SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

කාන්තාවන්ට එරෙහි ලිංගික හිංසනය පිළිබඳව සමාජය තුළ යළිත් වරක් සංවාදයක් මතු වී තිබේ.

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඇතැම් සිදුවීම්වලට අදාළ දර්ශන මෙන් ම වරදකරුවන් වූ පුද්ගලයින් නීතිය හමුවට පැමිණවීම දක්වා වූ ක්‍රියාවලියේදී සමාජ මාධ්‍ය පරිශීලකයින් ද යම් ඒකරාශී වීමකින් කටයුතු කරනු පෙනිණ.

ඇතැමුන් එලෙස කාන්තා හිංසනය පිළිබඳව යම් සංවේදීතාවකින් කටයුතු කරන අතරවාරයේ, තවත් පිරිසක් මිශ්‍ර අදහස් පළ කරමින් මේ ගැටලුව විවිධ කෝණයන්ගෙන් අධ්‍යයනය කර අදහස් දක්වා තිබිණ.

කාන්තා හිංසනය යනු කුමක් ද?, එය පාලනය කිරීම උදෙසා පවතින නීති රීති කවරේ ද? යන්න මෙන් ම ඒවා ක්‍රියාත්මක කිරීමට ඇති පසුබිම කුමක් ද? යන්න ඒ සංවාදවල පොදු අදහසක් බවට පත්ව තිබිණි.

කාන්තාවන් වැඩිපුර ම හිංසනයට ලක් වන බව පැවසෙන මහමග සහ පොදු ප්‍රවාහනය තුළ ඇය කෙතරම් දුරට සුරක්ෂිත ද? පවතින නීති ගැන ඇය දැනුවත් ද?

කාන්තා 1

නීතිඥ සජීවනී අබේකෝන්

 

"කාන්තාවක් ඇගේ කැමැත්තකින් තොරව වැළඳ ගැනීම, හේත්තු වීම, තට්ටු දැමීම, මිරිකීම විතරක් නොවෙයි කෙනිත්තීමක් වුව ද දණ්ඩ නීති සංග්‍රහයේ 345 වන වගන්තියට අනුව ලිංගික හිරිහැරයක්. ඒ විතරක් නෙවෙයි, බරපතළ වැඩ සහිතව හෝ රහිතව වසර පහක් සිර ගෙට යවන්න පුළුවන්. ඒ, අප්‍රසාදජනක සමීප වීම කියන කරුණ යටතේ," යනුවෙන් නීතිඥ සජීවනී අබේකෝන් බීබීසී සිංහල සේවය සමග පවතින නීතිමය තත්ත්වය විස්තර කළාය.

ඇය, "ලාංකික කාන්තාව නීතියෙන් සවි බලගැන්විය යුත්තේ කෙසේ ද?" මැයෙන් නීති ආධාර වැඩමුළු මෙහෙයවන නීතිඥවරියකි.

"සමහර අය කාන්තාවක් කාර්යාලයේ සේවය කරනකොට ඇය අපහසුතාවට පත් කරන්න විවිධ දේ කරනවා. කොණ්ඩේ අදිනවා, ඇඳුමෙන් අදිනවා, බලෙන් පින්තූර ගන්න යනවා. ඇය ඉන් මානසික පීඩාවට පමණක් නොවෙයි කායිකවත් හිංසනයට ලක් වෙනවා. සමහර පුද්ගලයින් කාන්තාවන් බිය වද්දන්න පුළුවන් කාර්යාලයකදී. ඒකට කියන්නේ අයුතු අවහිරය කියල," ඇය පෙන්වා දෙන්නීය.

වාචිකව සිදු වන කාන්තා හිංසනය ගැන බීබීසී සිංහල සේවය සමග විස්තර කළ නීතිඥ සජීවනී අබේකෝන්,

"සමහරු ඇය අපහසුතාවට පත් කරන වචන පාවිච්චි කරනවා. කාර්යාලයේදී වගේ ම මහමගදිත්. බඩුව, ගෙඩිය, කෑල්ල වගේ වචනයක් උණත් කාන්තාවක් අපහසුතාවට පත් වන ආකාරයෙන් යම් පුද්ගලයෙක් පාවිච්චි කළොත් එම පුද්ගලයා නීතිය ඉදිරියට ගෙනියන්න කාන්තාවකට අයිතිය තියනවා," යනුවෙන් සඳහන් කළාය.

 

කාන්තා 3

"සමහරු දුරකතනයෙන් කතා කරලා අසැබි වචනයෙන් විහිළු කරනවා. කාන්තාවක් මේ ක්‍රියා නිසා ලිංගිකව අපහසුතාවට පත් වුණා කියල ඔප්පු වුණොත් දඬුවම් නියතයි."

පසුගිය දින කිහිපය තුළ සමාජ මාධ්‍ය තුළ වැඩි කතාබහකට ලක් වූ ත්‍රිරෝද රථ රියැදුරෙකු කළ අභිනයක් සම්බන්ධ සිදුවීම ගැන ද ඇය පැහැදිලි කළාය.

"දැන් මෙතැනදී මේ අභිනය කරන පුද්ගලයා කාන්තාව ලිංගික වශයෙන් අපහසුතාවට පත් වන ආකාරයෙන් එම අභිනය කළා ද කියල සොයා බැලීමක් කරනවා. ඇඟිලි දික් කිරීම්, දිව දික් කිරීම් වගේ දේවල් වුණත් ප්‍රමාණවත් නීතියෙන් දඬුවම් කරන්න."

අවයව ප්‍රදර්ශනය කිරීම ද කලක සිට කාන්තාවන් අපහසුතාවට පත් කරන සිදුවීමක් බව ඇය පැවසුවාය.

එමෙන් ම දුරකතන කෙටි පණිවුඩ, ඊ මේල් මෙන් ම සමාජ මාධ්‍ය භාවිත කරමින් කාන්තාවන් හිංසනයට පත් කරන අවස්ථාවලදී ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගැනීමට කාන්තාවන් ද දැනුමින් සන්නද්ධ විය යුතු බව ඇය පෙන්වා දෙන්නීය.

 

කාන්තා 5

 

ඇයට අනුව නීතිය පිළිබඳව ප්‍රාමාණික දැනුමක් සමාජය තුළ නොමැතිකම සහ ඇතැම් වැරදි සම්බන්ධයෙන් පවතින ලිහිල් නීති කාන්තා අපචාර පාලනය කිරීම අපහසු වීමට හේතු වී තිබේ.

නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල පුද්ගලයින් ද පවතින නීති සම්බන්ධයෙන් දැනුවත් වීම ඉතා වැදගත් බව ඇය පෙන්වා දෙන්නීය.

"දැන් සමහර නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට ගියා ම අසරණ වුණ කාන්තාවක්... තවත් අසරණ වෙන්න පුළුවන්. සමහරු හිතනවා එම කාන්තාවට මේක සිද්ධ වුණේ එයාගේ ඇඳුම නිසා කියල. සමහරු සිතනවා මේක මේ විහිළුවට කරපු වැඩක් වෙන්න ඇති කියල. කොල්ලෝ ඔහොම තමයි කියනවා. මේකෙන් වෙන්නේ කාන්තාව තවත් අසරණ වෙන එක. වෙන්න ඕන ආකල්පමය වශයෙන් වෙනසක්. නීතියෙන් ම හැම දේ ම කරන්න බෑ."

 

 

කාන්තා 2

මහාචාර්ය සිරි හෙට්ටිගේ

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල 2015 වසරේ ලබා ගත් දත්ත අසුරින් එළිදැක්වූ වාර්තාවකට අනුව ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන සේවා භාවිත කරන කාන්තාවන්ගෙන් සියයට 90ක් විවිධ ලිංගික අතවරයන්ට ලක් වන බව පෙන්වා දෙයි.

පොදු ප්‍රවාහනය භාවිත කරන කාන්තාවන්ට වන හිරිහැරවලදී ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ශ්‍රීලංකාව තුළ පවතින නීති ප්‍රතිපාදන පැහැදිලිව දක්වා නොමැති බව ද මේ වාර්තාවේ දක්වා තිබේ.

ප්‍රවාහන අමාත්‍යාංශය සහ ළමා හා කාන්තා කටයුතු පිළිබඳ අමාත්‍යාංශය සමග එක්ව පොදු ප්‍රවාහනයේදී කාන්තාවන්ට සිදුවන ලිංගික අඩන්තේට්ටම් පාලනය වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තියක් නිර්මාණය කිරීම කෙරෙහි ද තම ආයතනය සහයෝගය ලබා දෙන බව එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල පවසයි.

 

කාන්තා 4

 

වත්මන් සමාජය තුළ කාන්තාවන් කෙරෙහි පවතින සුරක්ෂිතතාව, නීති පැනවීම් තුළින් පමණක් වෙනස් කළ නොහැකි බව සමාජ විද්‍යාව පිළිබඳ මහාචාර්ය සිරි හෙට්ටිගේ පවසයි.

ලාංකික ජන සමාජ තුළ එකිනෙකා කෙරෙහි පවතින ගෞරවය ඉතා පහළ මට්ටමක පවතින බව පෙන්වා දෙන මහාචාර්යවරයා, පවතින අධ්‍යාපන ක්‍රමය තුළ ඇති දුර්වලතා ඊට මූලික හේතුව බව පෙන්වා දෙයි.

"අපේ රටේ අධ්‍යාපන ක්‍රමය මුල් වෙලා තිබෙන්නේ සහතිකවලට පමණයි. විභාග පාස් වෙන්න විතරයි ඉගෙන ගන්න ඕන කියල අපි හිතන්නේ. එත් ඒ විදිහ වැරදියි. අපේ අධ්‍යාපන ක්‍රමය දියුණු වෙන්න ඕනි එකිනෙකාට ගරු කරන සමාජයක් ගොඩ නගන්න. කාන්තාව විතරක් නෙවි කිසි ම මනුස්සයෙක්ට කිසි ම ගරුසරුවක් නැතිව හැසිරෙන්න වෙන සමාජ ක්‍රමයක අපි ජීවත් වන්නේ. ඉතින් කාන්තාවක් මේ ක්‍රමය ඇතුළේ සුරක්ෂිත නෑ."

කාන්තාවන්ගේ සුරක්ෂිතතාව කෙරෙහි ආකල්පමය වෙනසක් ඇති කිරීමට ජනමාධ්‍යයෙන් ද නිසි මැදිහත් වීමක් නොලැබෙන බව මහාචාර්ය හෙට්ටිගේ පෙන්වා දෙයි.

"කාන්තාව වෙළෙඳ භාණ්ඩයක් බවට පත් වෙලා. කාන්තාව දිහා අම්මා කෙනෙක් දුවෙක් විදිහට බලන තත්ත්වයක් සමාජයේ නෑ. හැමෝම විවිධ කෝණවලින් ඇය දිහා බලන්නේ. ඉතිං කොහෙ ද ගරු කිරීමක්. මේකට ජනමාධ්‍යත් වග කියන්න ඕනි. මොක ද මාධ්‍ය ඔස්සේ විකාශය වන සමහර වැඩසටහන්වලට සහභාගි වෙන පුද්ගලයින්ගේ කතා විලාසය බලන්න. කිසි ම ගරුසරුවක් නෑ එකිනෙකා කෙරෙහි. මේවා සමාජගත වුණා ම මේ තත්ත්වය ඔඩු දුවනවා මිස පාලනයක් නෑ."

කාන්තාවට ගරු කරන සමාජයක් නිර්මාණය කිරීම කාලීන අවශ්‍යතාවක් නම් ඒ සඳහා ගත හැකි ක්‍රියාමාර්ග කවරේ ද?

"පළමු වැනි දේ තමයි අපි තේරුම් ගන්න ඕනි මෙහෙම ඔඩු දුවපු ප්‍රශ්නයක් අද සමාජය තුළ තිබෙනවා කියල. මේකට සංවේදී ආයතන තියනවා," මහාචාර්ය සිරි හෙට්ටිගේ විස්තර කළේය.

"විශේෂයෙන් ම කාන්තාවන්ට සහ පොදු ප්‍රවාහනයට වග කියන ආයතන මේ ගැටලුවට සංවේදී වෙන්න ඕනි. අපිට අදාළ නෑ කියල ඉන්න බෑ. එහෙම උණොත් මේක තව ඉහළ යනවා. ඒ වගේම බුද්ධිමත්ව කටයුතු කරන්න ඕනි."

මේ අනුව කාන්තාවන්ට ලාංකික සමාජය තුළ සුරක්ෂිතව දිවි ගෙවීමේ වපසරිය නිර්මාණය කිරීමේ වගකීම අඩු වැඩි වශයෙන් සියලු දෙනාට ම පැවරෙන පොදු වගකීමක් බව මහාචාර්යය සිරි හෙට්ටිගේ වැඩිදුරටත් අවධාරණය කරයි.

 

@ BBC sinhala

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි