SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

පාරිභෝජනවාදී අයිතීන් දිනාගැනීම වෙනුවෙන් යුරෝපයේ වීදි පුරා ඇවිලෙන විරෝධතා ගින්නත්,

එම පාරිභෝජන රටාව විසින්ම අපගේ වැසි ජලයට මුදාහැර ඇති 'සදාකාලික රසායනික' විෂත් අතර ඇත්තේ කවර නම් සබැඳියාවක් ද? දෑකැති මිටි කොඩි අතැතිව යළිත් පැරණි සමාජවාදයක් ගැන සිහින දකින සාම්ප්‍රදායික වාමාංශය, මේ අර්බුදය හමුවේ දෘෂ්ටිවාදීව අන්ධ වී ඇත්තේ කෙසේද? හුදු ධනවාදී පාරිභෝජනය සාධාරණව බෙදාගැනීමේ අරගලයෙන් ඔබ්බට ගොස්, මානවයාගේ පැවැත්මේ පාරිසරික සීමාවන්ම අහෝසි කර දමා ඇති වත්මන් අර්බුදයේ සැබෑ ගැඹුර පිළිබඳව 'ස්පාටකස් සාමූහිකය' විසින් ගෙන එන තියුණු දේශපාලනික සහ පාරිසරික කියවීමක් පහතින් දැක්වේ.

 

 

 
Crisis-stricken France weighs work-life balance against overseas  competition | South China Morning Post

 

 

වීදියේ ඇවිලෙන්නේ පාරිභෝජනය ඉල්ලා කරන අරගලයේ ගින්නයි;

අහසින් ඇදහැලෙන්නේ එම පාරිභෝජනය විසින්ම

සදාකාලිකව විෂ කළ වැසි ජලයයි.

 

 

යුරෝපයේ ගිනි ඇවිලී තිබේ. ප්‍රංශයේදී දෑකැති මිටි කොඩිය දකින ලංකාවේ වාමාංශිකයින් උද්දාමයට පත්ව ඇත්තේ නැවතත් සෝවියට් ආකාරයේ සමාජවාදය පැමිණීමේ පෙරනිමිති පහල වී ඇති බව සිතමිනි (සෝවියට් සමාජවාදය පිළිබඳ නොස්ටැල්ජියාව).

 

මෙම කැරලි යනු ක්‍රමයේ එක් රෝග ලක්ෂනයක් පමණි. එය ඉස්මතුවන්නේ රැකියා වියුක්තිය, ජීවන වියදම ඉහල යාම, නිවාස අර්බුදය, අධ්‍යාපන කප්පාදුව වැනි සමාජ තත්වය සහ පාරිභෝජනය අත්පත් කරගැනීමට අදාළ සටන් ලෙසය. නමුත් ඒවා එසේ වීමට බලපා ඇති තත්වයේ පැටලිලි සහගත සංකීර්ණත්වය ඒ කිසිවෙකුට අදාළ නොවේ. විරෝධතාකරුවන්ගේ ඉලීම වන්නේ ක්‍රමයෙන් පිටතට යාමක් නොව, ධනවාදී ක්‍රමය තුළම පාරිභෝජනයේ අයිතිය තහවුරු කර ගැනීමයි. ඉන් පැහැදිලි වන කාරණය වන්නේ, අතිශය සුළුතර කිහිප දෙනෙකු පැරණි සමාජවාදී කොඩිය අරන් දැඟලුව ද පැරණි සමාජවාදය ගැන විරෝධතා කරුවන් බහුතරයකට විශ්වාසයක් නොමැති බවත්, නව කතිකාවක් ගොඩනැගී නොමැති බවත්ය.

 

උදාහරණයක් ලෙස ඉදිරියේදී පාරිභෝජනවාදයේ නව සංකීර්ණතා ඇතිවීමට නියමිතය (දැනටමත් එම යන්ත්‍ර නිෂ්පාදනය කෙරෙමින් තිබේ). ඒ මූලික අවශ්‍යතා වන වාතය, ජලය සහ ආහාර සම්බන්ධනි.

 

අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ, PFAS හෙවත් විෂ රසායනික ද්‍රව්‍යවල මට්ටම ඉහළ යාම හේතුවෙන් පෘථිවියේ ඇති සියලුම වැසි ජලය පානය කිරීමට නුසුදුසු බවයි. මෙම PFAS හෙවත් "සදාකාලික රසායන ද්‍රව්‍ය" (per- and polyfluoroalkyl substances - forever chemicals), අවාසනාවන්ත ලෙස මිනිසාට හුරු වී ජීවත් වීමට සිදුවන අනාගත යථාර්ථයක කොටසක් බවට පත්වෙමින් තිබේ.

 

ස්ටොක්හෝම් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු මෙන්ම මෙම අධ්‍යයනයේ ප්‍රධාන කතුවරයා වන ඉයන් කසින්ස් (Ian Cousins) සඳහන් කළේ, "අප ලබාගත් මිනුම්වලට අනුව, පානය කිරීමට ආරක්ෂිත ජලය ඇති එකදු ස්ථානයක්වත් පෘථිවිය මත ඉතිරිව නැත" යනුවෙනි. ස්ටොක්හෝම් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් විසින් ඇන්ටාක්ටිකාව ඇතුළුව පෘථිවියේ බොහෝ ප්‍රදේශවල වැසි ජලයේ මේවා පවතින බව සොයාගෙන ඇත. පානීය ජලය සඳහා වන එක්සත් ජනපද ප්‍රමිතීන්ට සාපේක්ෂව බලන විට, ඇන්ටාක්ටිකාවේ වැසි ජලයේ ඇති PFAS මට්ටම අධික බව පර්යේෂණ ප්‍රතිඵලවලින් පෙන්නුම් කෙරිණි. ටිබෙට් සානුවේදී ඒවා නිර්දේශිත මට්ටමට වඩා 14 ගුණයක් වැඩිය!

 

මේවායින් මිදීමට ආරක්ෂිත තැනක් නොමැත. සෑම තැනකම ජලය පානය කිරීමට නුසුදුසු තත්ත්වයක පවතී.

 

වැසි ජලයේ අඩංගු "සදාකාලික රසායනික ද්‍රව්‍යවල" සාන්ද්‍රණය, සෞඛ්‍ය හා පාරිසරික ආයතන විසින් සකස් කරන ලද වඩාත්ම දැඩි ප්‍රමිතීන් පවා ඉක්මවා ගොස් ඇත. 2010 දී ආරම්භ කරන ලද මෙම අධ්‍යයනය සිදු කළ විද්‍යාඥයන් පවසන්නේ, ෆ්ලෝරීන් පදනම් කරගත් දහස් සංඛ්‍යාත සංයෝග අතුරින් ඔවුන් ආවරණය කර ඇත්තේ හතරක් පමණක් බවත්, මෙම රසායනික ද්‍රව්‍යවලට නිරාවරණය වීමෙන් ඇති වන දිගුකාලීන බලපෑම් පිළිබඳව තවමත් නිශ්චිතව හඳුනාගෙන නොමැති බවටත් ඔවුන් අනතුරු අඟවයි.

 

ක්ෂුද්‍ර ප්ලාස්ටික්වලින් (microplastics) මිදීමට කිසිවෙකුට නොහැකිය. සාගර පතුලේ සිට ඇමසන් වනාන්තරයේ ඇතුලත ප්‍රදේශ දක්වා සෑම තැනකම ඒවා පවතී. මිනිසුන් ජීවත් වන බොහෝ ප්‍රදේශවල වාතය දැඩි ලෙස දූෂණය වී ඇති අතර, එහි නව හානිකර බලපෑම් තවමත් සොයාගනිමින් පවතී. ඕස්ට්‍රේලියාවේ එළිමහනේ ඇති දැඩි කරන කුකුළන්ගේ බිත්තරවල, පසෙහි සිදුව ඇති දූෂණය හේතුවෙන් වාණිජමය වශයෙන් නිපදවන බිත්තරවලට වඩා 40 ගුණයක් ඊයම් අඩංගු වන බව පවා විද්‍යාඥයෝ සොයාගෙන ඇත.

 

 

මෙම සදාකාලික රසායනික ද්‍රව්‍යවලට විනාශ වී යාමට ක්‍රමයක් නොමැත.

 

PFAS ගැඹුරු සාගර තුළට දියවී යාම සඳහා සියවස් ගණනාවක් ගතවනු ඇති බවට අනතුරු ඇඟවූ කසින්ස්, උසස් ජල පිරිපහදු විසඳුම් ඉතා මිල අධික බව දපවසා තිබේ. අනෙකුත් නොනැසී පවතින රසායනික ද්‍රව්‍ය ද රාශියක් පවතින බවත්, PFAS හේතුවෙන් මානව වර්ගයා නව ආගන්තුක ද්‍රව්‍ය (novel entities) සඳහා වන ග්‍රහලෝක සීමාව (planetary boundary) ඉක්මවා ගොස් ඇති බවත් ඔවුහු තවදුරටත් පවසයි. වැසි ජලය, මතුපිට ජලය සහ පස විශාල වශයෙන් දූෂණය වී තිබීම පෙන්වා දෙමින් ඔවුන් කියා සිටියේ, අවම වශයෙන් මිනිසුන් වෙසෙන බොහෝ ප්‍රදේශ සඳහා මෙය අදාළ වන බවයි.

 

රසායනික දූෂණය හෙවත් නව ආගන්තුක ද්‍රව්‍ය සඳහා වන ග්‍රහලෝක සීමාව යනු විද්‍යාඥයන් පවසන පරිදි මිනිසා ඉක්මවා ගොස් ඇති සීමාවන් නවයෙන් පස්වැන්නයි.

 

ග්‍රහලෝක සීමාවන් පිළිබඳ විද්‍යාත්මක සංකල්පයට අනුව, ශිෂ්ටාචාරයේ ආරම්භයේ සිට එනම් වසර 10,000ක් තිස්සේ පෘථිවිය රැඳී තිබූ අතිශය ස්ථාවර තත්ත්වය මෙම සීමාවන් මගින් සලකුණු කරයි. විද්‍යාඥයින් පවසන පරිදි මිනිසා විසින් ඉක්මවා ගොස් ඇති පස්වන සීමාව වන්නේ රසායනික දූෂණය හෙවත් නව ආගන්තුක ද්‍රව්‍ය සඳහා වන ග්‍රහලෝක සීමාවයි. මුල් සීමාවන් හතර වූයේ ගෝලීය උණුසුම, ස්වභාවික වාසස්ථාන විනාශය, ජෛව විවිධත්වය අහිමි වීම සහ නයිට්‍රජන් හා පොස්පරස් මගින් සිදුවන අධික දූෂණයයි.

 

නව ආගන්තුක ද්‍රව්‍ය මුදා හැරීම තවත් ග්‍රහලෝක සීමාවන් කිහිපයකටම බලපාන බව එම අධ්‍යයනයේ දැක්වේ. උදාහරණයක් ලෙස, ස්ට්‍රැටෝස්ෆියරයේ ඕසෝන් ක්ෂය වීම සහ දේශගුණික විපර්යාස සඳහා වන සීමාවන් ඒ අතර වේ.

 

 

යුරෝපයේ වීදිවල ඇවිලෙන ගින්න සහ ජලයේ දියවී ඇති 'සදාකාලික රසායනික ද්‍රව්‍ය' (PFAS) අතර ඇති සම්බන්ධය වටහා ගැනීමට අපොහොසත් වීම අද දවසේ ප්‍රධානතම දෘෂ්ටිවාදී මුධත්වයයි. එක් පසෙකින් යුරෝපීය විරෝධතාකරුවන් තම පාරිභෝජන අයිතීන් කප්පාදු කිරීමට එරෙහිව අරගල කරන අතර, අනෙක් පසින් එම පාරිභෝජනවාදී සැපපහසුව නිපදවීමට භාවිත කළ රසායනික ශේෂයන් විසින් පෘථිවියේ ජීවත්වීමේ සීමාවන්ම අහෝසි කරමින් තිබේ.

 

 

 

දෑකැති මිටි කොඩි දැක උද්දාමයට පත්වන සාම්ප්‍රදායික වාමාංශිකයින් නොදකින තත්වය මෙයයි (යථ භයානක ආකාරයෙන් ඉස්මතු වීම). වාමාංශය අර්බුදය ලෙස දකින්නේ ධනවාදී පාරිභෝජනය සාධාරණ ලෙස බෙදී නොයාමයි.

 

 

එම නිෂ්පාදන සහ පාරිභෝජන මාදිලිය විසින්ම මිනිසාට පානය කිරීමට වතුර පොදක් හෝ ඉතිරි නොකරන මට්ටමට ස්වභාවයේ ග්‍රහලෝක සීමාවන් පුපුරුවා හැර තිබීම ඔවුනට අදාළ නොවන්නේ විද්‍යා ඒ සියල්ල විසඳනු ඇත යන ඔවුන්ගේ විශ්වාසය තුලය. ඔවුන් සිතනුයේ ධනවාදය තුල විද්‍යාව විසින් ඇති කරන ප්‍රශ්න විසඳිය හැක්කේ සමාජවාදය තුල විද්‍යාවට බවය. නමුත් ඔවුන් නොදන්නේ සෝවියට් සංගමය තුල සිදු වූ විනාශයන්ගේ පරිමාවයි.

 

 

ස්පාටකස් ලිපි

නවතම ලිපි