යාපනය චෙම්මනි ප්රදේශයෙන් සොයාගත් අතිශය ආන්දෝලනාත්මක මිනීවළ සම්බන්ධයෙන්
සිදුකළ පුරාවිද්යාත්මක කැණීම්වල අතුරු වාර්තාව පසුගිය ඔක්තෝබර් 19 වැනිදා යාපනය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි. කැලණිය විශ්වවිද්යාලයේ පශ්චාත් උපාධි පුරාවිද්යා ආයතනයේ මහාචාර්ය රාජ් සෝමදේව සහ අනුෂා වන්නිනායක විසින් සකස් කරන ලද "චෙම්මනි හි අධිකරණ වෛද්ය පුරාවිද්යාත්මක කැණීම (2025/2026): සොයාගැනීම් පිළිබඳ සාරාංශ වාර්තාව" නම් වූ මෙම ලියවිල්ල, මේ වන විට සමාජය මෙන්ම නීති ක්ෂේත්රය තුළ ද දැඩි කතාබහක් සහ විචාරාත්මක ගැටලු රැසක් මතු කර තිබේ.

සොයාගැනීම්වල සැබෑ පරිමාව සහ ඛේදනීය සංඛ්යාදත්ත
පිටු 17කින් සමන්විත මෙම වාර්තාවට අනුව, කැණීම් මගින් අවම වශයෙන් පුද්ගලයන් 574 දෙනෙකුගේ අස්ථි කොටස්, විසිරුණු අස්ථි ගොඩවල් 51ක් සහ පුරාවස්තු 170ක් සොයාගෙන ඇත. මෙහිදී මතු වී ඇති වඩාත් ඛේදනීය මෙන්ම දැඩි අවධානයක් යොමු විය යුතු කරුණ වන්නේ, මෙම මළ සිරුරු අතරින් 41%ක් කුඩා දරුවන්ගේ සහ 22%ක් ළදරුවන්ගේ ඒවා වීමය. ඒ අනුව සමස්ත මළ සිරුරු අතුරින් 63%ක්ම ළමා සහ ළදරු මරණ වේ.

රහසිගත ඝාතනයක්ද? විධිමත් භූමදානයක්ද?
වාර්තාවට අනුව, කිසියම් නිශ්චිත නිගමනයකට එළඹීමට තරම් සාක්ෂි "ප්රමාණවත් නොවන" බව ප්රකාශ කර තිබුණද, එහි සාරාංශයේ එක් විශේෂිත වාක්යයක් යටින් ඉරි ඇඳ අවධාරණය කර ඇත. එනම්, "මෙම භූමියේ ඇති පුරාවස්තු සහ ඊට අදාළ සන්දර්භීය සාක්ෂි මගින් යෝජනා කරන්නේ, මෙය ලොව පුරා ලේඛනගත වී ඇති රහසිගත සමූහ මිනීවළවල්වලට වඩා විධිමත් භූමදාන පිළිවෙත් සහිත ස්ථානයකට වඩාත් සමානකම් දක්වන බවයි." මෙය මිනීමැරුම් හෝ අතුරුදන් කිරීම් පිළිබඳ දැඩි සැකයක් ගොඩනැගී ඇති පසුබිමක අතිශය තීරණාත්මක ප්රකාශයකි.
වසංගත න්යාය සහ හින්දු භූමදාන සම්ප්රදායන්
මෙය යම් වසංගතයක් හෝ වෙනත් ආකාරයක ස්වාභාවික ව්යසනයක් හේතුවෙන් සිදු වූ මරණ සමූහයක් විය හැකි බවට මහාචාර්යවරයා තවදුරටත් යෝජනා කරයි. එහෙත් මෙතරම් විශාල පිරිසක් මිය යාමට හේතු වූ එවැනි "වසංගතයක් හෝ ස්වාභාවික ආපදාවක්" කුමක්දැයි ඓතිහාසික වාර්තා මගින් තහවුරු කර නොතිබීම මෙහිදී මතුවන ප්රධාන විද්යාත්මක ගැටලුවයි. මීට අමතරව හිඳගත් ඉරියව්වෙන් හමුවූ අංක 227 සහ 429 දරන ඇටසැකිලි, හින්දු ආගමික 'සමාධි' සහ 'ජීව සමාධි' සම්ප්රදායන්ට සම්බන්ධ විය හැකි බව පෙන්වා දෙන නමුදු, හුදෙක් එම ඉරියව්ව පමණක් පදනම් කරගෙන එය ස්ථිරව තහවුරු කළ නොහැකි බවද වාර්තාව පිළිගනී.
මාධ්ය ප්රචාරණය, මනෝභාවයන් කොල්ලකෑම සහ සමාජ ප්රතිරෝධය
කෙසේ වෙතත්, මෙම ස්ථානය "රහසිගත සමූහ මිනීවළක් නොවේය" යන පුරාවිද්යාත්මක මතය සමාජය හා වින්දිතයන්ගේ පවුල් විසින් පහසුවෙන් පිළිගනු නොලබන්නේ හුදෙක් විද්යාත්මක සාක්ෂි පිළිබඳ ගැටලුවක් නිසාම නොවේ. ඊට ප්රබලව බලපා ඇති අනෙක් සාධකය වන්නේ කෘත්රිමව ගොඩනගන ලද සමාජ මතවාදයයි. විශේෂයෙන්ම, ඇතැම් රාජ්ය නොවන සංවිධාන (NGO) විසින් දැවැන්ත මූල්යමය ප්රතිපාදන යොදවමින් මෙය 'සමූහ මිනීවළක්' බවට තහවුරු කිරීම සඳහා පුළුල් මාධ්ය ආවරණයක් සහ ප්රචාරණයක් කල් තියාම ලබා දෙන ලදී.
දශක ගණනාවක් තිස්සේ අයුක්තියට ලක්ව, තම ආදරණීයයන් අහිමි වීමේ ශෝකයෙන් පෙළෙන අසරණ ජනතාවගේ සංවේදී මනෝභාවයන් මෙමගින් දැඩි ග්රහණයකට නතු කරගත් අතර, වින්දිත ජනතාව එම ප්රචාරණයන් කිසිදු විචාරයකින් තොරව එකහෙළා පිළිගන්නා තත්ත්වයට පත් කරන ලදී. මෙය හුදෙක් මතවාදයක් සමාජගත කිරීමක් පමණක් නොව, අසරණ ජනතාවකගේ ඛේදවාචකය සහ මනෝභාවයන් අමානුෂික ලෙස කොල්ලකෑමකි. එමගින් සිදුව ඇත්තේ සත්යය සහ යුක්තිය අපේක්ෂාවෙන් සිටින එම ජනතාවට මුලාවක් ලබා දෙමින් ඔවුන්ව යළි යළිත් මානසිකව අයුක්තියට පත් කිරීමකි. මෙවැනි පසුබිමක් තුළ, කොතරම් ප්රබල විද්යාත්මක සාක්ෂි ඉදිරිපත් වුවද, ඊට එරෙහිව දැඩි සමාජ ප්රතිරෝධයක් නිර්මාණය වීම අනිවාර්ය වේ.

මහාචාර්ය රාජ් සෝමදේවගේ මෙම අතුරු වාර්තාව චෙම්මනි ඛේදවාචකයට සම්පූර්ණයෙන්ම නව මානයක් එක් කරයි. එක් පසෙකින් වසංගතයක් හෝ ස්වාභාවික ආපදාවක් පිළිබඳව ඓතිහාසිකව සනාථ කළ යුතු විද්යාත්මක උපකල්පනයන් පවතින අතර, අනෙක් පසින් රාජ්ය නොවන සංවිධාන විසින් වින්දිත ජනතාවගේ ශෝකය සූරාකමින් කුලියට ගත් මාධ්ය මතින් ගොඩනැගූ දැවැන්ත සමාජ-දේශපාලනික ප්රබන්ධයක් පවතී. යුක්තිය සහ සත්යය වෙනුවෙන් මෙම සංකීර්ණ ගැටුම නිරාකරණය කිරීමට නම්, ඉදිරි අවසාන වාර්තාවේදී මෙම උපකල්පන ස්ථිර ඓතිහාසික හා වෛද්ය සාක්ෂි මගින් තහවුරු කිරීම අත්යවශ්ය වේ. එසේ නොවුණහොත්, වින්දිතයන්ගේ මනෝභාවයන් කොල්ලකෑ පාර්ශ්වයන්ට තවදුරටත් මෙම අස්ථි කොටස් මතින් සිය න්යායපත්ර ක්රියාත්මක කිරීමට අවස්ථාව උදාවෙනු ඇත.
# නිරෝමි සුබ්රමනියම්
(The Island/ The Tamil Guardian මූලාශ්ර සහිතව සකස් කළ ලිපියකි).

