (නමුත් ස්ත්‍රීයට පොල් ගස් නැගිය හැකිය වැනි සටන් පාඨ නැති වීම නැවතත් පිරිමියාගේ ආශාවට අදාළ ප්‍රශ්නයකි) ස්ත්‍රී විමුක්තිය ලෙස වටහා ගැනීම ඛේදවාචකයක් බව පෙන්වා දිය හැක්කේ ලැකානියානු මනෝවිශ්ලේෂණයට පමණි.//

 "නව ලිබර් ආර්ථික සමස්තය එක දිසාවකට ගමන් කරයි. එය මිනිසාගේ ආශාවන් ෆැන්ටසිකරණය කිරීමේ සිට ෆැන්ටසි වසංගතයක් දක්වා වර්ධනීය අවස්තාවකට රැගෙන ගොස් ඇත. පරිභෝජනකාමය ඔවුන්ගේම දැනුමේ හරයන් අභිබවමින් ක්‍රියාත්මක වෙයි. වෙළද ප්‍රචාරණය තුල විවිධාකාර පරිභෝජන භාණඩ පෙර කී ෆැන්ටසි වසංගතය වෙත මිනිසා ගෙනයන බව කොතෙක්නම් දැනුම තුලින් ඉගෙන ගත්තද සුපර් මාර්කට් වෙතම ගොස් එම භාණ්ඩම මිලදී ගන්නේ ඇයි? තවත් පිරිසකට සුපර් මාර්කට් වෙත ඇතුලුවීමට තරම් ආර්ථික හැකියාවක් නොමැති වීම නිසා කම්පා වන්නේ ඇයි? මසකට වරක් හෝ රූපලාවන්‍යය වෙත යාමට මුදල් අහිමි කාන්තාව දරුවන්ට කෑම බීම සඳහා ඇති මුදල් යටි මඩි ගසමින් ඒ වෙත පිය නගන්නේ ඇයි? ක්ෂුද්‍රමූල්‍ය පන්නයේ ණය පහසුකම් ලබාගනිමින් ස්කූටියක් මිලදී ගනිමින් ඒ මත නැගී කිරිල්ලියක් සේ සැරිසරන්නේ ඇයි? මේ සියල්ල අත් පත් කරගැනීම සඳහා දිවි පරදුවට තබමින් වෙහෙස වන ගැහැනුන් පිරිමින් බිහිවන්නේ ඇයි? නඩත්තු කර ගැනීමට නොහැකි ගෙයක්, වාහනයක් නැතිවම බැරි වන්නේ කුමන හේතුවක් නිසාද? මේ රෝගය කුමක්ද? එලෙසම ස්ත්‍රිය අත්පත් කර ගැනීමට වෙහෙසන රෝගයේ ලක්ෂණය කුමක්ද? මේ ප්‍රශ්න සඳහාද කාන්තා විමුක්ති සංවිධාන මෙන්ම වමේ තක්කඩි දේශපාලකයන් පිළිතුරු සැපයිය යුතු නොවේද?

එලෙසම වමේ දේශපාලනයේ තක්කඩිකම ගැනද වචනයක් කිව යුතුය. මෙකී මහා ආර්ථික දේහයේ නිමැවුම් කරුවන් වන පිරිමින් කාන්තාවද සහභාගී කර ගනිමින් නැතහොත් හවුල් කරගනිමින් මෙකී ස්වාමි කතිකාවේ (master discourse) පැවැත්ම වෙනුවෙන් කටයුතු කරයි. එම ක්‍රියාවලියේදී සැලකිය යුතු කාර්යභාරයක් පෙර කී තක්කඩි වම්මුන් විසින් හා වමේ පෙරමුණෙහි කාන්තා ව්‍යාපාරයන් විසින් ඉටු කරයි. කාන්තාවන් සඳහා පිරිමියාගේ සම තැන නැමති රෝගය වැලඳවිය යුතුය. ඒ සඳහා දැනුම, අධ්‍යාපනය වැඩි වැඩියෙන් ලබා දිය යුතුය. ඇති හැකි අයට ඉගෙන ගැනීමට පමණක් පෞද්ගලික පාසැල් නොතිබිය යුතුය. ඒවා සියලු දෙනාටම ඉගෙන ගත හැකි වන සේ රජයෙන් පවත්වාහෙන යා යුතුය. ඒවා පුළුල් කල යුතුය. විශ්ව විද්‍යාල පද්ධතිය පුළුල් කරමින් ඒ සඳහා රජය වැයකරන මුදල් ප්‍රමාණය වැඩි කල යුතු අතර ඒවා පෞද්ගලිකකරණය නොකර සියලු ළමයින්ට ඉගෙන ගත හැකි සේ පවත්වාගෙන යා යුතුය. විශ්වවිද්‍යාල වෙත ඇතුලත් කරගන්නා ළමුන් ප්‍රමාණය වැඩි කල යුතු අතර ඒවට නව දැණුම ඇතුලත් කල යුතුය. වැඩි වැඩියෙන් ආචාර්යවරුන්, වරියන්, මහාචාර්ය වරුන් වරියන්, විද්‍යාඥයින් බිහි කල යුතුය. ඒ සඳහා කැපවිය යුතුය. එම ලබ්ධිකයින්ගේ වේතනයන් වැඩිකර ඔවුන්ට තව තවත් පාරිභෝජනයේ අවස්තාව විවර කර දිය යුතුය. එය ලබා නොදෙන්නේ නම් සටන් වැදී හෝ මෙම රෝගය උත්සන්න කල යුතුය. කාන්තාවන් එම රෝග ලක්ෂණය වැඩි වැඩියෙන් පෙන්විය යුතුය.

1980 13

මේ කියන්නේ කුමක්ද? මේ පැවැත්මේ කුමන කොටසද ධනවාදය විසින් බැහැර කරන්නේ?

කිසිවක් බැහැර කරන්නේ නැත. ඔවුන්ට ඇති ගැටලුව වන්නේම මේවා ඉටුකර දීමට ඇති නොහැකියාවේ ගැටලුවයි. එහිදී රාජ්‍යට බලපෑම් කරමින්, අරගල කරමින්, කාන්තාවන්ගේ විමුක්තිය උදෙසා කාන්තාවන් මෙහෙයවමින් ධනවාදයේ උවමනාව වේගවත් කරවීම හැර වෙනත් යමක් වේද? එබැවින් මාධව රුවන්පතිරණ මේ කියා සිටින්නේ කුමක්ද?

//"ලැකානියානු ස්ථාවරය වන්නේ, ස්ත්‍රීන්ට මෙන්ම පුරුෂයින්ටද විමුක්තිය ලැබිය හැක්කේ මින්ස් වාර්ගික සත්තාව අත්කොට ගැනීම තුලය යන්නයි. එනම් ස්ත්‍රිය ස්ත්‍රිය ලෙසත්, පිරිමියා පිරිමියා ලෙසත් (සමනය කල නොහැකි ප්‍රතීඝතාවය) සියලු ආකාරයේ පරාරෝපනයගෙන් මිදී, තහවුරු වීම තුල මිස ස්ත්‍රිය ධනවාදය තුල සිටිනා පිරිමියා වීමට යාමෙන් විමුක්තිය අත්පත්කොට ගත නොහැකිය යන්නයි. උදාහරණයකින් පැහැදිලි කරන්නේ නම් ළදරුවා අනීවාර්ය ලෙස මව සමග සිටිය යුතුය. ඒ ළදරුවාගේ අවශ්‍යතා සපුරාලීම සඳහාය. ළදරුවා මවගෙන් වෙන් කිරීම ඔහුට අදාළ වර්ධනීය විපරීතභාවයන්ට හේතු වේ. එසේ වන්නේ මව නොවන අයෙකු ළදරුවාගේ සත්කාර කරන්නා වීම තුල තම මවගෙන් ලැබෙන සත්කාර සහ ප්‍රතිචාර වලට වෙනස් තත්වයක් උද්ගත වීම තුලය. මව රැකියාවකට යා යුතුය යනු දරුවා බලා ගැනීමට සේවකයෙකු හෝ සේවා ස්ථානයකට භාර දිය යුතුය (වැඩිහිටියන් ඒ සඳහා පාවිච්චි කිරීම වාම මෙන්ම ලිබරල් ස්තාවරයන්ටද පටහැනිය, එසේ කලද මවගේ අවශ්‍යතාවය සපිරෙන්නේ නැත).//

ඔහු කියන්නේ ලැකෑනියානු මනෝවිශ්ලේෂණය හැර මේ සඳහා විසඳුමක් නොවන බවයි. එනම් ලැකෑන්ට අනුව ස්ත්‍රීය සහ පුරුෂයා යන දෙදෙනාගේම විමුක්තිය උදාකරගත හැකි වන්නේ මිනිස් වාර්ගික සත්තාව අත්පත් කර ගැනීමෙන් පමණක් බවයි. වාර්ගික සත්තාව අපට හමුවන්නේ කෙසේද? ඒ සඳහා සියලු පරාරෝපනයන්ගෙන් මිදිය යුතුය. ගැහැණිය වෙත පරයෙක් ආරෝපනය වීම නැතිනම් පිරිමියා ආරෝපනය වීම සහ එකී පරාරෝපනය වඩා හොඳට අත්පත් කරගැනීම වෙනුවට සියලු පරාරෝපනයන්ගෙන් මිදීම තුල කාන්තාව සිය සැබෑ ජීවිතය නැතහොත් ස්ත්‍රිය ස්ත්‍රියට හිමි තැනත් පිරිමියා පිරිමියාට හිමි තැනත් අත්පත් කරගැනීම සිදුවිය යුතුය.

1980 9

එම ස්ථානයන් හිමිකරගැනීම යනු, ධනවාදය තුල පිරිමියාට හිමි තැන හිමිකරගැනීම යනුම තව තවත් පරාරෝපනය වීමකි. කාන්තාවට දරුවන් බිහිකිරීමේ තැන අහෝසි කිරීම පිරිමියාගේ ආශාව නැතහොත් ෆැන්ටසිය වුවත් ඉන් කාන්තාවට කිසි සේත් මිදිය නොහැකිය. එමෙන්ම මිනිසා සියලු අධිකාරීත්වයන්ගෙන් මිදිය යුතුය. පිරිමියා ගැහැනිය වෙත අධිකාරීයව මැදිහත් වෙයි. දැනුම ඇත්තාගේ අධිකාරීත්වය දැනුම නැත්තා තුළ බලපැවැත්වේ. මෙය නිරන්තරයෙන් සමාජය කොටස් දෙකකට බෙදයි. එබැවින් අධිකාරීත්වයෙන් මිදීම අනිවාර්ය වේ. එය ධනපති හෝ වේවා සමාජවාදී හෝ වේවා කිනම් හෝ අධිකාරීත්වයකට මිනිසා නතු නොවිය යුතුය. එමෙන්ම දෘෂ්ටිවාදයෙන් මිදීමද, පරිභෝජනවාදයෙන් මිදීමද, ආයතනික ව්‍යූහයන්ගෙන් මිදෙමින්ද පවතින සියලු ආකාරයේ ධනේශ්වර ගොඩනැංවීම් විනාශ කිරීම තුලින් මිනිසට වාර්ගික සත්තාව අත්පත් කරගත හැකිය. එවිට කාන්තාවට මෙන්ම පුරුෂයාටද විමුක්තිය උදාවේ. ඉන් මෙහා සිදුකරනු ලබන නිහිලිස්ට් හෝ වේවා, කාන්තා විමුක්ති ව්‍යාපාර හෝ වේවා. එසේත් නැතහොත් සියලු ආකාරයේ මැදිහත් වීම විසින් පවතින ක්‍රමයේ පැවැත්ම තව තවත් තහවුරු කරනවා සේම ස්ත්‍රිය පුරුෂයාගේ රෝග ලක්ෂණය වීම නොවැලැක්විය හැක්කක් වනු ඇත.

මේ නිසාම මාධව රුවන්පතිරණ විසින් මෙම ලිපිය මගින් අපට ගෙන එන්නේ තව දුරටත් ධනවාදයේ පැවැත්ම වෙනුවෙන් පෙනී සිටිමින් ක්‍රියාත්මක වීම හා මාරම රැඩිකල්‍ යැයි පවසමින් ධනවාදයම පෝෂනය කිරීමෙනුත් මිදී විමුක්ති දේශපාලනය වෙනුවෙන් කතිකාවක් ගොඩනැංවිය යුතු බවයි. එම යෝජනාව උඩින් පල්ලෙන් කියවා තම තමන්ගේ ගුහා තුල සිටිමින් පොදු පුරුෂාර්ථයන්ගේ තැන සිට ස්ත්‍රීය වෙත කෲර විවේචනයක් යන තැනින් ගෙන මාධව ට හිටුවාපස් ගැසීම වෙනුවට මෙම කතිකාව නැවත නැවතත් සාකච්ඡාවට බඳුන් කරගැනීමේ උවමනාව මත මාධව රුවන්පතිරණගේ ලිපිය සම්බන්ධයෙන් වන “යළි කියැවීම” ඉදිරිපත් කරමි.

@ සිරිමලී ලියනගම

 

නවතම ලිපි