SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

වත්මන් රාජපක්ෂ ආණ්ඩුව බලයට ගෙනා, බහුතරයක් භික්ෂුන් වහන්සේලාත්,

මේ වෙනකොට ආණ්ඩුව ගැන ඉන්නේ, බරපතල පසුතැවිල්ලකින්.. ඊයේ, ඒ කියන්නේ ජනවාරි 26, වෙච්ච සිද්ධියකින්, ඒ කාරණේ හොඳටම පැහැදිලි වෙනවා. රටට විශේෂයෙන් ආණ්ඩුවේ ලොකු ලොක්කන්ට සෙත් ශාන්තිය පතා , ඊයේ රාත්‍රී කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී,  ජය පිරිත සජ්ජායනයක් සංවිධානය කරලා තිබුනා . ආරංචියේ හැටියට මේක සංවිධානය කරලා තිබුනේ ආරක්ෂක අමාත්‍යාංශයෙන්.

වැඩේ පවරලා තිබිලා තියෙන්නේ, මේ දවස්වල කෝකටත් තෛලය වෙලා ඉන්න, දේශ බන්දුට ලු. මිනිහ කාගෙන වැඩ ලු.

හැම දිස්ත්‍රීක්කයෙන්ම අඩුම ගානේ, හාමුදුරුවරු පනස් නමක් (50)  වත් වැඩමවගෙන එන්න කියල, මෑන් පිටපලාත්වල ඉන්න SSP ලට ඕඩර් දීලා.

කට්ටිය  පලතුරු වට්ටි අරගෙන, පන්සල් ගානේ බඩගා ගෙන ගියත්, හාමුදුරුවරු හුඟදෙනෙක් ආරාධනය  ප්‍රතික්ෂේප කරලා, ආයෙත්  ආණ්ඩුවට කඩේ යන්න බැහැ කියලා.  එහෙම කෙලින් කියාගන්න බැරි හාමුදුරුවරු, කියල තියන්නේ, වසංගත තත්ත්වේ නිසා, මේ දවස්වල පිටට වඩින්නේ නෑ  කියල.

කොහොම හරි, පොළොන්නරුවේ පොලිස් ලොක්කෙක්, යාන්තන් හාමුදුරුවරු 15 නමක් කොළඹට වඩම්මාගෙන ඇවිත්. ඒත්  මොකටද කියල හරිහැටි නැහැ. අගමැතිතුමාගේ වැඩක් කියල තමයි, කියල තියන්නේ. වාහනවල එද්දිත් උන්වහන්සේලා අනෙක් සහෝදර හාමුදුරුවරුන් ගෙන් අහ අහ ආවලු, ''අපි යනවා ඔබ වහන්සේලා වඩින්නේ නැද්ද කියල. ? ලැබිච්ච ප්‍රතිචරේ එච්චර හොඳ නැහැ කියල තමයි, උන්වහන්සේලාගේ මුණු වලින් පෙනිලා තියන්නේ.

BMICH ලඟට ආවට පස්සේ තමයි, උන්වහන්සේලා ට වැඩේ මීටර් වෙලා තියන්නේ. ඒ වෙලාවේම පොළොන්නරුවෙන් වැඩමකළ හාමුදුරුවරු 15 නමෙන් , 11 නමක්ම ආපහු යන්න ගිහින්. කතාවේ හැටියට පොළොන්නරුවේ විතරක් නෙමෙයි, හැමදිස්ත්‍රීක්කෙම තත්ත්වේ ඔහොම තමයි ලු..

අවුරුදු දෙකක් යද්දී, මේ ආණ්ඩුවට පිරිතකට, භික්ෂුන් වහන්සේලවත් හොයාගන්න බැරි තැනට, වැඩේ නරක අතට ගිහින්...

ඒ වුනාට ජය පිරිතට, BMICH එකයි, බෞද්ධාලෝක මාවත , බුලස් රෝඩ් එක, විදුලි බුබුළු වලින් ආලෝකමත් කරලා තිබුනේ, වෙසක් කාලෙ වගේ. පාර දෙපැත්තේ වෙසක් කුඩු වලින් සරසල.

රට පුරාම හීනියට ලයිට් කපද්දී, ආණ්ඩුවේ ලොක්කන්ට සෙත්පතන්න, BMICH එක විදුලි ආලෝකයෙන් බබලවලා. මේ සේරම සැරසිලි කරලා තියන්නේ, පොලිසියෙන් ලු. අපොයි, දේශබන්දු IGP වෙන්න දගලන දැඟලිල්ලක් කියලා කට්ටිය කෝචෝක් දාන්නත් අරගෙනලු.

BMICH ජය පිරිතේ කතාව ඔහොම වුණත් , ජනාධිපතිතුමට උපදෙස්දෙන, බෞද්ධ උපදේශක කාරක සභාවේ භික්ෂුන් වහන්සේලා නන්, කියල තිබුනේ, " ඉවසීමෙන් හා සැලසුම් සහගතව ගත් තීරණවල ප්‍රථිපල, වර්තමානයේ යථාර්ථයක් බවට පත් වෙමින් තිබෙන අතර, දූරදර්ශී හා ප්‍රායෝගික දැක්මක් සහිත නායකයෙක් ලෙස, අපි ජනාධිපති තුමාව පිලිගනිමින්, ජනතා අපේක්ෂා ඉටු කරන්න අවශ්‍ය සහය ලබා දෙනවා" කියල.

කවුරු හරි මෙහෙම ප්‍රකාශයක්, අපේ ජනාධිපතිතුමා සම්බන්ධව කළොත්, 69 ලක්ෂයේ  සමහරුත්  ඒක ප්‍රතික්ෂේප කරයි. තවත් සමහරු හිනා වෙයි. රටේ රාළ නං කියල තිබුනේ, කවුරු හරි එහෙම කියලා තියනවා නං, ඒ අයගේ මොළේ පරීක්ෂා කරන්න ඕනි කියලා.

ඒ මොලේ අමාරුවක් තියනවාද කියලා බලන්න නං නෙවෙයි. මොළේ කළඳක්  හරි තියනවද බලන්න. කියල තමයි, රටේ රාල එයාගේ ෆේස්බුක් පිටුවේ සටහන් කරලා තිබුනේ..

ඇත්තටම මේ ප්‍රකාශය කලා  කියන්නේ, ජනාධිපතිතුමාගේ බෞද්ධ උපදේශක කාරක සභාවෙන්. එතෙන්ට එකතුවෙන ත්‍රෛයි නිකායික මහා සංඝරත්නයෙන්.

ප්‍රසිඩන්ට් මිඩියා එකෙන් ඔය උපදේසක සභාවේ හාමුදුරුවරු කිව්වයි කියන නිව්ස් එක, මිඩියා එකට දුන්න විතරයි , ශෝෂල් මිඩියා එකෙන් ඔය උපදේසක සභාවේ නායක උන් වහන්සේලාට, අම්මා මෝ නැතුව දෙහි කපන්න අරන්.

සමාවන්න ඕනි අපේ හාමුදුරුවනේ මෙහෙම කියන්න වෙනවට.  රටේ රාළ අහන්නේ, අපේ හාමුදුරුවරු මාසයකට දවසක් ජනාධිපති ලේකම් කාර්යාලයට වඩින්නේ, කොහේ හිටලද කියලයි. තුසිත දිවිය ලෝකේ හිටලා වැඩියා වගේ තමයි, කතාව නං ඇහෙන්නේ.

කොහොමත් එකක් නං ෂුවර්, උන් වහන්සේලා කොහේ ඉදන් වැඩියත් වඩින්නේ, ජනතාව අතර හිටලා නං නෙවෙයි.

 අපේ හාමුදුරුවරු කරපු ඒ ප්‍රකාශවලින් තේරෙනවා, පංසල කොච්චර ජනතාවගෙන් ඈත් වෙලාද කියලා.

හැබැයි ගමේ පන්සලේ හාමුදුරුවන්ට නං ඔහොම උණක් නෑ. ගමට ප්‍රශ්නයක් එනවා නං, උන් වහන්සේට දැනෙනවා. අද මිනිස්සුන් පත් වෙලා තියන අසරණකම, උන් වහන්සේ දන්නවා. ගමේ මිනිහට කන්න නැති වෙනකොට, ගමේ පන්සලට එන දානේ වේලත් සරු නෑ. කොච්චර කොහොම උනත් ගමේ පන්සලේ හාමුදුරුවෝ නං, දාන ටික සතුටින් බාර අරන් වළඳනවා.

හැබැයි ඒ ඔය වගේ බොරු, ප්‍රසස්ථි ගායනා කරකර නං නෙවෙයි.

ඒකෙන් තේරෙන්නේ, පන්සල් මාලිගාවල වැඩ වාසය කරන සිටු හාමුදුරුවරුන්ට, ජනතාවගේ දුක දැනෙන්නේ නෑ කියන එකයි.

නැත්තං රුපියල් 170 ට හාල් කිලෝ එක ගිය රටක. ළමයින්ට කිරි ටිකක් දෙන්න, කිරි පැකට් එකක් හොයා ගන්න බැරි රටක. කරන්ට් නෑතිව කුප්පි ලාම්පුවට පහු බැහැපු රටක. ඒ වෙනුවෙන් ලාපුතෙල් පෝලිම්වල, මිනිස්සු ඉන්න රටක, මොන මුර දේවතාවටද අරහෙම කියන්න පුළුවන්.

 ඇත්තම කියනවා නං, ජනාධිපතිතුමාගේ බෞද්ධ උපදේශක කාරක සභාව, මේ කරන්නේ ජනතා ද්‍රෝහී වැඩක්. බුදු දහමට සම්පුර්ණයෙන්ම නිග්‍රහ කිරීමක්. එකක් ජනාධිපතිතුමාට බොරු බේගල් ඇදබාමින්, එතුමා යථාර්ථයෙන් ඈත් කරන එක.

 අනික, ජනතාවගේ ඇත්ත තත්වය, ජනාධිපතිට නොකියා ජනාවට ද්‍රෝහී වෙන එක. ඊළගට ගල් පැලෙන බොරු කියලා, මුසාවාදා වේරමණී සික්කාපදං සමාදියාමි කියන හතර වෙනි ශික්ෂා පදය, හිතාමතාම කඩ කරන එක. මේවා ආනන්තර්ය පාප කර්ම නූනත්, රාජ අපරාධ අපේ හාමුදුරුවනේ.

ඇත්තටම ඇයි ඔබ වහන්සේලා එහෙම කරන්නේ? ඔබ වහන්සේලාගේ නිවන් මගත් අහුරගෙන, මොකද්ද මේ කරන විකාරය. තමන්ගේ ලෞකික සැපය වෙනුවෙන්, තමන්ව නඩත්තු කරන ජනතාව පාවාදීම, නෙවෙයිද මේ කරන්නේ.

කහ සිවුර දැක්ක ගමන්, මේ රටේ මිනිස්සු, ඔබ වහන්සේලා ගෙට ගන්නේ කකුල් හෝදලා. ඉන්දවන්නේ සුදු රෙදි දාලා. දානයට දෙන්නේ දරුවෙකුටවත් නොදෙන හොඳම හොදමදේ. ගෞරවණීය මහා සංඝරත්නය කියන ඒ වචන කීපය, කොච්චර බලසම්පන්ද? ඒ වචනවල එන පළවෙනි වචනය ගෞරවණීය කියන එක, කෙලෙසුවේ කවුද? ඒක කළේ ඔබ වහන්සේලාම තමයි.

සිංහල බෞද්ධයා පත්වෙලා ඉන්න අසරණකම ගැන, රජාට කියන්න ධෛර්යය තියන එක සාදු කෙනෙක් නෑ.

 ජනාධිපතිතුමා තරහා වෙයි කියලා බය හිතෙනවා නං, ඔබ වහන්සේලා ඔය සිවුර දරන්න සුදුසු නෑ.

මොකද ඔය සිවුරට බලය හම්බ උනේ, ඔබ වහන්සේලා හින්දා නං නෙවෙයි. ඔබ වහන්සේලා ඒ වෙනුවෙන් කරපු දෙයක් නෑ. ඒ ගෞරවය ආවේ, ඉතිහාසයේ මහා යථිවර පරපුරක් කළ, දැවැන්ත කැපවීම් නිසයි. ඔබ වහන්සේලා කළේ, ඒ බලය අවභාවිතා කිරීම විතරයි.

 ඒක නිසා රටේ රාළ කියන්නේ, අර ගෞරවණීය මහා සංඝ රත්නය කියන, බල සම්පන්න වාක්‍යයේ මහා කියන කෑල්ලත්, ඔබ වහන්සේලා කුඩා කරලා ඉවරයි. දැන් ඔබ වහන්සේලා අතර ඉන්න බහුතරය, කිසිම ගෞරවයක් ගෑවිලාවත් නැති කුඩා සංගරත්නයක් විතරයි.

හැබැයි මෙතනදී මේ විවේචනය අදාළ නැති, භික්ෂුන් වහන්සේලා පිරිසක් ඉන්නවා. උන් වහන්සේලා ගැනත් වචනයක් නොකිව්වොත් හොඳ  නෑ.

තවමත් මේ රටට මග කියන, අතළොස්සකගේ වෙච්චි ගෞරවණීය භික්ෂූන් වහන්සේලා කණ්ඩායමක්, ඉන්නවා. අපේ ගෞරවණීය මාවරලේ භද්දිය හාමුදුරුවෝ. කාගම සිරි නන්ද හාමුදුරුවෝ...ඇතුළු මේ රටට යහපත උදාකරලා දෙන්න මහන්සි වෙන පිරිසක් ඉන්නවා.

 ඊළගට එහෙම හාමුදුරුවරු පිරිසක් තවමත් අපේ ගම්වලත් ඉන්නවා. එදා කොරෝනා වසංගතය අස්සේ බඩගින්නේ ඉන්න, තමන්ගේ දායකයින්ට පුළුවන් විදිහට සළකපු. ඒ වෙනුවෙන් පංසලේදේ කැප කරපු, තමන්ගේ පඩිය ඒ වෙනුවෙන් යොදවපු, ඒ වගේම රටේම ඔන්ලයින් අධ්‍යාපන නතර කරපු වෙලාවේ, ඒ දරුවන්ගේ අධ්‍යාපනය බිඳ නොවට්ටපු භික්ෂූන් වහන්සේලා ඉන්නවා.

උන් වහන්සේලාගේ හිත රිදුනා නම් සමාවෙන්න ..කියලා රටේ රාල කියනවා.

 අන්න  එහෙම,  භික්ෂුන් වහන්සේලා පිරිසක් වෙන්න ඕන,  ඊයේ ආණ්ඩුවේ ලොක්කන්ගේ ජය පිරිත වර්ජනේ කරලා තියන්නේ කියලා හිතන්න පුළුවන්.

කොහොම හරි, රටේ රාළ එයාගේ ලිපිය අවසන් කරන්නේ, අනතුරු ඇඟවීම කුත් කරන ගමන්.  ඔබ වහන්සේලාටත් ජනතාව හූ කියන දවස නම් වැඩි ඈතක නෙවෙයි. ඒ හු කියන්නේ නිර්මල බුදුදහමට නං නෙවෙයි. බුද්ධ චීවරය ඇගේ පටලවාගෙන කරන, නොසන්ඩාල වැඩවලට.

කොහොම වුනත් මේ විදියට ජනාධිපතිතුමාගේ, ඔය බෞද්ධ උපදේසක සභාවේ හාමුදුරුවරුන්ට, රටේ හැමතැනින්ම බරපතල විරෝධයක් මතුවෙද්දී, ඒ රැස්වීමට ගිය සමහර නායක හිමිවරුන් කියල තියන්නේ, අපි ඔය විදියට ජනාධිපතිතුමාට ප්‍රසස්ති කිව්වේ නැහැ කියලා.  රට මුහුණදීලා ඉන්න භයානක තත්ත්වය ගැන පහදලා දීලා, උන්වහන්සේලා කරපු අනුසාසනාවක කැල්ලක් විතරක් එලියට දාල, ජනාධිපති මිඩියා එකෙන් විකෘති නිවේදනයක් දීලා  කියල තමයි, ඒ උපදේසක සභා රැස්වීමට වැඩම කල වදාළ, ඇතැම් නාහිමිවරු තමන්ගේ දායකයින්ගේ ප්‍රශ්න කිරීම් ඉදිරියේ නිදහසට කියල තියන්නේ.

ආයෙත් ප්‍රසිඩන්ට් මිඩියා එකට, මේවගේ කැත වැඩ කරන්න ඉඩතියන්නේ නැහැ කියලයි, උන්වහන්සේලා කියල තියනවයි කියන්නේ.

ඒ කතාවල ඇත්ත බොරු මොනවා වුණත්, වර්තමානයේ ශ්‍රී ලංකාවට අත් වී තිබෙන විපත පිළිබඳව ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව, බලයට පත් කළ භික්ෂූන් වහන්සේත්, දැන් පසුතැවිල්ලෙන් ඉන්නවා කියන එක පැහැදිලියි.

ගෝඨා බලයට පත්කළ භික්ෂූන්, රට තුල සිදුව තියන විපතට වගකිව යුතුයි කියල,  මහාචාර්ය අත්තන්ගනේ රතනපාල නාහිමියෝ පැහැදිලිව කියා සිටිනවා.

ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ අධිකරණ නායක, රාජකීය පණ්ඩිත, අත්තන්ගනේ රතනපාල නාහිමියෝ,  ඒ බව සඳහන් කරලා තියන්නේ, රටේ වත්මන් ආර්ථික සහ දේශපාලන වාතාවරණය පිළිබඳව, 'සරෝජ් සමග සංදේශය' (Sandeshaya by Saroj) යූටියුබ් නාලිකාව සමග, විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ..

වත්මන් ආණ්ඩුව බලයට පත්කිරීම පිණිස, බොහෝ භික්ෂූන් වහන්සේ දැක්වූ දායකත්වය , 'අගතිගාමී ක්‍රියාවක්' වශයෙන් විග්‍රහ කරන උන්වහන්සේ, එසේ අගතිගාමී ක්‍රියාවක නිරත වූ භික්ෂූන් වහන්සේ ද ,ශ්‍රී ලංකාවේ වත්මන් අර්බුදයට වගකිව යුතු බව, අවදාරණය කර සිටිනවා.

වර්තමානයේ ශ්‍රී ලංකාව බරපතල අනතුරකට මුහුණ දී සිටින බව පවසන, එහිමියෝ, මේ 'දැඩි විපතෙන්' රට ගලවා ගැනීම උදෙසා , උගතුන්, බුද්ධිමතුන් පෙරමුණට පැමිණිය යුතු බව ද, මේ සංවාදේ දී පැහැදිලිව කියනවා.

"වර්තමාන භික්ෂු සමාජය තමන්ගේ කාර්යභාරයෙන් බැහැර කළා. ඔවුන්ගේ කාර්යභාරය කල්‍යාණමිත්‍ර භූමිකාවක් සමාජගත කිරීම," යනුවෙන් සඳහන් කරන එහිමියෝ, කෙසේ වුවත් වර්තමානයේ සිදුවෙමින් පවතින්නේ, "ආණ්ඩුව තමන්ගේ පැවැත්ම සඳහා භික්ෂූන් වහන්සේ පාවිච්චි කිරීම," බව ද කියා සිටිනවා.

ආණ්ඩුව තමන්ගේ පැවැත්ම සඳහා භික්ෂූන් වහන්සේ පාවිච්චි කරනවා කියලා, උන් වහන්සේ කියන කතාව, මේ රටේ සැදැහැවත් බෞධයින්ගේ අවධානෙට ලක්විය යුතුම කාරණයක්.

මෙහෙම ගියොත් රාජපක්ෂලාට පාන්ශුකුඋලයට වඩම්මන්න හාමුදුරුනමක් හොයාගන්න අමාරු තත්ත්වයක් එන්න පුළුවන් කියලා අපිට කිව්වේ කාලයක් රාජපක්ෂලා වෙනුවෙන් පෙනී හිටපු ජනප්‍රිය පුද්ගලයෙක්.  ඇත්තටම මේ හැම තැනම තියෙන්නේ , රාජපක්ෂ විරෝධය. ආණ්ඩුවට අවුරුදු 2යි. විරෝධය උපරිමයි.

@LEADER TV 

නවතම ලිපි