SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

හිරුණි මට මුණගැහෙන්නේ කැම්පස් අයින් වෙලා මාස කීපයක් එක එක තැන් වල වැඩ කරලා, බැරිම තැන ගෙදරට ඇවිල්ල ආතක් පාතක් නැතුව ඉන්නකොට.

 

මේ වෙද්දී, මේ වයසේ හැමෝටම හිතෙන, ලංකාව එපා වෙලා රට යන පිස්සුව මටත් හැදිලා තිබුණේ. පාලුවෙන් හිටපු මට ඒ කාලේ කතාකරන්න කව්රුත් හිටියේ නෑ ගෙදර අය උනත් මං ගැන පැහැදීමකින් නෙවේ හිටියේ. ඒ දවස් වල මම කරන්නේ ස්කයිප් එකෙන් නොදන්න අයට ඇරයුම් යවනවා. එයා හම්බ උනේ මේ විදිහට. පවුලේ එකම ළමය වෙච්ච හිරුනිගේ ගෙවල් දෙහිවල, ඉගනගෙන තියෙන්නේ කොළඹ ප්‍රසිද්ධ කාන්තා පාසලක. ඒ වෙද්දී එයා කොළඹ විශ්වවිද්‍යාලෙ නීති පීඨයෙන් අයින් උනා විතරයි. සුන්දර පෙනුමක් තිබුනට, මම ප්‍රේමයකින් බලාපොරොත්තු වෙන ලොකු ලස්සනක් තිබුනේ නෑ. වැදගත්කම, විනය, හැසිරීම උපරිමයෙන් තිබුණ.

මේ කාලේ මගේ වැඩවලට ශක්තියක් දුන්නේ එයා. මට වෙනද නැති හැකියාවන් මතු වේගන එනවා කියල හිතුන. මගේ ලඟින් කව්රු හරි ඉන්නවා කියන හැගීමක් ආව. ඉංග්‍රීසි වලින් උපරිමයේ හිටපු එයා, මම වෙනුවෙන් පිටරට විශ්වවිද්‍යාලවලට ඉල්ලුම්පත්‍ර ලිව්වා. අදටත් මම එයාගෙන් අහුලගත්ත ඉංග්‍රීසි වලින් ප්‍රතිලාභ ලබනවා. එයා මට වැඩක් හරියට පිළිවෙලට කරන හැටි කියල දුන්න. නීති ශිෂ්‍යාවක් වෙච්ච එයාට මේ දේවල් වල අලුත් දෙයක් තිබ්බේ නෑ. මම දාහක් කිව්වොත් එයට එක වචනෙකින් මම කිව්ව සේරම හිස් කරලා මාව මෝඩයෙක් කරන්න එයාට පුළුවන්.

 

 

shadow 800 500

 


කොහොම හරි මට රට යන්න අවස්ථාව ආව අන්තිමට. මම වීසා ගන්න තානාපති කාර්යාලයට යන අතරේ මට ඕනෑම කරන ලියුමක් ලියාගන යන්න අමතක උනා. මම කොළඹට එද්දී ලියුමේ ලියන්න ඕන ඒවා එයා මට කෙටි පණිවිඩයකින් එකකින් එවල. එයා හැමතිස්සෙම මට වඩා ඉදිරියෙන්, මට වඩා අඩියක් ඉස්සරහින් හිතුව. මාව අපහසුතාවයට පත් වෙන තැන්, මට ඕන දේ එයාට මටත් නොදනිම පේනවා. මේ හැකියාව සමහර ගැහැනුන්ට තියෙනවා, ඔවුන්ට සමහර කාරණා පිරිමින්ට වඩා වෙනස් විදිහට, වෙනස් කෝණයකින් පේනවා. එයාගේ හැකියාව මට අභියෝගයක් විදිහටත් , අභියෝගය ආකර්ශණයකුත් උනා. මේ සිදුවීම් එක්ක මට එයා ගැන හිතන්න ඕන උනා, ජීවිතේ මුල්ම වතාවට රුපයෙන් ලස්සන නෑ කියල හිතපු ගැහැණු පෞරුෂයක් මට ලස්සනට පෙන්න ගත්ත.

අපි දෙන්නම ප්‍රේමය සොයන්නන්. ඒත් එයා මට වඩා ඉදිරියෙන්, එයාට ඒ වෙද්දී ගෙදරින් මංගල යෝජනා බලනවා. රස්සාවක්වත් නැතුව, අනාථ වෙලා හිටපු මට තිබුනේ රට යන පිස්සුව. අපි මෙහෙම දවසට පැය ගානක් එක එක දේවල් ගැන අදහස් හුවමාරු කරගන්නවා. මට එයා ගැන හැගීමක් තිබ්බත්, තීරණයක් ගන්න වෙලාව මදි. කෙනෙක් ගැන හරියටම දැනගන්න පුළුවන් ඒ කෙනා සුවපහසුව කලාපයෙන් (comfort zone) එලියට ඇද්දම කියල මගේ විශ්වාසයක් තිබ්බ.

 

 

shadow 12

 


එයා නීති අංශෙ උනන්දුවක් දැක්කුවේ දික්කසාද ප්‍රශ්ණ ගැන සහ ඒවාට හේතු. පොරොන්දන් ගැලපීම හා දික්කසාදය ගැන එයා වැඩියෙන් හිතපු දෙයක්, එහෙමත් නැත්තන් පොරොන්දන් අනිවාර්ය අංගයක් කියල එයා හිතුවේ. මමත් ඒක තරමක් දුරට විස්වාස කරා. නක්ෂත්‍රකරුවන් එයාගේ විවාහය පසුතැවීමක් එක්ක ගත කරන්න වෙනවා කියල තිබුනලු. මගෙත් ඒ වෙද්දී විවාහයට හොඳ කාලයක් නෙවේලු තිබ්බේ. අපි කෙලින් අපි ගැන කතා නොකරත්, අන්තර්ජාලයෙන් පොරොන්දන් ගලපාගෙන තිබ්බ. වක්‍රාකාරයෙන් අදහස් ප්‍රකාශ කරා.

ඒ අතරේ එයාට හොඳ යෝජනාවක් ඇවිල්ල. එයා මගේ කෙන්දරෙයි අනෙක් එක්කෙනාගේ කෙන්දරයයි එයාගෙත් එක්ක ගලපන්න යවල. මගේ එක්ක කොහොමත් ගලපන්න බෑ කිව්වලු. මම එයාගේ තීරණේ ඇහුවා. එයා තීරණේ කරාලු අනෙක් එක්කෙනාව බදින්න. හේතුව විදිහට කිව්වේ එයාට කේන්දරේ අමතක කරන්න තිබ්බලු මම එයාට එක පාරක් හරි ආදරේ ප්‍රකාශ කරලා තිබ්බ නං.
මට එදා ජීවිතේ පලවෙනි පාරට ඇඩුනේ කඳුළු වැටෙන්නේ නැතුව. මගේ ලෝකෙම කඩා හැලුන, මට හෙවණ දුන්න ඒ හෙවනැල්ල මගෙන් ඈත් උනා.
අම්මටවත් ආදරේ කියල නැති මට කොහොමත් ආදරේ කියන්න හදිස්සියක් තිබ්බේ නෑ.

 

 

shadow 23

 


මාස දෙකකට විතර පස්සේ මම රට ගියා. තව මාස කීපයකින් එය මට වඩා ගොඩක් හොඳ කෙනෙක් එක්ක විවාහ උනා. මගෙත් එක්ක විවාහය කොහොම වෙතත්, මගේ අමාරු කාලේ මගේ ළඟ හිටිය එයා, මට පොඩි කාලෙකට හරි හෙවනැල්ලක් උනා, මගේ ජීවිතේ වෙනස් කරා.

අවාසනාවට, අදටත් කේන්දරයට කිව්ව විදිහටම එයා විවාහයේ පසුතැවීමක් එක්ක ජීවත් වෙනවා.

ඔව්, මං වගේම, ලංකාවේ පිරිමි, අභියෝග කරන, අභියෝගයක් වන ගැහැනුන්ට කොහොමත් බයයි.

 
ප.ලි : උපන්දා සිට මැරෙන තෙක් , අවදිවීමේ සිට නින්දට යන තෙක් පිරිමි ජීවිත සෙවනැල්ලෙන් එලිය කරන්නේත්, බලාපොරොත්තු එක් කරන්නේත් ගැහැනුන්ය. මේ බොහෝ ගැහැණු, පිරිමි ජීවිත එලිය කොට කිසිවක් නොලබා නික්ම යති. අපි සෙවනැල්ලට අභියෝග කිරීම වෙනුවට සෙවනැල්ල යට ජීවත් වෙමු.

 


සජිත් කරුණාරත්න.

නවතම ලිපි