SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පහුගිය කාලය තරම් ලංකාවේ කාන්තාවන් කරළියට ආපු කාලයක් නැති තරම්! 


මේ දම්වැලේ මුල්ම පුරුක හොයන්න ටිකක් අමාරු උනත් මෑත කාලයේ මේ සිදුවීම් දාමය  ආරම්භ වෙන්නෙ සනත් නිශාන්ත පොහොට්ටු මන්ත්‍රීතුමා විසින් “ඔක්සිජන් කන්නදැයි” කියල රාජ්‍ය නිළධාරිනියක් වූ වනනිළධාරිනී දේවානි ජයතිලකගෙන් අහපු ප්‍රඥාවන්ත පාට් එකෙන්ය කියල නම් මතකයක් තියෙනවා.

ඉන් පස්සෙ ලක්ෂපතියට පායපු ෂුක්රා මුනව්වර් ලොකු රැල්ලක් අරගෙන ආවා. ඒ වගේම ගියා.

ඊලගට ආයෙත් දේවානි නිසා ආණ්ඩුවට සිද්ධ උනා, පනු කරඳ හෙවත් කෘඩියාසිලනිකා ඉපැරණි ගහේ ආරක්ෂාව තහවුරු කරන්න. විවිධ බහුජන සංවිධාන, සර්ව ආගමික නායකයෝ මේකෙදි එක පොකුරට කෘඩියා සිලනිකා වෙනුවෙන් පෙනී හිටියා. ඉතිං ගහ රැකුණා. අධිවේගී මාර්ගය ගහ බේරල යන්න සූදානම් උනා. දැන් මොනව වෙලාද? වෙනවද? නම් දන්නෙ නෑ. 

ඉන් පස්සෙ ආවෙ සිංහරාජයේ වන රක්ෂිතය කපමින් ඉදිවන හෝටලයක් ගැන රක්වානෙ භාග්‍යාගේ හෙළිදරව්ව. ඇයත් කරළියට ගේන්නෙ සිරසම තමයි. ඒක මහා කතිකාවක් නිර්මාණය කළා විතරක් නෙවෙයි, ආණ්ඩුවෙ සමහර ගොන් අස්පයින් සහ ආණ්ඩුවට කඩේ ගිහින් හොඳ නම අහගන්න හීනමානෙන් පෙළුනු සමහර රාජ්‍ය නිළධාරීන් ඒ තරුණ ගෑණු ළමයව ප්‍රශ්න කරන්න, තර්ජනය කරන්න, පිරිමි පාට් දාන්න පවා යන්න ගත්ත.  ඒ යන්නෙත් හෝටලය හදන ප්‍රදේශය පහු කරමින්. ඒ අයගේ කියුම් කෙරුම් හින්ද  ආණ්ඩුව මඩ නාන්නම ගත්ත. 

ඒ අතරෙ ආණ්ඩුව රැකගන්න මුදලට මඩ ප්‍රොජෙක්ට් කොන්ත්‍රාත්කාර ඉරුරාජ් වීරරත්න කියන මඩ කාපීර්, භාග්‍යගේ කතාව වෙනත් විදිහකට නිර්මාණය කරන්න ගිහින් පරදිනවා. මොකද භාග්‍යගෙ නොඉඳුල් කතාව වෙනුවෙන් ඇතිවුනු රැල්ල ඉරුරාජ්ගෙ පරණ, පවුල් හීනමානයෙන් තුවාල වුනු මොලෙන් නතරකරගන්න බැරි එකක්.  

 

සිද්ධිකාගෙ ආගමනය


ඒ එක්කම මොකද වෙන්නෙ?  මේ වෙද්දි ආණ්ඩුවට සම්බන්ධව මහා නීලකාස හොරකම් සිද්ධ වෙමින් ඒව හෙළි දරව් වෙමින් තිබුණා. ඒව ඔප්පු වෙලා තිබුණා. එකක් සීනි වංචාව. අනික පොල් තෙල්. ඒ අතරෙම එනවා ඇෆ්ලටොක්සින් වසකාරක අඩංගු පොල්තෙල් සමාජගත වීම.   ඉතිං නාට්‍ය පිටපතේ හැටියට මේව වහගන්න අලුත් ප්‍රවෘත්ති විතරක් නෙවෙයි චරිතත් මවන්න අවශ්‍යයි. ආයතනවලට පත්කළ වියත් මගේ වියත්තු ඉවත් කරන්න ගන්නවා. ඒත් ඒව ඒ තරම්ම වැදගත් පුවත් නෙවෙයි. ඉතිං ඕන්න ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් සිද්ධිකා සේනාරත්න කරළියට එනවා.   සිද්ධිකා කරලියට එද්දි හුඟාක් මහා පරිමාණ වංචාවන් යට යන්න තරම් වටිනා ප්‍රවෘත්තියක් මැවෙනවා. ඒ පිළිකාකාරක වසවිස සහිත ආහාර සමාජගත වෙලා කියන කාරණාව. ඒක මොන දේටත් වඩා පවුල් ඇතුලෙ දෙමව්පියන්ට වැදගත් මාතෘකාවක්. ඉතිං සිද්ධිකා කාන්තාවක් විදිහට තමන්ගෙ හිස දංගෙඩියට තියනවා. ඒකෙන් වැහිල යන සිද්ධි මහ ගොඩයි. 

ඉතිං, සිද්ධිකා සේනාරත්න දංගෙඩියෙන් බේරගන්න එන්නෙත් තවත් ස්ත්‍රියක්. ඒ තමයි මීළග ජවනිකාව! ශ්‍රී ලංකා විවාහක රූ රැජින කිරුළ පළඳවන මංගල්‍යයේ ජවනිකාව. සිද්ධිකාව බේරගන්න වේදිකාවට ගොඩ වෙන්නේ ලෝක විවාහක රූ රැජින කැරොලයින් ජූරි. 

අපි කැරොලයින්ගේ ජවනිකාව පසුවට කල් තියමු. දැන් සිද්ධිකා සේනාරත්නව ගොඩගන්න පුළුවන් විදිහෙ බොහොම හැගීම්බර සම්මුඛ සාකච්ඡාවක් ධරණී පුවත්පතේ පළ වෙනවා. මාධ්‍ය ලෝකය තුළ ජාවාරම්කරුවන්  විටෙක එක්වෙමින්,  විටෙක වෙන් වෙමින් කරන පිටපත් රචනය, රංගන ශිල්පීන් තේරීම සහ රංගනය වේදිකාගත කිරීම් හි මේ තවත්  තිර රචනයක් දැනගැනීම හා, කියන දේ සහ නොකියන දේතේරුම් ගැනීම පිණිස අපි ඉදිරිපත් කරනවා. 

 

ධරණී පුවත්පතේ සිද්ධිකා සේනාරත්නගේ සම්මුඛ සාකච්ඡාව. 

 

තම ලෙයින් මසින් උපන් දරුවන්ට වසවිස කවන්නට අම්මෙකුට බැරිය. ඒ නිසා මව්හත් ගුණ පිරුණු අම්මා කෙනෙක් සැමවිටම උත්සාහ කරන්නේ දරුවන්ට හොඳ දේ දෙන්නටය. තම දරුවන්ට පමණක් නොව සමස්ත ජාතියේම දරුවන්ට වසවිසෙන් තොර ආහාර කවන්නටඋත්සාහ කළ ඇයද එවැනිම අම්මා කෙනෙකි. නමුත් නයාගේ වලිගයෙන් අල්ලාගත්තාක් මෙන් අත්වැරදීමකින් සිදුකළ ප්‍රකාශයක් නිසා ඇගේ ඒ මව්හත් ගුණයට පෙර මුළුමහත් රටම අල්ලාගත්තේ ඒ ප්‍රකාශයය. ඒ කෙසේ වෙතත් මේ සිදුවූ සියලු දේ සම්බන්ධව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරිය වශයෙන් සිද්ධිකා සේනාරත්න මහත්මියටද කීමට කතාවක් ඇත. මේ ඇය‘ධරණී’ට කියූ ඒ කතාවයි. 


ඔබ ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් ධුරයටපත්වෙලා දැන් කොච්චර කාලයක්ද?


2018 අගොස්තු මාසේ තමයි මම එම තනතුරට පත්වුණේ.


' චුට්ට කාලයක් ' කියලා කියපු වචනයක් නිසා නේද පහුගිය සතියේ මෙච්චර ලොකු ආන්දෝලනයක් ඇති වුණේ?


ඔව්. මම එතැනදි අදහස් කළේ කිසියම් කර්මාන්තකරුවෙක්ගෙ, ඔහුගේ නිෂ්පාදන සඳහා SLS සහතිකකරණය සඳහා අයැදුම් කරද්දී එම නිෂ්පාදන අදාළ ප්‍රමිතීන්ට අනුකූල නොවන අවස්ථාවක ගන්නා ක්‍රියාපටිපාටිය සම්බන්ධයෙනුයි. එහිදී අපේ නිලධාරීන් අදාළ ප්‍රමිතීන්ට අනුකූලවන අයුරින් එය අනුගත කිරීම සඳහා කර්මාන්තකරුවන්ට යම් සහනදායක කාලයක් ලබාදෙනවා කියනෙක නෙමෙයි මම කිව්වේ. මෙහිදී එම නිෂ්පාදකයන් හට අදාළ ප්‍රමිතීන්ට අනුකූල ලෙස නිෂ්පාදන කටයුතු කිරීම සඳහා අවශ්‍ය වන තාක්ෂණික උපදෙස් ලබාගත යුතු පරීක්ෂණාගාර සේවා සහ පහසුකම්, උපකරණ ක්‍රමාංකන පිළිබඳ උපදෙස් ලබාදෙන බවයි කිව්වේ. 


කවුරු මොනවා කිව්වත් අපි අහලා තියන විදියට නම් ආසනික් අඩංගු සැමන් ආනයනයට තදින්ම විරුද්ධ වුණෙත් ඔබ. එහෙම නේද?


සැමන් කිලෝග්‍රෑම් එකකට ආසනික් මිලි ග්‍රෑම් එකක් තිබුණට කමක්නෑ කියලනේ කිව්වේ. ඒත් මගේ මතය වුණේ මිලි ග්‍රෑම් එකක් නෙවෙයි දශම එකක්වත් මිනිස්සුන්ට ආසනික් කවන්න ඕන නෑ කියන එක. ඒ නිසා ආසනික් අඩංගු සැමන් සියල්ලම ප්‍රතිඅපනයනය කරන්න මම කටයුතු කළා. ඒ වගේ දේවල් වෙන්න ඉඩදෙන්න එපා කියලා රේගු අධ්‍යක්ෂ ජනරාල්තුමාටත් මම දිගින් දිගටම කිව්වා. 


ඒ විදිහට කෙලින් වැඩ කරද්දී බලපෑම් එහෙම ඇවිල්ලා නැද්ද?


මොකද නැත්තෙ? ආනයනකරුවන්ගෙන් වගේම, දේශපාලනික වශයෙනුත් මට සෑහෙන්න බලපෑම් ආවා. නමුත් මමඒ කිසිම දේකට යට නොවී මගේ රාජකාරිය හරියට කළා.


හැබැයි ඒ සේවයට වඩා වැරදිලා කියපු වචනයක් නේද ජනතාව අතරට ගියේ?


ඔව්. මම මේ දක්වා මුදල් අවභාවිත කරලා නෑ. මගේ හිතට එකඟව මිනිස්සුන්ට වස විස නැති ප්‍රමිතියෙන් උසස් ආහාර පාන විතරක් දෙන්න මම මගේ සේවා කාලය තුළ උපරිම කැපවෙලා තියනවා.

ඒත් සමාජ මාධ්‍යවල වස රැජිණ කියලා පෝස්ට් හදලා මාව අපහසුතාවයට පත්කරන්න පිරිසක් උත්සාහ කරනවා. ඒවට කිසිම සම්බන්ධයක් නැති මගේ පුතාවත් ගාවගෙන. ඒකයි මට තියන කණගාටුව. ආයතනය ඇතුලේ හතර දෙනෙකුගේ විතර වැඩ තනියම කරන මට තමයි මිනිස්සු මෙහෙම චෝදනා කරන්නේ. 


ඔබ සේවය ගැන කළකිරීමෙන් ද ඉන්නේ ?


ඇත්තටම නැහැ. මම රට ගැන හිතන කෙනෙක්. මට පෝස්ටු හදන එක්කෙනා දෙන්නා, ඇරුණම අනිත් අය මම කවුද, කොහොමද වැඩ කරන්නෙ කියලා දන්නවා. 


ප්‍රමිති ආයතනය තුළ මෙතෙක් ඔබේ කාර්යභාරය ගැන ඔබ තෘප්තිමත්ද?


ඔව්. ප්‍රමිති ආයතනය කියන්නේ රටට ලොකු සේවයක් කරන ආයතනයක්. ප්‍රමිතියෙන් තමයි රටක් දුවන්නේ. මෙච්චරකල් ඊට ලොකු තැනක් දීලා තිබුණේ නැහැ. ඒත් වර්තමාන ජනාධිපතිතුමා ඊට වටිනාකමක් එක්කරමින් ඉන්නවා. ආනයනකරුවන් නිතරම කැමතියි ලාභය පදනම්ව අඩුවට බඩු ගේන්න.

නමුත් එවැනි අඩුමිල බඩුවල ප්‍රමිතියේ ගැටළු තියෙනවා. ප්‍රමිතිය කියන්නේ හරිම බලසම්පන්න දෙයක්. ප්‍රමිතියෙන් අඩු නිෂ්පාදන රටට එන එක නතර කරන්න පුළුවන්වෙන්නෙත් ප්‍රමිතියටම විතරයි. මේ SLS කියන්නෙ බල සම්පන්න අවියක්. එය අපේ රට තවම හරියට පාවිච්චි කරලා නෑ.

ඒ තත්ත්වය ඇති කරන්න ලොකු සටනක් දෙන්න වෙනවා. දැනට මට මේ ආයතනයේ අවශ්‍ය නිලධාරීන්ගේ පවා අඩුවක් තිබෙනවා. එවැනි තත්ත්වයකත් මම 2019 වසරේ මිලියන ගණනකින් ආදායම වැඩි කරලා මගේ කාර්යභාර්යය හරියට කරලා තියෙනවා. 


ඒ කතාව පැත්තක තියමුකෝ. ඔබ පියයුරු පිළිකාවට ඖෂධයක් හොයාගත්ත කෙනෙක් කියන්නෙ ඇත්තද?


ඔව්. මම එංගලන්තයේ UOLහි උසස් අධ්‍යාපනය ලබන කාලෙදි මට පැවරුණු රිසර්ච් එක නිසා තමයි ඒ ඖෂධය හොයාගන්න පෙළඹුණේ. සාමාන්‍යයෙන් පියයුරු පිළිකාවක් හැදුනම පිළිකා සෛල අස්ථියට ව්‍යාප්ත වීමේ ප්‍රවණතාවය වැඩියි. මම හොයාගත්ත ඖෂධය මගින් අන්න ඒ විදියට අස්ථීය දක්වා ව්‍යාප්ත වෙන පිළිකා සෛලවිනාශ කරන්න පුළුවන්. ලෝකෙ පළවෙනි වතාවට තමයි එහෙම ඖෂධයක් හොයාගත්තෙ. 


දැනට ඒ ඖෂධය පාවිච්චි වෙනවද?


ඔව්. ලංකාවෙත් භාවිතා කරනවා. සොනීටා තමයි ඖෂධයේ නම. 


එතකොට ඒකෙ අයිතිය ඔබේ නමටද තියෙන්නෙ?


නෑ. ඒ අයිතිය ලබාගැනීම වෙනුවෙන් කටයුතු කරන්න ඇත්තටම ඒ කාලෙ මට ලොකු අවබෝධයක් තිබුණෙ නෑ. නමුත් මේ වෙනකොට ඒ සඳහා අවශ්‍ය කටයුතු කරගෙන යනවා.

සාකච්ඡාව අවසානයි. 


කැරොලයින්ගේ ආගමනය 


ඕන්න මේ වෙද්දි සිද්ධිකාට රාජ්‍ය සේවයේ මරණ වරෙන්තුව නිකුත් කරන්න ඔන්න මෙන්න තියෙද්දි ලංකාවෙ විවාහක රූ රැජින තරගයේ අවසන් මංගල්‍යය පැවැත්වෙනවා. ඉතිං මොනව නැතත් ලංකාවේ මිනිස්සුන්ට කන්න බොන්න නැතත් මේක වැදගත්නේ. පුෂ්පිකාගෙ ඔලුවෙ කැරොලයින් රඳවපු කිරුළ කැරොලයින්ම ආයෙත් අරගෙන දෙවැනියට දානව. මේක කියන තරම් සරල නෑ. ඒත් මම කියෙව්වෙ පිටපතේ සාරාංශයනේ.  ලංකාවෙත් ලෝකෙත් මේ ප්‍රවෘත්තිය වයිරල් වෙන්න ගන්නව අනෙක් සියල්ල දුහුවිලි බවට පත් කරමින්. ඒක සුපිරි පිටපතක් අහම්බයෙන් සිද්ධවුනත්. දාන්න පහක්!  
පිලිප් කුමාරයාගෙ මළගෙදරත් මේ මංගල්‍යයක් හින්ද සාර සුභාවක් නැතිව යට ගියා කියල කියන්නකො ඉතිං!


දමයන්තිගේ ආගමනය


කැරොලයින්ගෙ උදව්වෙන් යන්තම් සිද්ධිකා ඔලුව උස්සගනිද්දිම මෙන්න අප්‍රේල්  5 වැනිදා  ඉඳලා පාම්තෙල් සහ, ඒ ආශ්‍රිත නිෂ්පාදන පහක්, ලංකාවට ගෙන්වන එක, තාවකාලිකව තහනම් කරන්න, ආණ්ඩුව තීරණය කරනවා. 

ඒ විතරක් නොවෙයි, ලංකාවේ ප්‍රධාන වැවිලි සමාගම් 4 ක, ප්‍රධාන වගාව සහ ආදායම් මාර්ගය ලැබෙන පාම් වගාව, වාර්ශිකව 10% බැගින් ගලවලා විසි කරන්න කියලත්, නියෝග කරනවා. 

ආනයනය අපනයනය පාලක දමයන්ති කරුණාරත්න මහත්මිය තමයි මේ උපදෙස් නියෝගයක් විදියට ප්‍රකාශයට පත් කරන්නෙ.

1511.90.10 සුසංගත කේතාංකය සහිත පාම් ස්ටියරින් කියලා එකකුත් ගෙන්වීමට තහනම් කරනවාකියලා ඒ නියෝගයේ පැහැදිලිව ති‌යෙනවා.  

ඔන්න තවත් ගැහැණු බිල්ලක් තොවිලෙට එක් වෙනවා. ඇයි එහෙම කියන්නෙ?

මෙන්න, පැය විසිහතරක් යන්න කලින් ජනාධිපති මාධ්‍ය ඒකකය කියනවා පාම් ස්ටියරින් කියන තෙල් වර්ගය ගෙන්වීම තහනම් කළේ නැහැ කියලා.  

බේකරි නිෂ්පාදනවලට අවශ්‍ය මාජරින්, බේකරි මේද, බිස්කට් පැට්ස්, චොක්ලට් මේද, අයිස්ක්‍රීම් මේද, මේවා ඔක්කොම හදන්න ස්ටියරිං කියන තෙල් වර්ගය ඕන නිසා ඒවා තහනම් කළේ නැහැ කියල, ජනාධිපති මාධ්‍ය අංශය කියනවා. 

දැන් ඉතිං දමයන්ති නෝන මොන දෙයියන්ට කියන්නද? ජනාධිපතිතුමාගේ නියෝගයේ නොතිබුණ දෙයක්, තහනම් කරලා නියෝග නිකුත් කළා කියලා එයාටත් ගෙදර යන්න කියයි. 


කොහොම උනත් ලෝක ඉතිහාසයේ කවදාකවත් ලංකාවේ කාන්තාවන් මේ හැටි කරළියට ආව දවසක් ඔබට මතක නෑ නේද? එකම පිරිමි පරාණයක්වත් මාතෘකාවක් උනේ නෑ. අර නීලකාස හොරකම්වලට ඇරෙන්න. රාම රාවණා පිරිමි උනත් ඉතිං සීතා කියන්නෙත් ගෑණු පරානයක්මනේ. 


කාන්තාවට ගෞරවනීයව සලකන්න පුළුවන් වීම හැබෑ පිරිමියෙක්ගෙ වටිනාකමක්! 


එහෙම කරළියට ආව දවසක් නම් නෑ උනාට ලංකාවේ කාන්තාවන්ට නායකත්වයන් බාරදීල කරළියට ගේන්න යහපාලන කාලෙ එකමෙක ඇමතිවරයෙක් ගත්ත මහන්සියක් ගැන මේ ලිපියෙදි මතක් නොකලොත් අපි මහා ගුණමකු ගෑණු ජාතියක් වෙනව. 

මොකද, අද ඒ කියන්නෙ අප්‍රේල් 21 වෙනිද, ලංකාවේ ඒ වගේ අරුම පුදුම හිතුවිලි පහළ වෙලා , ඒව ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ සහ සමහර දේවල් ක්‍රියාත්මක කරන්න වාග් සටන් කරපු ඒ අමාත්‍යවරයගේ ජන්ම දිනය. ඒ තමයි මංගල සමරවීර. වෙලාවකට එයා කරන කියන දේවල් දිහා බැලුවම මේ තුප්පැහි රටේ, කුහක පිරිමි - ගෑණු  ගොඩක් අස්සෙ මොන නැකතකට උපන් පුතයෙක්ද කියලත් හිතනවා.  

ලංකාවේ 80 දශකයෙ ඉඳල ස්ත්‍රී ව්‍යාපාර තිබුණ. විවිධ වැඩසටහන් කළා. අරගල කළා. පෙළපාලි ගියා. කාන්තා ආයතන, අමාත්‍යාංශ,  කාන්තා කටයුතු කාන්තා ඇමතිනීලා, කාන්තා කටයුතුවලට පිරිමි ඇමතිල පත් කළා. ඒත් ඒ මොකෙක්ටවත් ගේන්නබැරි උනු යෝජනා ගෙනල්ලා දාහක් චෝදනා ලබලත් ඒව අතාරින්නෙ නැතිව අත්හදා බලන්න ගත්තෙ මහා අභියෝගයක්. ඔබට මතකනම් යහපාලන කාලෙ රජයේ මාධ්‍ය ආයතනවල ප්‍රධානියො බවට පත්කළේ කාන්තාවන්ව. ඒ මංගල සමරවීර ජනමාධ්‍ය අමාත්‍යවරයා විදිහට ඉන්න කාලෙ.  ඒක කොයිතරම් සාර්ථක වූවාද යන්න ගැන නොව ගැහැණුන් වශයෙන් අප වටහාගත යුතු කරුණ වන්නේ කාන්තාව පිළිබඳව එවැනි විශ්වාසයක් හා වගකීමක් තැබිය හැක්කේ සැබෑ මවක් විසින් බිහිකරන ලද පුරවැසියෙක්ට පමණක් බවයි.

 ඒ එක්කම මංගලසමරවීර, හිටපු මුදල් අමාත්‍යවරයා වශයෙන් ඉදිරිපත් කළ කාන්තාවන්ට  මත්පැන් මිලට ගැනීමට ඉඩකඩ සලසමින් එවක යහපාලන ආණ්ඩුව විසින් නිකුත් කරන ලද චක්‍රලේඛය හිටපු ජනාධිපතිවරයා විසින් අවලංගු කරන්නේද මේ රට තුළමයි. බොහෝ දෙනා මේ ගැන අදහස් දැක්වූයේ මේවා බටහිර ගැති සිරිත් කියලායි.

සෙක්ස් වීඩියෝ බලල ලෝකෙන්ම අංක එක වෙන්න හොඳ පෙරදිග මුතු ඇටයට කාන්තාවන් තමන්ගෙ පොකට් එකෙන් සල්ලි  දීල, තමන් කැමති භාණ්ඩයක් මිළදී ගැනීමට අවස්ථාව අහිමි කිරීම කුමන මානව හිමිකම් හෝ පාරිභෝගික අයිතීන් පිළිබඳ පොතේ තිබේද යන්න නොදන්නා මුත්, අනන්ත වූ ඊනියා සිංහල බෞද්ධ පිරිමින්ගෙන් වගේම මොඩර්න්යැයි කියාගන්නා ලද සමාජ ව්‍යාපාරයන්වලත් ස්ත්‍රිය ගේ රහමෙර පානය තහනමට ලක්කරන මොහොතක,ගැහැණුන්ගෙන්ද දාහක් අපවාද අසමින් නොසැලී තම ප්‍රතිපත්ති ගරුක අදහස් අවංකව හා නිර්භයව ප්‍රකාශ කරන්නට දියවන්නාවට ගොඩබට වුන් අතරේ මංගල හැරෙන්නට කිසිදු මනුස්සයෙකු පහල වී නෑ. (මොකද ඔතෙන්ට යන හුගාක් අයට ගෑනු සම්බන්ධයෙන් තියෙන්නෙ ඇරියස් එකක්නෙ.) පක්ෂ පාට භේද අමතක කරල පැහැදිළිව හිතල බැලුවොත් ඔයාල මේ කියන දේට එකග වෙයි අනිවාර්යයෙන්ම. කුහක අදහසක් හිතට එනවනම් අමතක කරල දාන්න මේ ගැන. 

ඒ නිසාම ඔහුට අහිමි වූ, අහිමි කරගත් දේ බොහෝයි. එහෙත් කාලය විසින් අඩුම තරමින් මේ රටේ ගෑනුන්ටවත් තවත් මිනිසෙකුගේ හෝ තවත් මිනිසුන් ලියූ ඉතිහාසයේ අධම චක්‍රයේ ගොදුරුබවට පත් නොවී හරි දේ හරියාකාරව වටහාගන්නට දිනක් උදාවෙනු ඇති. එදිනට මංගලලාත් හිටියොත් රටට මංගල්‍යයක්ම වනු ඇති. 



"සුභ උපන් දිනයක් වේවා මංගල ! චියර්ස් ! "

 

 

නවතම ලිපි