SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ආශාව… මිනිස්සුන්ව ජීවත් කරවන ඔක්සිජන් එකට මම දාන නම තමයි ඒ. අපි අරමුණු හදා ගන්නේ ඉලක්ක සැළසුම් කරන්නේ ඊට අපේ හිතේ ඇති දැඩි ආශාව කැමැත්ත නිසායි. 

අන්න ඒ ඔක්සිජන් එක නිසා නොවැටී ගිය ගමන ලෝකයේ බලවත්ම කාන්තාවන් 100 දෙනා අතර 23 වන තැන දක්වා ඔසවා තිබූ ශ්‍රී ලාංකේය පුරවැසියෙක් ගැනයි අද සටහන

.ඇය ආචාර්ය ආශා ඩි වොස්..

සාගර ජීව විද්‍යාඥවරියක, සාගර ජීව අධ්‍යාපනඥයෙකු සහ උතුරු ඉන්දියානු සාගරයේ මුහුදු ක්ෂීරපායින් පිළිබඳව පර්යේෂණ මෙහෙයවන්නියක විදියට ඇයව හඳුන්වන්න පුළුවන්. පොඩි කාලේ ඉඳලාම එක තැනක ඉන්න බැරි නාහෙට නාහන ගති ඇති කොලු භාගයක් විදියට ආශා ව හඳුන්වන්න පුළුවන්. යම් විදියකින් පේන තෙක් මානයක ආශා නැත්නම් ඇයව හොයන කෙනෙක් බලන්න ඕනේ බිම නෙවෙයි උඩ. දන්න කාලයක ඉඳලම ඇයට අවශ්‍යය වුණේ නිදහසේ තමන්ගේ ජීවිතය ගත කිරීමටයි. ඉතින් ඉතාම විශාල අභියෝග මැද වුණත් කවුරු මොන දේ කොයි විදියට හිතුවත් තමන් තමන් විදියට ජීවත් වීමේ ශෛලිය ඇය කවදාවත් ජීවිතයෙන් ඉවත් කර ගත්තේ නැහැ. කොළඹ කාන්තා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලද ආශා ඩි වොස් ගෙදරින් ඉස්කෝලෙට ගියත් වැඩි වෙනසක් තිබුණෙ නැහැ.
පාසලෙත් ගස් ගල්වලට වග කියන්න ආශාට ඒ හැටි කාලයක් ගත වුණෙත් නැහැ.

අද වෙද්දි ආචාර්ය උපාධියත් අවසන් කරලා හිටියට ලංකාවටම ඉන්න එකම සාගර ජීවි විද්‍යාඥයා වුණාට ආශා ඉස්කෝලේ විෂය සමගාමී වැඩ කටයුතුවලදි කැපී පෙනෙන දස්කම් දක්වපු කෙනෙක් නෙවෙයි. තමන්ගේ මිතුරියන් වේදිකාවට නැගලා විෂයය සාමාර්ථවලට හිමි ත්‍යාග ලබා ගන්නකොට ඇය පහළට වෙලා ඔවුන්ට අත්පොළසන් දුන්නා.
“ ඉස්කෝලේ ත්‍යාග ප්‍රදානෝත්සවයේදිවත් මට කිසිම විෂයයකට කිසිම තෑග්ගක් ලබා ගන්න බැරි වුණා. මම හිතනවා පාසල් කාලේ අත්දැකීම්වලින් දරුවෙක්ගේ අනාගතය ගැන නිගමනවලට එන එක වැරදියි කියලා.”

Asha de vos
සාමාන්‍යයෙන් ගැහැණු ළමයි පොඩි කාලේ ඉඳලාම කැමති බෝනික්කෝ නළවන්න , රූපලාවන්‍ය වැඩ වගේම විවිධ විනෝදාංශවල නියැළෙන්න වුණත් ආශාගේ සියලු ආශාවන් සැඟවිලා තිබුණේ එකම තැනක විතරයි. ඒ තමයි “ මුහුද”… මුහුදු ජීවින් ගැන මුහුදේ රහස් ගැන හොයන්න ඇයට තිබුණ ආශාව වටහා ගත් ආශාගේ දෙමාපියන් ඇගේ සිහින හොඳින් තේරුම් ගන්නවා. ඒ විතරක් නෙවෙයි ඇයගේ සිහින වෙනුවෙන් ඇයට උදව් කරනවා.
“ ඔවුන් මාව විශ්වාස කළා. අපි අතර මත ගැටුම් නොතිබුණාම නොවෙයි. ඒත් අවසානයට මගේ දෙමාපියන් මගේ සිහින තේරුම් ගත්තා.“
තෙරක් නොපෙනෙන මහා සාගරය, මුහුදු ජීවින්, ගැන හොයන්න ගෙදරින් වගේම ආශාගේ ආසාව දෙගුණ කළ තවත් පුද්ගලයෙක් හිටියා. ඒ තමයි ආතර් සී ක්ලාක් මහත්මයා. සාගරය ගැන ආශා තුළ වූ කුතුහලය අවුස්සන්නේ අපේ මේ ක්ලාක් මහත්මයා තමයි. ඔහු ඇයව නිතරම දිරිමත් කළ බව ආශා පවසනවා.

හැබැහින් නොදැකපු බොහෝ දේ ඇය දකින්නේ ගෙදරට ගෙන ආ “National Geographic“ සඟරාවේ සාගර දැවැන්තයන් ගැන , සොබාදහමේ අපූරු නිර්මාණයක් වන නීල වර්ණ සාගරය , මුහුදු පැළැටි ආදී සියල්ල ගැන ආශා කියවන්නේ “National Geographic සඟරාවෙන්. එදා ඇය කවදාවත්ම නොහිතන්න ඇති පසුකාලීනව මේ සඟරාව අයත් නාලිකාවේ පෙනී සිටිමින් සොබාදහම ගැන කතා කරන්න ඇයට අවස්ථාවක් ලැබේවි කියලා. හීන මිනිස්සුන්ව අරගෙන යන දුරක්… ඔබට හිතා ගන්න පුළුවන්ද?
ආශා ගේ මුහුදු සිහිනය වෙනුවෙන් ඇය ස්කොට්ලන්තයට යනවා. ඒ සාගර හා පරිසර විද්‍යාව පිළිබඳව උපාධිය හදාරන්න‍. එතැනින් ඇය විවිධ පර්යේෂණ කණ්ඩායම් සමඟ එක්වෙනවා. ඒ අතරම දවල් රෑ නොබලා කූඩාරම් ඇතුළේ දුක් විඳිමින් ඔක්ස්‍ෆර්ඩ් සරසවියේ ආචාර්ය උපාධි නිබන්ධනයට ඇය සූදානම් වෙනවා. ආශා කියන්නේ හුඟක් ‍ධෛර්යවන්ත කාන්තාවක්. ඇය මොන බාධකය ආවත් තමන්ගේ MSc උපාධිය අවසන් කිරීමේ බලාපොරොත්තුවෙන් මිදෙන්නේ නැහැ. අන්තිමට ඇය නිබන්ධනයත් අරගෙන එංගලන්තයට යනවා. ඇයගේ නිබන්ධනය ආචාර්ය මඩුල්ලක් වෙත ඉදිරිපත් කරනවා.

ඇය ගැහැණියක වීම සහ ගැහැණුන් නොකරන විෂයයක් කෙරෙහි ඇයට තිබෙන උනන්දුව කැපවීම නිසාම ඇගේ උපාධි නිබන්ධනය ප්‍රතික්ෂේප වෙනවා. එදා ඇය ඔක්ස්ෆර්ඩ් සරසවියෙන් එළියට එන්නේ ඇස්වල කඳුළු පුරවාගෙන හීන ඔක්කොම බිඳ වැටිලා. ඒත් ආශාගේ ආශාව තවම මැරිලා නැහැ.

උපාධිය…. මම ආපහු පාඩම් කරලා මේ පාර නම් පාස් වෙනවාමයි. ඇය හිතනවා. ඒ වගේම ඇය තමන්ව අමාරුවේ දාන ප්‍රශ්න එකකටවත් ඉඩ දෙන්නේ නැහැ. පුංචි ඉඩක්වත් නැහැ. ඇය හැම අමාරු කරුණක්ම හොඳින් අධ්‍යයනය කරනවා..
“ සාගර විද්‍යාව වගේ විෂයයකට කාන්තාවක් මේ තරම් උනන්දුවෙන් වැඩ කරන්නේ ඇයි කියන එක ගැන බොහෝ දෙනෙක්ට ප්‍රශ්නයක් වෙලා තිබුණා.”
අමාරුවේ වැටෙන හැම ප්‍රශ්නයකටම උත්තර තියෙන්නේ කකුල් දෙකෙන් ඇවිදලා ගිහින් අත් දෙකෙන් කරන වැඩවල බව හොඳින් තේරුම් ගන්න ආශා තමන්ගේ දැනුම බුද්ධිය මෙහෙයවමින් තවකෙකුට අභියෝගයකින් හෝ කඩා බිඳ දැමිය නොහැකි සවිමත් අත්තිවාරමක් සකස් කර ගනිමින් සිදු කළ සියල්ල අවසානයේ ආශා ඩි වොස් ගේ නමට ඉදිරියෙන් ආචාර්ය කියන කොටස එකතුවෙනවා.
අර ගස් ගල් උඩ පැන පැන හිටපු ආශා ඩි වොස්, පන්තියේ එකම විෂයයකටවත් විශේෂ ළකුණක් හෝ සාමාර්ථයන් නොලබපු ආශා ඩි වොස් අවසානයට වෙස්ටර්න ඔස්ට්‍රේලියා විශ්ව විද්‍යාලයෙන් සාගර ජීව විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය ලබා ගන්න තරම් වාසනාවන්ත වෙනවා.
ආශාට මුහුද කොච්චර විශ්වාසද කිව්වොත් ඇය එක්තරා සම්මුඛ සාකච්ඡාවකදි කියනවා “මට ගාලු පාර දිගේ යද්දි දැනෙන තරම් බයක් මුහුද යට ඉද්දි දැනෙන්නෙ නැහැ” කියලා.

නිල් පාටට පෙනෙන ලුණු රස දැනෙන කිසිම මනුස්ස පරාණයක නැති වතුරේ කිමිදිලා සාගර දැවැන්තයෝ ගැන හොයන මේ ගැහැණියට මුහුද ගැන තියෙන විශ්වාසය මහ පොළොවේ පය ගහනවාට වඩා හුඟාක් ඉිදිරියෙන් තිබෙන බව මේ අනුව හොඳින් පෙනෙන කාරණයක්. තමන් ආසා කරන දේට නිමාවක් නැති පිස්සුවක් ඇති කරගැනීම සහ ඒ පිස්සුවේ උපරිමයට යාම ආශා තමන්ගේ ජීවත් වීමේ කලාව කරගෙන තිබෙනවා. ඒ අතින් තමන් ආසා දේ පැත්තකට දාලා මාසෙ පඩියකට දවස තිස්සේ නැහෙන, බිත්ති හතරකට කොටු වුණ මිනිස්සුන්ට ආශා ඩි වොස් කියන්නේ හොඳ උත්තේජනයක්.
” ආශා කියන්නේ ආශාවට, බලාපොරොත්තුව, කැමැත්තට. මට ඔනේ මගේ නමේ තේරුමෙන් මගේ ජීවිතයට අර්ථයක් එකතු කරන්න. මම ආදරය කරන සාගරය විතරක් නෙවෙයි මගේ රට වෙනුවෙන් මම මට හැකි දේ කරනවා. මම කරන දෙයින් ශ්‍රී ලංකාව කියන පුංචි දූපත මගේ නිවහන කියලා ලෝකයටම කියන්න පුළුවන් වීම ගැන සතුටුයි.”

අපේ රටෙන් බිහි වුණු මුහුදු ක්ෂීරපායින් පිළිබඳව ආචාර්ය උපාධියක් සහිත එකම පර්යේෂකයා කාන්තාවක්. ඒ ගැහැණිය තමන්ගේ තැන හදාගන්න හැප්පෙන්නේ මනුස්ස ලෝකේ ජීවින් එක්ක විතරක් නෙවෙයි. සාගරයේ දැවැන්තයන් එක්කත් ඇය සටන් කරනවා. අධ්‍යාපන කටයුතුවලින් බැහැරව කිසිදු ලාභ ප්‍රයෝජනයක් තමන්ට නොලැබුණත් ඇය “Oceanwell” නමින් ව්‍යාපෘතියක් අරඹනවා. ශ්‍රී ලංකා නිල් තල්මසුන් සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘතිය තුළින් ඇය ලෝකය පුරාම ප්‍රසිද්ධ වෙන්නේ ඒ විදියටයි. මේ තුළින් ලෝකයේ කිසිම මුහුදු කලාපයක නොදකින හැම සෘතුවකම අපේ මුහුදේ ජීවත්වන තල් මසුන්ව ශ්‍රී ලංකා නිල් තල් මසුන් විදියට හඳුන්වමින් ඔවුන් වඳ වී යාමේ තර්ජනයෙන් මුදා ගැනීම උදෙසා ආශා ඩි වොස් සුවිශාල කාර්යභාරයක් සිදු කරනවා.

පුංචි කාලේ මුහුද ගැන ඉගෙන ගන්න කියවපු National Geographic සඟරාව සහ Nat Geo නාලිකාව ආශාගේ මේ වෑයම ලෝකයටම කියනවා. ඒ විතරක් නෙවෙයි ගැහැණු ශරීරයක් තුළ සිටින මේ පිරිමියෙක් වගේ වැඩ කරන ආශා ඩි වොස් ගේ මේ අධිෂ්ථානශීලි බව නිසාම කලක් ගතවෙනකොට ඇය එහි නිත්‍ය සම්පත්දායිකාවක බවට පත් වෙනවා. එතැනින් පසුව ආශා ඩි වොස් ගැන මුළු ලෝකයම කතා කරන්න පටන් ගන්නවා. ‍
හිතෙන්නේ නැද්ද අපේම දෛවය අපිටම විහිළු කරනවා කියලා. ඔව්, සමහර වෙලාවට ඔබ මේ වෙලාවේ මේ ලිපිය කියවන්නේ හිතින් කඩා වැටිලා නම්… දෙවියෝ ඔබ දිහා බලාගෙන ජොලියට හිනාවෙනවා ඇති. මොකද හැම තිස්සෙම අපිට දුක කඳුළ දුන්නට ඔය උඩ ඉන්න කට්ටියට අපි ගැන වෙනම සැළසුමක් තියෙනවා. ආශා එදා National Geographic සඟරාව කියවද්දි පසුකාලීනව තමන්ට එහි නිත්‍ය සම්පත්දායිකාව වෙන්න පුළුවන් වෙයි කියලා හීනෙකින්වත් නොසිතන්න ඇති.

Asha

මේ අතරේ 2018 වසරේදී ඔක්ස්‍ෆර්ඩ් සරසවියට අනුබද්ධ ලින්කන් විශ්ව විද්‍යාලයේ කාන්තාවන් සඳහා අධ්‍යාපන අවස්ථා විවර වීමේ 40 වන සංවත්සරය යෙදෙනවා. ඒ නිමිත්තෙන් එහි කැපී පෙනෙන දක්ෂතා දක්වපු කාන්තාවන් 20කගේ ඡායාරූප ප්‍රදර්ශනය කිරීමට කටයුතු කරනවා. ඒ කාන්තාවන් 20 දෙනා අතර අපේ කතා නායිකාව ආශා ඩි වොස් ද සිටිනවා.
ශ්‍රී ලංකාවේ ප්‍රථම සමුද්‍ර සංරක්ෂණ පර්යේෂණ හා අධ්‍යාපන ආයතනය බිහි කරමින් නිල් තල්මසුන් පිළිබඳව වෙනම කතිකාවතක් ඇති කිරීමට ආශා ඩි වොස් ගත් උත්සාහය ලෝකයම අගය කරන්නට පටන් ගන්නවා. එතෙක් කාටවත්ම නොහිතුණ දෙයක් ඔස්සේ තමන්ගේ හැකියාව ප්‍රකට කරමින් ඇය ආ ගමන තවත් ආලෝකවත් වෙන්නේ ඇයගේ පර්යේෂණ වගේම ඇය විසින් නිකුත් කළ ප්‍රකාශන ලෝකය පුරා මේ සාගර ජීව විද්‍යාව සම්බන්ධයෙන් දැනුවත් කිරීම උදෙසා යොදා ගැනීම නිසායි.
ඒ නිසාම ආශා ඩි වොස් කරන කියන දේවල් ගැන Channel 7, BBC, New York Times, CNN, Wired UK, නිව් සයන්ටිස්ට්, TED, Grist, Nature, National Geographic යන පුවත් සේවාවන් ඔස්සේ විකාශය වෙන්න පටන් ගන්නවා.
“ජීවිතයට අභියෝග එන එක කවදාවත් නතර වෙන දෙයක් නෙවෙයි. හැම තිස්සේම අපිට සිද්ධ වෙනවා අභියෝගවලට මුහුණ දෙන්න. ඒක එක අතකට හරිම රසවත් දෙයක් කියලායි මට නම් හිතෙන්නේ.
ඇය තමන් ආ ගමන් මගේ හමුවුණ අභියෝග ගැන එහෙම කියනවා. ආශා කියන්නේ අවිවාහක කාන්තාවක්. ඇයගෙන් විවාහය ගැන අහන හැම වෙලාවක්ම සිනාමුසු මුහුණින් අපූරු පිළිතුරක් දෙනවා.
“ මම ජලය එක්ක ආදරයෙන් බැඳුණා. මට විද්‍යාව හා අභියෝග එක්ක විවාහ වෙන්න සිද්ධ වුණා. ඒ ආදරය අද මාව මේ ඉන්න තැනට අරගෙන ඇවිත් තියෙනවා”.

ආශා ඩි වොස් තමන් මෙතෙක් කළ සේවය වෙනුවෙන් සම්මාන කිහිපයකින් පිදුම් ලබලා තිබෙනවා. 2013 වර්ෂයේ විද්‍යාත්මක ප්‍රකාශන සඳහා වන ජනාධිපති සම්මානය, 2016 වර්ෂයේ International Geography Explorer සම්මානය, 2017 වසරේ දී බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය විසින් ලබා දුන් රන් සම්මානය, ඇය හිමි කර ගන්නවා. ඒ වගේම 2018 වසරේ WINGS World Quest Women of Discovery Sea Award සම්මානය සහ බ්‍රිතාන්‍ය කවුන්සිලය විසින් ප්‍රදානය කළ Golden Alumni Award මෙන්ම 2020 වසරේ Varkey Foundation විසින් Global Teacher Prize සම්මානය ද ඒ අතර වනවා.
මෙතෙක් ආ ගමන් මග තුළ ආශා ඩි වොස් නාමය ලෝකය තුළ රඳවන්නට තරම් ඇය සාර්ථක වෙන්න හේතුව විදියට ඇය පවසන්නේ මෙහෙම දෙයක්..
“ මහන්සි වෙලා වැඩ කරන්න. හීන අනුගමනය කරන්න. අනිත් අයගේ අවවාද, උපදෙස්වලට ඇහුම්කන් දෙන්න. නමුත් එකම එක දෙයක් මතක තියා ගන්න. මේ ජීවිතය අයිති ඔබට. ඒ නිසා ඔබේම විදියට වැඩ කරන්න.”

“කවදා හරි මේ මුළු ලෝකයේ ම මිනිස්සු දවසකට එක පාරක් හරි මුහුද ගැන කතා කරනවා දැකීම” තමයි ආචාර්ය ආශා ඩි වොස් ගේ ජීවිතයේ ලොකුම සිහිනය. ඒ දවස වෙනකම් තමන් නොකඩවාම වැඩ කරනවා කියලා ඇය කියනවා.

මම මාව විශ්වාස කරනවා. ඒ කියන්නේ මම දන්නවා මට පුළුවන් කියලා. ඇය මුළු ලෝකයටම හොඳ අභිප්‍රේරණයක් ලබා දෙනවා. ගැහැණියකට කරන්න බැරි දෙයක් මේ ලෝකයේ නැහැ. ඇයට මුහුදු හතක් තරණය කරලා තමන්ගේ ආශාවන් ඉටු කරගන්න තරම් හයියක් තියෙනවා. මේ හැම දෙයකටම අවශ්‍යය වෙන්නේ එකම එක දෙයයි. ඒ තමයි කොච්චර වැටුණත්, වැට්ටුවත්, වැටෙන්න ගියත් අරමුණ අල්ලාගෙනම සිටීමට ඔබට ඇති අධිෂ්ඨානය.. ආත්ම විශ්වාසය. ඒක කවදාවත් ම නැති කර ගන්න එපා. ආශා ඩි වොස් කියන්නේ තමන්ගේ ආත්මය වැටෙන්න නොදී අල්ලාගෙනම ඉන්න තරම් ධෛර්යවන්ත වුණ අන්න එහෙම කෙනෙක්.

පහුගිය කාලයේ ලංකාවේ වෙරළට ආ තල්මසුන් ආපසු මුහුදට යැවීමේ ක්‍රියාන්විතයේ පෙරමුණ ගන්නටද ආශාට හැකි වුණා.
ඉතින්.. දැන් ඔබට මොකද හිතෙන්නේ? මේ ලෝකයෙ කළ නොහැකි දෙයක්? යා නොහැකි තැනක් තවත් තියෙනවාද???

භාග්‍යා වීරකෝන්