SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

  

ශ්‍රී ලංකාවේ දේශපාලන හා අධිකරණ ඉතිහාසය තුළ ඇතැම් ආන්දෝලනාත්මක නඩුකරයන්

ආරම්භ වන්නේ දැඩි මාධ්‍ය අවධානයක් සහ මහජන උද්යෝගයක් සමඟිනි. එහෙත් කාලයත් සමඟ ඒවා කිසිදු හඬක් නොමැතිව නීතිපති දෙපාර්තමේන්තුවේ ලිපිගොනු අතර හෝ අධිකරණයේ දින දීර්ඝ කිරීම් අතර දියවී යාම සාමාන්‍ය තත්ත්වයක් බවට පත්ව තිබේ. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට එරෙහිව පවතින බ්‍රිතාන්‍ය සංචාරයේ මූල්‍ය අවභාවිතය පිළිබඳ නඩුව ද මේ වන විට එවැනි නිහඬ දිශාවකට ගමන් කරමින් සිටින්නේද යන සැකය සමාජ මාධ්‍ය සහ දේශපාලන විචාරකයින් අතර දැඩි කතාබහකට ලක්ව ඇත.

 

 

 

රනිල්ගේ නඩුව පිළිබඳ වෙනදා තිබූ උණුසුම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නැත්තේ ඇයි?

පසුගියදා කොළඹ කොටුව වැඩබලන මහේස්ත්‍රාත් කිංස්ලි හෙට්ටිආරච්චි ඉදිරියේ මෙම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී, නීතිපතිවරයා මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බැවින් පැමිණිල්ල දෙසැම්බර් 9 වැනිදා දක්වා කල් තැබීමට අධිකරණය තීරණය කළේය. 2023 වසරේදී බ්‍රිතාන්‍යයේ වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගී වීම සඳහා රජයේ මුදල් රුපියල් මිලියන 16.6ක් අවභාවිත කළ බවට එල්ල වී ඇති මෙම චෝදනාව සම්බන්ධයෙන්, මුල් කාලයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) දැඩි උනන්දුවක් දැක්වීය.

 

 

නිලධාරීන් පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මහජන මුදල් වැය කරමින් ලන්ඩනයට ගොස් විමර්ශන සිදු කළද, මේ වන විට එම උණුසුම සම්පූර්ණයෙන්ම මැකී ගොස් ඇති බවක් නිරීක්ෂණය වේ. විචාරකයින් පෙන්වා දෙන්නේ, එකවර නඩුවක් ඉවත් කර ගන්නවාට වඩා "නීතිපති උපදෙස් සඳහා" යනුවෙන් දිගින් දිගටම කල් තබමින් මහජන අවධානයෙන් සහ සමාජ මාධ්‍ය කතිකාවෙන් එය හිමින් සීරුවේ ඈත් කිරීමේ ප්‍රයෝගයක් මෙහි ක්‍රියාත්මක වන බවට සැක කළ හැකි බවයි.

 

 

මෙම නඩු ක්‍රියාවලියේදී සමාජ මාධ්‍ය ඔස්සේ පුරවැසියන් මතු කරන ප්‍රබලතම තර්කයක් වන්නේ නීතිය ක්‍රියාත්මක වීමේදී පෙනෙන්නට ඇති දෙබිඩි ස්වභාවයයි. රුපියල් මිලියන ගණනක රාජ්‍ය මුදල් අවභාවිතය යනු පොදු දේපළ පනත යටතේ ගැනෙන, සාමාන්‍යයෙන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට හේතු වන බරපතළ චෝදනාවකි. කෙසේ වෙතත්, රනිල් වික්‍රමසිංහ මෙම චෝදනාව හමුවේ අධිකරණයට ඉදිරිපත් වූ අවස්ථාවේදී ක්‍රියාත්මක වූ ක්‍රමවේදය බොහෝ දෙනාගේ විමතියට හේතු වී තිබේ. නීතිමය ක්‍රියාපටිපාටියට අනුව ඔහුව අධිකරණයේ සිට බන්ධනාගාර බස් රථයෙන් රැගෙන ගියද, ඔහුට විනාඩි පහක්වත් සැබෑ ලෙසම රිමාන්ඩ් බන්ධනාගාරයක් තුළ ගත කිරීමට සිදු නොවූ බව දේශපාලන නිරීක්ෂකයෝ පෙන්වා දෙති. මෙම තත්ත්වය, බලවතුන්ට නීතිය නැමෙන ආකාරය පිළිබඳ කදිම නිදසුනක් බවට සමාජ මාධ්‍ය තුළ පුළුල්ව සංවාදයට ලක්වෙමින් පවතී.

 

 

අනෙක් අතට, මෙරට දේශපාලන කරළියේ නාමල් රාජපක්ෂ ඇතුළු වෙනත් දේශපාලනඥයින් සම්බන්ධ විමර්ශනවලදී ආණ්ඩුවේ යාන්ත්‍රණය ක්‍රියාත්මක වන ආකාරයත්, රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන ආකාරයත් අතර ඇති පරස්පරය විචාරකයින්ගේ අවධානයට ලක්ව ඇත. බොහෝ දේශපාලන විචාරක මතය වන්නේ, රාජපක්ෂවරුන්ට එරෙහිව කටයුතු කිරීම හරහා ආණ්ඩුවකට සිය "දූෂණ විරෝධී" ජනප්‍රිය ප්‍රතිරූපය පහසුවෙන් නඩත්තු කළ හැකි වුවද, දශක ගණනාවක් පුරා පරිපාලන සහ නීති ක්ෂේත්‍රය තුළ ගැඹුරු සබඳතා ගොඩනඟාගෙන ඇති රනිල් වික්‍රමසිංහ වැනි චරිතයක් දැඩි ලෙස කොටු කිරීමට බලධාරීන් උත්සාහ නොකරන බවයි. ඇතැම් විට මෙය නිල නොලත් දේශපාලන එකඟතාවයක ප්‍රතිඵලයක් විය හැකි බවටද ඇතැම්හු අනුමාන කරති.

 

 

 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යනු ස්වාධීනව ක්‍රියාත්මක විය යුතු ආයතනයක් වුවද, වුල්වර්හැම්ප්ටන් නඩුව ආරම්භයේදී ලන්ඩන් යාමට තරම් තිබූ හදිසිය අද වන විට දක්නට නැත. රුපියල් මිලියන 16.6ක මහජන මුදල් අවභාවිතයක් පිළිබඳ චෝදනාවක් විභාග කිරීමට තවත් මිලියන ගණනක් වියදම් කර ලන්ඩන් ගිය කණ්ඩායමේ විමර්ශන වාර්තා, නීතිපති උපදෙස් ලැබෙන තුරු මාස ගණනාවක් පල්වෙමින් පවතී.

 

දෙසැම්බර් 9 වැනිදා නඩුව නැවත කැඳවන විටත් මෙය හුදෙක් දින ලබාගැනීමකට පමණක් සීමා වුවහොත්, මෙම සමස්ත ක්‍රියාවලියම මහජනතාව රැවටීම සඳහා දියත් කළ තවත් එක් මිල අධික දේශපාලන සංදර්ශනයක් බවට පත්වනු ඇතැයි විචාරකයෝ අනතුරු අඟවති.

 

 

නීතිය ඉදිරියේ සියලු පුරවැසියන් සමාන විය යුතු පසුබිමක, රනිල් වික්‍රමසිංහගේ නඩුවට පමණක් මෙලෙස විශේෂ "සිසිලසක්" ලැබීම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් තුළ කිසිසේත්ම යුක්ති සහගත කළ නොහැක්කකි.

 

 

 

# නිරෝමි සුබ්‍රමනියම්

නවතම ලිපි