SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පහුගිය දිනවල අසනීපයෙන් පසුවූ දකුණු ආසියාතික ස්ත්‍රීවාදීනියක් වූ කමලා භාසින්, කමලා දී (අක්කා) තවත් කාලයක් නිරෝගීව ජීවත්වනු දැකීම අපේ අපේක්ෂා විය.

නමුත් ස්ත්‍රීවාදයේ ලාලිත්‍යය දකුණු ආසියාවට ගැළපෙන අයුරින් පැළ කර, කම්ලා ජී අද අලුයම ඇගේ අවසන් ප්‍රාණ ජීවය වා තලයට මුදා හැර ඇත. සැප්තැම්බරය ස්ත්‍රීවාදීන් ස්වභාවිකව පැහැර ගන්නා මාසයක් ද යන්න මට සිතේන්නේ සුනිලා අබේසේකරයන්ගේ ඉපදීම සහ මියයාම ද ඔබේ මියයාමත් එකම මාසයේ වීම නිසායි. දකුණු ආසියාතික ස්ත්‍රී මිත්‍රත්වයේ පහන් සිළු එලොවදීත් දැල්වීමට ඇය ඔබ එනතෙක් බලා සිටිනවා විය හැකිය. ඒ නිසා, කම්ලාගේ ජීවිත සහ ඇය සතු බහුවිධ කුසලතා පිළිබදව දකුණු ආසියාතික ස්ත්‍රී සහෝදරත්වය වෙනුවෙන් කුමක් හෝ සටහන් කළ යුතුයි.

 

kamla 5

 

කම්ලා භාසින් ඉන්දියානු ස්ත්‍රීවාදී ව්‍යාපාරයේ දිදුළ වූ තාරකාවකි. ඉන්දියානු සංවර්ධන ස්ත්‍රීවාදී ක්‍රියාකාරිනියක්, කවිදියක්, කතුවරයෙක් සහ සමාජ විද්‍යාඥයෙක් ලෙස ලෝකය පුරා කීර්තියක් දිනාගෙන ඇති ඇය මිය යන විට අවුරුදු 75ක් වූවාය. විවිධත්වයට අතිශය ගරු කළ කාන්තාවකි. සාමය සංහිදියාව වෙනුවෙන් හඩ නැගූ තැනැත්තියෙකි. එහෙයින් ඇය ඉතිහාසගත වන්නේ ඇගේ ජීවන ලලසාව වූ ස්ත්‍රීවාදී ඇගයුම් පද්ධතියට ඉදිරියට ගෙන යෑම සදහා තවත් විශාල පිරිසක් ඒ මගට එකතු කරන්නට ඇගේ නායකත්වය සමත්වීමෙනි. ඇයව මට මුණ ගැසීමට ලැබෙන්නේ නේපාලයේ පැවැත්වූ SANGAT පාඨමාලාවට සහභාගීවීමේදීය. එම පාඨමාලවේ මෙහෙයවීම සහ නායකත්වය සිදුකලේ ඇය විසිනි.

 

kamla 2

ඉහත කී පාඨමාලාව, ඇයගේ නායකත්වයෙන්, තිරසාර සාමය, ස්ත්‍රීපුරුෂ සමාජභාවය, තිරසාර සංවර්ධනය මැයෙන් නේපාලයේ වසරක් පාසා මාසයක් පුරා දකුණු ආසියාතික කාන්තාවන් වෙනුවෙන් පැවැත් වේ. එය සෑම අවුරුද්දකම සැප්තැම්බරයේ ආරම්භ වී ඔක්තෝම්බරයේ අවසන් වේ. එම ශීෂ්‍යත්වය දිනා ගැනීමට 2014 වසරේ දී මටත් අවස්ථාව උදාවිණි. එය පුදුමාකාර අවස්ථාව වන්නේ දවස් 15ක් තිස්සේ ඔබේ ස්පර්ශය විදිමින් අපිට ඉගෙන ගැනීමට අවස්ථාව ලැබීමයි. ඉතිරි දවස් පහලොවේ ඉගැන්වීමේ කටයුතු සිදුකරන්නේ තවත් ස්ත්‍රී වාදිනියක් වූ අබා බයියා විසිනි. උදේ පාන්දර යෝග ව්‍යායාම වලින් ආරම්භ වන දවස දේශන,අත්දැකීම් බෙදාහදා ගැනීමට අවස්ථාව සැලසීම, විවිධ ක්‍රියාකාරකම්, සහ ස්ත්‍රීන්ගේ පොදු ගැටලුවලට අදාළ වන චිත්‍රපටි දර්ශන සහ සාකච්ජා වලින් අවසන් වේ. දෙවැනි දිනය පළමු දිනයට වඩා වෙනස්ය. ඉගැන්වීම සදහා යොදාගන්නා ක්‍රම වෙනස්ය. අපි වාඩිවූයේ බිමය. දින 35 ගෙවීගියේ අපිටත් නොදෙනීමයි. පාඨමාලාවට යන්නට කලින් ඇගේ පොත් ඇසුර කරන්නට ලැබුණත් ඇයත් සමග ගතකළ මාසය ගැන කිසිවක් අනිවාර්යෙන් සටහන් කළ යුතුයි. ඇයගේ ධෛර්ය, ආදරය මෙන්ම ප්‍රායෝගික භාවිතය පිළිබදව අනෙක් අයද දැනුවත් කිරීම ද අවශ්‍යවන හෙයිනි.

 

kamla 3

 

ඒ ඉන්දියාව මෙන්ම දකුණු ආසියාව තුළ ස්ත්‍රීවාදී න්‍යයාන් ඇය තරම් සරල කර උගන්වන්නට දක්ෂ තවත් කෙනෙක් ඇති ද ඒ කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අධ්‍යයන්‍යාංශයේ මහාචාර්ය සුභාංගි හේරත්ය. ඒ දෙපොළට එකිනෙකාට ආවේණීක ළුලදායි ඉගැන්වීමේ ශෛලීයක් ඇත. කමලා දී සතු මේ ඉගැන්වීමේ ශෛලියත්, ඇය සතු බහුවිධ කුලසතා ද මහා සංස්කෘතින් සුමට වදන් යොදා බිමට සමතලා කරන අයුරු මම විශ්මයෙන් බලා සිටියෙමි. ඒ සදහා ඇය බලයේ ආදරය නොව ආදරයේ බලය උපායශීලී ලෙස යොදා ගනියි. දකුණු ආසියාතික ස්ත්‍රීන් පොදුවේ මුහුණ දෙන ගැටලු නිර්මාණශීලිව අප හමුවේ තබයි. ගැඹුරු දේ සුමට කිරීමේ ශක්තිය, ඒ මහා සමත්කම්, ඉගැන්විමේ ශෛලිය කොහොන් ආවෝදෝ මම දන්නේ නැත. ඒ ආඛ්‍යාන සහ භාවිතයන් අද ද ගුරුවරයෙක් ලෙස මම ද භාවිතා කරමි. ඔබ මෙන් සමාජ ගැටලු යොදාගෙන කාව්‍ය රචනා කරන්නට උත්සාහ කරමි. එයින් කිසිදු ලෙස කවිකාරියක් වෙන්නට නොසිතන අතර ඉගැන්වීමේ මෙවලමක් ලෙස පමණක් භාවිතා කරමි. සිසුන්ට විකල්ප මැදිහත්වීමේ මාර්ග භාවිතා කිරීමට අභිප්‍රේරණය කිරීම සදහා කවි ලියමි. ඉගැන්විමේ ජීව ගුණය රැකීම සදහා ඔබ මෙන් නිර්මාණශීලි භාවිතාවේ යෙදෙමි.

කම්ලා භාසින්ට ඇති සුවිශේෂතාවය වන්නේ ඇය හුදු න්‍යායන්ම සමග හරඹ කරන ස්ත්‍රීවාදිනියක් නොවීමයි. ඉන්දියාවේ විවිධ ප්‍රාන්ත ඈත ගම්වල ස්ත්‍රීන්ට කුලය ජනවාර්ගික අනන්‍යතා සහ සංස්කෘතික කරුණු අරභයා නිදහස, සමානතාවය, සතුට මෙන්ම සාධාරණත්ව සමාජයක් ගොඩනැගීමට ඇය පිළිබදව ඉහත සදහන් කළ ආකාරයට භාවිතයන් යොදාගෙන ඉදිරිපත් කිරීම ගැන අපි කතා කළ යුතුමයි. එහි දී ස්ත්‍රීන්ගේ සතුට සොයාගන්නා අකාරය පිළිබද ඇය නිතර අභිප්‍රේරණය කළාය. ඒ සතුට ආදරයේ බලයෙන් සිදු කළ හැකි බව ඔප්පු කර පෙන්නුවාය. එම පාඨමාලාවේ දී ඇගේ උපදේශනය නිතර සහභාගී වූ ස්ත්‍රීන්ට ලැබුණි. ඒ නිර්මාණශීලි ප්‍රවේශයන් දකුණු ආසියාවෙන්ම කිසිම ජගතෙකු සොයා ගැනීමට නොහැකි බව මගේ හැගීමයි.

 

kamla 4

ධනවාදී සමාජයකත නිරන්තරයෙන් සිදුවන, ස්ත්‍රී ශරීරය භාණ්ඩකරණය වීම, රූපලාවන්‍යය කිරීම මගින් සිදුවන හානිය ගැන අපේ පාඨමාලාවේ ස්ත්‍රීය සුරාකෑමේ තවත් වේශයක් ගැන අපිව දැනුවත් කළාය. ඒ නිසා ස්ත්‍රී ශරීරයට ඇතවන බලපෑම ගැන නිතර කතා කළාය. ඇය කොණ්ඩේ පාට කිරීම පවා ප්‍රතිකේෂප කරමින් සුදු කෙසින් හැමදාම අන්රි අයට දකින්නට සැලැස්වීමත් ක්‍රියාවෙන් ඔප්පු කලාය. ශරීරයේ සරලත්වය අගය කළාය. ලෝකය පුරා සමාජ ප්‍රාග්ධනය රැස්කිරීමට ඇයට තිබු අසාමාන්‍ය කුසලතාවය ගැන ද මෙහිදී සදහන් කළ යුතුයි. ඒ කුසලතාවයේ මහිමය නිසාම ඉහතින් සදහන් කළ පාඨමාලාවට ද අනෙකුත් ස්ත්‍රී අයිතිවාසිකම් ප්‍රවර්ධනය කරන වැඩසටහන් සදහා මුල්‍යමය දායකත්වය පහසුවෙන් ඇයට සොයා ගැනීමට හැකිවිය.

මෙම පාඨමාලාවේ දකුණු ආසියාතික ස්ත්‍රී සහෝදරත්වය ගොඩනගන අතර අනෙක් අතට දකුණු ආසියාවේ නමක් දිනු ප්‍රබල ස්ත්‍රීවාදීන්ගේ ඇසුර ලැබීමටත් අපිට අවස්ථාව සලසා තිබුණි. එක් එක් විෂයන් ඉගැන්වූයේ ඔවුන් විසින්ය. ඔවුන්ගෙන් ඉගෙන ගත් දෑ ප්‍රායෝගික භාවිතය තුළ යොදා ගැනීමේ දී තෝරා බේරා ගත යුතු ආකාරය ද එම පඨමාලාවෙම අපිට ලැබුණි. ඒ අපූරු පාඨමාලාවට ශ්‍රී ලාංකිය තරුණ ස්ත්‍රීවාදීනියන්ට අවස්ථාව ලබා දීමටත් ජනවාර්ගිකත්වය අනුව තෝරා ගැනීම තුළින් සාධාරණත්වය සහ සමානාත්මතා ප්‍රවේශය පාඨමාලාව තුළ දක්නට ලැබුණි. ඒ නිසා විශාල පිරිසකට සහභාගීවීමට අවස්ථාව ලැබීමත් මෙහිදී සදහන් කළ හැකිය. මට කලින් Nalifa Abdul Wadoor නලීපාද මගෙන් පසු ගිහානි සහ යශෝධාටත් Yashodha Gunathilake අවස්ථාව උදා විය.

 

kamla 6

 

SANGAT පාඨමාලාවෙහි ශ්‍රී ලංකාව නියෝජනය කළ විද්වතුන් අතර ආචාර්ය කුමාරි ජයවර්ධන, සුනිලා අබේසේකර ප්‍රමුඛ වේ. වර්තමානයේ කුමුදුනී සැමුවෙල් සහ තවත් අය සම්බන්ධ වේ. ලංකාව තුළ සුනිලාලා හා කමලාලා මෙන්ම කුමාරිලා ඇති කළ මෙම සම්බන්ධතාවය දකුණු ආසියාවේ ස්ත්‍රී සහයෝගීතාවයේ ජීවගුණයට විශාල පිටුවහලක් විය.කම්ලා සමග ලංකාවේ බොහෝ ස්ත්‍රීවාදී ක්‍රියාකාරීන් ඇයගේ මරණය දක්වාම සම්බන්ධතා තිබුනේ සම්බන්ධතා ජාල ගොඩනැගීමේ පවත්වාගෙන යෑමේ ඇයට තිබු අසාමාන්‍ය කුසලතාවය නිසාය.ඇයට මෙතරම් ශ්‍රී ලංකාවේ ස්ත්‍රීවාදීනියන් හරසර, ආචාරය දක්වන්නේ ද එබැවිනි.

මෙම පාඨමාලාවේ දී, මාත් ඇතුළු ශ්‍රී ලංකාව නියෝජනය කළ 5 දෙනකේ ද, රටවල් 10 ක ස්ත්‍රීවාදීන් හමුවීම දින 35 ක් සමීපව වැඩ කිරීම, සම්පත්දායකයින්ගේ දකුණු ආසියාව පුරාව වෙනස් අත්දැකීම් ලබමින්, හොඳම පාඩම් ඉගෙන ගැනීමට අවස්ථාව උදා වූ බවද කියමි. මම කවුද? මගේ ශරීරය , දේශපාලනය මෙන්ම නිදහස සාමය යුක්තිය වෙනුවෙන් පෙළ ගැසිය යුත්තේ කෙසේද? යන්න පිළිබදව ලැබූ ඉගෙනුම් ප්‍රායෝගිකව භාවිතා කරමි. ඔබ පැවසු පරිදි සත්‍යය දකිමි. දේව්‍යත්වයේ සත්‍යය දකිමි.

 

kamla 7

 

ඇය සදහන් කළ ආකාරයෙන් මෙම පාඨමාලාව පුරාවට සිදුවූයේ, ස්ත්‍රීවාදී න්‍යාය රෝපණය කිරීම සදහා ප්‍රජාවට ක්‍රියාකාරකම් මගින් මැදිහත්වන ආකාරයයි. ඒ සදහා ඇය සාක්ෂරතාව අඩු ප්‍රජාවන් වෙත ප්‍රවේශ වීම සඳහා බොහෝ විට බහුවිධ ශිල්ප ක්‍රම උපයෝගී කරගත්තාය. ඒ සදහා පෝස්ටර්, නාට්‍ය, කවි සහ වෙනත් සාහිත්‍ය නොවන ක්‍රම භාවිතා කරමින් වැඩ කළ ප්‍රායෝගික ස්ත්‍රීවාදිනියකි. ඇ‌ගේ විශ්වාසය වූයේම, ස්ත්‍රී ගැටලු සරල ක්‍රම උපයෝගී කරගනිමින්, ඵලදායි වෙනසක් ඇති කර ගැනීම සදහා සටන් පාඨ කියමින් ප්‍රජා බලමුලු ගැන්වීමක් සිදු විය යුතු බවයි. උදාහරණ වශයෙන් දැක්වුවහොත් ඇය අපිට පෙන්වූ එක් විත්‍රපටියක සදහන් වූයේ ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ පුරුෂයාගේ බීමත්කම නිසා පීඩාවට පත්වන කාන්තාවන්ට බලමුළු ගැන්වීම සදහා පිරිමි වෙස්ගෙන ගමට නීතිවිරෝධි මත්පැන්ගෙන එන ලොරි කාන්තාවන් සමූහයක් විසින් වැටලීම වැනි උපක්‍රම පවා ඇය ඉගැන්වීමට සමත් විිය මෙම පාඨමාලාව පුරාවට අපි ඇයට අනුව යමින් කවි, ගීත ගැයුවෙමි. ඒ සියල්ල රචනා කර තිබුනේ ඇය විසිනි.

විශාල ජාත්‍යන්තර සම්බන්ධතා රැසක් තිබූ ඇයට දකුණු ආසියාතික ස්ත්‍රීවාදී අදහස් ව්‍යාප්ත කිරීමට කිසිදා වෙහෙසක් නොවීය. ඇයට තිබූ සජීවී බවට හැමදාම අපි ආසක්ත වූවෙමු. ඇය විසින් රචිත ගැහැණු ළමයා කවුද? පිරිමි ළමයා කවුද? , ස්ත්‍රීපුරුෂ සමාජභාවය තේරුම් ගැනීම,පුරුෂාධිපත්‍යය යනු කුමක්ද?, පිරිමිකම ආදී කෘතිය ස්ත්‍රීවාදය හදාරන්නට අත්පොත් වේ. ස්ත්‍රීවාදී ව්‍යාපාරය පිළිබදව බොහෝ අගතීකාමී අදහස් දරන අයට සරලව මුල සිට කියාදීමට ඇති හැකියාව ද මෙම කෘති තුළින් ද පරිශීලනය කිරීමේ දී සනාථ වේ. ඒ සත්‍යයන් තේරුම් ගැනීමට ස්ත්‍රීන් මෙන්ම පුරුෂයන් ද අභිප්‍රේරණය කිරීම, ස්ත්‍රීවාදී සාරධර්ම පිළිබදව ගැඹුරු කියවීමකට ආරාධනා කිරීම, ඇය සතුවූ වෙනස්ම කුසලතාවයකි.

 

kamla 8

 

ඒ අතර සමාජයට හිතකාමී මතයක් දැරීම, ඒ මතය ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම අනුගමනය කරමින් ඉදිරියට ගෙන යාම, ක්‍රම සොයා ගැනීම, සවන් දීම, ඉගෙනීම, බෙදාහදා ගැනීම සහ ස්ත්‍රීවයේ දෑත් දිගුවිය යුතු ආකරය පිළිබඳ සත්‍ය අත්දැකීම් ලැබීමට අවස්ථාව කිසිදා අමතක කළ නොහැකිය. බොහෝ දුක් සුසුම් හෙළමින් සිටි ස්ත්‍රීන්ට ජීවිතය පිළිබද නැවුම් බලාපොරොත්තු ඇති කළ යුත්තේ ඇයි සහ සතුටින් සිටින්නට මග ඇය කියා දුන්නාය. මගේ චින්තනය පුළුල් කර ගැනීමටත් තිරසාර බවකින් යුත් ගමනක් ආරම්භ කිරීමට අත්තිවරම දැමූ තවත් කාන්තාවක් ලෙස ඔබ හැමදාම දිලෙනු ඇත. නේපාලයේ කත්මණුඩු වල ලලිත්පූර් කදු ගැටියේ THEWA නිවස්නෙහි අපගේ හමුවීම සදා මතකයේ තියෙනු ඇත.

 

kamla 1

 

අපේ කණ්ඩායමේ සිටි සියලු දෙනාම එකඟ වූ හා එකඟ නොවූ, සිනාසුණු සහ මුහුණ රතු වූ දේවල්, හොඳම දේ විසිල් ගසමින් බෙදා හදගැනීමට ඔබ දුන් අවස්ථාවට සදා ණය ගැතිය. ඒ විසිල් එක මට තවම ඇහෙනවා වැනිය. එම පඨමාලාවට සහභාගී වූ සියලු ස්ත්‍රීන්ට වඩාත් හොදින් ජීවත්වීමට ලබාදුන් අභ්‍යන්තර ප්‍රේරණයක් වූවාදැයි මට දැනේ හිතේ. ඒ තරමට නිදහස් වූ දින සතුටු වූ දින ගණනක අපේ සිනාහව තේවා මධ්‍යස්ථානයේ තවත් ඇසෙනවා විය හැකිය. එහි කොටස්කාරියන් වීම අපි ලැබූ භාග්‍යයක් යැයි ද කියමු. විටෙක නේපාලි ආහාර ද, මහද්වීපික ආහාර ද, ඉන්දියන් ආහර වලින් ද දවස් 35ක් පෝෂණය වෙමින් කත්මන්ඩුවල වල ලලිත්පූර් වල කදුගැටයක තිබූ සුන්දර වෙල්යායකින් සමන්විත THEWA ගොඩනැගිලේ සුවපහසු නවාතැනේ මගින් අපි සැමරුවේ සමගිය හා ආදරයේ බලයයි. බහුත්වවාදය මෙන්ම විවිධත්වය බෙදා හදා ගැනීමත්, අභියෝගාත්මක සම්බන්ධතාවයන් හදුනා ගැනීමත්, සුළු වශයෙන් හෝ යහපත් වෙනස්කම් ඇති කර ගැනීමට උත්සාහ අතහැරිය නොවිය යුතු බව ඔබේ පාඩම් විය. මේ සම්බන්ධව අනෙක් අයට ද බොහෝ අත්දැකීම් කියන්නට ඇත.

ජීවිතය දකින්නට, විදින්නට, ස්ත්‍රීවාදී ගීත ලියන්නට ද අසරණභාවයෙන් ස්වාධීනත්වයට ද සියවස් ගණනක දුවීලි අතුගා දමන්නට ද ගැහැණු ළමයි නිදහසේ සිටින ලෝකයක් ගොඩනගන්නට ද ඔබගත් වෙහෙසට දකුණු ආසියාතික ස්ත්‍රී සහෝදරත්වය ඒ කෙවිට ඉදිරියට රැගෙනු යනු ඇත. ඔබ කළ සේවයට දකුණු ආසියාවේ ස්ත්‍රී සහයෝගීතාවයට, ස්ත්‍රීවාදී සහෝදරත්වය වෙනුවෙන් මේ ආචාරය පුදකරමි. ඔබ ලබා දුන් බලය අපිව සැමවිටම අවදියෙන් තබනු ඇත කමලා ජී.

2021.09.25

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි