"What the Buddha Taught" සහ "භික්ෂුවගේ උරුමය"
මෑතකාලීන ශ්‍රී ලාංකේය බෞද්ධ ශාසන ඉතිහාසයේ දැඩි කම්පනයක් ඇති කළ සිදුවීමක් ලෙස
කැකිරාවේ සුදස්සන හිමියන් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙන් නෙරපා හැරීම දැක්විය හැකිය. මෙය හුදෙක් එක් භික්ෂුවකට එරෙහිව ගත් ආයතනික විනය පියවරක් පමණක් නොවේ. එය සම්ප්‍රදායික ආගමික අධිකාරිය සහ නිදහස් බුද්ධිමය විචාරය අතර හටගත් බරපතළ මතවාදී ගැටුමකි.

වල්පොළ රාහුල හිමි
අග්ග මහා පණ්ඩිත වල්පොළ රාහුල හිමියන් අතීතයේදී ලාංකේය බෞද්ධ සමාජයේ ආමිස පූජාවට බර වූ චාරිත්‍ර සහ විශ්වාසයන් ප්‍රශ්න කළේය. එදා එම විචාරය ශාස්ත්‍රීය රාමුවකට සහ මුද්‍රිත මාධ්‍යයට පමණක් සීමා විය. එහෙත් අද, සුදස්සන හිමියන් මිලියන ගණනක් ගැවසෙන ඩිජිටල් අවකාශය හරහා එම මතවාද තාර්කිකව සමාජගත කරමින් සිටියි.
උන්වහන්සේ කර්මය, පුනර්භවය සහ සාම්ප්‍රදායික භෞතික විශ්ව විද්‍යාව පර්යේෂණාත්මකව ප්‍රශ්න කිරීම ආයතනික බුදු දහමට එල්ල වූ ප්‍රබල අභියෝගයකි. මන්දයත්, වර්තමාන ආයතනික ආගමේ ආර්ථික සහ සමාජීය පැවැත්ම සම්පූර්ණයෙන්ම පාහේ රඳා පවතින්නේ භෞතික පූජාවන් සහ ජනතාවගේ පාරම්පරික විශ්වාසයන් මත වීමයි.

බියෙන් තැතිගත් මිනිසුන් වෘක්ෂ, පර්වත සහ චෛත්‍යයන් වන්දනා කිරීම බුදුන් වහන්සේ අනුමත නොකළ බවත්, ප්‍රතිපත්ති පූජාව ශ්‍රේෂ්ඨ බවත් බෞද්ධ දර්ශනයේ මූලික හරයයි. එහෙත් සුදස්සන හිමියන් සමාජ මාධ්‍ය ඔස්සේ මෙම සත්‍යය මතු කිරීම, සාම්ප්‍රදායික නිකායික නායකත්වයට දරාගත නොහැකි තර්ජනයක් වී ඇති බව පෙනෙන්නට තිබේ.
මෙම අර්බුදය හමුවේ සිවිල් සමාජය මතුකරන ප්රබලතම කාරණය වන්නේ ආයතනික කුහකත්වයයි. ළමා අපයෝජන, මූල්‍ය වංචා සහ ප්රචණ්ඩ හැසිරීම් සහිත භික්ෂූන් රැසක් නිකායන්හි සුරක්ෂිත රැකවරණය ලබද්දී, පර්යේෂණාත්මක අදහස් දක්වන භික්ෂුවක් වහාම නෙරපා හැරීම මගින් සංඝාධිකරණ තීන්දු කෙරෙහි පවතින ලෞකික විශ්වාසය දැඩි ලෙස පළුදු වී තිබේ.
සුදස්සන හිමියන් මෙම අර්බුදය නීතිය ඉදිරියට ගෙන ගියහොත් එය තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයක් වනු ඇත. 1931 බෞද්ධ විහාර දේවාලගම් ආඥාපනත යටතේ භික්ෂුවකගේ ලියාපදිංචිය අවලංගු කරන ලෙස බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාට නියෝග කිරීම හුදු ආගමික ක්‍රියාවක් නොවේ. එය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රශ්න කළ හැකි, මූලික අයිතිවාසිකම්වලට ඍජුවම බලපාන රජයේ විධායක සහ පරිපාලනමය ක්‍රියාවකි.
2016 ථේරවාදී භික්ෂු කතිකාවත් පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් ඓතිහාසික තීන්දුව මගින් පැහැදිලි වූයේ, ආගමික කතිකාවත් හෝ සංඝාධිකරණ තීන්දු කිසිවක් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඉහළින් නොමැති බවයි. ආගමික නිදහස, සිතීමේ නිදහස සහ භාෂණයේ නිදහස යන ව්‍යවස්ථාපිත අයිතිවාසිකම්, ආයතනික තීරණයකින් පමණක් උදුරාගත නොහැක.
ඩිජිටල් යුගය තුළ දැනුම බෙදාහැරීමේ ඒකාධිකාරිය තවදුරටත් පන්සලට සීමා වී නැත. මතවාදී ගැටුම් පැරණි අධිකාරීවාදී දඬුවම් මගින් යටපත් කිරීමට උත්සාහ කිරීම ප්‍රායෝගික නොවේ. සාම්ප්‍රදායික ශ්‍රද්ධාව සහ නවීන විචාරශීලී ප්‍රඥාව අතර විවෘත සමතුලිතතාවක් ගොඩනැගීම හැර වෙනත් විකල්පයක් වත්මන් බෞද්ධ ආයතනික ව්‍යුහයට ඉතිරිව නැත.
# නිරෝමි සුබ්‍රමනියම්

