SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

Jan-Erik Olsson කියන්නේ ස්වීඩන ජාතික බැංකු මංකොල්ලකාරයෙක්.

මංකොල්ලයකට සිරිගත වෙලා හිටපු Olsson ට තාවකාලික නිවාඩුවකට හිරෙන් එළියට යන්න ලැබෙනවා. ඒත් ඔහු නියමිත දිනයට නැවත හිරගෙදරට වාර්තා කරන්නේ නැතුව කට්ටි පනිනවා.

1973 අගෝස්තු 23 වැනිදා උදේ මේ Olsson ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර Norrmalmstorg චතුරශ්‍රයේ තියෙන Sveriges Kreditbanken බැංකුව ඇතුළට යනවා. ඒක ස්වීඩනයේ ප්‍රධාන පෙළේ බැංකුවක්. බැංකුවට ඇතුළට යන Olsson  එක පාරටම කබාය ඇතුළේ හංඟගෙන හිටපු සබ් මැෂින් තුවක්කුවක් එළියට අරන් එකෙන් බැංකුවේ සිවිලිමට වෙඩි තියන්න ගන්නවා. වෙඩි තියන ගමන් එයාගේ කට හඬ වෙනස් කරලා ඇමෙරිකන් උච්චාරණයකින් “පාටිය දැන් තමයි පටන් ගත්තේ” (The party has just begun) කියලා කියනවා.

syndrome 4

බැංකුවේ අනතුරු ඇඟවීමේ සංඥාවට අනුව ආපු පොලිස් නිලධාරියෙක්ට වෙඩි තියලා තුවාල කරන Olsson, බැංකු සේවකයන් සිවු දෙනෙක්ව ප්‍රාණ ඇපකාරයෝ විදිහට රඳවා ගන්නවා. වෘත්තීය සේප්පු බිඳින්නෙක් වෙන Olsson ඊට පස්සේ එයාගේ ඉල්ලීම් බලධාරීන්ට ඉදිරිපත් කරනවා. ඒ තමයි ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 7 ක් වටින ස්වීඩන මුදල් සහ විදෙස් මුදල් කප්පම් වශයෙන් ලබාදීම, පළා යාමට වාහනයක් ලබාදීම, තමන් සමග කලක් එක සිර මැදිරියේ සිටි Clark Olofsson යන පුද්ගලයා නිදහස් කොට බැංකුව තුළට එවීම සහ ආරක්ෂාකාරීව පළා යන තෙක් ප්‍රාණ ඇපකරුවන් තමන් සමග රඳවා ගැනීමට අවසර දීම.  1966 වසරේදී ගිනි අවි රැගෙන මංකොල්ලයක් සිදුකිරීමේදී පොලිස් නිලධාරියෙකු ඝාතනය කිරීමේ වරදට තමයි Clark Olofsson සිරගත වෙලා හිටියේ.

පැය කීපයක කතා බහකින් පස්සේ පොලිසිය විසින් Olsson ගේ යාලුවව නිදහස් කරලා බැංකුවට ගෙනත් ඇරලනවා. ඒ වගේම ඔහුට ඉල්ලූ මුදල වගේම ෆුල් ටෑන්ක් පැට්‍රෝල් ගහපු Ford Mustang වර්ගයේ මෝටර් රථයක් ලැබෙනවා. ඒත් මංකොල්ලකරුවන් සමග ප්‍රාණ ඇපකරුවන් රැගෙන යාමට ඉඩ ලබාදීම පොලිසිය ප්‍රතික්ෂේප කරනවා.

එළියේ දේවල් මේ විදිහට සිද්ධ වෙද්දි බැංකු සුරක්ෂිතාගාරය ඇතුළේ හරි පුදුම දෙයක් සිද්ධ වෙන්න ගත්තා. ඒ තමයි ප්‍රාණ ඇපකාරයෝ තමන්ව ප්‍රාණ ඇපයට තියන් ඉන්න මංකොල්ලකාරයෝ එක්ක අමුතු බැඳීමක් ඇති කරගත්තු එක. ප්‍රාණ ඇපකාරියක් වුණු Kristin Enmark එක වෙලාවක භියෙන් වෙවුලන්න ගත්තා. ඒක දැකපු Olsson තමන් ඇඳගෙන හිටපු ජැකට් එක ගළවලා Kristin ට පෙරෙවුවා. ඒ විතරක් නෙමෙයි, ඇයගේ ඔළුව අතගාලා සනසපු Olsson එයාගේ අතේ තිබ්බ මැෂින් තුවක්කුවේ පතුරමක් අරගෙන මතක සටහනක් විදිහට Kristin ට තෑගි දුන්නා. තවත් ප්‍රාණ ඇපකාරියක් වුණු Birgitta Lundblad ට දුරකථනයෙන් එයාගේ පවුලේ අයව සම්බන්ධ කරගන්න බැරි වුණාම එතැනට ගිය Olsson “අත් අරින්න එපා.. දිගටම උත්සාහ කරන්න” කියලා කිව්වා.

ප්‍රාණ ඇපකාරයෝ සහ මංකොල්ලකරුවන් දෙදෙනා අතර ඇති වුණු මේ බැඳීම කොච්චර ශක්තිමත් වුණාද කිව්වොත් සිද්ධියෙන් දෙවැනි දිනයේදී ප්‍රාණ ඇපකාරයෝ ඔවුන්ව හිර කරගෙන හිටිය මංකොල්ලකාරයන්ට වඩා ඔවුන්ව නිදහස් කරගැනීමට උත්සාහ කරන පොලිසියට බිය වුණා. මේ භිය කොයි තරම්ද කිව්වොත් ප්‍රාණ ඇපකරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කරන්න බැංකුවට ඇතුළට ගිය ස්ටොක්හෝම් පොලිස් කොමසාරිස් දිහා ප්‍රාණ ඇපකරුවන් බැලුවේ හරියට හතුරෙක් දිහා බලනවා වගේ.

syndrome 3

පස්සේ කාලෙක එක ප්‍රාණ ඇපකාරයෙක් මේ සිදුවීම ගැන “නිව්යෝර්ක් ටයිම්ස්” පුවත්පතට අදහස් දක්වමින් “ඔහු (Olsson) අපිට ඒ වෙලාවේ සැළකුවේ හරියට හදිසියේ අපේ දුක සැප බලන්න ආපු දෙවි කෙනෙක් වගෙයි” කියලා.

කොහොම හරි සිද්ධියෙන් දවස් 5 කට පස්සේ, හරියටම කිව්වොත් පැය 130 කට පස්සේ ස්වීඩන පොලිසිය බැංකු සුරක්ෂිතාගාරයට කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කරලා කොල්ලකරුවෝ යටත් කරගෙන ප්‍රාණ ඇපකාරයෝ හතර දෙනාව නිදහස් කරගත්තා. ඒත් පුදුමය කියන්නේ බැංකුවෙන් එළියට එන කොල්ලකරුවන් දෙදෙනාට පොලිසිය වෙඩි තියයි කියලා ප්‍රාණ ඇපකාරයෝ ඔවුන්ව ආවරණය කරගෙන තමයි එළියට අරගෙන ආවේ. ඒ වගේම සිද්ධියෙන් පස්සේ ප්‍රාණ ඇපකාරයෝ හැමෝම වගේ පොලිසියට කට උත්තර දීම පවා ප්‍රතික්ෂේප කළා. කොල්ලකරැවන්ට විරැද්ධව නඩු පැවරීමේදී ඔවුන් කිසිවෙක් ඊට සහාය දුන්නේ නැහැ.

Olsson බැංකු කොල්ලයට වැරැදිකරු වෙලා අවුරුදු 10 කට හිරේ ගියා. සිද්ධියට සෘජු සම්බන්ධයක් නැති නිසා Clark Olofsson ව නිදහස් කළා. වඩාත් පුදුම සහගත කාරණය වෙන්නේ Olsson ව හිරෙන් නිදහස් කරගන්න එක ප්‍රාණ ඇපකාරයෙක් අරමුදල් රැස්කිරීමටද ඉදිරිපත් වීම.

syndrome 2

කොහොම හරි මනෝ වෛද්‍යවරු මේ ප්‍රාණ ඇපකරුවන් ඔවුන්ව හිර කරගෙන හිටපු මංකොල්ලකරුවන්ට මේ තරම් කැමැති ඇයි කියන එක ගැන පරීක්ෂණ පැවැත්වුවා. එතැනදී දීර්ඝ කාලයක් තිස්සේ මංකොල්ලකරුවන්ගේ අත්අඩංගුවට පත්ව සිටීම නිසා ප්‍රාණ ඇපකරුවන් තුළ ඔවුන්ව ප්‍රාණ ඇපයට තබාගෙන සිටි පිරිස ගැන මානසික බැඳීමක් ඇති වෙනවා කියලා වෛද්‍යවරු සොයා ගත්තා. ඔවුන් මේ මානසික තත්ත්වය “ස්ටොක්හෝම් සින්ඩ්‍රෝමය” (Stockholm Syndrome) විදිහට නම් කළා.

කෙනෙක්ට “ස්ටොක්හෝම් සින්ඩ්‍රෝමය” කියන මානසික රෝග තත්ත්වය ඇති වුණාම ඔවුන්ට තමන්ව පීඩාවට පත් කරන පීඩකයා ගැන පහන් හැඟීමක් ඇති වෙනවා. බොහෝ විට එහෙම වෙන්නේ ප්‍රාණ ඇපකරුවන්ට ඔවුන්ව ප්‍රාණ ඇපයට තබාගෙන ඉන්න කොල්ලකරුවන් දක්වන ව්‍යාජ අනුකම්පාවක් නිසා වෙන්නත් පුලුවන්. ඒත් මේ බැඳීම නිසා ප්‍රාණ ඇපකරුවන්ගේ ජීවිතවලට අනතුරක් පවා වෙන්න පුලුවන්. ඒත් ප්‍රාණ ඇපකාරයන්ට මේ ගැන තේරුමක් නැහැ. ඉතින් ඔවුන් තව තවත් තමන්ව පීඩාවට පත් කරන පීඩකයාට ඇලුම් කරන්න පටන් ගන්නවා.

 

@ අන්තර්ජාලයෙනි.

නවතම ලිපි